මඟුල් පෝරුවේ චාරිත්‍ර නිවැරැදිව කරන්නේ මෙහෙමයි

ජුනි 23, 2023

ගල් යුගයෙන් එඬේර යුගයට, එතැනින් වාරි ක්‍රමයේ දියුණු තත්ත්වයට පත්වූ මිනිස් වර්ගයා ක්‍රමයෙන් චාරිත්‍රවලට ඇබ්බැහි වුණා. එනම්, මවුපියන් නැමැදීම, වැඩිහිටියන් නැමැදීම, බුදුන්ට, දෙවියන්ට ගෞරව කිරීම, වැඳුම් පිදුම් කිරීම යන යහපත් දේට පුරුදු වුණා. මේවා විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් ලැබුණ දායාද බව සමහර පොත්වල සඳහන් වනවා.

වැඩිපුරම ක්‍රි.පූර්ව 03 වැනි ශත වර්ෂයේ දේවානම්පියතිස්ස රජ සමයේ බෞද්ධාගම මිශ්‍රිත වූ ජන ජීවිතයක් රට පුරා ස්ථාපිත වුණා. මේ කාල සීමාවේ දී සංස්කෘතික පෙරළියක් ඇති කළේ මහින්දාගමනයයි. මීට සමගාමීව සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ පැමිණීම ද වැදගත් කොට සැලකිය හැකියි. මෙම සිදුවීම් රැසින් අප දිවයිනේ චාරිත්‍ර ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පැවතුණි. ක්‍රමයෙන් දියුණු තත්ත්වයට පත් වූ චාරිත්‍ර මිනිස් වර්ගයාගේ පවුල් තුළටද සම්බන්ධ විය. විවාහ මංගල උත්සවයේ දී මඟුල් පෝරු චාරිත්‍රය ද විශේෂ තැනක් ගනී.

මේ පෝරු චාරිත්‍රය කවදා කාගෙන් ආරම්භ වුණාද යන්න නිසැකයෙන්ම කිසිදු පොතක සඳහන් වී නොමැති තරම්ය. සමහර පොත්වල සඳහන් පරිදි යශෝධරා, සිද්ධාර්ථ පෝරු චාරිත්‍රය, ඔක්කාත බැමිණි කුල පෝරු චාරිත්‍රය, මහසම්මත රජ දරුවන් සඳහා වූ මඟුල් පෝරුව ලෙසින් මඟුල් පෝරු චාරිත්‍ර ආරම්භ වූ බවට සාක්ෂි ඇත. එහෙත් මූලිකත්වය ගැන හරි හැටි සඳහන් නොවුවද දින නියමයන්ද සඳහන් වී නැත. එහෙත් පෝරු චාරිත්‍රයෙන් ඇති ඵල ප්‍රයෝජන මැනැවින් පැහැදිලි වී ඇත. මෙය විශේෂයෙන් විවාහ සරණයකට සුදුසු වූ කුලවත් කාන්තාවන් උදෙසා ඉදි කරන මුත් චාරිත්‍රානුකූල දේවල් රාශියකි. කුල කුමාරයාටද පෝරු මස්ථකප්‍රාප්තියට පෙරවූ තහංචි කීපයක් පැනවීමක් නැතුවම නොවේ.

යශෝධරා, සිද්ධාර්ථ පෝරු චාරිත්‍ර අනුව මේ මඟුල් පෝරුව සොලොස් රියන් දික් වූ බවත් එය විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් සාදන ලද බවත් සඳහන් වේ.

මේ පෝරුවට හෙළීම සඳහා, රත්, නිල්, කහ, සුදු වස්ත්‍රවලින් උඩුවියන් බැඳ පරසතු, කඩුපුල්, මදාරා, ඇඹුල, ඉඹුල, ඕලු, නෙලුම්, සපු, නා, පනා, කොබෝලීල වැනි ඉතා වටිනා දුර්ලභ වර්ගයේ මල් වර්ග අතුරා යුවළ ඒ මත සිටුවා පෝරු චාරිත්‍රය කළා යැයි ද යුවළගේ අත නූල් ගැටගැසීම රන් හුයකින් සිදුකළ බවත් අතපැන් වත් කිරීම රන් කෙණ්ඩියකින් කළ බවට මඟුල් පෝරු චාරිත්‍ර පොත්වල පැහැදිලිව සඳහන් වේ.

එනමුත් වර්තමානයේ මේ හා සමාන දේ සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසා පෝරු චාරිත්‍ර නොවෙනස්ව පැවැතියද එහි තබන ද්‍රව්‍යවල කිසියම් අඩුවක් ඇති බවද කිව යුතුමය. එම නිසාම සාමාන්‍ය ජනයා උදෙසාම කරන පෝරු චාරිත්‍රය මේ දක්වාම නොවෙනස්ව කරගෙන යනු ලබයි. මේ ආකාරයට පෝරු චාරිත්‍රය කිරීමෙන් නවක යුවළට පින්වත් දූ පුතුන් ලැබීමෙන් ජීවිතය සර්වප්‍රකාරයෙන් වාසනාවන්ත වීමට සියලු බාධක ඉවත් වන බව දැනගත යුතුම ය.

අට සොළොස් විය පසුකරන ඇය පූර්ණ චන්ද්‍රයා හා සමානව පියකරුව සියලුම චාරිත්‍ර අභිබවා පෝරු චාරිත්‍රයට පා තබන්නීය. එනම්, සඳහන් කළ පරිදි වර්ණවත් වූ රෙදිවලින් උඩුවියන් බැඳ පෝරුවට සකසා ඇති පිරිසුදු සුදු රෙද්දකින් වසන ලද කිරි ලෑල්ල මත වී, පොරි, මල්, කාසි, ඊතණ වැනි දෑ හෙළා නියමිත වූ නැකැත් වේලාවට ඈ සරණය කර ගන්නා කුල කුමරුන්ට වම් දෙසින් ඈවඩා සිඳුවා පෝරු චාරිත්‍රය ආරම්භ විය යුතු ය. ප්‍රදේශයන් ප්‍රදේශයට වෙනස් වන පරිද්දෙන් මෙම කටයුත්ත ඇයගේ ආදරණීය පියා විසින් හෝ ඇවැස්ස මාමා කෙනකු විසින් බෙර සක්හඬ මැද්දේ සිදු කරන්නකි. එවෙලෙම පෝරු මාමා විසින් එම පෝරු චාරිත්‍රයට උචිත ශ්ලෝකයෙන් පෝරු චාරිත්‍රය ආරම්භ කළ යුතු වේ. යශෝධරා අෂ්ටකයෙන් මේ චාරිත්‍රය කරනුවේ නම් “ශක්‍රානු නයනේ - පුල්වන් මහේසඞ - නිත්‍යං යසෝධරා ජින සබ්බ දානං යනුවෙනි. මීළඟට පෝරු මාමා විසින් කළ යුත්තේ පෝරු චාරිත්‍ර කරගෙන යාම සඳහාත් නව යුවළට ආශීර්වාද කිරීම සඳහාත් දෙවියන්ට ග්‍රහයනාදීන්ට කන්නලව් කිරීමයි. එයින් නව යුවළට දේව ආශීර්වාද නොඅඩුව ලැබෙන බව පොතපතේ සඳහන් වේ.

විශේෂයෙන් මෙම ස්තෝත්‍ර ගායනා කර ආශීර්වාද ලබා ගැනීමේ දී සතර වරම් දෙවියන්ගේ ද පත්තිනි මෑණියන්ගේ ද, අල්පේශාක්‍ය, මහේශාක්‍ය, දෙවියන්ගේ ද නවග්‍රහයින්ගේ ද, ගණ දෙවියන් ප්‍රධාන කොට අනිකුත් අයගේ ද ආශීර්වාද ලබා ගැනීම කළ යුතුම කරුණක් වන අතර, බලා සිටින ඥාතීන්ට මහත් දිරියක් ගෙන දෙන චාරිත්‍රයකි.

මේ ආශීර්වාද කිරීමත් සමඟම මීළඟ කටයුත්ත වනුවේ මංගල මුදුව දැමීම. මංගල තැල්ල බැඳීම, තැලිපිලි ඇන්දවීමයි. අත නූල් බැඳිය යුත්තේ රන් හුයකින් හෝ පිරිත් කළ තුන්පට කපු නූලකිනි. ඉන්පසුව රන් කෙණ්ඩියකින් හෝ රන් ආලේපිත තඹ පිත්තල කෙණ්ඩියකින් පිරිත් වතුරින් බඳින ලද දෑඟිලි හුය මතට ගාථා හෝ ස්තෝත්‍ර ගායනයකින් වත්කළ යුතු ය. මෙයද කළ යුත්තේ සක්හඬ මඟුල් බෙර වාදනයක් තුළිනි. දැන් ඉතිරිව ඇත්තේ හුය ගලවා දැමීමයි. මෙම කර්තව්‍ය එක එක ආකාරයට නවීන අයුරින් අලුත් පෝරු මාමලා කරනවා මම දැක ඇත. මෙම මංගල හුය නිකං ගලවා නොදැමිය යුතු වේ. එනම්, හුය ගලවා දැමීමට පෙර සතර වරම් දෙවියන් සාක්ෂිගත කොට කිසියම් හෝ බන්ධනයකට යටත් කොට මරණයෙන් මිස කිසිදා වෙන් නොවීමට ආශීර්වාද කර හුය පමණක් ගලවා දැමීම දක්ෂ පෝරු මාමාගේ සිරිතයි.

මෙම සිරිත අවසන් වූ ක්ෂණයෙන් ජය මංගල ගාථා යුවළට ඇසෙන සේ ගැයීමට සැලැස්විය යුතු ය. එනම් කන්‍යාවීන් හතර දෙනකු හෝ ඊට වැඩිදෙනෙකුගේ හඬින් ජය මංගල ගාථා ගායනා කළ යුතු ය. අනතුරුව කුල කුමරුවා විසින් එම කන්‍යාවීන්ට එනම් ජයමංගල ගායනා කළ සතුටට තුටු පඬුරු, තෑගි බෝග ප්‍රදානය කර ඔවුන් සතුටු කිරීම පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රයකි.

මීළඟට ඇත්තේ කිරිකඩ සේලය පූජා කිරීමයි. මේ සිරිත මඟුල් දින කෙරෙන ඉතාම දුක්බර සෙනෙහසිකව කෙරෙන පවු ගෙවීමක් බව දත යුතු ය. එනම්, දස මසක් කුසේ තබාගෙන ලේ කිරි කර පෙව් අම්මාට කෘතගුණ සැලකීමක් නොහොත් පවු සමාකර ගැනීමකි. පුරාණ ඔක්කාත රජ දවස මේ ඔක්කාත නම් බැමිණිය මෙසේ ඇයගේ දුක පැවසූ බවක් පැවසෙනවා. එනම් “මා විඳපු දුකසේ - දුව දැඩිකළේ මලක් සේ, කුමරුනි නිධං සේ - වදා ඇති කළේ දුව කෙනෙක් සේ’ යනුවෙනි. එවිට කුල කුමාරයා ද “දස එකඛ මස සරි උපන්දා සිට පෙව් කිරි කච්චියක් රෙදි සරි තෙමෙන්නට ඇත දුවට දුන් කිරි” යනුවෙන් සුදු රෙදි කච්චියක් තම නැන්දණියට පූජා කළ බව පොතේ සඳහන් වේ. මෙය කිරිකඩ සේලය පූජාව බව පැවසේ.

කාල වේලාව පසුකරමින් ඇති නිසා මීළඟට ඇත්තේ පෝරුවට හා දෙපාර්ශ්වයට බුලත් හුරුලු පූජාවයි. එනම් මනාප ඇති අමනාප නැති දෙපාර්ශ්ව ඥාතීන්ට බුලත් ප්‍රදානයයි. එම චාරිත්‍රය අවසන් වීමත් සමඟම පෝරු මාමා විසින් “එදා සිට මේ පැවැති සිරිතකි මඟුල් සක්වල” මේ ලෙසින් යසින් පන්සිය කුමරු බිහිවී පසේ බුදු වුණු අනුහසින් නොසිත් මේ දෙදෙනාව පෝරුවේ සිටුවමින් සෙත්කළ බලෙන් නොවී කරදර නොවි ලෙඩදුක් ලැබී පින්වත් දූ පුතුන්” යනුවෙන් නව යුවළට ආශීර්වාද කළ යුතු ය. පෝරුවෙන් බැසීමට කාලය එළඹි ඇති හෙයින් නැවත පෝරු මාමා විසින් “රන් පනන් පත් පඬුරු දලුමුර ඔප්පුකර ජය මංගලම්, සන්තොසින් මේ පුද දිවැස් ලා සිව්වරම් දෙවි මංගලම් ගන්න දලුමුර ඉන්න නෑයෝ පිරිවරා දෙව් මංගලම් පෝරුවෙන් බැස යන්න අවසර දෙන්න දෙවියනි මංගලම්” යනුවෙන් යුවළ පෝරුවෙන් බැසීමට අවසර ගත යුතු ය. දැන් උදා වී ඇත්තේ නව යුවළ පෝරුවෙන් බැස්සවීමයි. මෙය මනමාලයා නැත්නම් කුල කුමාරයා හෝ මාමා කෙනෙක් කළ යුතු ය. එවිටම නව යුවළ පොළොව මත දෙපා තබනවාත් සමඟම ගණ දෙවියන් උදෙසා තබා ඇති පොල්ගෙඩිය මන්නයකින් හෝ කැත්තකින් පළා වස් දුරුකළ චාරිත්‍රයෙන් සියලු පෝරු චාරිත්‍ර අවසන් වනු ඇත.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී,

මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.