ජේසු ස්වාමි දරුවාණන්ගේ උප්පත්තිය සනාථ කළ බෙත්ලෙහෙමේ තාරකාව

දෙසැම්බර් 25, 2020

වල්ගාතරුවකට සමාන දස දෙස ආලෝකය විහිදුවාලු අසිරිමත් තාරකාවක් බෙත්ලෙහෙමේ ගවලෙන ඉහළින් ඈත අහසේ බැබළෙමින් පවතී. අතිශයින්ම ශීතල වූ එම රාත්‍රී දොළහට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙලොවට ජනිත වූහ. සාමයේ පණිවිඩය මෙලොවට රැගෙන ආ ඒ අසිරිමත් රාත්‍රියෙහි ජේසු බිළිඳුන්ගේ උපත දිවැසින් දැනගත් ශාස්ත්‍රඥයින්, පඬිවරුන් තිදෙනෙකු පූර්ව දිසාවේ සිට ගමන් ඇරඹූහ. ඔවුන් ඒ සාමයේ කුමරු සොයා පැමිණියේ නිකම්ම නොවේ. පඬුරු ද රැගෙනය. රජකු බව සැඟවීමට රත්රන් ද මිනිසකු බව හැඟවීමට තුවරලා ද දෙවිකෙනෙක් බව හැඟවීමට සුවඳ දුම් ද පඬුරු ද රැගෙන ආහ. මෙසේ ජේසු බිලිඳුන්ගේ උපත සොයා ආවේ ශාස්ත්‍රඥයින් වන කැස්පර්, මෙලකියෝර් සහ බැල්මනසාර් යන තිදෙනාය. අහසේ පායා තිබූ දර්ශනීය තරුවේ ආලෝකය බෙත්ලෙහෙමේ ගවලෙන තුළට දිස්වෙමින් තිබෙනු දුටු මේ ශාස්ත්‍රඥයින් තිදෙනා මහත් සතුටට පත්ව එදෙසට ගමන් කළේ නියත වශයෙන්ම සාමයේ ගැලවුන්කාරයන් වහන්සේ බිහිවී ඇති බව සනාථ කරමිනි.

 

ඒ මොහොත වන විට බෙත්ලෙහෙමේ ගවලෙනෙන් කුඩා බිළිඳකුගේ හැඬීමත් ඔවුන්ගේ සවනට බඳුවිය. ඉන් මහත් සතුටට පත් ඔවුන් ගවලෙනට ඇතුළු වූයේ දරාගත නොහැකි තරම් සතුටිනි. ගවලෙන තුළ මෙලොව එළිය දුටු බිළිඳු දුටු සැනින්ම ශාස්ත්‍රඥයින් ගව ඔරුවේ සිටි ජේසු බිළිඳාට පළමු දින නමස්කාරය කළහ. මේ මොහොත වන විට උදාවෙමින් තිබුණේ කන්‍යා ලග්නයයි. සත්වැන්නේ යෙදෙන ප්‍රබල ග්‍රහයෝග කීපයකි. එය සමස්ත ලෝකයාටම ද ගව පේ‍්‍රමය, කරුණාව දක්වන අයකු බිහිකරන ප්‍රබල යෝගයකි. මේ වන විට පැවැතියේ ඊශ්‍රාලය රෝමයට යටත්ව පැවතීමයි. ටිබැරියන් සීසර් නම් අධිරාජ්‍යයා එහි පාලකයා වූහ. ඔහුගේ නියෝගය මත ජුදා ප්‍රදේශයේ ආණුඩුකාරයා විසින් සියලු වැසියන්ගේ සංගණනයක් කරන ලෙසට නියෝග කර තිබිණි. එම සංගණනයට ඉදිරිපත් වීම සඳහා ජුසේතුමා හා මරියතුමිය බෙත්ලෙහෙමට පැමිණියහ.

ජන සංගණනයට සහභාගිවීමට පැමිණි ඔවුන් දෙදෙනා රෑ බෝවී තිබුණ බැවින් නවාතැනක් සොයා තැන තැන ඇවිද ගියේය. පැවති සෑම ජන සංකීර්ණ ස්ථාන හැම එකක්ම ජනයාගෙන් පිරී පැවතිණ. තවදුරටත් නවාතැනක් සෙවීම පලක් නොවන බව තේරුම්ගත් ජුසේතුමා මරියතුමිය සමඟ අසල තිබූ ගවලෙනකට ඇතුළත් වූහ. පිදුරු කමින් සිටි ගවයින් ඔවුන් දුටු සැනින්ම නිහඬව එහාට මෙහාට ගියහ. ගැබ්ගෙන සිටි මරියතුමියට ගවලෙන තුළදී ප්‍රසව වේදනාව ඇතිවෙමින් පැවතිණ. එය ක්‍රම ක්‍රමයෙන් ද උත්සන්න වෙමින් ද පැවතිණ. එහි ප්‍රතිඵලය වූයේ මරියතුමිය එදින රාත්‍රියෙහි ගව ඔරුව තුළ බිළිඳු කුමරකු බිහිකිරීමයි. මධ්‍යම රාත්‍රී දොළහට එසේ මෙලොවට පහළ වූයේ සාමයේ කුමාරයාණන් වූ ජේසු බිළිඳුන්ය. ඒ සමඟින්ම අහස්කුස මහත් ආලෝකයක් විහිදුවාලමින් පුදුමාකාර තාරකාවක් දිස්වන්නට විය. ලෝකාය බලාපොරොත්තුව සිටි ඒ ගැලවුම් කාරයාණන් මෙලොවට බිහි වී ඇති බව තාරකා නිරීක්ෂකයින් මෙන්ම නක්ෂත්‍රඥයන් ට දැනගත්හ. දෙවි උපතත් සමඟම සුරදූතියන් සුමදුර ගී ගයමින් අහස්කුස පෙනී සිටියහ. ශු මැතිව්තුමාගේ සුභාරංචියට අනුව පෙන්වාදී ඇත්තේ එදින අහසේ පායා තිබු තරුව තුන්වරක්ම පඬිවරුන් දැක තිබූ බවයි. ගී‍්‍රක භාෂාවන් මෙය හඳුන්වා ඇත්තේ ඇනටෝල් යනුවෙනි.

ඡ්‍යොතිෂයට අනුව පෙන්වාදී ඇත්තේ සූර්යයා ලෝක බද්ධ තාරකාවක් ලෙසයි. අහසේ පායා තිබූ මේ පුදුමාකාර තාරකාව අනුව සාමයේ කුමරුගේ බිහිවීම නියම කරනු ඇත්තේ ද ඡ්‍යොතිෂ කරුණු මතයි. ජේසු බිළිඳා බැහැදැක ප්‍රථම නමස්කාරය කිරීමෙන් පසු ජේරුසෙලමට පැමිණියහ. එසේ පැමිණි පඬිවරුන්ගෙන් හෙරෝද් රජු කරුණු විමසූහ. පුදුමාකාර බෙත්ලෙහෙම් තාරකාවෙන් සොයාගත් කරුණ පැහැදිලි කිරීමෙන් යුදයින්ගේ රජුගේ උප්පත්තිය පිළිබඳව සඳහන් කිරීමත් සමඟම හෙරෝද් රජු කැළඹුණි. තමාට වඩා ඉහළින් කිසිවකු නොසිටිය යුතු යැයි යන අධිෂ්ඨානයෙන් යුතුව සාමයේ කුමරුගේ ඉදිරිය ගැන ශස්ත්‍රඥයින්ගෙන් තව තවත් කරුණුූ විමසන්නට වූහ. රජුගේ හිතේ පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා වෛරය තේරුම් ගත් ශාස්ත්‍රඥයින් තිදෙනා රජුගෙන් මිදී වහාම ගොස් ජේසු බිළිඳාව රැගෙන ආරක්ෂිත ස්ථානයකට පලායන ලෙස ශෝසස්ට දන්වන ලදී. ඒ අනුව ජුසේතුමා හා මරියතුමිය ජේසු බිළිඳුන්ට රැගෙන ඈතට පලා ගියහ.

උදහසට පත්ව සිටි හොරේද් රජු ජේසු බිළිඳාව සෙව් නමුත් සොයාගැනීමට නොහැකි වූ තැනේදි ජෙරුසෙලේමේ සිටි අවුරුදු දෙකකට අඩු පිරිමි දරුවන් මරා දැමීමට නියෝග කළේය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තරුණවියේදී තම දේව සේවය සඳහා තෝරාගනු ලැබුවේ ගලීල මුහුදු බඩ පිහිටි කපර්නවුන් (Capernaum) නගරයකි. මෙම නගරය පිහිටා තිබුණේ සිරියාවේ ද මස්කස් නුවර සහ දකුණු ගලීලය සම්බන්ධකරන මාර්ගයේ නගරයකයි. ජේසුස් වහන්සේ තම ඉගැන්වීම් කටයුතු කරගෙන ගොස් ඇත්තේ ද මෙම නගරයේදි බවද සඳහනි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රාතිහාර්ය පෑ රෝගීන් සුවකළ සිනගොජ් (Synagogue) නම් ස්ථානය කපර්නවුම් වන අතර එය දැනට ද වර්තමාන කපර්නවුන් නටබුන් අතර පවතින බව ඓතිහාසික කරුණුවලින් සනාථ වී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ශ්‍රාවකයන් සමඟ එක්ව ශ්‍රාවකයින්ට ධර්මය ඉගැන්වූ සිනගොජ් නැමැති ස්ථානය පිහිටියේ ද මෙහිය. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතය ගැන බැලීමේදී උන්වහන්සේගේ දේශනා හා ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන්වල ප්‍රමුඛස්ථානයට පත්ව ඇත. පාපයට වැටුණු මනුෂ්‍යයන් පාපයෙන් මුදවා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවය ඇතිකරලන්නට උන්වහන්සේ මහත් සේ කටයුතු කළහ.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන කොට කරුණු දෙකක් කිතුදහමෙන් පෙන්වාදී ඇත. සියලු යහපත වූ දෙවියන් වහන්සේට පේ‍්‍රමකරන්නන් අසල් වැසියාට පේ‍්‍රමකරන්නත් යන මෙම කරුණු දෙක කිතුදහම තුළ බැඳී පවතී. ක්‍රිස්තුස් වහන්සේ වැඩ විසූ සිනශොජය ඉතා ශුද්ධ වූ ස්ථානයකි. එහි සිට කරුණු ලැබු දේව සේවය නිසා ජීවිත බොහෝ ගණනක් පාපයෙන් මුදා ගැනීමට හැකි විය. එදා හොරේද් දුෂ්ට පාපතර රජුගෙන් බේරුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය නිසා ලොව ක්‍රිස්තු වර්ෂය ද ආරම්භ වී ඇත. අහසේ පැවති දර්ශනීය අපූර්ව වල්ගාතරුව දුටු ශාස්ත්‍රඥයින් ඒ ගැන විමසා බලා ලොවට සාමය උදාකිරීමට බිහිවී ඇති ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන්ට ශාස්ත්‍රඥයින් ගෙන ගිය මංජුසා විවෘත කර රන්රිදී, කට්ටකුමන්ජල් හා සුවඳලාටු හා ත්‍යාගයන් ද ප්‍රථම වතාවට ජේසු බිළිඳාට පූජා කළහ. කිතු සමිඳුන් තිස් හැවිරිදි වියේදි ආරම්භ කළ ධර්මදූත සේවය ජෙරුසෙලමෙන් පටන්ගෙන පසුව මුළු ලෝකය පුරාම පැතිර ගියේය. එළඹ ඇති නත්තල් සමයේදී ක්‍රිස්තුස් භක්තිකයින්ගේ මූලික වගකීම විය යුත්තේ සැබෑ කිතුදහම ඒ ආකාරයෙන්ම හැඳිනගෙන එදිරිවාදිකම් අමතක කොට නැති බැරි අයට උදව් කරමින් සහෝදරත්වයෙන් ජීවත්වීමය. සැමට සුබ නත්තලක් වේවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.