ශ්‍රී පාද වන්දනා සමය

කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි
පෙබරවාරි 3, 2023

 

ශ්‍රී පාද වන්දනා සමය යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. ඒ නිමිත්තෙන් සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවයි. පසුගිය ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමෙන් අනතුරුව සධාතුක කරඬුව සුමන දෙවියන්ගේ දේව ප්‍රතිමාව හා දේවාභරණ පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල ඓතිහාසික ශ්‍රී පාද රජමහා විහාරයේ පිහිටි ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කෙරිණි. එම සධාතුක කරඬුව ඇතුළු දේවාභරණ රැගත් පෙරහර සුබ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරයෙන් පිටත්ව ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරයි. පැවතෙන චාරිත්‍රවලට අනුව සධාතුක කරඬුව දේව ප්‍රතිමාව හා දේවාභරණ රැගත් පෙරහර තුනක් පිටත්වේ.

 

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ නැකතින් ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කෙරේ. ශ්‍රී පාදස්ථානාධිපති හිමි ඇතුළු සංඝරත්නය විසින් ප්‍රථම ශ්‍රී පාද පද්ම පූජාව පවත්වා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රී පාද උඩමළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී පාද සමය ආරම්භ වෙයි.

ශ්‍රී සම්බුද්ධත්වයෙන් අටවන මස වෙසක් පුර පසළොස්වක පොහෝ දින මණි අක්ඛිත නා රජුගේ මැණික් පුටුව නිසා ඇති වූ ආරවුල විසඳන්නට තෙවනවරට මෙරටට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සමනල කඳු මුදුනේ සිරිපා සටහනක් තැබූ බව මහා වංශයේ සඳහන් වේ. ඒ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. අටකුරා සියත් හෙවත් එකසිය අටක් වූ මංගල ලකුණින් ශ්‍රී පාද පද්මය සටහන් තබා ඇති අතර ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගැනීමට ඈත අතීතයේ සිට එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සංඛ්‍යාව ද බොහෝය. උඳුවප් පොහෝ දිනය ලබන්නට පෙර ශ්‍රී පාද විහාරස්ථානයේ පැවැත්වෙන තුන්තිස්පැයේ පරිත්‍රාණ ධර්ම දේශනයක් ද වෙයි.

සමන් දෙවියන් වැඩම කරවන පෙරහර සිරිපා මළුවට ළඟාවීමෙන් පසු ශ්‍රී පාද පද්මය සුවඳ වර්ග මුසු පැනින් දෝවනය කර සඳුන් පැඟිරි ඉසීමෙන් පසු සමන් දේව මන්දිරය ද සුවඳ පැනින් පිරිසුදු කෙරේ. මේ සියල්ලෙන් පසුව සධාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ තැන්පත් කිරීම සිදුකෙරේ. ඉන් අනතුරුව විශේෂ බුද්ධ පූජාව හා දේව පූජාව පවත්වා මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කෙරේ. පසුව කපු මහතා විසින් කරනු ලබන දේවයාතිකාවෙන් පසුව සිරිපා මළුවේ දොළොස්මස් පහන දැල්වීම සිදුකොට වන්දනා සමයේ කටයුතු ආරම්භ වේ. සිරිපා කඳු වැටිය, සමනලගිරි, සමන්තකුට, ශ්‍රී පාද කන්ද ශ්‍රී පාදස්ථානය ආදී නම් රැසකින් හඳුන්වනු ලබන ශ්‍රී පාද අඩවියට නුවරඑළිය රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට මැදිවී ඉතා සුන්දරත්වයෙන් යුතුව පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ සිවු දිසාවන්ට ගලායන මහවැලි, කැලණි, වළවේ සහ කළු යන ගංගාවල පෝෂක ප්‍රදේශ ලෙස සලකනු ලබන්නේ ශ්‍රී පාද අඩවියයි. දඹදෙණියේ රජ කළ දෙවන පැරකුම්බා රජු විසින් ඉදිකරන ලද මහ සමන් දේවාලය හා ශ්‍රී පාදස්ථානය අතර ඇත්තේ මනා සබඳකමකි. සිරිපාද සමය ආරම්භ වී මාස හයක්ම බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවන මෙම පූජනීය ස්ථානය බෞද්ධ හින්දු කතෝලික හා මුස්ලිම් ආදී සෑම ජනකොටසක්ම වැඳ පුදා ගන්නා මහඟු පූජනීය ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට අඩි හත්දහස් අටසිය හැටක උසකින් පිහිටි සමන්තකූට පර්වතයට අමතරව බෑණා කන්ද මොල්ලිය කන්ද හා දෙවන ගල ද වේ. ලොව දීර්ඝතම වන්දනා සමය ඇරඹෙන ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන බැතිමතුන් වෙන කිසිදු වන්දනාවකට සහභාගි නොවන තරම්ය. සුමන සමන් දෙවිඳු ශ්‍රී පාදය වන්දනා කරන අයුරු සැළලිහිණි සංදේශයේ මෙසේ වර්ණනා කර ඇත.

 

සුරරද සමන් සමඟින් සුරඟන එව ර

පැහැනද මදාරා පරසතු මල් පත ර

කරපුද වඳින රැඳි මුණි සිරිපා තඹ ර

සකි සඳ පෙනේ සමනොලගල නැඟෙනහි ර

 

මනහර දියඇලි සමූහයකින් අගතැන්පත් වූ සමනල අඩවිය තලගම ඇල්ල, මානාකැති ඇල්ල, ඌරතැල්ල, ඇය ඇල්ල, ලක්ෂපාන ඇල්ල, ඇබර්ඩීන් ඇල්ල, බෝසත් ඇල්ල, පුවක් මල් ඇල්ල, ආදී ප්‍රධාන දියඇලි සමඟ දියඇලි දහයකට වඩා පවතී. අඩවියේ උසම දියඇල්ල ලෙස සැලකෙන්නේ මාපලාන හෙවත් මාපනාන දිය ඇල්ලයි. එහි උස මීටර් එකසිය හතළිස් එකක් වන අතර එය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති උසම දිය ඇල්ලයි.

මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර හෝර්ටන් තැන්නට මායිම්ව පිහිටා ඇති සමනල අඩවිය සීත ගඟුල, හැරමිටිපාන, ඉඳිකටුපාන, ලිහිණිහෙළ, අහස්ගව්ව, ගිලීමලේ, මහගිරිදඹ යන ඓතිහාසික ස්ථාන රැසකින් සමන්විතය. වැසි වනාන්තර අතින් ද විශේෂ වන්නේ ශ්‍රී පාදය තෙත් කලාපීය පරිසරයකින් යුත් ජලපෝෂක කලාපයකට අයත්ව තිබීම යි.

නිරිත දිග මෝසමේ දී මැයි සහ සැප්තැම්බර් කාලයේ දී වැසි ඇතිවන නමුත් කඳුවලින් ඇතිවන සුළං බාධක හේතුවෙන් වැසි ලැබෙන්නේ අන්තර් මෝසම් කාලය වූ මාර්තු අප්‍රේල් හා මැයි යන මාසවලදීය. ජීවිතයේ පළමුවරට වන්දනාවේ යන අය කෝඩුකාරයන් නමිනුත් ප්‍රථම වතාවට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියන් දඬුකෝඩු නමිනුත් කුඩා දරුවන් කිරිකෝඩු නමිනුත් හැඳින්වීය. වන්දනා ගමනට යන කෝඩු කාරයින් ඉඳිකටුපානේ සිට ඉඳිකටුවකට නූල්බෝලයක් අමුණා එය අවසන්වනතාක් සමනල කඳු මුදුනට රැගෙන යා යුතු ය. ඉතිරි වන නූල් සහ ඉඳිකටු තවත් නඩයක ප්‍රයෝජන සඳහා ගෙත්තම් පානේ ගස්වල දවටා යෑම සිරිතකි. ගෙත්තම් පානෙන් පසුව හමුවන්නේ හැරමිටිපානයි. මෙහිදී කෝඩුකාරයින් හැරමිටියෙන් එන වන්දනාකරුවන් කැලයෙන් හැරමිටි කපා පූජා කරති.

පසුව ඇහැල කණුවත් සුළං කපොල්ලත් පසුකර මහගිරිදඹට නැග උඩමළුවට ළඟා වේ. උඩමළුවේදී සිරිපා පද්මයට මල් පූජා කරයි. ඉන් අනතුරුව දොළොස්මහේ පානට තැඹිලිතෙල් පොල්තෙල්වත් කරමින් තමන්ටත් වන්දනා නඩයටත් ජීවිත ඒකාලෝක වේවායි ප්‍රාර්ථනා කරති. දෙවියන්ට පුද පූජා පවත්වා සිරිපා මළුවේදී දෝතල හා රන්දෝතල පූජා ද පවත්වති.

ශ්‍රී පාද වන්දනාවේ ගිය පැරන්ණෝ් එයට ආවේණික වූ රසකැවිලි ද රැගෙන ගියහ. අග්ගලා මෙහිලා ප්‍රධාන රසකැවිල්ලකි. එය තෙල් බැදුම්වලින් තොරවූ කවුරුත් පි‍්‍රය කරන කෑමකි. අග්ගලා සීතලට ද ඔරොත්තු දෙන කෑමකි. දහවල් කාලයේ පවතින තද හිරු රශ්මිය නිසා සිරිපා කරුණා කරන්නේ රාත්‍රී කාලයේ දීය. බොහෝ විට එලෙස සිදු කරනු ලබන්නේ උදෑසන මළුවේ සිට ඉර සේවය බැලීමේ අවස්ථාව උදාකර ගැනීම සඳහාය. මළුවට පැමිණෙන සියලුම බැතිමතුන් පඬුරු පූජා කරමින් ශ්‍රී පතුලට වැඳ නමස්කාර කරමින් සිපාචාර කරති. මළුවේ පිහිටි ඝණ්ඨාරය කිරිකෝඩු අය නාදකිරීමෙන් වැළකී සිටිති. අනෙකුත් අය ඝණ්ඨාරය නාද කරනු ලබන්නේ පැමිණි වාර ගණන අනුවය.

 

නගින්න යන මේ නඩේට

සුමන සමන් දෙවි පිහිටයි

නැගල බහින මේ නඩේට

බුද්ධං සරණේ සරණයි

 

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.