සැබෑ වෙසක් සැරසිල්ල

මැයි 13, 2022

චෛත්‍ය විහාර ධර්මශාලා ආදිය ගොඩනැගීම මඟින් බුදුසසුන රැකගැනීමට නොහැකිය. අරණ්‍ය සේනාසන පිහිටුවා සිල්වත් ප්‍රතිපත්තියෙහි නියැළී සඟ පරපුරක් ඇති කළ යුතුය

ගං වතුර, නියඟ, ගිනි කඳු පිපිරීම්, නාය යාම් ආදිය පසෙක ලා මෑත භාගයේ දක්නට ලද සුනාමි ව්‍යසනය, කෝවිඩ් උවදුර ගැන පමණක් සැලකුව ද, ඒ බුදුහිමියන් දෙසූ පණිවුඩයේ අගය ලෝකයාට යළි යළිත් මතක් කර දෙන්නක් බව පැහැදිලිය. සසර බියකරුය. ඉන් ගැලවීම අවශ්‍යය. එහිලා නිවැරැදි මඟ සම්බුදු දහමය. නිසි මඟ අවබෝධ වුවත් ඒ මඟෙහි යන්නෝ වූවෝ ද? පන්සාළිස් වසක් මෙත් කරුණාවෙන් සත්වග වෙත අපමණ සුව සැලසූ ශාන්ති නායකයාණන් වහන්සේ පිළිබඳ 2500 බුද්ධ ජයන්තිය, 2600 සම්බුද්ධත්ව ජයන්තිය ආදි අවස්ථාවල වඩාත් සුදුසු වෙසක් සැරසිල්ල පිළිවෙතින් සැරසීම බව අදහස විය. “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය පිළිවෙතින් සැරසෙමු” යන තේමාව සඳහන් පුවරු මුළු ධර්මද්වීපය පුරාම අතන මෙතන හැම තැනම විය. ඇත්තටම මහා හඬක් බදු මේ තුළින් කියැවෙන්නේ දැන් පිළිවෙත ඈත්වී ඇතැයි දෝ විමතියකි. බෞද්ධයන් පිළිවෙතින් පෙළගැසිණි ද? මේ ඒ පිළිබඳ විමසුමකි.

 

ප්‍රතිපත්තිය ඈත්වෙමින්, සසුනට හානි වන විට සංගායනා සිදු වෙමින් දුසිල් මහණුන් බැහැර කරමින් ශාසනාභිවෘද්ධිය සිදු වෙයි. විදේශයෙන් උපසම්පදාව ගෙනවිත් සසුන් පිහිටු වූ අයුරු ශාසන ඉතිහාසයේ දැක්වෙයි. 2500 බුද්ධ ජයන්තිය පැවැත්වීම පිළිබඳ ප්‍රතිපත්තිය දැඩිසේ සිතට ගත් කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මාහිමියෝ “චෛත්‍ය විහාර ධර්මශාලා ආදිය ගොඩනැගීම මඟින් බුදුසසුන රැකගැනීමට නොහැකිය. අරණ්‍ය සේනාසන පිහිටුවා සිල්වත් ප්‍රතිපත්තියෙහි නියැළී සඟ පරපුරක් ඇති කළ යුතුය”යි හඬ නඟා ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා ආරණ්‍යයක ප්‍රතිපත්ති ගරුක සඟ පරපුරක් බිහිකිරීමට උත්සුක වූහ. බුදුහිමියන් දෙසූ ප්‍රතිපත්තිය භික්ෂු ජීවිතයේ වැදගත් හෙයින් එබඳු හඬ නැඟිණි.

ගිහි ජනතාව සම්බන්ධයෙන් ද වැදගත් වන්නේ, බුද්ධ දේශනාවේ දක්වන්නා වූ ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කිරීමයි. මේ සම්බුද්ධෝත්පාද කාලයයි. ශ්‍රී සද්ධර්මය වටහා දෙනු පිණිස පැවිදි පක්ෂය සිටිති. මඟ පැහැදිලිය. යාමට දෙනෙත් ඇත. මංමුළාවී එහා මෙහා යාමට කිසිදු අවශ්‍යතාවක් නොපෙනේ.

‘තුම්මේහි කිච්චං ආතප්පං – අක්ඛාතාරො තථාගතා”

තෙපි තොපට කටයුතුය. තථාගතයෝ මඟ කියාදෙන්නාහුය. විමුක්තිය සකසා ගත යුත්තේ තමන් විසින්මය. ඒ පිළිවෙත් මඟ යාමෙනි.

විසිතුරු මාලාකර්ම, ලතාකර්ම, ආදියෙන් ගේ දොර මඟ දෙපස මොනවට සරසාගෙන නානා විසිතුරු පහන් දල්වාගෙන උසට උසේ මහා තොරණ බැඳගෙන වෙසක් දින අනේක විධ වෙසක් සැරසිලි බලමින් විනෝද චාරිකාවේ හැසිරෙන පින්වතුන්ගෙන් සැබෑ වෙසක් සැරසිල්ලක් සිදු නොවේ. මහා ඝෝෂා නඟමින් සල්පිල් බණ දමන මේ ආදි අනේකවිධ පින්කම් ලෙස සලකන “පින්කම්”ය. ගම්බද ජනතාව වෙසක් බැලීමට නගරයට ඇදී යාම නිසා වෙසක් දින විහාර පන්සල් අඳුෙර්ය. තොරණ ගලවන කළ පිටුපස අරක්කු බෝතල්ය. මාරක ළිඳේ බයිසිකල් පැදීම, කකුල් අටේ වස්සා පෙන්වීම, ඔළුබක්කන් නැටවීම, වැනි විසූක දස්සනයන්හි අරමුණ මුදල් විනා ප්‍රතිපත්තිය නොවේ.

වෙසක් බලමින්, නිදිවරා, තෙමි තෙමී පිනි බබා ලෙඩදුක් වැලැඳී රෝහල් ගතවන්නෝය. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී ක්ලේශයන් වඩවන මෙම නිස්සාර වැඩ වෙසක් සැරසිලි නොවේ. කට්ටි බෙදාගෙන වෙසක් සැරසිලි කිරීමට ගොස් කැති පොලු ආදියෙන් සටන් වැදී ජන්මාන්තර වෛර වූ ගම්මාන වන්නේය. රත්මලාන පහන්කූඩුව නිසා මිනීමැරුම් වූ අයුරු මතකයේ පවතී. මේ සැරසිලි ප්‍රදර්ශනය කරන්නන් ද නරඹන්නන්ගේ ද ඇතුළත වැඩෙන ගුණ දහම් කවරේ ද? අපේ ඇතැම් ධර්මානුශාසකයන් වහන්සේලා ද දේශපාලනඥයින් ද, ගිහි ප්‍රභූවරුන් ද පවිත්‍ර හැඟීමෙන් තොරව අනිසි වෙසක් සැරසිල්ල ඉහළින් වර්ණනා කරමින් සම්මාන ගෞරව පුද කරන අයුරු ඛේදජනකය.

කෙලෙස් ගිනි නිවන කෙලෙසුන් සංසිඳුවන වෙසක් සැරසිල්ලේ අගය කියා දිය යුතුය. දස දහස් ගණන් මුදල් වැය කරමින් නිදිවර්ජිතව කරන බාහිර සැරසිලිවලට වඩා ගිලානෝපස්ථානය. අනාථ සංග්‍රහය ආදි බොහෝ වැදගත් වටිනා පින්කම් කළ හැකිය.

“වෙසක් බෞද්ධයින්ට” සැබෑ වෙසක් සැරසිල්ල කියා දිය යුතු ය. වෙසක් බෞද්ධයින් යනු වෙසක් කාලයට පමණක් එළියට එන බෞද්ධ පිරිස්ය. බුදු දහම භක්ති මාර්ගයක් නොවේ. ඇදහිලි පුද පූජා මාර්ගයක් නොවේ. නිදහස් චින්තනයට, විමංසනයට, ප්‍රත්‍යක්ෂත්වයට, අත්දැකීමට ප්‍රඥාවට, මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්නකි. තුණුරුවනට නිග්‍රහ කෙරෙන බෞද්ධකම කෙලෙසන, ශ්‍රද්ධාව, පලුඳු කරන, බෞද්ධ පරිසරය නසන, නිකරුණේ කාලය, ශ්‍රමය දස දහස් ගණන් මුදල් නාස්ති කරන විද්වතුන් හා අන්‍යාගමිකයන් හිනස්වන සැබෑ බෞද්ධයන් කලකිරවන මහා පුණ්‍යෙීත්සව නාමයෙන් මෝඩ වැඩ කරන බෞද්ධයින් යථාවබෝධය ලැබිය යුතුය.

බුදුහිමි වදාළේ ධර්මානුධම්ම පටිපන්නෝ සාමිචි පටිපන්නෝ විහරති. අනුධම්මචාරී යො තථාගත සක්කරොති. ගරු කරොති, මානෙති, පූජෙති, පරමාය පූජාය, පටිපති පූජාය, යනුවෙන් ධම්මානුධම්ම ප්‍රතිපන්නව, සාමිචිපටිපන්නව, ධම්මානුචරකව යම් භික්ෂුවක් ප්‍රතිපත්ති පූජාවෙන් තථාගත බුදුපියාණන් වහන්සේ පුදන්නෝය. යන දේශනයෙන් ද ප්‍රතිපත්ති ශ්‍රේෂ්ඨ බව වදාළහ.

බුදුරදුන්ගේ රූපකාය බලමින් විසීමේ ලොල්වූ වක්කලී තෙරුණට වදාළේ “ධම්මං පස්සති, මං පස්සති යනුවෙන් යමෙක් දහම් දකී” යනුවෙනි.

“බුදුරදුන් පිරිනිවන් පානා බව අසා බොහෝ භික්ෂූහු උන්වහන්සේට ගෞරව දැක්වීමට පැමිණිය ද ධර්මාරාම භික්ෂුව එසේ නොපැමිණියේ බුදුහිමියනට සැබෑ ගෞරව දැක්විය යුත්තේ වැඳුම් පිදුම් කිරීමෙන් නොව භාවනානුයෝගීව පිළිවෙත් පුරා උන්වහන්සේ පිරිනිවීමට පෙර රහත් වීමෙනැයි සලකාගෙනය. බුදුහිමි එය මහත් සේ අගයමින් “සාධු සාධු මට ගරු කරන කැමති මහණෝ වේ නම් ධර්මාරාම භික්ෂුව මෙන් ගරු කළ යුතුය. ධර්මානුකූලව පිළිපැදීමෙන්ම මට ගරු කළ යුතුය”යි වදාළහ. පිටස්තර ගරු බුහුමනට වඩා ප්‍රතිපත්තිය උතුම්කොට සැලකූ බව මින් පෙනී යයි.

පිරිනිවන් පානා මොහොතේ උන්වහන්සේට පූජා ලෙසින් අහසින් ගද මල් ආදිය පතිත වෙද්දී මෙපමණකින් තථාගතයනට ගරු බුහුමන් කළා නම් නොවේ. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපන්නව, සාමිචි ප්‍රතිපන්නව, ධර්මානුකූලව වෙසේද, හේ තථාගතයනට පරම පූජාවෙන් ගරු බුහුමන් කරන්නේ වේ” යනුවෙන් වදාළහ.

“ධම්මදායාද මේ භික්ඛවෙ භවථ මා ආමිස දායාද” ධම්මදායාද නම් ප්‍රතිපත්ති පූජාවය. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් බව කියැවෙතත් දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප නොවේ.

බෞද්ධ ජීවිතයේ අරටුව ප්‍රතිපත්ති පූජාවය. ඵලය ආමිස පූජාවයි. කුසල් ජනිත වන ආකාරයට ප්‍රතිපත්තියට නැඹුරුවන ආකාරයට ආමිස පූජා පැවැත්විය යුතුය. අර්ථවත්ව බුද්ධිමත්ව පුරුදු පුහුණු කළ යුතුය.

 

කලාභූෂණ, ශාසනදීපන, සාහිත්‍යකීර්ති

ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.