දැවැන්ත ව්‍යාපාර - සිනමා කෘතිවලට නැකැත් දුන් යතිවරයාණෝ

වතුරේගම සෝමාලංකාර හිමි
අගෝස්තු 18, 2023

 

කොළොන්නාව විහාර මාවතේ ‘‘ආසිරි අසපුව” ඉදිරිපස නැවැතූ මෝටර් රියකි. එයින් බැසගත් ධනවත් කාන්තාවක් තම සුරතෙහි රඳවාගත් කේන්දර කොපිය රැගෙන කෙළොන්නාවේ හිමියන් හමුවට ගියාය.

උන්වහන්සේ වමතින් ගත් කේන්දර කොපිය දකුණතින් පරීක්ෂා කර බලන්නට වූහ. උන්වහන්සේගේ ප්‍රියමනාප මුහුණ මෙහොතකින් වෙනස් විය. අතට ගත් කේන්දරය තරහින් බිමට විසි කර දැමූහ. ‘‘ මැරිච්ච එකකුගේ කේන්දරයක් බලන්නට කුමට ගෙනාවා දැ යි” යන්න උන්වහන්සේ ගේ මුවින් පිටවූණි. එයින් තැති ගැන්මට පත් ධනවත් කාන්තාව ද කෝපාවිෂ්ට විය.“මේ මගේ රට ඉන්න පුතාගෙ කේන්දරේ. එයා කෙහොමද මැරුණු එකෙක් වෙන්නේ. පුතා රට නිසයි මම මේ කේන්දරය බලව ගන්න ආවේ” යැයි පවසා බැණ වදිමින් අසපුවෙන් පිටව ගියාය. අද මෙන් තාක්ෂණය නොදියුණු එකල දුරු රටකින් පණිවුඩයක් එන්නට යම් කාලයක් ගත වේ. නිවෙසට ගිය ඇයට දැකගන්නට ලැබුණේ තම නමට පැමිණි විදුලි පුවතකි. එහි සඳහන් වූයේ දින දෙකකට පමණ පෙර සිය පුතනුවන් රිය අනතුරකින් මිය ගොස් ඇති බවට සඳහන් වූ පුවතයි. ඇයට දෙලෝ රත්විණි. කොළොන්නාවේ හිමියන් පැවැසූ දෙය සැබෑවක් බව ඇයට අවබෝධ විණි. දින කිහිපයකට පසුව හැඬූ කඳුළින් නාහිමියන් වෙත ගිය ඇය නොදැන කළ වරදට සමාව ඉල්ලා සිටියාය.

මෙලෙස තවත් දිනෙක තම හඳහන කොළොන්නාවේ හිමියන් ලවා පරීක්ෂා කරවා ගැනුමට උන්වහන්සේගේ ආසිරි අසපුවට පැමිණියේ ලංකාවේ ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. තමා කවරෙක්දැයි හඳුන්වා නොදෙමින්ම කොළොන්නාවේ හිමියන් ඉදිරිපිටට ගොස් කේන්දර කොපිය නාහිමියන් අතට දුන්නේය. හඳහන අතට ගත් විගස හාමුදුරුවන් ඇසුවේ, තමුන්නාන්සෙ මස්කඩයක ද වැඩ කරන්නේ යනුවෙනි. මේ හඳහනේ හැටියට තමුන්නාන්සෙගෙ රැකියාව මස් කපන එක තමයි. යනුවෙන් වැඩිදුරටත් නාහිමියෝ පැවැසූහ. මෙයින් විමතියට පත් වෛද්‍යවරයකු පසුව තමන් ශල්‍ය වෛද්‍යවරයෙක් බවත් ඒ රැකියාව අනුව මිනිසුන් ශල්‍යකර්මවලට නිතරම භාජනය කිරීමට සිදු වන නිසා මස් කැපීම තම වෘත්තියේ කොටසක් බවත් පිළිගත්තේය. පසුව තමා වෙතින් ශල්‍යකර්මවලට භාජනයවීමට එන රෝගීන් ද ශල්‍යකර්මයට පළමු කේන්දරය පරීක්ෂා කිරීම සඳහා නාහිමියන් වෙත යොමු කර එම ශල්‍යකර්මය සිදු කිරීම එම රෝගියාට යහපත් ද යන්න සොයා බැලීමට එම වෛද්‍යවරයා කටයුතු කරනු ලැබුවේය.

තවත් දිනෙක රියැදුරෙක් උන්වහන්සේ වෙත හඳහනක් රැගෙන පැමිණියේය. එම හඳහන කියවා බැලූ උන්වහන්සේ මේ ජන්ම පත්‍රය සත්‍ය නම් මෙය හිමි විය යුත්තේ අධිනීතිඥ ඇස්. නඩේසන් මහතාට බව පැවැසූහ. රියැදුරු නාහිමියන්ගෙන් සමාව ඇයැ ද ඒ තමන් බව පැවැසීය. මේ ආකාරයට කොළොන්නාවේ හිමියන්ගේ චරිතය වටා ගොඩනැඟි විස්මිත කතා පුවත් බොහොමයක් වෙයි. කොළොන්නාවේ හිමියන් ලෙස ප්‍රසිද්ධියට පත් වතුරේගම සෝමාලංකාර නාහිමියන් වූ කලී මෙරට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සමාජයට සුවිසල් සේවයක් කළ සුවිශේෂී හිමි නමකි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව නැකැතක් බලවා ගන්නට, ජන්ම පත්‍රයක් පරීක්ෂා කර ගැනුමට, නමක් යොදා ගැනුමට එහිමියන් සොයාගෙන නොපැමිණි කෙනෙක් නම් නොමැත. දුප්පතාගේ සිට මැති ඇමැතිවරු දක්වාම ආසිරි අසපුවේ නිරතුරු රැඳී සිටියේ උන්වහන්සේගෙන් යමක් ඉටු කර ගැනුමටය.

එලෙස උන්වහන්සේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් හා තම දැනුමෙන් තමා වෙත එන්නවුන්ට උපකාර කළේ කිසි දින ප්‍රති උපකාර බලාපොරොත්තු නොවිණි. ඒ අනුව මෙරට ව්‍යාපාරික හා කලා ක්ෂේත්‍රයට ද උන්වහන්සේ තම දැනුමින් අගනා මෙහෙවරක් ඉටු කළේ්ය. ඒ එදා මෙදා තුර මෙරට බිහි වූ දැවැන්ත ව්‍යාපාරික ආයතන රැස අතර අදටත් ව්‍යාපාරික ලෝකයේ හිණිපෙත්තේම වැජඹෙන තරගකාරී දැවැන්ත ව්‍යාපාරික ආයතන ගොඩනැඟීමේ දී ඒවාට නැකැත් ලබා දෙමින් හා එම ව්‍යාපාර සඳහා සුබ නම් තබමින්ය. ඒ අතර ආසිරි රෝහල, සම්පත් බැංකුව, ජයරත්න මල්ශාලාව, සිසිල් ශීතකරණ වෙළෙඳ නාමය , සලාකා කිහිපයක් පමණි. එපමණක් නොව සෝමාලංකාර නාහිමියන් ලංකාවේ සිනමා කලාවේ ද තම නම බැබළ වූ පළමු භික්ෂූන් වහන්සේ ලෙස ඉතිහාසගත වේ. ඒ මෙලෙසිනි.

එකල සිනමා නිෂ්පාදකවරයකු වූ වර්ණන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටයේ රූප ගත කිරීම් නිම කළත්, පසුබිම් හඬ හා ශබ්ද කැවීමට මුදල් නැති වීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය. රූගත කළ එක රීලයක් ජයවර්ධන විසින් සිලෝන් තියටර්ස් අධිපති ගාඩිනර්ට රීගල් සිනමාහලේදී පෙන්වීය. ඔහුගෙන් ලැබුණු මුදලින් චිත්‍රපටයේ හඬ කැවීමට, දෙබස් කැවීමට මදුරාසියේ සරස්වතී චිත්‍රාගාරයට ගියේය. එහිදී ජයවර්ධන හා අධ්‍යක්‍ෂ එඩ්වින් පෙරේරා අතර මතගැටුමක් ඇතිවිය. එඩ්වින් තමා සතු ගීත, දෙබස් ජයවර්ධනට නොදී ලංකාවට පැමිණියේය.

ජයවර්ධනට එතැන දී පිහිටට ආවේ වතුරේගම සෝමාලංකාර හිමියන්ය. උන්වහන්සේ දෙබස්, ගාථා, ගීත අලුතින් ලියා දුන්හ. එලෙස මුල් වරට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් සිනමාවට සම්බන්ධ වන්නේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටයෙනි. උන්වහන්සේ සිංහල චිත්‍රපට රැසක් සඳහා නම් තැබූහ. ‘ ඉපදුණේ ඇයි?, ‘ කොහොමද වැඩේ‘, සිතක මහිම, කොටි වල්ගය ඉන් කිහිපයකි. මෙරට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට, චිත්‍රපට හා සාහිත්‍ය කලාවට වටිනා සේවයක් කළ වතුරේගම සෝමාලංකාර හිමියන් පිළිබඳ යළි යළිත් සිහිපත් කරමින් උන්වහන්සේගේ ඡ්‍යොතිෂ සේවය පිළිබඳ විමසා බැලීම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය කෙරෙහි කැමැත්තක් දක්වන කවරකුට වුව ද ප්‍රයෝජනවත් වනු ඇත.

 

උපත

දකුණු පළාතේ බලපිටිය වතුරේගම දී අගම්පොඩි ඇමටීන් මැන්ඩිස් මුදලාලි මහතාගේ සහ විජයමුනි පබිලිනා ද සොයිසා හාමිනේගේ තුන්වැනි පුත්‍රයා ලෙස 1913 අප්‍රේල් මස 12 වැනි දා උපන් කුමරුවාට නම් තැබුණේ අගම්පොඩි වින්ඩ්සර් මැන්ඩිස් ලෙසය. ළදරු අවස්ථාවේ සිටම වාසනාවේ මල් උන්වහන්සේ වටා පිපෙන්නට විය. වතුරේගම රජයේ බෞද්ධ පාසලට ඇතුළත් වන විට මේ සිඟිත්තාට වයස අවුරුදු 2කි. වයස අවුරුදු හතේ දී පස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය දී මේ සිඟිත්තාට ඉතා අසාධ්‍ය ලෙඩක් හටගත්තේය. බෙහෙත් හේත්වලට සුව නොවුණු තැන එම රෝගය සුව වුවහොත් දරුවා පන්සලට භාර කරන බවට භාරයක් වීමට මවට සිදු විය. හාස්කමකින් මෙන් රෝගය සුව විය.

 

සසුන්ගත වීම

එනිසා කුඩා අවදියේම මේ දරුවාට පන්සලේ මහණදම් පුරන්නට සිදු විය. ඒ අගම්පොඩි ඇමටීන් මැන්ඩිස් මුදලාලි විසින් මේ දරුවා බලපිටියේ වැලිකන්දේ ශ්‍රී සුදර්ශනාරාමාධිපතිව වැඩ විසූ කොස්ගොඩ ඉන්ද්‍රවිමලතිස්ස නාහිමියන්ට භාර කිරීමෙනි. වතුරේගම සෝමාලංකාර නමින් පැවිදි දිවියට ඇතුළත් වන්නට මේ කුඩා දරුවාට සිදු විණි. කොපමණ දුක්ගැහැට වින්දත් තම පැවිදි දිවිය අත්නොහරින්නට උන් වහන්සේ සිතා ගත්තේ තම ඥාතීන් තමා පැවිදි දිවිය අතැර නැවත නිවෙසට එතැයි යන්න මවට පවසා තිබූ බව දැන සිටි නිසාවෙනි. නායක හිමියන් කෙතරම් පරසිඳු උගතකු වුවත් තමන්ට උන්වහන්සේ දැන සිටි ශිල්ප ශාස්ත්‍ර උගැන්වීමට මැළි වන බව සෝමාලංකාර හිමියන්ට වැට හිණි. එනිසා උන්වහන්සේ දැඩි පරිශ්‍රමයක් යොදමින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරන්නට විය. නායක හිමියන්ගේ පොත්පත් අත පත ගානා විට උන්වහන්සේ පවසා සිටියේ,‍ ‘‘ පුළුවන් දෙයක් කරනවා පොඩි නම” යනුවෙනි. මේ වදන් හමුවේ නොසැලුණු සෝමාලංකාර හිමියන් නායක හිමියන් පන්සලේ නොමැති විට පොත්පත් පාඩම් කිරීමට කටයුතු කළේය. නායක හිමියන් නින්දට පෙර හඬනගා කියනා ශ්ලෝක සෝමාලංකාර හිමයන් පාඩම් කරගත්තේ නායක හිමියන්ගේ ඇඳ යටට හොරෙන් රිංගා අසා සිටීමෙනි.

මේ ආකාරයට පන්සලේ කටුක දිවියක් ගත කරමින් සිටි උන්වහන්සේ කොළඹ මෝදර මිරන්දාරාමයට වැඩම කළේ වැඩි දුර අධ්‍යාපන කටයුතු කරගැනීමේ අදහසිනි.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම

මිරන්දාරාමයේ වැඩ වසන සමයේ අසනීප වූ බ්‍රාහ්මණයකු මෝදර මිරන්දාරාමය අසල සිටිනු උන්වහන්සේට දැක ගත හැකි විය. උන්වහන්සේ එම බ්‍රාහ්මණයාට සාත්තු සප්පායම් කොට ඔහු සුවපත් කළහ. මෙයින් සතුටට පත් වූ බ්‍රාහ්මණයා තමා දන්නා ශාස්ත්‍රයන් සියල්ලම සෝමාලංකාර හිමියන්ට ඉගැන්වූයේ උන්වහන්සේ ඉන්දියාවට රැගෙන යමිනි. එහිදී ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ උන්වහන්සේ යළිත් දිවයිනට පෙරළා පැමිණියහ. සෝමාලංකාර හිමියන්ගේ ඡ්‍යොතිෂ දැනුම පිළිබඳව බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් පවා බලවත් සේ සතුටට පත් වී තිබුණි.

ලංකාවට පැමිණි සෝමාලංකාර හිමියන් ඒ වන විට වයස අවුරුදු 101ක්ව ගිලන්ව සිටි තම නායක හාමුදුරුවන් වහන්සේ වෙත ගොස් සියලු උවටැන් කටයුතු සිදු කරමින් උන්වහන්සේ අපවත් වන තුරුම රැක බලා ගත්හ. ඉන් පසුව යළිත් කොළඹට වැඩම කළ උන්වහන්සේ බොරුල්ලේ තිලකරත්නාරාමයේ වැඩවාසය කළහ. ඉන්පසුව කොළොන්නාවේ විහාර මාවතේ අභයසිංහාරාමාධිපති පුජ්‍යපාද මාමඬවිල ගුණරතන හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි කොළොන්නාවේ අසපුවක් තනවා ගනිමින් එහි නිත්‍ය වාසයට වැඩම කළහ. ආසිරි යැයි නම් තැබූ එම ආශ්‍රමයේ වැඩවාසය කළ ඒ හිමියන් නොබෝ කලෙකින්ම රට පුරා ප්‍රසිද්ධියට පත් වන්නේ කොළොන්නාවේ හාමුදුරුවෝ ලෙසිනි.

උන්වහන්සේගේ කිත් යසස් ලක්දිව නොයෙක් පළාත්වල පැතිර ගියේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් තත්පර කිහිපයකදී නිවැරැදි පලාපල කීමේ අරුම පුදුම හැකියාවක් පැවැති බැවිනි. කිසිදිනෙක උන්වහන්සේ හඳහන් පතක් අතට ගෙන දිගහැර පලාපල කීමට පෑනක් පැන්සලක් භාවිත නොකළහ. සියල්ල ඉතා ක්ෂණිකව මනෝමයෙන් සකස් කර ප්‍රතිඵල පැවැසූහ. කොළොන්නාවේ හිමියන් ළඟට ඡ්‍යොතිෂ කටයුතු සඳහා පැමිණියේ ලංකාවේ අය පමණක් නොවේ. සයිප්‍රසය, ඊශ්‍රායලය, පාකිස්තානය වැනි දුරු රටවලින් ද ආගිය අය බොහෝ වූහ. විවිධ දේශපාලනඥයන්, විවිධ වෘත්තිකයන්ද හාමුදුරුවන් සොයා එන්නට විය. හාමුදුරුවෝ නිතරම ඔවුනට කියා පින්දහම් වැඩ සිදු කළහ. හරකුන් මරණින් මුදවූහ. දහස් ගණන් පිරිසකට රැකියා සොයා දුන්හ. ඡ්‍යොතිෂයෙන් ලෙඩ රෝග විනිශ්චය කර ඒ සඳහා කළ යුතු නොකළ යුතු දේ පෙන්වූහ.

දිවංගත ඇස්. ඩබ්. ඩී. බණ්ඩාරනායක, ඇස්.වී. දියෙස්, මහාචාර්ය මලලසේකර, පොන්නම්බලම් තම්බයියා වැනි විද්වතුන් උන්වහන්සේ ඉතාම කිට්ටුවෙන් ඇසුරු කළ අය වූහ. බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි, හේන්පිටගෙදර ඥානසීහ හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි වැනි බුද්ධ පුතුන් ද උන්වහන්සේ ඉතාම ළඟින් ඇසුරු කරනු ලැබූහ.

දිනකට හතර වරක් බුදුන් වඳීමින් බැඳීම්වලින් තොරව තම සසර ගමන කෙටි කර ගැනුමට නිතර කටයුතු කළ උන්වහන්සේ අවුරුදු 72 දී පමණ රෝගාතුර විය. මාස කිහිපයක් රෝගී වී සිටි උන්වහන්සේ ප්‍රතිකාර ලැබුවේ තමා නම දුන් ආසිරි රෝහලේය. එහිදී 1989 ජූලි 17 වැනි දා අපවත් වී වදාළේ උන්වහන්සේට ගෞරව කළ සියල්ලන්ගේ සිත් සලිත කරවමිනි. උන්වහන්සේ නැකැත් දුන් ජයරත්න මල්ශාලාවේ දී අවසන් කටයුතු නිමකොට කොළොන්නාවේදී ආදාහන පූජෝත්සවය පවත්තනු ලැබුවේ අදට ද උන්වහන්සේගේ මතකය සියල්ලන් අතර ඉතිරි කරමිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.