දත් ගැන ඔබ නොදත් කතා

පෙබරවාරි 25, 2022

කොතරම් ලස්සන රුවක් කෙනකුට පිහිටියත් මුඛයේ දත් නොතිබේනම් කුමන ලස්සනක් ද? එමෙන්ම දත් නිසා කෙනකුගේ මුහුණට අමුතුම අලංකාරයක් ගෙන දෙන අතර ආහාර සැපීම සඳහා ම මහෝපකාරීවන දත් නිරවුල් ශබ්ද උච්චාරණය සඳහා ද අත්‍යාවශ්‍ය වේ. දත් නැතිදා උක්දඬු ගිනි තපින්න ද යනුවෙන් අපේ පැරණි ආත්තෝපදේශයක් ද ඇත. එයින් ප්‍රකාශ වන්නේ දත්වල අගයයි. ජීවිතය පැවැත්මට අතිශය උපකාරිවන දත්වල පැහැය හා පිහිටීම අනුව කෙනකුගේ ජීවන තොරතුරු ද පැවසිය හැකි බව අපේ පැරණි ඍෂිවරු සඳහන් කර ඇත.

පැරණි හා වත්මන් කවීහු ද කාන්තාවන්ගේ දසන් මුතුවලට සමාන කළහ. සුදු පැහැති දත් දෙපළක් හිමි ලලනාවකගේ සුසුදු සිනහව සෞභාග්‍යයේ සංකේතයක් ලෙස ඔවුහු උපමා කළහ. මුතු ඇටවන් දෙතිසක් සමාන දත් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. කරදර බාධාවලින් තොර සතුටින් බර ජීවන ගමනක යෙදෙන එවන් කාන්තාවෝ වාසනාවන්ත දූ පුතුන් ලැබීමේ වරම් ලබන්නාහ.

ඉදිරියට නෙරන ලද දත් දෙපළින් පෙන්නුම් කරන්නේ සදාකල්හිම දුකින් තැවෙන ජීවිතයකි. අසීමිත උනන්දුවකින් තම ඉඳුරන් පිනවා ගැනීමට වෙහෙසෙන ඔවුන් අටලෝදහමින් මහත්සේ කම්පා වන්නීය. නපුරු ගතිගුණවලින් හෙබි එවන් ස්ත්‍රින්ගේ චරිතය ද යහපත් නොවන අතර කිසිම කාර්යයක් ඔවුනට සාර්ථකව කළ නොහැකි ය.

කාන්තාවන් හට විවිධ හැඩයෙන් යුත් දත් පිහිටියේ නම් ඔවුහු හැමවිටම ජීවිතය දෙස බොළඳ දැක්මක් හෙලති. දත් අතර පරතරයක් තිබීම ද අනිටුපල දෙන ලක්ෂණයක් වෙයි. දුක්ඛදායක ලෙස මෙන්ම, නැති බැරිකමින් පීඩා විදින අසහනකාරි චින්තන ශෛලියක් ඇති කාන්තාවක් එමගින් පෙන්නුම් කරයි.

අවුල්වී ගිය අයුරින් පිහිටි දත්වලින් අන් අයගේ ඕපාදූප සෙවීම සඳහා කාලය මිඩංගු කරන ගැහැණියක් පෙන්නුම් කරයි. දහසක් අඩුපාඩුවලින් පිරුන ජීවිතයක් ගතකරන එවැනි ස්ත්‍රිය අනුන්ගේ වැරදි සෙවීමෙන් අපූර්ව වින්දනයක් ලබන්නීය.

ඉදිරිපස දත් දෙක අතර හිදැස් පිහිටා ඇති කාන්තාවකගේ සැමියා අකාලයේ මිය යන බව ඇතැමකුගේ පිළිගැනීමයි. කිසිවකුගේ අපවාදවලට කන් නොදෙන හිතුවක්කාර කාන්තාවට යන්තමින් රතු පැහැගැන්වුණ කුඩා දත් පිහිටන බව කියැවේ. ඕනෑම දෙයකට ආත්මශක්තියකින් යුතුව ඉදිරිපත් වීමේ හැකියාව ඔවුන් තුළින් කැපී පෙනෙයි.

නින්දේදී දත්මිටි කෑම ගැහැණියකට පිහිටිය හැකි ඉතාමත් අශුභ ලක්ෂණයක් වෙයි. එමගින් ඇගේ සැමියාට විපත්ති ළඟා කරදෙන බව පැවසේ. දත් පෙනෙන ආකාරයට සිනාසීම ද කාන්තාවට සුදුසු නොවන බව අපේ මුතුන් මිත්තෝ ද විශ්වාස කළහ. ඒ බව කාව්‍යශේඛරයෙහි සඳහන්වන කවියෙන් ද සනාථ වන්නේ ය.

පෙකණිය නොදක්වා

සළු ඇද බොලට දක්වා

නොපව තන සක්වා

සිනානොමසෙන් දසන් දක්වා

 

සමුද්‍ර ඍෂිවරයා විසින් සඳහන් කර ඇති පරිදි මනා හැඩයෙන් යුත් දත් තිස් දෙකක් පිහිටීම මහා භාග්‍යමත් පුරුෂ ලක්ෂණයකි. දත් තිස් එකක් පිහිටීම ද වාසනාවන්ත ය. දත් තිහක් ඇත්තා මධ්‍යම ප්‍රමාණයේ ධනවතෙකි. දත් විසි නමයක් පිහිටීම අසුබ බවත් දත් විසි අටක් පිහිටීම සුබ බවත් එම ඍෂිවරයා විසින් සඳහන් කර ඇත.

උඩු ඇන්දේ දත් වැඩි ගණනක් පිහිටන්නේ යහපත් ගතිගුණ ඇති අයට ය. යටි ඇන්දේ දත් වැඩි ගණනක් පිහිටන්නේ නම් බන්දු විනාශය විදහාපායි. ඉදිරිපසින් ඇති දත් අතර පරතරයක් ඇති පිරිමින් ඔබ දැක ඇති. එවන් පුරුෂයන්ගේ බිරිඳ ද අකාලයේ මිය යන බව පොදු ජනතාව අතර විශ්වාසයක් පවතී.

කුසීත පුද්ගලයන් හට දුර්වර්ණ ලොකු දත් පිහිටයි. දිවි සටනින් පරාජය හිමිකරගන්නා ඔවුහු දුක්බර ජීවිතයකට ඇබ්බැහිවන්නේ නිරායාසයෙනි. යාචකයන් හට එවැනි දත් පිහිටා තිබෙනු දැකිය හැකිය.

උඩු ඇන්දේ දහසයකුත් යටි ඇන්දේ දහසයකුත් වශයෙන් කිරිපාට දත් පිහිටීම ද ප්‍රශස්ත ලක්ෂණයක් ලෙස සඳහන් වෙයි. ජීවිතයෙන් උපරිම වින්දනයක් ලැබීමේ පින් බලැති එවැනි කාන්තාවෝ කාගේත් හොඳ හිත දිනා ගැනීමට සමත් වන්නාහ.

උඩු ඇන්දේ දත් වැඩියෙන් පිහිටා ඇත්නම් ඇය ධනවන්තියකි. එසේ වුවත් එය දෙපස ඥාතීන්ට අපල ගෙන දෙන්නකි. උඩු ඇන්දට වඩා වැඩි දත් ගණනක් යටි ඇන්දේ පිහිටීම කුමන අංශයකින් වුව ද සුබ නොවේ. අනවපේක්ෂිත ශාරීරික හා මානසිකව ද වේදනාවලට හේතුවනු ඇත.

සිනාසෙන විට විදුරුමස් බොහෝ සේ විවෘතව පෙනෙන කාන්තාවන් ද ඔබ දැක ඇති. එයද අසුබ ඵල දෙන ලකුණකි. සැමියා යටත්කර ගැනීමට වෙර දරන ඔවුහු එනිසාම විවාහ ජීවිතය අසාර්ථක කර ගනී.

තරමක් විශාල දත් පිහිටීම පිරිමියකුට සුබ ඵල ගෙන දෙන්නක් වේ. එය ධනවත්වීමට හා ගව සම්පත් ලැබීමට හේතුවන බව පැරණි ඍෂිවරුන්ගේ මතයකි. නළ දත් ඇති පුද්ගලයා සුහද ඇසුරට සුදුස්සෙකු නොවේ. තම භාර්යාව හා නිතර දබර කර ගැනීම ඔවුන්ගේ සිරිතය. ආත්ම ශක්තිය මෙහෙයවා කටයුතු කිරීමට පසුබට වන පුද්ගලයාගේ දත් තුනී බවක් පෙන්වයි. බොල්ලෑ දත්වලින් දර්ශනය වන්නේ වංක පුද්ගලයෙකි. එය අශුභය. නීති විරෝධි ක්‍රියා කරන එවැන්නෝ තමන් නිර්දෝෂී බව පෙන්වීමට අසාර්ථක ප්‍රයත්නයන්හි යෙදෙන්නෝය. රෝගියෙකු මරණාසන්නව වූ විට යම් යම් ලකුණු අනුසාරයෙන් ඒ බව විනිශ්චය කරනු ලබයි. දත්මුල් කළුවීම ද මරණය පිළිබඳ අනතුරු ඇඟවීමක් බව පැරැන්නෝ විශ්වාස කළහ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.