ඇස්වහ, කටවහ, හෝවහ භංග කරන කෙම්

අප්‍රේල් 29, 2022

“හපොයි එයා ඇස් වහකාරයා

එයාට පේන්න මුකුත් කරන්න එපා”

ඇස් වහ, කටවහ, හෝවහ ගැන විශ්වාසයක් එදා මෙන්ම අදත් ජන සමාජයේ වන්නේ ය. “හපොයි එයා නම් ඇස්වහ කාරයා එයාට පේන්න මුකුත් කරන්න එපා”. එයාගෙ කටින් කීවොත් ඉතින් විනාශය තමයි”. “හපෝ එයා සුසුම්ලාපු හැටියට සිද්ධ වෙන්න මහ විනාශයක්මයි” මේ ආදි කියමන් ඇසෙන්නට පුළුවන. මේ ලෙස යමක් දෙස බලා සිටීමෙන් ඇතිවන අයහපත, විනාශය ඇස්වහය. යමක් දෙස බලා ඉන් තමන් තුළ ජනිත හැඟීම් මුවින් පළ කිරීමෙන් ඇතිවන අයහපත, විනාශය කටවහය. හෝවහ යනු යමක් දෙස බලා සුසුම් ලෑමෙන් වන අයහපත, විනාශයයි.

ඇස්වහ, කටවහ, හෝවහ අපේ ජන සමාජයේ බෙහෙවින් විශ්වාස කරන්නකි. ඇස්වහ “හාපෝ එයා ඇස්වහ කාරකය. දරුවා නම් පොඩ්ඩක්වත් පේන්න තියන්න එපා. ගෙට ගනින්. එසේ නැත්නම් බලපල්ලකො මගේ කොස් ගහේ ගෙඩි දෙකයි. තුනයි ඒකට අර ගෑනිගෙ කොස් ගහ බිලිං ගහ වගේ ගෙඩි පිරිලා.” යි යම් කෙනෙක් තවත් කොස් ගහක ඵලදාව ගැන කියනු ඇත. ඔය ගොල්ලන්ගෙ කෙසෙල් කැන හොඳට පිරිලා. අනේ යසයි. ලොකු ගාණකට දෙන්න පුළුවන් ඒකට අපේ පඳුරෙ එන්නෙම කීඩැරි කෙසෙල් ගෙඩි නේ” මේ ආදි ලෙස ඇස් වහ කටවහ ගැන කියැවෙයි.

ඇස්වහ කටවහ සඳහා පහසුවෙන්ම ගොදුරු වන්නේ ළදරුවන් සහ රූමත් තරුණියන් බවට ද මතයක් පවතී. ඇස්වහ නිසා රූමත් තරුණියන් කැතවන අතර ළදරුවන්ගේ සිරුර පුරා ඇස්වහ බිබිළි දමන බවත් ළපටි, ලාමක, ලද බොලඳ දෑ වැඩි වශයෙන් ඇස්වහ කටවහ සඳහා ගොදුරු වන බවත් ගැමියා විශ්වාසය කරයි. ඊට අමතරව බවබෝගවලින් තක්කාලි, පුහුල්, කෙසෙල් ආදියට වැඩි වශයෙන් ඇස්වහ වදින බවත් මේවායේ ඇති මෘදු බව එයට හේතුව ලෙසත් ඔවුන් සළකයි. මෘදුබවින් වැඩි දේ සඳහා ඇස්වහ වැදීම වැඩි බවටත් රළු දේ සඳහා ඇස්වහ වැදීම අඩු බවටත් ගැමියන් අතර විශ්වාසයක් පවතී.

ඉහත කී පරිදි ඇස් වහ කටවහ වැඳී නාස්තියක් වන බව ගැමියා සිතයි. කොස් ගහේ ඵලදාවට හූල්ලන කල පහුවදාට ගෙඩි ටික බිම තිබේවි යැයි හේ සිතයි. කෙසෙල් පඳුරු බිම වැටී විනාශ වන බව අදහස් කරයි. ‘ඇස්වහ වැදිල ම යි’ තිබුණු ගෙඩි මේ පාර කුණු වුණේ. හුළඟවත් නැතිව ගෙඩි බිමට වැටුණු බව අදහස් වෙයි.

කටවහ

කටවහ විශ්වාස කරන ගැමියා කාගෙන් හෝ එබඳු යමක් වූ විට “තුඞ විතරක් නොදකින්. මේකගෙ කට” කියමින් කාරා කෙළ ගැසීමෙන් ඒ ඇස්වහ කටවහ නොවදින බව ගැමියා අදහස් කරයි.

ගමේ ඇස්වහ

කටවහ ඇති අය හොඳින් හඳුනන නිසා පුළුවන් තරම් ඔවුන්ගේ ඇහැට ගොදුරු නොවන සේ කටයුතු කිරීමට සලසයි. පුංචි දරුවා වහාම ගෙට ගෙනියයි. ගහේ ඵලදාව පුළුවන් විදිහකින් වසා තබයි.

අලුතින් ගෙයක්, ගොඩනැගිල්ලක් සාදන විට හැකි තරම් වටේ ම අසුරා කරන්නේ අනිකා ගේ ඇස්වහ කටවහට ලක්වේ යැයි හැඟීමෙනි. ඇස්වහ – කටවහ වළක්වා ගැනීමට එසේ අනිකාගේ ඇසට නොපෙනී කිරීම එක් ක්‍රමයකි.

තවත් විටෙක පඹයකු සාදා කාටත් පෙනෙන සේ දර්ශනය කරයි. යක්ෂ මුහුණක රූපයක් තබයි. කවුරු මොනවා හෝ අයහපත් දෙයක් කීවොත් ඇස්වහ – කටවහ නොවදින බවත් මිනිසෙක් මෙතැන සිටිනවා යැයි බියෙන් කුරුල්ලන්, වල්සතුන් නොපැමිණෙන බවත් අදහස් කෙරේ.

අං සහිත මීහරක් හිස් කබලක් ලීයක ගසා හේන මැද සිටුවීම ද ක්‍රමයකි. විවිධ ඖෂධ මිශ්‍ර කර දුම් ඇල්ලීම ද ඇස්වහ – කටවහ පිළිබඳව කෙරේ.

පොඩි දරුවන්ට ඇස්වහ – කටවහ වැදී ඇතැයි අදහස් කරන කල කපුටන් නාන තැනකින් වතුර ගෙනැවිත් දරුවා නාවයි.

සමහර මවුවරු උදේ පාන්දරින් දුම්රිය එන්ජිමෙන් බේරෙන වතුර ගෙනැවිත් දරුවා නෑවීමෙන් ඇස්වහ – කටවහ වැදී සෑදී ඇතැයි සැලකෙන දරුවාගේ විසප්පු ගෙඩි, බිබිලි ආදිය සුව කර ගැනීමට ක්‍රියා කරයි.

අලුයම කපුටන් හැඬලීමට පෙර කථා නොකොට අලුත් කළයකින් ළිඳෙන් වතුර ගෙන දරුවන් නාවයි.

එදා සිට අද දක්වාම මේ උපද්‍රවයෙන් බේරීම සඳහා සිදු කරන කෙම් ක්‍රමයක් ලෙස උදේ පාන්දර කපුටන් හැඬීමට පෙර පිරිසුදු වතුර භාජනයකට ඉතිපිසෝ ගාථාව 108 වරක් හා “සබ්බපාපස්ස අකරණං ගාථාව“ 108 වරක් මතුරා මුහුණකට සේදීම, බීමට ගැනීම, පුද්ගලයාට, ගෙදර දොරට මෙන්ම ව්‍යාපාරික ස්ථානයන්ට ඉසීමෙන් ද ඇස්වහ කටවහ දෝෂයන් දුරු වන බව පැවසේ.

ආචාර්ය සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.