අකුරු කියවීමේ චාරිත්‍රය නිවැරදිව සිදුකරන්නේ මෙහෙමයි

දෙසැම්බර් 11, 2020

විවාහක දෙමාපිය යුවලකට ලැබුණු වාසනාවන්ත දරුවෙකු පාසල් යාම ඇරඹීමට පෙර සිදුකරන ප්‍රධාන චාරිත්‍ර 07 කි. එනම් 1.රන් කිරි කට ගෑම. 2.දොරට වැඩීම 3.නම් තැබීම 4.කන් විදීම 5.හිසකෙස් කැපීම 6.බත් කැවීම හා 7.මංගල අකුරු කියවීම වේ.

දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් ගත යුතු වැදගත්ම පියවරක් ලෙස මංගල අත්පොත් තබා අකුරු කියවීම හැඳින්විය හැකිය. දරුවෙකුට වයස අවුරුදු දෙක සම්පූර්ණ වී තුනක් වන වර්ෂය තුළ අකුරු කියවිය යුතු අතර (04 වන වර්ෂයේ පටන් පෙර පාසල් යන නිසා) අවුරුදු 04 සම්පූර්ණ වී 05 වන වර්ෂය තුළ ද අකුරු කියවීමට සුදුසු බව පුරාණ ආචාර්ය මතය වේ. නිසි වයස එළඹුණු පසු ඡ්‍යොතිෂය නිසි පරිදි උගත් ඡ්‍යොතිෂවේදියෙකු හමුවී දරුවාගේ කේන්ද්‍ර පිටපත ලබාදී දරුවාගේ නැකතට සීහෙන සරස්වතී යෝගයක් යෙදෙන සුබ දිනයක් තුළ දරුවාගේ පක්ෂියා රජව ගමන් ගන්නා අවස්ථාවක යෙදෙන අකුරු කියවීමේ සුබ මුහුර්තය සකසවාගෙන දරුවාට අකුරු කියවීම සිදුකිරීමට දරුවාට හිතවත් උගත්, දැහැමි වැඩිහිටියෙකුට වේලාසන දිනයෙක බුලත් හුරුල්ලක් දී ආරාධනා කළ යුතුය. ඉන් අනතුරුව නැකැත් කඩදාසියේ සඳහන් පරිදි නැකැත් දිනයට (ඉරිදා- කහ, රඹ / සඳුදා – සුදු , කුජ දා – රතු , බුධ දා – සුදු, ලාකොළ, ගුරු දා – කහ, දම් , ශුක්‍ර දා – ලානිල්, රෝස ,ශනි දා – නිල් , දම් අදාළ ජය වර්ණයෙන් යුත් ඇඳුමක් මිලට ගත යුතුය. මෙසේ කළ යුත්තේ නැකැත් දිනයට ආසන්නයේ කඩිමුඩියේ ඇඳුම් සෙවීමට යාමෙන් දරුවාගේ ප්‍රමාණයට මෙන්ම ජය වර්ණයට සරිලන ඇඳුමක් මිලට ගැනීමට නොහැකි වූ අවස්ථාවන් අත්දැක ඇති බැවිනි.

නැකැත් දිනට පෙර දින සූදානම

අකුරු කියවන මොහොත වන විට අවම වශයෙන් වරු 03ක්වත් පවුලේ සියලු දෙනා කිළිවලට හසු නොවී මාංශ කෑමෙන් වැළකී පේවිය යුතුය. එසේම පහත කියවෙන ප්‍රතිමා ඇතුළු පසු දිනට අවශ්‍ය පූජා ද්‍රව්‍යය සියල්ල රැස්කර තබා දරුවා සමඟ දෙමාපියන් නා පිරිසුදුවී ළඟම විහාරස්ථානයට ගොස් බෝධිපූජා පවත්වා බෝධින් වහන්සේ පැන්වලින් නාවා තුන් සූත්‍රය, ජය පිරිත සජ්ජායනය කොට අනතුරුව සමන් දේව මණ්ඩලයට පින් අනුමෝදන් කොට ඉන්පසු සියලුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමෙන් පසු විහාරාධිපති නා හිමියන් බැහැ දැක උන්වහන්සේට පිරිකර පූජාවක් සිදුකොට උන්වහන්සේගේ ද ආශිර්වාදය දරුවාට ලබාදෙන්න. එසේම අකුරු කියවන අවස්ථාවට වේලාසන පවුලට ඉතාම හිතවත් ළගම ඥාතීන්ට ද ආරාධනා කරන්න. ඔවුන් නිවසට එක්රැස්වීම දරුවාගේ සිතට සතුටක් උපදවනු ඇත. එසේම දරුවාගේ මව විසින් දරුවාට පසුදින කෙරෙන අකුරු කියවීම පිළිබඳ කෙරෙන පූජාවේ කටයුතුත් අකුරු කියවීමේ වැදගත් කමත් කියාදීමෙන් නැකැත් වේලාවේදී අනිසි චකිතයක් ඇති නොවනු ඇත.

එසේම බාහිර අයෙකු විසින් දරුවාට අකුරු කියවන්නේ නම් පෙර දිනයේදී ඔහු නිවසට කැඳවා හෝ ඔහු ළඟට දරුවා රැගෙන ගොස් ඔහු සමඟ දරුවාට මිත්‍ර වීමට සලස්වා ආගන්තුක බව ඉවත් කරලිය යුතුය.

නැකැත් දිනයේදී චාරිත්‍ර සිදු කිරීමට පෙර සූදානම

නිවස පූජා ප්‍රදේශය පිරිසිඳු කර කහවතුර ඉස මේසයක් මත ස්ටූල් එකක් තබා සුදු ඇතිරිල්ලක් මත බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් ද දෙපස දකුණතින් ආනන්ද මහ රහතන් වහන්සේගේ හා වම් පසින් සැරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවක් ද තබා මල් බඳුන් තුනක්, කිරිබත්, කෙසෙල් , හකුරු සහිත ආහාර පූජා තුනක්, පැන් බඳුන් 03 ක් දැහැත් පූජා 03 ක්, සුවඳ පූජා ද දැල්වූ හඳුන්කූරු හා පහන් 03 ක් පූජා කරන්න. ඉහත ප්‍රතිමා 03 ට පහතින් ගණදෙවියන්ගේ ප්‍රතිමාවක් මැදිකර දෙපසින් සරසවතී දෙවඟන සහ ලක්ෂ්මී දෙවඟන ගේ ප්‍රතිමා දෙකක් තැන්පත් කර (සියලු ප්‍රතිමා වෙනුවට අංග සම්පූර්ණ රූපද භාවිත කළ හැක) ඊට ඉදිරියෙන් වී අතුරා වී මත බුලත් කොළ 21 තබා බුලත් මත කහ වතුරින් සේදූ පඬුරු 21 ක් තබන්න.

ගණදෙවියන්ට ඊතණ මාලයක් පළඳවන්න. ප්‍රතිමා ඉදිරිපසින් සුදුහඳුන් මිශ්‍රකළ එළඟිතෙල් පහන් 03 ක් ගණ දෙවියන්ට හා ලක්ෂ්මී දෙවඟනට රතු වර්ණ මිශ්‍ර මල් වට්ටි 2ක් ද සරස්වතී දෙවඟනට සුදු නෙළුම් මල්, අඩංගු වර්ණ මිශ්‍ර මල් වට්ටියක් ද, තැඹිලි ගෙඩි 03ක් ද (ඇස්ස කැපූ) ගණ දෙවියන්ට කළු උක් කැබලි සහිත පලතුරු 07 වර්ගයක් සහිත ද ලක්ෂ්මී හා සරස්වතී දෙවඟනන්ට උක් උක් කැබලි නොමැතිව පලතුරු 07ක් සහිත (කෙසෙල්, අඹ, බෙලි, දොඩම්, අන්නාසි , මිදි, ඇපල්, පේර ආදිය) පූජා වට්ටි ද පූජා කරන්න. එසේම මුරුතැන් බත්, සහිතව හකුරු, හබල පෙති, කැවුම්, කොකිස්, අතිරස, ආස්මී, පැණිවළලු, මුංකැරලි, තලගුලි, අළුවා යන කැවිලි වර්ග 07 ඇතුළත් ආහාර භාජන 03ක් ද, පූජාවට තබන්න. ගණදෙවිඳුන්ට මෙහිදී ලඩ්ඩු, බූන්දි, දොදොල් යන රස කැවිලි ද ආහාර පූජාවට එකතු කරන්න.

සුද්ද තල කහ දියරෙන් සෝදා දෙපළු කරගත් පොල් ගෙඩියක මූඩිය පැත්තේ බෑයේ පොල් වතුර සහිතව පොල් බෑ දෙක ද පූජාවට තබන්න. එසේම බුලත්, පුවක්, සාදික්කා ,වසාවාසි, ඉඟුරුපියලි ආදිය ද පිරිසිදු පීරිසි තට්ටුවක තබා පූජා කරන්න. පැන් භාජන 3ක් හා කිරිබඳුන් තුනක් ද, දැල්වූ හඳුන්කූරු ආදිය ද පූජා කරන්න. තවද අඹකොළ 05ක් මත පෙරාගත් ජලය 3/4 පිරවූ කුඩා නැවුම් කළයක් ද තබා ඒ අසල පිරිත් කළ නූල් ද චාරිත්‍රයේදී ගන්නා සිංහල දෙමළ, ඉංගී‍්‍රසි අකුරු ඇතුළත් හෝඩිපොත්, ගල්ලෑලි , ගල්කූරු ලියන පොත්, පෑන්, පැන්සල්, මකන ආදිය ද, තබන්න. පූජා මේසයට ලද පස්මල් (විළඳ, සුනුසහල්, එළ අබ, ඊතණ, සමන්පිච්ච) පැකට් එකක් කඩා විසුරුවා හරින්න.

අවසානයේ පිනි දියර කුප්පියක් කඩා පූජා මේසයටත් අනතුරුව දරුවාටත්, දෙමාපියන්ටත්, අකුරු කියවන්නේ බාහිර අයෙකු නම් ඔහුට හෝ ඇයටත් ඉසින්න. ඊට පෙර කලින් සකස් කරගත් කහ දියර දෙහි අත්තකින් හෝ පුවක් මල් කිනිත්තකින් ඉසිය හැකිය. මීළඟට සුදුහඳුන්, රත්හඳුන්, අගිල්, දේවදාර, සැවැන්දරා, සුවඳ කොට්ටං, සාම්බ්‍රානි, කපුරු යන සුවඳ ද්‍රව්‍යය 08 හොඳින් වියලා ඉතා සිහින්ව කුඩු කර සාදාගත් අෂ්ට ගන්ධ ධූපය ගිණිඅඟුරු කබලකට දමා පූජා මේසයටත් දරුවා ඇතුළු රැස්ව සිටින සැමටත් මුළු නිවස ඇතුළත හා පිටතටත් දුම් අල්ලන්න.

 කහ වතුර, පිනි දියර ඉසීම හා දුම් ඇල්ලීමට පෙර පූජාවට දේව රූප නොව ප්‍රතිමා තුනක්ම ගත්තේ නම් 1.පළමුව පෙරූ ජලයෙන් ද 2.දෙවනුව තැඹිලි දියෙන් ද 3.තුන්වනුව කිරෙන් ද, 4.හතරවනුව සඳුන් කුඩු දියකරගත් දියෙන් ද 5.නැවත මේ දියර සියල්ල ප්‍රතිමා වලින් ඉවත්වන පරිදි පෙරාගත් පිරිසුදු ජලයෙන් ද ප්‍රතිමා තුන තැබීම කළ හැකි නම් ඉතාම ශුභයි.

නැකැත් වේලාවට පැයකට පෙර සිට නැකැත් මොහොත දක්වා කෙරෙන කටයුතු සිංහල බෞද්ධ චාරිත්‍රය

පළමුව බුදුන් වහන්සේටත්, දෙවනුව ආනන්ද මහරහතන් වහන්සේටත් සැරියුත් මහ රහතන් වහන්සේලාට අදාළ සියලු පූජාවන් තිසරණ සහිත පංචශීලයෙහි පිහිටවීමෙන් පසු අදාළ ගාථා කියා පූජා කරන්න. මේ අවස්ථාවට දරුවාත් අකුරු කියවන්නාත් පූජා මණ්ඩපය ඉදිරිපස මණ්ඩපයට වඩා පහත් කියවීමට අවශ්‍ය පොත්පත් ආදිය ද පූජා මණ්ඩපයෙන් රැගෙන දරුවාගේ මේසය මත තබාගත යුතුයි. සියලු පුජාවන් පූජා කිරීමෙන් පසු තුන් සූත්‍රය හා ජයපිරිත කලින් ආරාධනය කර වඩමවා ගත් ස්වාමීන් වහන්සේ නමක් ලවා හෝ අකුරු කියවීමේ චාරිත්‍රය සිදු කරනු ලබන චාරිත්‍රකරුවකු ලවා පැමිණ සිටින සියලු දෙනාගේම සහභාගිත්වය ඇතිව සජ්ඣායනය කර එම පින් දෙවියන්ට අනුමෝදන් කරන්න.

සිංහල හින්දු චාරිත්‍රය

මෙහිදි ගණදෙවියන්, සරස්වතී හා ලක්ෂ්මී දෙවඟනන් ඇතුළු සියලුම දේව මණ්ඩලයටම පූජා මණ්ඩපයට මඩිනා ලෙස ආරාධනා ස්තෝත්‍ර ගායනා කර ඉන් අනතුරුව පිළිවෙළින් ගණ දෙවියන්ට, සරස්වතී, ශ්‍රී ලක්ෂ්මී දෙවඟනන්ට පිළිවෙළින් බීජ මන්ත්‍ර, ගයත්‍රී මන්ත්‍ර ද ස්තෝත්‍ර ගායනා කර , සියලු පූජාවන් ඉහත දෙවිවරු තිදෙනා ඇතුළු සියලුම දේව මණ්ඩලයට පූජා කරන්න. (මෙම කටයුතුවල දී ඔබ බීජ, ගයත්‍රී මන්ත්‍ර හා ස්තෝත්‍ර නොදන්නේ නම් සුරා සූදුවෙන් තොර දැහැමි , පි‍්‍රයමනාප චාරිත්‍ර කරුවෙකු කලින් ආරාධනා කර කැඳවා ගන්න) අනතුරුව දෙවන වරටත් පූජා මණ්ඩපයට අෂ්ට ගන්ධධූපය අල්ලන්න. චාරිත්‍ර කරුවෙකු නොමැතිනම් දරුවාගේ පියා හෝ මව විසින් තමන්ට හැකි අයුරින් ඉහත දෙවිවරුන් ඇතුළු දේව මණ්ඩලයට පින් අනුමෝදන් කරන්න.

එසේම පියා හෝ මව විසින් මාගේ ආදරණීය දුවට /පුතාට සිද්ධාර්ථ කුමාරයාට මෙන් සකල ශිල්ප ශාස්ත්‍ර පිහිටක් වන්නේ යයි ද (බුදුන් වහන්සේට සම වනසේ ප්‍රඥාව පිහිටන ලෙස කිසිදු විටෙක නොඉල්වන්න) සැරියුත් මහ රහතන් වහන්සේට මෙන් ප්‍රඥාව හා නුවණ ලැබේවා යයිද, ආනන්ද මහ රහතන් වහන්සේට මෙන් ධාරණ ශක්තිය පිහිටත්වායයි ද, ප්‍රාර්ථනා කරන්න.

නැකැත් වේලාවට විනාඩි කීපයක් තිබියදී සියළු පූජා කටයුතු අවසන් කරන්න. අනතුරුව (චාරිත්‍ර කරුවකු නොමැති නම්) තමන්ට හැකි අයුරින් තම ආදරනීය දුවට /පුතාට දැනුම, බුද්ධිය, ප්‍රඥාව , ධාරණ ශක්තිය, කලාව ,ජයග්‍රහණ, වීර්යය, වාසනාව ලබාදී මතු අනාගතයේදී බහුශ්‍රැත පඬිරුවනක් කිරීමට ආශිර්වාදය ලබාදෙන ලෙස ඉහත දෙවිවරුන් වෙත වෙන වෙනම කන්නලව් කර පහන් වැටි වලින් ගත් තෙල් ස්වල්පයක් දරුවාගේ හිසෙහි ගල්වා ආශිර්වාද කර තුන්නූර් කුඩු වලින් සාදාගත් තරලයෙන් දරුවාගේ නළලේ තිලකයක් තබන්න. හැකිනම් කන්‍යාවන් තිදෙනෙකු ලවා අෂ්ටක කියවන්න.

දරුවාට අකුරු කියවන්නාගේ කාර්යභාරය

සියලු පුද පූජා මේ වන විට අවසන් බැවින් දරුවාගේ හිස තමාගේ වම් අතින් පිරිමදිමින් ස්වස්ථි සිද්ධම්, කියා කියවීමට අවශ්‍ය හෝඩි පොත නැකැත් වේලාවට විනාඩි කීපයකට පෙර පින් දරුවාගේ අතට දී නියමිත නැකැත් වේලාවට පළමුව අම්මාගේ රූපය පෙන්වමින් ඒ අසල ඇති ‘අ’ යන්නත්, දෙවනුව සමනලයා පෙන්වමින් ඒ අසල ඇති ‘ස’ යන්නත් උස් හඬින් දරුවාට කියවන්න. අකුර කියවූයේ නැත්නම් රූපය පෙන්වා මේ කවුදැයි අසා දරුවාට අකුර ඉබේම කියවීමට සලස්වන්න. යම් චකිතයක් ඇතිවී දරුවා අකුරු කියවූයේ නැත්නම් දුක් නොවන්න. හේතුව අප ආශිර්වාදය ඉල්ලා සිටි උත්තමයන් සියල්ලන්ටම අදාළ පූජාවන් පවත්වා දරුවාගේ ඉහළ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දෙන ලෙස ඒ උත්තමයන් සියල්ලන්ටම භාරකර ඇති හෙයිනි.

සිංහල අකුරු කීපයක් කියවා අවසන් වූ පසු පිළිවෙළින් දෙමළ, ඉංගී‍්‍රසි අකුරුද කියවන්න. ඉන්පසු තිත් ඉරි සහිත අකුරු ඉලක්කම් ලිවීමේ පොතක් භාවිත කරමින් සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි අකුරු හා ඉලක්කම් මත ලියවන්න. ඉන්පසු ස්වල්ප වේලාවක් දරුවාට නිදහසේ පොත් පත්, පෑන්, පැන්සල්, මකන, ගල්ලෑලි ,ගල්කූරු සමඟ වැඩ කිරීමට ඉඩ හරින්න. ඉන්පසු පැමිණි ඥාති හිතමිතුරන් ගෙනා ත්‍යාග දරුවාට පිළිගැන්වීමට සලස්වා දරුවා ඇතුළුව සියලු දෙනා එක්ව නිර්මාංශවූ ආහර සංග්‍රහයක් භුක්ති විඳීමට සැලැස්වීමත් කුඩා කාලයේ සිටම ත්‍යාග ලබා දුන් අයට කළගුණ සැලකීමටත් ආගන්තුක සත්කාරය, පිළිබඳ පාඩමක් ද ඉගෙනීමට දරුවාට මහඟු අවස්ථාවක් අකුරු කියවීමේ දිනයේදීම උදාවී දරුවාගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක එකක් වනු ඇත. අධ්‍යාපන කටයුතුවලට දුර්වලකම් ඇති දරුවන්ට ද ඉහත පූජාවන් යොදා ආශිර්වාදය ඉල්ලා සිටීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකි බව මාහට ප්‍රත්‍යක්ෂ වී තිබෙන බවද කාරුණිකව දන්වා සිටිමි.

අධ්‍යාපන කටයුතුවලට දුර්වලකම් ඇති දරුවන්ට ද ඉහත පූජාවන් යොදා ආශිර්වාදය ඉල්ලා සිටීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිබව මාහට ප්‍රත්‍යක්ෂ වී තිබෙන බවද කාරුණිකව දන්වා සිටිමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.