වැඩි කළ වේලාව අඩු නොකර කියන පලාපල බොරු

මැයි 19, 2023

 

පැරැණි කාලයේ ගැමි ගෙදර දරුවකු ප්‍රසූත කළ මොහොතේ දී දරුවාගේ දෙකකුල්වලින් අල්ලා ඉහළට ඔසවා සෙලවීමේ දී හඬන විටම කෙසෙල් කුරුල්ලකුට මන්නයෙන් හෝ කැත්තකින් එකපාරටම කපනු ඇත. පසුව ගොබය ඇදෙන ප්‍රමාණය ගැන බලා වේලාපත්කඩය සාදනු ලැබේ.

 

තවද දරුවා ප්‍රසූතවීමට අපහසුවේ නම් බස්නාහිරට ගිය පෝට වැලක් කතා නොකර රැගෙන විත් වංගෙඩියකට දමා පිල්ල පැත්තෙන් කොටන විටදී, ඉන් නැඟෙන ශබ්ද තරංග කම්පනය හරහා දරුවාට ප්‍රසූතවීමට පහසුකම ලැබේ. එය පැරැණි කෙමකි. පසු කලෙක පෑතටිය ඊට පසු ඔරලෝසු වේලාව හරහා පංචාංග ලිතද වත්මන්හි පරිගණකය ඇසුරෙන් ඉතාම පහසුවෙන් ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය සකස් කරනු ඇත.

හිරුගේ කිරණ හරහා ග්‍රහ තාරකාවන් නිකුත් කරන වර්ණ පසුබිම්කරගෙන ගොඩනැඟෙන ජන්ම පත්‍රය තුළින් උපතේ සිටම මියයෑම දක්වා සෑම නිමේෂයක සිදුවන සෑම දෙයක්ම සනිටුහන් වී ඇත්තේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුවය.

ඡ්‍යොතිෂය මහා ගැඹුරු ශාස්ත්‍රයකි. කෙනකු දන්නේ මහා සාගරයෙන් කන් හැන්දකට ගත් ජල ප්‍රමාණය තරම්ය. කිසිවකුට මෙහි කෙළවරක් කිසිම අයුරකින් දැන ගත නොහැකි ය. දරුවා උපදින විට දී හඬන මොහොතේ නිවැරැදි ඔරලෝසු වේලාව මඟින් නිවැරැදි ජන්ම පත්‍රයක් සකසා ගැනීමට හැකිවේ. වැරදි කේන්ද්‍රයකින් නිවැරැදි පලාපල සෙවිය නොහැකිය.

සුබසෙත පාඨකයින් වෙත මේ ගැන යමක් පැහැදිලි කිරීමට අදහස් කරමු. 1994 සමයේ පත් වූ පාලක පක්ෂය හය මාසයක් පැයක් ද තවත් හය මාසයක් පැය භාගයක්ද ඔර්ලෝසු වේලාව වෙනස් කර තිබිණ.

අලුතින් කේන්ද්‍රය අස්ථානගත වී හෝ අලුතින්ම සාදන ලද කේන්ද්‍රවල පැය හෝ පැය භාගය නියමිත පරිදි අඩු නොකොට සෑදුවහොත් ලග්නයත් ග්‍රහ හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම වැරදි වේ. එවැනි කේන්ද්‍ර විශාල සංඛ්‍යාවක් ද අප වෙත ලැබේ. මෙවැනි වැරදි කේන්ද්‍ර සෑදීම නිසා ඔහුගේ හෝ ඇයගේ පලාපල හා සියලුම එදිනෙදා වැඩ කටයුතු වරදිනු ඇත. පංචාංගයම වැරදෙන තැනට කේන්ද්‍රයක් සෑදීමට යෑමෙන් එකී කේන්ද්‍ර හිමියාට වන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණපෑමටය.

මුලදී කේන්ද්‍රයක් සාදා එය අස්ථානගත වී හෝ නැත්නම් කේන්ද්‍රයක් කිසිම විටක සාදා නැත්නම් මෙවැනි ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවේ.

විවාහ වීමට පොරොන්දම් ගැළපීම්වලට ගියවිට ප්‍රශ්නය තවත් උග්‍ර වේ. පොරොන්දම් ලකුණුවලට පමණක් සීමා වී විවාහයක් දික්කසාද වෙන තැනට අද පත් වී තිබේ. මේ වන විට විවාහ වෙනවාට වඩා දික්කසාද වේගය උග්‍ර වී ඇත. අවසන් වශයෙන් කිව හැක්කේ නිවැරැදිම කේන්ද්‍ර දෙකක් බලා දික්කසාද වේ නම් වැරදි කේන්ද්‍ර දෙකක් බලා පොරොන්දම් ගැළපුවොත් වන්නේ කුමක්ද කියා සිතා බැලිය යුතු නොවේද යන්නය.

 

 

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

ටී. හෙන්රි බෙම්මුල්ල 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.