අලුත් අවුරුද්දට කලඑළි බසින අපේ ඉපැරැණි ජන ක්‍රීඩා

අප්‍රේල් 8, 2022

 

 

“කී‍්‍රඩාව” පුද්ගලයකුගේ සෞඛ්‍යය වර්ධනයට මෙන්ම සියලු මිනිස් වර්ගයාගේම චර්යා සංවර්ධනයටද වැදගත්‌ වේ. එපමණක් නොව “කී‍්‍රඩාව” අපගේ අධ්‍යාත්මික සුවයටත් ඉතාම හිතකර වූවකි. අනාදිමත් කාලයක සිට දෙවියන් මිනිස් ජීවිතයට තදින්ම බලපෑම් කරන විශ්වාසයක් බවට පත් වී තිබේ. දෙවියන් පිළිබඳව පවතින යම් යම් විශ්වාසයන් නිසාම දුරාතීතයේ පටන්ම මිනිසා “දෙවියන්” ඇදහීමට පුරුදුව සිටියේය. මෙම දෙවියන් ඇදහීම මිනිස් ජීවිතයට කොතරම් බලපෑම් කළාදැයි කිවහොත් දෙවියන් ඇදහීම නිසාම යම් යම් ජන කී‍්‍රඩා පවා බිහි වූ බවට සාක්ෂි හමුවේ.

අනුරාධපුර යුගයේ පටන්ම අපේ රටේ දේව විශ්වාස,දේව ඇදහිළි හා දේව වන්දනා පැවතී ඇත.හින්දු ආගමේ බලවතකු වන ශිව දෙවියන් වෙනුවෙන් ලංකාවේ මහාත්තිථ,ගෝකණ්න,අනුරාධපුර ප්‍රදේශවල එකල ශිව දේවාල ගොඩනැඟුණු බවට සාක්ෂි හමුවී ඇත.මෙකල්හි බ්‍රාහ්මණ,විෂ්ණු,ඊශ්වර(ශිව) ති‍්‍රමූර්තිය හා පත්තිනි ගණදෙවි ආදී දේව වන්දනාද ජනපි‍්‍රයව තිබී ඇත.හලාවත මුන්නේශ්වරම් කෝවිල,ති‍්‍රකුණාමලයේ තිරුකෝනේශ්වරම් කෝවිල,අනුරාධපුරයේ ලඝුනේශ්වරම් කෝවිල ඇතුළුව ශිව කෝවිල් පහක් ලක්දිව සිටි හින්දූන්ගේ වන්දනාවට පාත්රක වී තිබුණු බවටද තොරතුරු පවතී.මෙම කෝවිල් දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි හින්දූන්ගේ ආගමික හා සංස්තික කටයුතු වෙනුවෙන් ඉදිකරන්නට ඇත.තම පිය රජුගේ කාලයේ අකුණු ඉන්දියාවට ගෙනගිය ලාංකික සිරකරුවන් දොළොස්දහසක් යළි මෙහි ගෙන ඒමට ඉන්දියාව ආක්‍රමණය කළ “ගජබා රජු” ආපසු මෙරට පැමිණියේ දකුණු ඉන්දියානුවන් විසිහතර දහසක්ද සමඟිනි.මේ සමඟම ගජබා රජු විසින් ඉන්දියාවේ සිට පත්තිනි දේවියගේ සලඹද රැගෙන පැමිණි බව සඳහන් වේ.අනුරාධපුර යුගයේ මෙරට වැසියන්ගේ ප්‍රධාන ආගම බෞද්ධාගම බවට පත් වී තිබුණත් ශිව,ජෛන,පරිබ්‍රාජක,සරස්වතී,විෂ්ණු,ගණ දෙවි හා පත්තිණි දේව වන්දනා පැතිර පැවති බව සඳහන් වේ .

පත්තිනි දේවිය වෙනුවෙන් ජනකී‍්‍රඩා රැසක්

නවීන සමාජයේ පවා දරුවකු ලැබීමට සිටින මවක් වෙනුවෙන් භාරහාර වන්නේ ද දරුවන් නොමැති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් භාරහාර වන්නේද පත්තිනි දෙවියන්ටය.

අතීතයේ පටන්ම පැපොළ, සරම්ප,මැලේරියා වැනිවසංගත රෝග ශී‍්‍ර ලංකාවේ සුලභව දක්නට ලැබිණි. මෙම වසංගත රෝග (දෙවියන්ගේ ලෙඩ) සෑදෙන්නේ “පත්තිනි දේවියන්” මිනිසුන් හා උරණ වූ විට යැයි එකල ජන විශ්වාසයේ තදින්ම පැවතිණි. අද මෙම රෝග සඳහා ජනතාව දේශීය හා බටහිර වෛද්‍යය ක්‍රම අනුව ප්‍රතිකාර කළත් අතීතයේ දී මෙම වසංගත රෝග බිය දුරුකොට සෞඛ්‍යය සම්පන්න වීමට පත්තිනි දෙවියන්ට පුදපූජා පැවැත්වීම සිරිතක්ව පැවතිණි. එම පුද පූජා සමහරක් කී‍්‍රඩා විලාශයක් ගත් බව පැහැදිලිවම පෙනී යයි. ජනතාව අතර සාමූහිකත්වය හා එකමුතුව බි¼දී යාමෙන් පත්තිනි දේවියන් කෝප වී මෙම රෝගය ඇති කරන බව පැරැන්ණන් විශ්වාස කළහ. මේ නිසාම සාමූහිකත්වය, එකමුතුකම පිළිබිඹු වන ජන කී‍්‍රඩාවල නිරත වෙමින් වසරේ එක් එක් කාල වල දේව ආශිර්වාද පූජා පැවැත්වීම චිරාගත සම්ප්‍රදායානුකූලව අද ද සමහර පැරණි ගම්වල සිදුවේ. මෙයින් පත්තිනි දේව ආශිර්වාදයට ලක් වූ පොදු ජන කී‍්‍රඩා අතර සමහර කී‍්‍රඩා “සිංහල අලුත් අවුරුදු සමයේ” දී විශේෂයෙන් කි‍්‍රයාත්මක වන බව දක්නට ලැබේ. දෙවියන්ගේ ලෙඩ රෝග වලින් මිදී සාමය සමඟිය මුල් කර ගනිමින් නිදුක් නිරෝගි ජීවිතයක් පතා දේව ඇදහීම් තුළින් අතීතයේ පටන් අපේ රටේ ආරම්භ වූ කී‍්‍රඩා කීපයක් මෙසේය,

 

අං කෙළිය

පොර පොල් කෙළිය

ඔලිඳ කෙළිය

ඔන්චිලි කෙළිය

නෙරෙංචි කෙළිය

පංච කෙළිය

සොකරි කෙළිය

වළගුඩු කෙළිය

චක්ගුඩු කෙළිය

 

පැරණි සමාජයේ උඩරට හා දකුණු ප්‍රදේශ වල ජනපි‍්‍රයම කී‍්‍රඩාව බවට පත්ව තිබූ අං කෙළිය දැනට අභාවයට ගොස් ඇත. පත්තිනි දෙවියන්ගේ කෝපය නිසා පැපොල, සරම්ප, වසූරිය, අතීසාරය වැනි රෝග ඇති වන්නේය යන විශ්වාසය පදනම් කරගෙන දින 14ක් තුළ මෙම කී‍්‍රඩාව සිදුකර ඇත. අඟහරුවාදා, සිකුරාදා හා පෝය දිනවල මෙම කී‍්‍රඩාව නොපැවැත් වේ. අං ඇදීම සඳහා ගෝණ අං දෙකක් ප්‍රධාන වශයෙන් යොදාගනී. කී‍්‍රඩාව සඳහා යොදා ගන්නා ස්ථානයේ මැද කොටසේ ශක්තිමත් උස් කණුවක් සිටුවා එහි මුඳුනේ මෙම අං දෙක එකකට එකක් ඇමිණිය යුතුයි. මී හරක් හමකින් සෑදු කඹයක් ගෙන අං දෙක ගැට ගසයි. අං පිටිය මැද වළක් හාරා පොල් ගසක කඳක් සිටුවයි. මෙම කඳේ අඩි 3 – 4 ක උසින් විවරයක් සදයි. සකස් කළ කඹයේ එක් කොණක් පොල් ක‌ෙඳ් විවරය තුළින් යවා ගැට ගසයි. අනෙක් කොනේ එක් අඟක් ගැට ගසා අනික් පැත්තට ඉතිරි අඟ ගැට ගසයි. මෙයට තවත් කඹයක් සම්බන්ධ කර දෙපිළේ නායකයන් දෙදෙනා අං දෙක තදින් අල්ලා ගනී. දෙපිළෙන් එක් පිළක් කඹය අදී. අං දෙක වෙන් කිරීමට නම් එක් අඟක් කැඩී යා යුතුයි. මාරුවෙන් මාරුවට පිල් දෙකට අං ඇඳීමට අවස්ථාව ලැබේ. උඩුපිළ අඟ, යටිපිළ අඟ ලෙසින් අං‌ දෙක නම් කරයි. සත්ව හිංසනය පිටු දකිමින් පසු කලෙක ගෝණ අං වෙනුවට කරඳ, වරල්, පිහිඹිය, අන්දර ආදී ශක්තිමත් ගස්වල වක් වූ මුල් යොදාගත් බව සඳහන් වේ. අං දෙකම සම තත්ත්වයෙන් තිබිය යුතුයි. දිනුම් පිළ පරාද වූ පිළට උසුළු විසුළු කරමින් නටති. මෙයින් ඉවසීමේ පුරුද්ද ඇති කළ බවත්, අං කෙළිය තුළ දී දිනුම‌ හෝ පැරදුම ලැබුවත් ගැමියන් සාමයෙන් සිටීමට පුරුදු කිරීමේ කී‍්‍රඩාවක් බවද පෙනී යයි. කී‍්‍රඩාව අවසානයේ නොකැඩුණු අඟ කහ වතුරෙන් සෝදා මල් පළඳවා පත්තිනි දෙවොලක තැන්පත් කරයි. කපු මහතා සියලු දෙනා වෙනුවෙන් යාතිකා කර සෙත් පතයි. උඩුපිළ හා යටිපිළ වශයෙන් වෙන්ව අද අලුත් අවුරුදු උළෙල වලදී සිදු කරන කඹ ඇදීම, අං කෙළිය අනුව බිහි වූ කී‍්‍රඩාවකි.

පොර පොල් කෙළිය

උඩුපිළ හා යටිපිළ වශයෙන් මෙහිදී ද දෙපිළක් තරඟ වදී. කටුව ඉතා ශක්තිමත් වූ විශේෂ දිගැටි පොල් මෙම තරඟයට යොදා ගනී. ප්‍රථමයෙන් යටි පිළේ තරඟකරුවෙක් උඩුපිළ දෙසට පොල් ගෙඩිය එවයි. උඩු පිළේ තරඟකරුවෙක් ගුවනේ පාවෙන එම පොල් ගෙඩියට තම අතේ රඳවා ගත් පොල්‌ ගෙඩියෙන් පහර දෙයි. යටිපිළ එවූ පොල් ගෙඩිය ඉන් බිඳී ගියහොත් උඩුපිළ දිනයි. මෙසේ දෙපිළ අතර තරඟය අවසන් වෙන්නේ සියලු පොල් හෝ වැඩිම ගණනක් පොල් බිඳී ගිය පිළ පරාජය වීමෙනි. දෙපිළ මාරුවෙන් මාරුවට පොල් විරුද්ධ පිළ වෙත යවන අතර යටිපිළ දිනුවොත් සුබ ලකුණක් (සුබ නිමිත්තක්) සේ සළකයි. උඩුපිළ දිනුවොත් නැවත තරඟය පවත්වයි. මෙම බි¼දීගිය පොල් මද කොටා මිරිකා තෙල් සිඳ පත්තිනි දෙවියන්ට පහන් දල්වයි. ඉන් ගමටම පත්තිනි දෙවි බැල්ම ලැබෙන බව විශ්වාසයේ පවතී.

ඔළිඳ කෙළිය

මෙය කාන්තාවන් පමණක් සහභාගි වන කී‍්‍රඩාවකි. මේ සඳහා වළවල් හෑරූ ඔළිඳ පුවරුවක් අවශ්‍ය වෙයි. එම වළවල්වලට මාරුවෙන් මාරුවට ඔළිඳ ඇට දමමින් දෙදෙනෙකු කී‍්‍රඩා කරයි. ඔළිඳ පුවරුවට උඩින් පැනීම දෙවියන්ට කරන නිගරුවක් හා සමානව සළකයි. එක වළක ඔළිඳ ඇට 5 ක් හෝ 7 බැගින් පමණක් නිතරම තිබෙන ලෙස මෙහිදී කී‍්‍රඩා කළ යුතුයි. උඩරට ප්‍රදේශ වල අද ද මෙය ජනපි‍්‍රය ගෘහස්ථ කී‍්‍රඩාවකි.

ඔංචිලි කෙළිය

අතීතයේ පැරණි ගම්වල කතුරු ඔංචිල්ලා හා තනි ඔංචිල්ලා යනුවෙන් දෙවර්ගයක් තිබුණත් වර්තමානයේ දැකිය හැක්කේ තනි ඔංචිල්ලා කී‍්‍රඩාවකි. කතුරු ඔංචිල්ලාවේ රඳවා ඇති ලෑල්ලේ එකවර අට දෙනෙකුට නැඟිය හැකි තරමට ශක්තිමත්ව තිබූ බව කියවේ. අද සිංහල දෙමළ අලුත් අවුරුදු කී‍්‍රඩා වලදී දැකිය හැක්කේ තනි ඔංචිල්ලා පමණකි. ඔංචිලි පැදීම සමඟිය හා විනෝදය මැනවින් පෙන්වන කී‍්‍රඩාවකි. මෙම කී‍්‍රඩාවට බහුලව සහභාගි වන්නේ කාන්තාවන් හා කුඩා දරු දරියන්ය. ඉතාම රසවත් ඔංචිලි කවි මෙහිදී ගායනා වේ.

එක අත්තක සිට රැහැයි හඬන්නා

තව අත්තක සිට කොහා අඬන්නා

එරබදු ගස් රතු මලෙන් පිරෙන්නා

අවුරුදු සිරියෙන් ගම පිබිදෙන්නා

පුරවර මැද බැඳී රන් ඔංචිල්ල

දුර යන හැටි දැක පුදුම නොවෙල්ලා

වැරකර ළඳුනේ තව පැදපල්ලා

සුරපුර දෙවියනි රකු මෙ සියල්ලා

පංච කෙළිය

වර්තමානයේ“පංච දැමීම” නමින් මෙම කී‍්‍රඩාව හැඳීන්වේ. සමහර පළාත් වල දොළහ දමනවා, බෙල්ලෝ දමනවා යනුවෙන් අද හැඳීන්වේ. පහතරට මෙන්ම උඩරටද තවමත් ඉතාම ජනපි‍්‍රය කී‍්‍රඩාවකි. කුඩා බෙල්ලන් හය දෙනෙකු පංච පෙත පැත්තක තබා තිබෙන මුණින් නැමූ පොල් කටුවක් මතට බෙල්ලන් හය දෙනා දමා වැටෙන “අය” අනුව ඉත්තන් තබති. පංච පෙතක් මදඝනකම ඇති කොළයක ඇඳ ගනී. අද ද අවුරුදු සමයේ පවුලේ අය හා අස්ලවැසියන් පිරිසක් එකතු වී මහත් විනෝදයෙන් කරන කී‍්‍රඩාවකි. සමඟිය හා විනෝදය පිළිබිඹු කරයි. මෙම කී‍්‍රඩාව දෙවියන් සතුටු කිරීමේ ක්‍රීඩාවක් බවට විශ්වාසයේ පවතී.

සොකරි කෙළිය

මේ උඩරට සතර කෝරළයේ හා වන්නි ප්‍රදේශවල පවත්නා ශාන්ති කර්මයකි. තවත් අතකින් ගොයම් කපා පාගා ගැනීමෙන් පසු ගොවියන් කමතේදීම කරනා නැටුම් විශේෂයකි. කෘෂිකර්මාන්තයට සශී‍්‍රකත්වය අපේක්ෂා කරමින් පත්තිනි දෙවියන් යැදීම මෙම නැටුමේ අරමුණයි. ගුරුහාමි, සොකරි, වෙදරාළ, පරයා, සොක්කා, හෙට්ටියා, වඩුරාළ, කපුරාළ වැනි චරිත ඇතුළත්ව නාට්‍යයක් විලාසයෙන් අදටත් ඇතැම් පළාත් වල රඟ දැක්වේ. බක් මාසයේ මෙන්ම වෙසක්, පොසොන්, මාසවලද අද සමහරු ගම්වල ගෘහාංගන ආශි‍්‍රතව සිදුකරයි. ඉතාම විනෝදජනක අවස්ථාවන් මෙහි වේ. අස්වනු සරුවීම නිමිත්තෙන් දෙවියන්ට තුති පිදීමට සිදුකරන කී‍්‍රඩාවකි. සිංහල අවුරුදු සමයේ වී අස්වැන්න නෙළීමත් සමඟම බහුලව මෙම ක්‍රීඩාව සිදු කරයි.

වළගුඩු කෙළිය

මෙහිදී කුඩා වලක් හාරා ඒ මත අඟල් හයක්-හතක් පමණ දිග කෝටු කැබැල්ලක් තබා දෑතට අඩි තුනක් පමණ දිගු කෝටුවක් ගෙන එය ඉහලට විදීම සිදු කරයි.මෙම කුඩා කෝටු කැබැල්ල කී‍්‍රඩාවට සම්බන්ද රකින පිලේ කෙනෙකු විසින් උඩු ගුවනේදී අල්ලා ගතහොත් එය විදීම කළ තැනැත්තා දැවී යයි.එලෙස දැවී ගියහොත් ඊළඟ වාරය එම පිලේ අන් සාමාජිකයෙකුට හිමිවෙයි.රකින පිලේ කෙනෙකුට එම කෝටු කැබැල්ල අල්ලා ගත නොහැකි වුවහොත් විදීම සිවු කළ වලේ සිට එම කෝටු කැබැල්ල වැතුණු තැනට පහර දුන් කෝටුවෙන් දුර මැන එම දුර ගණනය කර සටහන් කර ගනී. මෙලෙස දෙපිලේම කී‍්‍රඩකයන් දැවී ගිය පසු අවසානයේ වැඩිම දුරක් කෝටුව විද්ද පිල ජයග්‍රහණය ලබයි.මෙය සිංහල හින්දු අවුරුදු සමයේ අදටත් ගම්බදව දරුවන් හා ගැමිළියන් අතර ජනපි‍්‍රයම කී‍්‍රඩාවකි.

චක්ගුඩු කෙළිය

කාය ශක්තියෙන් අනූන ගම්වැසි තරුණ පිරිමින් අතර චක්ගුඩු කෙලිය ඉතාම ජනපි‍්‍රයය.පැරණි ගම්වල අවුරුදු කී‍්‍රඩා උළෙල වල අදටත් මෙම ක්‍රීඩාව ජනපි‍්‍රයම අංගයකි.එක පිළකට පුද්ගලයන් හයක් හෝ අටක් සම්බන්ධ වේ.තරඟය පැවැත්වෙන සෘජුකෝණාස්‍ර භූමිය කොටු කර හරි මැඳීන් ඉරක් ඇඳ දෙපිල බෙදෙයි.

එක් පිළකින් කෙනෙකු ඉදිරිපත් වී චක්ගුඩු ගුඩු ගුඩු යන්න නොනවත්වා ශබ්ද නගා කියමින් විරුද්ධ පිළේ භූමියට පැන එහි කෙනෙකුගේ සිරිරට පහරක් ගසා යලි තම පිළේ භූමියට පැමිණියහොත් පහර කෑ විරුද්ධ පිලේ පුද්ගලයා තරඟයෙන් ඉවත් වේ.යම් හෙයකින් පහර කෑ පුද්ගලයා හෝ එම පිලේ අන් අය විසින් පහරදුන් පිලේ තරඟ කරුවා තම පිලේ සීමාව තුළදී ග්‍රහණය කරගතහොත් පහර දුන් පිලේ කී‍්‍රඩකයා තරඟයෙන් ඉවත් විය යුතුය.මෙසේ පිල් දෙකම චක්ගුඩු ගුඩු ගුඩු යන්න නොනවත්ත්වා කියමින් එක් පිළක් හිස්වන තුරු කී‍්‍රඩා කළ යුතුය.අද ජාතික ක්‍රීඩා උළෙලේ මෙන්ම ආසියානු කී‍්‍රඩා උළෙලේ පවා ජනපි‍්‍රයව ඇති කබඩි කී‍්‍රඩාව මෙම චක්ගුඩු කී‍්‍රඩාව ආශ්‍රයෙන් බිහිවූවක් බව සැලකේ.සිංහල අවුරුදු සමයේ කී‍්‍රඩා උළෙල වල තවමත් ජනපි‍්‍රය කී‍්‍රඩාවකි.ජවසම්පන්න තරුණයන් මෙම කී‍්‍රඩාවට ඉතාමත් ලෙන්ගතුය.

 

 

 

රඹුක්කන 

කීර්ති එස් කුමාර

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.