ජීවිතය හා ග්‍රහයෝ ගළපා වෙදකම් කළ පඬිවරයාණෝ

හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ
ජුනි 9, 2023

 

පැල්පතක වෙසෙන දුගියකුගේ වේවා මහා මන්දිරයක දිවි ගෙවන පොහොසතකුගේ වේවා ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් පමණක් නොව බෙහෙතක් හේතක් ගන්නට පැමිණියකුගෙන් බුලත් අතක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි.

 

සතුට ඉක්මවා ගිය තෘප්තියක් ආත්ම අභිමානයක් ඔහු හදවතින් ගලා යයි. එනිසාම මුවගට සිහින් සිනාවක් නංවා ගන්නා ඔහු එම පුද්ගලයා පැමිණි කාරණය කල්තියාම දැන කතාබහට මුල පුරයි. ඒ අනුව එම පුද්ගලයාගේ නැකැත් පත හෝ මුහුණ, අත බලා ඔහු පළ කරන අනාවැකිය අකුරටම නිවැරැදිය.

වෙදකමත් හෙදකමත් එය ඉක්මවා ගිය ජ්‍යෝතිෂ ශාස්ත්‍ර දැනුමත් පරතෙරටම පිහිටි හෙයින් හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ නම් විද්වතා රටට ලබාදුන් දේ මෙන්ම පෙරළා මෙරටින් ලද දේ ද බොහෝය.

අද අප අතර ජීවමානව නොසිටිය ද හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ නාමය තවත් අවුරුදු දහස් ගණනක් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේත් ඡ්‍යොතිෂ ක්ෂේත්‍රයේත් නොමැකෙන නාමයක් බවට පත්ව ඇත්තේ මේ හේතුවෙනි. වෙදකමට මෙන්ම ඡ්‍යොතිෂය කෙරෙහි උනන්දුවක් දක්වන කවරකුට වුවද හෙළයේ පිනට උපන් මේ යුග පුරුෂයා පිළිබඳ ඔහු සිදුකළ සේවය හා ඔහු පැමිණි ගමන් මඟ පිළිබඳ දැන සිටීම මෙන්ම හැදෑරීමත් අතිශය වැදගත් වන්නකි. ඒ ඔහුගෙන් ලබා ගැනීමට බොහෝ දේ අපට ඉතිරිව ඇති බැවිණි.

උපත

දැයට වැඩදායි දූ පුතුන් රැසක් බිහිකළ රුහුණේ ඉමදුව වල්පොල ග්‍රාමයේ හෙට්ටිගොඩ වෙද නිවෙස ද 1897 වසරේ ජූලි මස තුන් වැනිදා ඉසිලූයේ කලබලකාරී බ⁣වෙකි. වින්නඹු අම්මා කල්තියාම ප්‍රසූත වේදනාවෙන් පෙළෙන හෙට්ටිගොඩ වෙද නෝනා අසල වූවාය. වැදුම් ගෙයින් බිළිඳු හඬක් කන වැකෙන තුරු හෙට්ටිගොඩ වෙද මහතා බලා සිටියේ ඒ මේ අත ඇවිදිමිනි. වරෙක උඩු රැවුල අතගාන හේ නැකැත් තරු ගැන විමසිලිමත් වෙයි. සුබ හෝරා සිතින් විමසයි. කොයි දේටත් සුබ කාලයකි. වින්නඹු අම්මා පැමිණ පුත් රුවනක් ලැබුණු බවට පවසත්ම වෙද මහතාගේ සිත සතුටින් පිරී ගියේය. සුබ හෝරාවෙන් සුබ කාලයක ඉපදුණු බිළිඳා නිසාම ඔහු තම අනාගත බලාපොරොත්තු තව තවත් දල්වා ගත්තේය. තමා සන්තක එකම වස්තුව වෛද්‍ය ශාස්ත්‍රයත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් රැකගන්නට පුතකු ලැබීම ඔහුගේ අප්‍රමාණ සතුටට හේතු විය. බිළිඳා උපන් වෙලාව අනුව ජන්ම පත්‍රය පිළියෙල කළ යුතුය. කටක ලග්නය උදාවී තිබිණි. ග්‍රහ පිහිටීම් ද සුබය. කේන්දරයෙන් කියවෙන්නේ රාජ යෝග සහිතව ඉපදී ඇති බවෙකි. තම පුතු ලොව සුපතළ චරිතයක් වන බවත් වෙදකමේත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේත් පරතෙරටම යන බවත් කේන්ද්‍රයෙන්ම හෙට්ටිගොඩ වෙද මහතා නිරීක්ෂණය කළේය.

ඒ අනුව අලුත උපන් මේ බිළිඳාට හෙන්ද්‍රික් හෙට්ටිගොඩ යන නම තැබුණි. තම පුතු ද තමා උගත් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරමින් තම අඩි පාරේම යනු දැකීම හෙට්ටිගොඩ වෙද යුවළගේ එකම බලාපොරොත්තුව විය.

 

අධ්‍යාපනය

මූලික අධ්‍යාපනය සඳහා වල්පොල ග්‍රාමීය පාසල කරා යොමුවන කුඩා හෙන්ද්‍රික් එයින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව කර්නල් ඕල්කට්තුමා ඇරැඹූ අහංගම රෝහණ ඉංග්‍රීසි විදුහලට ඇතුළත්ව එමඟින් ඉංග්‍රීසි අධ්‍යාපනය යහමින් ප්‍රගුණ කළේය.

පසුව පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීමේ මතු බලාපොරොත්තු සහිතව ඉන්දියාව බලා පිටත් වන්නේ ය. ඒ දේශීය වෛද්‍යාචාර්යවරුන් වූ තම මවුපිය යුවළ ගේ පූර්ණ ආශිර්වාදය හා මඟපෙන්වීම් අනුවය. තමා උපතින් ලද දැනුමත් ඥානයත් ඉගෙනුමත් සමඟ ඉන්දියාවේ උසස් අධ්‍යාපනය සඳහා ගත කළ කාලය ඔහුගේ දිවියේ සුවිශේෂී කාල පරාසයක් විය. පෙරදිග වෛද්‍ය විද්‍යාව, ජ්‍යෝතිෂ ශාස්ත්‍රය, පෙරදිග භාෂාවන් පිළිබඳ ගැඹුරින් හදාරන්නට එහිදී ඔහුට හැකි විය. සංස්කෘත හා වංග භාෂා පිළිබඳ හසල දැනුමක් ඔහුට ලැබීමට මෙහිදී හැකි විය. එමඟින් ඡ්‍යොතිෂවේදය හා වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය දැනුම තව තවත් වර්ධනය විය.

ඉන්දියාවේ වසර ගණනක් ගත කිරීමෙන් දේශපාලනික පන්නරය ද මුවහත් කර ගැනීමට ඔහුට හැකිවිය. එම දැනුම ලංකාවේ නිදහස් අරගලය වෙනුවෙන් මුදාහරින්නට ඔහු කටයුතු කළේය. ඒ එවකට ශ්‍රී ලංකාවේ නිදහස පතා නිදහස් අරගලය ගෙන ගිය ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ඇතුළු පිරිස සමඟ එක් වෙමිනි.

 

විවාහය

1925 වර්ෂය ද හෙන්ද්‍රික් හෙට්ටිගොඩ තරුණයාගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඒ එවකට වෙදකමටත් ඡ්‍යොතිෂ විද්‍යාවටත් අමතරව වෘත්තියෙන් ඉඩම් හිමි වැවිලිකරුවකු වූ හෙන්ද්‍රික් හෙට්ටිගොඩ තරුණයා කනංකේ වික්‍රමරත්න පවුලේ දෝන කැරලයින් වික්‍රමරත්න මෙනවිය සමඟ අතිනත ගැනීමයි.

විවාහයෙන් පසුව ඔහුට දරුවන් නවදෙනකු ලැබුණු අතර ඔවුන් දේශ දේශාන්තරවල මෙන්ම මෙරට ද හෙට්ටිගොඩ නාමය බැබළ වූ දරුවන් විය. එම දරුවන්ගෙන් පස්දෙනකු විදේශගතව ජීවත් ව සිටි අතර අනෙක් අය මෙරට වෛද්‍ය හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෝ වූහ. ඒ අතර වික්ටර් ද සිල්වා හෙට්ටිගොඩ සිද්ධාලේප මුදලාලි මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කීර්තිමතකු විය.

 

වෛද්‍ය විද්‍යාවට කළ සේවය

හෙන්ද්‍රික් හෙට්ටිගොඩ වෙදැදුරාණන් තම වෙදකමේ බල මහිමය රටටත් ලොවටත් පෙන්වන්නට සමත් විය. පෙරදිග වෛද්‍ය විද්‍යාවේ පෙරළියක් ඇති කරමින් සෑම ගෙදරකම සිටින වෙදමහතකු බඳු ආලේපයක් රටට මෙන්ම ලොවට හඳුන්වාදීමේ පුරෝගාමියා බවට පත් වූයේ ඔහුය. දක්ෂ වකුගඩු විශේෂඥවරයකු වූ හෙට්ටිගොඩ මහතාට වකුගඩු රෝග සුව කිරීමේ විස්මිත හැකියාවක් පැවැතිණි. ලුණුපොකුණේ ධම්මානන්ද හිමියන් දරුණු වකුගඩු රෝගයකින් ඔත්පලව සිටිය දී සාගර පලන්සූරිය කිවිඳානන් ගේ ඉල්ලීම පරිදි උන්වහන්සේ වෙත ගොස් ප්‍රතිකාර කර ධම්මානන්ද හිමියන් සුවපත් කළ බව පැවසේ. එලෙසම හෙට්ටිගොඩ වෙද පරපුර වෙදකම නිසාම රාජ ගෞරවයට පාත්‍ර වූ බවත් ඔවුනට නම්බුනාම ප්‍රදානයද ඒ අනුව සිදුවූ බවත් ඉතිහාසයේ සඳහන්ය.

 

ඡ්‍යොතිෂ දැනුම

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට මාහැඟි සේවයක් කළ හෙන්ද්‍රික් හෙට්ටිගොඩ මහතා ජ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් ද අගනා සේවයක් ඉටු කළේය. ජ්‍යෝතිෂවේදයේ පරතෙරටම ගිය නිසාදෝ තම කේන්දරය බලා පලාපල කථනයක් සිදුකර ගැනීමට ඔහු කරා නොගිය රටවැසියකු සොයා ගැනීම උගහටය.

රටේ නායකයාගේ සිට දුගී පැල්පතේ දුගියා දක්වා ඔහුගෙන් පිහිටක් නොපැතූ අවස්ථාවක් නොමැත.

මෙතුමාගේ කේන්ද්‍රයේ රාජ යෝග කාරකයා වූයේ කුජ ග්‍රහයාය. කුජගේ දශා කාලයේදී මෙතුමාට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් අගනා මෙහෙයක් සිදු කිරීමට අවස්ථාව උදා වූ බව ජ්‍යෝතිෂොවේදීන්ගේ අදහස විය.

මෙතුමා ජ්‍යොතිෂ ශාස්ත්‍රයට නැතිවම බැරි මිණි පහනක් වන් “ජීවිතය හා ග්‍රහයෝ” නම් අගනා ග්‍රන්ථ රත්නය රචනා කරමින් එය ප්‍රකාශයට පත් කරන්නේ 1956 වසරේ දීය. ඉන් අනතුරුව පලාපල කියන හැටි, “ක්ෂත්‍රීය මායම්” නම් වූ අගනා ග්‍රන්ථ ද එතුමා අතින් රචනා විය.

 

පුවත්පත්වලට ලිවීම

වෙදකම පිළිබඳව ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව ද විවිධ ලිපි මෙන්ම තවත් විෂය පරාසයන් පිළිබඳව ද හරවත් ලිපි නිතර පුවත්පත්වලට සැපයීමට මෙතුමා කටයුතු කළේය. දවස ආයතනයේ පුවත්පත්වලට නිතර නිතර ශාස්ත්‍රීය ලිපි ලියූ මෙතුමා එකල රටේ නම ගිය ප්‍රසිද්ධ දේශකයකු බවටද පත්ව සිටියේය. ජ්‍යෝතිෂය පිළිබඳ විශේෂඥයන් සමඟ එක්ව එම විෂය පිළිබඳ සම්මන්ත්‍රණ දිවයින පුරා සංවිධානය කළ මෙතුමා ජ්‍යොතිෂ සංගම් රටපුරා පිහිටුවමින් පරම්පරාගත ඡ්‍යොතිෂ දැනුම ඒකරාශි කර ක්‍රමානුකූල මඟකට ගැනුමට පුරෝගාමී විය. ඉරණම ඡ්‍යොතිෂ පුවත්පතේ ආරම්භක කර්තෘ ලෙස කටයුතු කරමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටු කළේය.

වසර 60 කට වැඩි කාලයක් රට දැය වෙනුවෙන් ඉමහත් සේවයක් කරමින් සිට 1982 වසරේ මැයි මස විසි වැනි දා හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ වියතාණන් දැයෙන් සමුගත්තේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.