අවුරුද්දයි යහගුණ වර්ධනයයි

අප්‍රේල් 8, 2022

 

එදා අපේ මුතුන්මිත්තෝ ස්වභාදහමට අනුව ජීවත් වූහ. ඔවුහු ස්වභාදහම් වස්තූන් දේවත්වයේ ලා සලකන්නට වූහ. ඉර, හඳ, සුළඟ, ගින්න, වැස්ස ආදිය තම ජීවිතයට බලපාන හෙයින් ඒ වස්තූන්ට ගෞරවය සැළකිල්ල දක්වමින් ඇදහිල්ලට ලක් වූහ. හිරු දෙවි, සඳ දෙවි, මරුත්, අග්නි, පරිව ආදී ලෙස ස්වභාදහම් වස්තූන් දෙවිවරු වූහ. මින් වඩාත් ප්‍රබල දෙවි හිරු දෙවි වූහ.

 

හිරු ගොවිතැනට බලපායි. ගොවිතැනට බසින්නේ හිරු දෙවියන්ගෙන් වරන් ගනිමිනි. කමත හිරු දෙවියන්ගේය. “වරන් ගතිමි ඉර සඳ දෙවි අතින් වර න්” උඩින් සිටින ඉරු දෙවියෝ පමණ කරා” (හොරකම්මැලය)

“මේ කාගේ හෝ කමතා

ඉරු දෙවියන්ගේ කමතා”

ඉරු දෙවියන් වැඩිය කෙතේ

බොල් පිණි නොතිබෙයි එකෙතේ (කමත් හෑල්ල)

මෙලෙසින් දක්වන සූර්යයා සිහිපත් කරගෙන කරනු ලබන මහා උත්සවය සූර්ය මංගල්‍යය ‘අවුරුද්ද’ වේ.

සූර්යයා මෙන්ම චන්ද්‍රයාද ගොවිතැන් කටයුත්තේ වැදගත් විය. සඳ එළියේ ගොවිහු වැඩ කළහ. කමත “සඳ දෙවියන්ගේ කමතා” ලෙසින් හැඳින් විණි. සූර්ය මංගල්‍ය උත්සවයේ දී සූර්ය වර්ෂය සඳහා මෙන්ම චන්ද්‍ර වර්ෂය සඳහා ද නැතහොත් නව සඳ බැලීම සිරිතය. ‘නව බහ්ළ සන්ධි’ යනුවෙන් සීගිරි ගියේ තමා බක් මහේ නව සඳ දුටුවෙතැයි ආඩම්බර වෙයි. අවුරුද්ද, පුරා මාස එකොළහක් වෙළේ පැලේ, කුඹුරේ, නියරේ කටයුතු කොට අස්වනු කපා පාගා ගෙට ගෙන මහත් සතුටින් පී‍්‍රතිය භක්ති විඳින මාසය බක් මාසයයි. ඒ පී‍්‍රතිමත් උත්සවය බක් මහ සැණකෙළිය වේ. එය සූර්යා හා සම්බන්ධ කරමින් සූර්ය මංගල්‍යය ලෙසින් ද විග්‍රහ වෙයි.

සූර්ය මංගල්‍යයේ අලුත් අවුරුද්ද ශක වර්ෂය නමින් හැඳින්වෙයි. චීනයේ වයඹ පෙදෙසේ වාසය කළ යුරි නමැති මනුෂ්‍ය කොට්ඨාසයක්, මෞර්ය රජ පරම්පරාවෙන් පසු දඹදිව සිහසුන අත්පත් කරගනු ලැබුණේ යුවී නැමැත්තකු රජකමට පත්කර ගත්හ. මේ රාජ වංශය කුෂාන් නමින් විය. කුෂාන් රාජ වංශයේ රජු ලෙස කන්ථක රජතුමා සඳහන් වෙයි. පෙෂොටෝර් අගනුවර කරගත් කණිෂ්ක රජතුමාගේ ආධිපත්‍යය විශාල ප්‍රදේශයක පැතිරිණි. බෞද්ධයකු වූ එතුමා දවස හීනයාන, මහායාන යනුවෙන් බුදුදහම කොටස් දෙකකට බෙදී ගිය අතර මුල්ම බුද්ධ ප්‍රතිමාව තනවන ලද්දේ එතුමා විසිනැයි කියැවෙයි. අද ඡ්‍යෝතිෂයේ ව්‍යවහාර වන ශක රාජ වර්ෂය ආරම්භ වූයේ මේ රජුගේ කාලයේ ය. ක්‍රි.ව. 78 ශක රාජ වර්ෂයේ ආරම්භයයි. මෙතුමාගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 78 සිට 100 දක්වා විය.

පැරැන්ණන්ගේ විශ්වාසය වූයේ සූර්යයා නිරතුරු ගමනේ යෙදෙන බව ය. එය වක්‍රාකාරව සිදුවන බවත් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ගමන් කොට යළි මේෂ රාශියට සංක්‍රමණය වීමේ දිනය අවුරුද්ද ලෙස ඡ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයෝ හඳුන්වති. සූර්යයා මීන රාශියට ආ විට ගෙවී යන අවුරුද්දේ අන්තිම දිනය පරණ අවුරුද්ද ලෙස ද මේෂ රාශියට මුළුමනින්ම ඇතුළු වූ විට ආරම්භවන අවුරුද්ද අලුත් අවුරුද්ද ලෙස ද හැඳින්වෙයි.

තෝජෝ රාශියක් වන බැටළුවකුගෙන් සංකේතවත්වන රාශි චක්‍රයේ ආරම්භක රාශිය ලෙස සැලකෙන මේෂ රාශියට මුළුමනින්ම ඇතුළුවීමට ආපෝ රාශියක් වන මසුන් දෙදෙනකුගෙන් සංකේතවත් වන රාශි චක්‍රයේ අවසාන රාශිය ලෙස සලකන මීන රාශියෙන් පිටත් වූ සූර්යයාට පැය කීපයක් ගත වෙයි. මීන රාශියත් මේෂ රාශියත් අතර සූර්යයා සිටින කාලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යන කාලය අතරතුර කාලය සූර්යය සංක්‍රාන්තිය නම් වෙයි. මේ සංක්‍රාන්ති කාලය පරණ හෝ අලුත් අවුරුද්ද යන දෙකටම අයත් නොවේ. ශුභදායිත්වයක් එහි නැතැයිද නැකැත් නැතැයි ද යනුවෙන් නොනගත කාලය ලෙස ජ්‍යෝතිෂවේදීන් හඳුන්වන මෙම වකවානුව තුළ දෙවියන් මිනිස් ලොව නොබලතියි කියැවෙයි. කිසිදු ශුභ වැඩක් නොකරන මෙම කාලය ලැබීමට පෙර සියලු වැඩ අත්හරියි. ආගමික කටයුතුවලට මෙම කාලය වෙන්කොට ඇති අතර පුණ්‍ය කාලය නමින් ද මේ කාලය හැඳින්වෙයි. පන්සල් වෙහෙර, විහාර ආදියට යමින් ආගමික කටයුතුවල යෙදී තුණුරුවනේ ඇල්ම බැලීම් ආරක්ෂාව අපේක්ෂා කරති.

අවුරුද්ද අප්‍රේල් මාසයේ ය. අප්‍රේල් මාසය චන්ද්‍ර මාස ක්‍රමයෙන් බක් මාසය නම් බක් යනු බග් සහ වචනයෙන් පහසුවට ව්‍යවහාර වන වචනයකි. බග් යනු භාග්‍යවත් අර්ථයය. වෙළේ පැලේ කුඹුරේ හේනේ එකොළොස් මාසයක් කටයුතු කරමින් සතුටින් ජීවත්වන්නට පිරිස එකතු වනුයේ බක් මාසයේ ය. පිට පළාත්වල රැකියාව කරන්නෝද අප්‍රේල් මාසයට ගම රට එති. අස්වනු කපා ගෙට ගෙන ඇත. කාටත් පුදුම සතුටකි. තුරුලිය මල් වලින් බරය. එරබදු මලින් පරිසරයම නැහැවෙයි. අඹ, කජු එමටය. කොහාගේ මිහිරි නාදය නිරතුරු ඇසේ. විහඟුන් ගීත රාවය කන් පිනවයි. වසන්ත ශ්‍රීයෙන් නැහැ වී ගිය මේ කාලය මහත් සතුටින් ඉපිළෙන ජනතාවට උත්සව සැණකෙළි කරන්නට කාලයයි. එහෙයින් මුළු රටම සැණකෙළි, උත්සව පවත්වති.

අවුරුද්දේ උත්සව අතර අපේ ජාතික අනන්‍යතාවය මේ යැයි කිව හැකි ජාතික කෙළි සෙල්ලම් ඉදිරියට එයි. බොහෝ ජාතික කෙළි සෙල්ලම් ඉදිරියට එන්නේ මේ වකවානුවේ ය.

පංච දැමීම, රබන් ගැසීම, පොල් ගැසීම, මුදු කිරීම, කජු ගැසීම, අං ඇදීම, පොර පොල් ගැසීම, දුනු ගැසීම, නෙරංචි ඇදීම, දාම් ඇදීම, චක්ගුඩු පැනීම, කට්ටි පැනීම, සෙක්කු පැදීම, පන්දු ගැසීම, ඔන්චිලි පැදීම, එළුවන් කෑම, මේවර සෙල්ලම්, ඔළිඳ කෙළිය, දිග කෙළි, කළගෙඩි සෙල්ලම්, කඹ ඇදීම, ලණු ඇදීම, එල්ලෙ ගැසීම, කොට්ට පොරය, හැංගි මුත්තම්, ගල් කිරීම, මල් නෙළීම, ලිස්සන ගසේ යෑම ආදී රාශියක් ක්‍රීඩා අපේ අවුරුදු සමයේ දක්නට ලැබේ. අන්‍යොන්‍ය සහජීවනය, එකමුතුකම, මිත්‍රත්වය, සුහදත්වය වර්ධනය කරමින්, ශාරීරික සංවර්ධනයත් මානසික සන්තුෂ්ටියත් ළඟා කරදෙන, ජාතියේ අනන්‍යතාවය ලොවට කියා දෙන මේ සදාකාලික උරුමය අප රැක ගත යුතු වන්නෙමු.

ලැබූ වර්ෂයේ කටයුතු හොඳින් ඉටුවනු පිණිස සියලු කටයුතු නැකැතට කිරීම අවුරුද්දේ වැදගත් ලක්ෂණයයි. කොටින්ම අවුරුද්ද යනු එහෙම පිටින්ම නැකැත් උළෙලයි. ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයෝ මිනිස් ජීවිතයේ වැදගත් සියලු කටයුතු ගැන ශුභ නැකැත් සකස් කරයි. වැඩ අත්හැරීම මේ වේලාවේ කළයුතු යයි පෙන්වමින් වැඩ ඇල්ලීම මේ වෙලාවේ කළ යුතු යැයි අන්තිම මිනිත්තුව දක්වා ගණන් බලා ඡ්‍යොතිෂවේදීන් නැකැත් දෙති.

ලිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, ස්නානය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්වීම ආදී ජීවිතයේ ඉතා වැදගත් ක්‍රියාකාරකම් ආරම්භයට ඉතාම සුදුසු වේලාව නැකැත ජනතාව ඉහළින් ගරු කරති. දුගී පැල්පතේ සිට ඉහළ රජ මැදුර දක්වා ලොකු කුඩා සෑම තරාතිරමක නිවසකම, එසේම සෑම පුද්ගලයකුට දිවිමග අවශ්‍ය කටයුතු ආරම්භය ශුභ මුහුර්තියට කිරීමට අමතක නොකරති. නැකැතට කරගත නොහැකිවුවහොත් මුළු වර්ෂයම මහ මූසල සේ ඔවුහු සලකති.

ගෙදර දොර පිරිසුදු කොට, අලුත් වස්ත්‍ර ඇඳ, අලුත් හාල් වළං මුට්ටිවල, අලුත් බත් උයා, කවුරුත් සමඟ එකට කා බී සතුටුව මාපිය ගුරු දෙගුරු සැමට බුලත්හුරුළු දී වැඳ සමාව ලබමින් ගෞරව කරමින් අන්‍යොන්‍ය සුහදතාව, ඥාතිත්වය, හිතවත්බව වර්ධනය කරන මෙවන් උත්සවයක් ලෝකයේ කෙබඳු රටකවත් නැත. දෙමාපිය, දූ දරු, සහෝදර හා හිත මිතුරු, ගිහි පැවිදි ගුරු සිසු ආදී සමස්ත ජන සමාජයේ කොයි කවුරු සමඟත් සබඳතා අලුත් වෙමින් නැටුම්,ගැයුම් හා පී‍්‍රතියෙන් එකා වන්ව ජීවත්වීමේ මහා ශක්තියක් අවුරුද්ද තුළින් උදාවෙයි. පැරණි බිඳී ගිය සබඳතා යළි ගොඩ නඟා ගන්නට අන්‍යොන්‍ය සහජීවනයෙන් අලුත් ජීවිත ගත කරන්නට අවුරුද්ද කදිම අවස්ථාවකි.

ශුභ නැකැතට මුල් තැන දුන් අවුරුද්දේ සියලුම චාරිත්‍රවාරිත්‍ර ලක්ෂණ, ගුණගරුක යහගුණ සමාජයක් කරා යොමුකරවන අතර ඒ සම්ප්‍රදායික ලක්ෂණ ගරු කළ යුතු ය. ඒහෙළා දැකීම හෝ අස්වනු කරපින්නාගත් ලක්ෂණයන්ගෙන් සමන්විත කරගත යුතු නොවේ. ජාතියේ අනන්‍යතාවය පෙන්වන හෙළියේ මහා මංගල්‍යය නොකෙලෙසී උතුම් ගුණ සුරැකෙමින් ඉදිරියට පැවතිය යුතු ය.

 

 

කලාභූෂණ, ශාස්ත්‍රදීපන, සාහිත්‍ය කීර්ති, ආචාර්ය

සිරිපාල මාදුවගේ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.