ග්‍රහ අපල දුරු කරන නව ග්‍රහ පූජාවක් හරියටම තියන්නේ කොහොමද?

මැයි 27, 2022

 

අද ලියන්නට බලාපොරොත්තු වන්නේ, නවග්‍රහ බෝධි පුජාවක් සිදුකරන ආකාරය සම්බන්ධවයි.

නවග්‍රහ බෝධිපූජාවක් හරියටම තියන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි. පෙර සසරේ කරන ලද කුසල් අකුසල් අනුව මේ අත්භවයේ අපට බලපාන්නා වූ සියලු ග්‍රහඅපල දුරුකර ගැනීම සඳහා අනුගමනය කළහැකි උසස්‌ම ශාන්තිකර්මයක්‌ ලෙස නවග්‍රහයන් උදෙසා පවත්වන ග්‍රහ පූජාව සඳහන් කළ හැකියි. මේ තුළින් අපේ ජීවිතයේ දියුණුව කායික මානසික සංහිඳීයාවට ද අති විශාල සහනයක්‌ ලැබෙනවා. එබැවින් මෙකී ග්‍රහ පූජා නිවැරැදිව පැවැත්වීමෙන් ඔබට එහි ප්‍රතිඵලය ද ඉතා උසස්‌ අයුරින් ලැබිය හැකියි. මෙම නවග්‍රහ බෝධි පුජාව තැබීමට පෙරාතුව අපි දැනගන්න අවශ්‍ය දෙයක් වෙනවා. ඒ තමයි නව ග්‍රහයන් කවුද? ඒ ඒ ග්‍රහයන්ට අදාළ දෙවිවරු කවුරුන්ද? සහ අදාළ වෘක්ෂයන් මොනවා ද? යන්න. ඒ ගැන හරි අවබෝධයක් පළමුව අපි ලබා ගත යුතුයි. අපි පළමු කොට ඒ ගැන සොයා බලමු.

 

 

* රවි ග්‍රහයා:- මහා ඊශ්වර දෙවියන් සහ කතරගම දෙවියන් - ඉඹුල් වෘක්ෂය

* සඳු ග්‍රහයා;- පත්තිනි මැණියන් සහ සුමන සමන් දෙවියන් -දිඹුල් වෘක්ෂය

* කුජ ග්‍රහයා;- කතරගම දෙවියන් - කොළොං වෘක්ෂය

* බුධ ග්‍රහයා;- ශ්‍රී මහා විෂ්ණු දෙවියන් - කොහොඹ වෘක්ෂය

* ගුරු ග්‍රහයා;- මහා බ්‍රහ්ම දෙවියන්,අලුත්නුවර දැඩිමුණ්ඩ බංඩාර දෙවියන් -බෝ වෘක්ෂය

* සිකුරු ග්‍රහයා;- පත්තිනි මෑණියන් - කරද වෘක්ෂය

* ශනි ග්‍රහයා:- ශ්‍රී මහා විෂ්ණු දෙවියන්,මහා බ්‍රහ්ම දෙවියන්,සරස්වතී මැණියන් - නුග වෘක්ෂය

* රාහු:- සිද්ධ සුනියම් ගම්බාර දෙවියන් - වැටකේ වෘක්ෂය

* කේතු ග්‍රහයා;- කතරගම දෙවියන් හා ගණදෙවියන් - කෙසෙල් වෘක්ෂය

 

නව ග්‍රහ පූජාවේ දී ඉහත සඳහන් කළ ග්‍රහයන් හා දෙවිවරු හා වෘක්ෂ පිළිබඳ දැන් ඔබ දැනුම්වත්. දැන් ඉහත සඳහන් වෘක්ෂයන්ට අදාළ අතු රිකිලි 09ක් කඩාගෙන සකසා ගන්න. මෙහිදී ඔබ හොඳීන්ම මතක තබා ගත යුතු කරුණක් තමයි මෙම ගස් වලින් අතු කඩනවිට පළමුව ගසට නමස්කාර කර අවසරය ලබා ගත යුතු බව. ඉන්පසු තමාගේ හිතේ භක්තියෙන් යුතුව මෙම අතු කඩා ගන්න අවශ්‍යයි. මොන දේ වුවත් ස්වභාවධර්මය අපිව ආරක්ෂා කරනවා යන්න අමතක නොකළ යුතුයි. මහා රාවණා පවා එය සිදු කළේ ඒ නිසයි. ඒවගේම සුවඳ හමන මල් ද විවිධ වර්ණයෙන් සොයා ගන්න අවශ්‍යයි. ඔය අතරට වැටකේ මල් ද එකතු කරගන්න. වදමල් ආදිය ගන්න එපා. ඒ වගේම පෙරා ගත් පැන් භාජන 10ක්, මල් මාලා 09ක්, ගිලන් පස භාජන 10ක්, දැහැත් විට 10ක්, බෝධියේ එල්ලීම සඳහා කොඩි 09ක් ද කපුරු, පිනිදිය, හඳුන්කූරු, ලදපස්මල්, බුලත් කොළ 09ක් ද, බෝධි පූජාවකට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සකස් කර ගන්න. එලෙසම බෝධිය දෝවනය කිරීමට පැන් කළ 09ක් ද සකස් කරගන්න.

මෙම කොටස්වලින් එක් පංගුවක් බුද්ධ පූජාව සඳහා වෙන් කරන්න.

මේ සඳහා ඔබ සියල්ල සකස් කර හවස 5.00ට පමණ සුදුවතින් සැරසී පන්සලට ගොස් සංවරව බෝධිය අමදා ඒ කටයුතු සිදුකර සවස 6.00ට පමණ පුජාව තියන්න කාලය කළමනාකරණය කරගන්න.

 

* පළමුව ඔබ බුද්ධ පූජාව පූජා කර මල් ආසනය මත මල් පහන් පූජා කරන්න. ඉන් පසුව මල් ආසනය මත සුදුසු ලෙස ග්‍රහයන් 09 දෙනාට අදාළව කඩා ගත් අතු රිකිලි සකසා ගන්න. මේ සඳහා ඔබ තෝරාගත යුත්තේ ඊශාන දිසාව බැවින් ඔබට එය පන්සල් භුමියේ සකසා ගැනීමට නොහැකි නම් මේ සඳහා ඔබ මේසයක් භාවිතා කරනවා නම් එය ද ගැටලුවක් නොවේ. ඒ ලෙස ඊශාන දිසාවට සකසා ගන්න. ඉන් පසු ග්‍රහයන්ට අදාළ දේව රූප ද ඔබට සකසා ගන්න හැකි නම් එය පිළිවෙළට අදාළ අතු කැබැල්ල ඉස්සරහින් අදාළ දේව රූප ද තැන්පත් කර සකසා ගැනීමට පුළුවන. පසුව බුලත් කොළ 09 ද තැන්පත් කර එම බුලත් කොළ 09 මත පහන් 9 තබන්න. මේ සඳහා පොල්තෙල්වලට අමතරව අබ තෙල්, කපුරු තෙල්, සුදු හදුන් තෙල්, වගේම ගිතෙල් ද යොදා ගෙන එකතු කරගන්න. මැටි පහන්වලට වඩා පිත්තල පහන් මේ සඳහා ඉතා යෝග්‍ය වේ.

 

එලෙසම, ලදපස් මල්වලට පිනිදිය ඉසින්න. පහන් සහ හඳුන්කූරු පත්තු කරන්න. පැන් භාජන 09 සහ ගිලන්පස ආදී සකසා ගත් පුජාවන් පුජා කරන්න. මේ සඳහා මල් සහ ඒ අදාළ මල් මාලා වැටකේ මල් ද යොදා ගන්න.

 

* ඉන්පසුව පළමුව නමස්කාරය කියා පන්සිල් රැගෙන ඉතිපිසෝ ගාථාව කියා,බෝධින් වහන්සේ පැන් කළ 09න් දෝවනය කරන්න. මේ සඳහා ඔරලෝසු කටුව කැරකෙන ආකාරයෙන් වක්‍රාකාරයෙන් ගමන් කරන්න. බෝධිය වටා තෙවරක් පැදකුණු කර දෝවනය කරන්න.

* ඉන්පසුව වෙන දා ඔබ බෝධි පුජාව තබන ආකාරයට කටයුතු කරන්න.

* පසුව දේවාරාධනා ගාථා කියා දෙවියන්ට ආරාධනා කරන්න. මේ සඳහා ඔබට බෝධි පුජා පොත් මඟින් ආරාධනා කවි බලා ගන්න පුළුවන. ඉන් පසුව රතන සුත්‍රය තෙවරක් කියන්න. පසුව නවග්‍රහ ආරාධනා ස්ත්‍රෝත්‍ර සහ නවග්‍රහ වරම සහ ශාන්තිය ගායනා කරන්න.

එලෙසම, පළමුව ශ්‍රී මහා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ කතරගම, ඊශ්වර, සුමනසමන්, පත්තිනි, මහා බ්‍රහ්මයන්, දැඩිමුණ්ඩ, ගම්බාර, සිද්ධ සුනියම්, ගණ දෙවියන්, ප්‍රමුඛ දෙවිවරු සියලුම දෙනාට භක්තියෙන් යුතුව පින් අනුමෝදන් කර නවග්‍රහ බෝධි පුජාව අවසන් කර පන්සලට අටපිරිකරක් පුජා කර අදාළ කටයුත්ත නිමා කරන්න. හැකිනම් විනාඩි 10ක් හෝ භාවනා කිරීමට හැකි නම් ඔබට අවසානයේ දී එය වඩාත්ම ඵලදායක වන්නේය.

එසේනම්, නවග්‍රහ බෝධි පුජාවක් පවත්වන ආකාරය පිළිබඳ ගෙන ආ ලිපිය අවසන්. සියලුම දෙනාට උතුම් වූ බුද්ධ රත්නයේ පිහිටත් ආරක්ෂාවත් සියලුම දෙවිවරුන්ගේ පිහිටත් ආශිර්වාදයත් ලැබේවා!

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.