දහ අට සන්නිය නටන සන්නි යකා උපන් හැටි

අප්‍රේල් 29, 2022

අපේ රටේ පවත්නා ශාන්ති කර්ම රාශිය අතර දහඅට සන්නිය වැදගත් තැනක් ගනී. සන්නි යකුම නම් වූ මෙය පහතරට බලිතොවිල් අතර ප්‍රධාන තැනක් ගනී. සබරගමු පළාතේ ද සන්නියකුම වඩාත් දැකිය හැකි ය. මේ ඒ පිළිබඳ පැවත එන විශ්වාසයන් පිළිබඳ කතා පුවත වේ.

දඹදිව විශාලා මහනුවර සිටි ප්‍රබල රාජ පරම්පරාවක් ලෙස ලිච්ඡවි රාජ පරම්පරාව සැලකෙනවා. ලිච්ඡවි රාජ්‍ය පාලනය කාහටත් ආදර්ශයක් වූ අතර ඔවුහු සප්ත අපරිහානීධර්ම ගරු කළා. මේ රාජ පරම්පරාවේ සංඛපාල රජතුමා හා ඔහුගේ දේවිය ආයුපාල බිසව රට හොඳින් පාලනය කරගෙන සාමකාමී දියුණු රාජ්‍ය පාලනයක් ගෙන ගියා.

ද්වන්ධ යුද්ධය

මේ අතර ආසන්න කුරු රටේ රජතුමා බල තණ්හාවෙන් විශාලා මහනුවර අල්ලා ගන්නට ලිච්ඡවිය සමඟ යුද්ධයට සූදානම් වූවා. සංඛපාල රජතුමා සිවුරඟ සේනා පිරිවරා කුරු රට රජු සමඟ සටන් කිරීමට ගියා. රජතුමා වහ වහා කටයුතු කළ නිසා බිසව සමඟ නිසිලෙස කතා කරන්නටවත් හැකිවුණේ නැහැ. බිසවට රජතුමාට කියන්නට කාරණාවක් තිබුණා. ඒ තමන්ගේ කුසේ දරුවකු පිළිසිඳ ගෙන ඇති බවයි. එය රජුට කියන්නට නොහැකි වීම ගැන බිසව කණගාටුවෙන් සිටියේ. මේ ගැන කීවා නම් රජතුමා බොහොම සතුටුවෙලා යුද්ධයට යාම පරක්කු වෙන්නත් ඉඩ තිබුණා. එහෙම වුණා නම් සතුරු හමුදාව රට තුළට කාවදින්නත් ඉඩ තිබුණා යන අදහසත් යුද්දෙ දිනල ආපුවහම මේ ප්‍රවෘත්තිය කීමෙන් රජතුමා වඩාත් සතුටුවේය කියන අදහසත් ඇයට පැණ නැගුණා.

මී අඹ දොළදුක

මේ අතර ආයුපාල දේවියට මී අඹ කෑමට දොළදුකක් ඇති වුණා. මේ වකවානුවේ මොන ම අඹයක්වත් නැහැ. බිසවට දොළදුක සංසිඳුවා ගැනීම අවශ්‍යයි නේ. මේ වෙලාවේ රජතුමාවත් හිටිය නම් කියල බිසව කල්පනා කළා. මහ ඇමතිතුමාට කියල බලන්න ඕන කියල එතුමාට කාරණාව කිව්වා. අඹ නැති කාලයක් බව කියූ ඇමැතිතුමා මී අඹ ගෙඩියක් ගේන්න රටපුරා අණ බෙර යැව්වා. ඔහුට මසුරන් දහසක් දෙනවා කියලා. බොහොම ඈත පළාතක අකලට පලගත්ත මී අඹ ගෙඩියක් එක් මිනිහෙක් ගෙනත් දුන්නා.

මී අඹ ගෙඩිය කෑමට සූදානම් වන විටම දුප්පත් කාන්තාවක් ඇවිත් බිසවට කියනවා මට මී අඹ කන්න දොළදුකක් තියෙනව. ඕක දෙන්න කියලා. කොච්චර පෙරැත්ත කරත් බිසව මී අඹ කෑල්ලක්වත් දුන්නේ නැහැ. මම ඕකට පළිගන්නවයි සිතමින් බොහොම කෝපයෙන් ඒ කාන්තාව ආපසු යන්න ගියා.

නොකළ වරදට දඬුවම්

යුද්ධයෙන් දිනල එන සංඛපාල රජ්ජුරුවන් මුණ ගැහෙන මේ කාන්තාව රජතුමා යුද්ධයට ගිය කාලෙ බිසව මහ ඇමැතිත් එක්ක සම්බන්ධවෙලා දරු ගැබකුත් හටගෙන කියල කියුවා. රජතුමා එය විශ්වාස කළේ නෑ. ඒ කාන්තාවට බැණ වැදිල රජතුමා මාලිගයට යන කොට බිසව ඉදිරියට ආවා, රජතුමා පිළිගන්න. ගැබ්බර එතුමිය දුටුවාම රජු කල්පනා කළා අර ස්ත්‍රිය කීවේ ඇත්තක් ද කියලා. බිසව පැත්තට තල්ලු කළා. වචනයක් වත් කතා කළේ නෑ. බිසවට පුදුමයි. දැන් වධකයින් ලවා බිසව මරවන්නයි සූදානම. මං නැති අතරෙ අනාචාරෙ හැසිරෙච්ච තිට දඬුවම් දෙන්න ඕන. බිසව තමන්ගේ නිර්දෝෂි බව කීවත් රජතුමා ඇය මරන්නම නියෝග කළා. සොහොනේ ගහක අත් දෙකෙන් එල්ලල ශරීරය කෑලි දෙකකට කැපුවා. රජුගේ දුෂ්ට තීන්දුවට පරිසරයම කම්පා වුණා.

රාජ මුළු උපත

අහස කළු කරලා චණ්ඩ මාරුත හමනවා. ගහේ එල්ලිල තිබුණ කොටස බිමට වැටුණා. බිම කොටස සමඟ හා වුණා. දැන් මිය ගිය බිසවගේ සිරුරෙන් බිහිවීමට සිටි දරුවා බිහි වුණා. ඒ දරුවා කිරි උරා බීවා. කිරි ඉවර වුණාම බිසවගේ ශරීරයේ මස් කනවා. අමු සොහොනෙ මළමිනී කන්න පටන් ගත්තා. මහා නපුරු යක්ෂයෙක්. රාජ මුළු සන්නි යක්ෂයා කියලා එයා හැඳින්වුණා. කල් යද්දී මොහුට තේරුණා තම පියාගේ නපුරුබව. නිරපරාදෙ අම්මා මැරූ පළිය ගන්නවා කියල විෂ ගුළි දහ අටක් හැදුවා. ශක්‍ර දෙවි ඒ විෂ ගුළිවල බලය නැති කළා. රාජ මුළු සන්නි යක්ෂයා ඒ විෂ ගුළි නපුරු යක්ෂයින් දහ අටක් බවට පත් කළා. ඒ අය තමයි දහ අට සන්නි යක්ෂයින් වුණේ. මේ අය මහා බලවත්.

තුන්බිය

රාජ මුළු සන්නි යක්ෂයා ඒ සන්නි සමඟ තාත්තාගෙන් පළිගන්න විශාලා මහනුවරට ගිහිල්ලා තුන්බිය ඇතිකළා. මුළු විශාලා මහනුවර මහා අමු සොහොනක් බවට පත් කළා. අමනුෂ්‍ය භය, රෝග භය, මරණ භය හැම එකක්ම බුදු හාමුදුරුවෝ වැඩල රතනසූත්‍රය දේශනා කරල සන්නි යක්ෂයින් මෙල්ල කළා. මනුස්ස ලෝකෙ ඉන්නේ නැතුව සක්වල ගලෙන් එහාට යන්න කීවා. දහ අට සන්නි යක්ෂයො කීවා, අපට මිනී මස් කන්න අවසර දෙන්න කියලා. බුදු හාමුදුරුවො කීව එහෙම දෙන්න බෑ කියලා කිව්වා.

දොළපිදේනි

එහෙ ඉඳගෙන මිනිසුන්ට ලෙඩ කරල දොළ පිදේනි ලබා ගැනීමට අවසර ඉල්ලුවා. බුදුහාමුදුරුවෝ යක්කු ගැන අනුකම්පා කළා. නිහඬව හිටියා. ඔවුන් මිනිසුන් ලෙඩ කරවල දොළ පිදේනි පුද පූජා ලැබුවාට පසු මිනිසුන් සුවපත් කරන්න වුණා. තනි මංසලක, දෙමංසලක, තුන්මංසලක, අමු සොහොනක, නාන තොටක, රදා තොටක ආදී නොයෙක් තැන්වල දී මිනිසුන්ට බැල්ම හෙළා ලෙඩ කරවනවා. කෙම්මුර දවස්, ජාම වෙලාවල්වල මේ කටයුතු වැඩිය සිදුවෙනවා. එහෙම ලෙඩ කළවිට සන්නි යකුම තුළින් දොළ පිදේනි දීම සිරිතයි. මොවුන් ඒවා භාරගෙන ඒ මිනිසුන් සනීප කරවනවා. සන්නි යකුමේ ලෙඩ රෝග කරන ස්ථාන හා වෙලාවල් කියැවෙයි. රාජමුළු සන්නි යක්ෂයා විසින් විෂ ගුලි මවා යක්ෂ බලය දුන් ඒ යක්ෂයන් දහ අට දෙනා හෙවත් දහ අට සන්නිය 1. භූත සන්නිය, 2. අභූත සන්නිය, 3. වෙඩි සන්නිය, 4. වාත සන්නිය, 5. කොර සන්නිය, 6.බිහිරි සන්නිය, 7. පිත් සන්නිය, 8. කහ සන්නිය, 9. ගොලු සන්නිය, 10. කෝල සන්නිය, 11.දෙමළ සන්නිය, 12. මුර්තු සන්නිය, 13. ගුල්ම සන්නිය, 14. ජල සන්නිය 15. අමුක්කු සන්නිය, 16. නාග සන්නිය, 17. දේව සන්නිය, 18. ගිනිවිලි සන්නිය යනුවෙන් කියැවේ.

මේ දහ අට සන්නි යක්ෂයන් ඇතැම් තන්හි 1. භීත 2. භූත 3. ඔල්මාද 4. කාල 5. ජල 6. දේව 7. දෙමළ 8. නාග 9. බිහිරි 10. මරු 11. වාත 12. අභූත 13. ඇවුලුන් 14. වෙවුලුන් 15. ගුල්ම 16. වෙඩි 17. කහ 18. ගිනි යනුවෙන් නම් කෙරේ.

සන්නි යකුන්ගේ උපත ගැන කියැවෙන තවත් කථාවක සන්නි දහ අටේ ප්‍රධානියා කෝල සන්නි ලෙස හැඳින් වෙයි. කෝල සන්නි යනුවෙන් හැඳින්වෙන්නේ ද රාජ බුධ සන්නිය යි.

කලාභූෂණ, ශාසන දීපන ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.