ඉක්මනින් නිවැරදි කරගත යුතු නිවසේ වාස්තු දෝෂ

දෙසැම්බර් 17, 2021

නිදහස්ව තැබිය යුතු දිශාවන්ට නිදහසක් නැද්ද

නිවසක ඊසාන, නැගෙනහිර දිශාවලින් වැසිකිළි වළවල්, විදුලි මීටර පද්ධති, අපිරිසිදු ජලය එකතුවන තැන් කිසිම විටෙක තිබෙන්න හොඳ නැහැ.එය දියුණුවට බාධා ගෙනෙන පරිහානියේ ලකුණක්. ඒ වගේම තමයි නිවසේ උතුරෙන්, ඊසානෙන්, නැගෙනහිරින් පවතින ඉඩ අඩු වුණොත් එය අසුබ ලකුණක් ලෙස තමයි සැලකෙන්නේ. සාමාන්‍යයෙන් නිවසක දකුණ, නිරිත සහ බස්නාහිර පැතිවල ඉඩ අඩුවෙන් තැබීම සුබ ලෙසයි සලකන්නේ.මොකද උතුරෙන්, ඊසානෙන්, නැගෙනහිරින් තිබෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙන කොට උදේ ආලෝකය නිවෙසට වැඩියෙන් වැටෙනවා.එය සුබදායකයි. ඒ වගේම තමයි නිවසේ ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවෙන් අනෙක් කාමර වලට වඩා අඟලක් විතර උසින් වැඩි වන සේ සකසා ගැනීම සුබයි.

නැත්තට නැතිවන දෝෂ

කවුරුන් හෝ නිවසට නිරිත දිශාවෙන් ළිඳක් කැපුවෝතින් ඒ තමන්ගේ වළ තමන්ම කපා ගැනීමක්.මුළුතැන්ගෙය හෝ සාලය නිරිතට සකසා ගත්තොත් නැත්තටම නැති වෙනවා.ප්‍රධාන නිදන කාමරය වයඹ දිශාවට දැම්මොත් සල්ලි හේදිලා යනවා.ප්‍රධාන නිදන කාමරය ගිනිකොනට දැම්මොත් ගෙදර නිතරම රණ්ඩු සරුවල් ඇතිවෙලා අතේ තියෙන සල්ලි ටිකත් පිච්චිලා යනවා.උතුරට, ඊසානට, නැගෙනහිරට වැසිකිළි වළ දැම්මොතින් ගන්න තියෙන හැම මෝඩ තීරණයක්ම ගන්නවා.අතගහන හැමදේම වරදිනවා. ගිනිකොන ඉඳලා වයඹට වැදගත් දේ දැම්මොත් හැමදේම පාඩුවෙනවා.නිවසක් ඉදිකිරීමට ඉඩමක් ගන්න කොට සමතලා බිමක් තමයි යෝග්‍ය වන්නේ.සාමාන්‍යයෙන් උතුරට, ඊසානට, නැගෙනහිරට පුංචි බෑවුමක් තිබුණට කමක් නෑ.ඒත් නිරිතට බෑවුම් සහිත ඉඩම් තෝරගන්න නම් එපා.ජීවිතය බිමටම ඇද වැටෙන එක නවත්වන්න අමාරුයි.

බුදු කුටිය ස්ථානගත කිරීම

බුදු කුටිය උතුරෙන්, ඊසානෙන් සුබයි.හැබැයි බුදු කුටියක් තියෙන්න ඕනේ.ඉදිරිපස විවර උනත් අනෙක් තුන් පැත්තෙන් වට විය යුතුයි. වහළය සරල විය යුතුයි. බුදු කුටිය තියෙන්නේ එළියෙද ඇතුළෙද කියන එක ගැටලුවක් නැහැ.හැබැයි ලස්සනටත් පිළිවෙලටත් හදාගන්න ඕනේ.බුදු කුටියට මූලිකත්වයක් දිය යුතුයි.හැබැයි සමහරු ලොකු වරදක් කරනවා. ඕනවට වඩා උසින් බුදු කුටිය හදා ගැනීම සුදුසු නැහැ. ඇස් මට්ටමෙන් තියෙන්න ඕනේ. එතැන හොඳීන් සුද්ද පවිත්‍රකරගත් යුතුයි.ඔළුව පහත් කරලා වන්දනාමාන කරන්න පුළුවන්. වන්දනාමාන කරද්දී කිසිම වෙලාවක ඍජුව ඉඳගෙන වඳීන්න එපා ඍජුව බුදු පිළිමය දෙස බලන්න එපා.එකත්පස්ව වඳීන්න ඒ කියන්නේ පැත්තකින් ඉඳගෙන වන්දනා මාන කරන්න.බුදු පහන තියෙන තැන නිතරම පිරිසිදු කරන්න.එලෙස නොවුනහොත් දිළිඳුකම ඔබව සොයා එනවා නිසැකයි.

නැගෙනහිර දිශාවට හිස දමා නිදාගන්න

උතුරට හිස දමා නිදාගන්නවානම් සතුට රැඳෙන්නේ නැහැ.මොකද චුම්බක ක්ෂේත්‍රය ඊසානට, උතුරට හිස තබා නිදා ගැනීමෙන් මොළය ඇල්ෆා, බීටා ශක්තීන් වෙනස් වෙනවා.එය දරුඵල කෙරෙහි බලපානවා.ලිංගික සතුට කෙරෙහිත් බලපානවා.නැගෙනහිරට හිස දැමීම හොඳටම හොඳයි.

නිදන කාමරය නිරිත දිශාවට ඉතා ශුභයි

වාස්තු පිළි නොපැදීමෙන් නිතරම ලෙඩ රෝග බහුල වන්නට බලපාන කරුණු බොහොමයි.නිවස ඉදිකරන නැකත වැරදුණාම ඒ වගේ ලෙඩ බහුලයි.දොර ජනෙල් ඌණතාවන් නිසාත් ලෙඩ බහුල වෙනවා.වාස්තු සිද්ධාන්ත රැඳෙන නිරිත දිශාවෙන් ප්‍රධාන නිදන කාමරය තියෙනවා නම් මේ ලෙඩ රෝග අඩුයි.

මුළුතැන්ගෙය හා නිදන කාමරය

නිරිත හෝ ඊසාන දෙස මුළුතැන්ගෙය තියෙනවා නම් ඒ ගෙදර ලෙඩ රෝග බහුලයි.ගොඩක් අය යට තට්ටුවේ නිරිතෙත් මුළුතැන්ගෙය, උඩ තට්ටුවේ නිරිතෙත් ප්‍රධාන නිදන කාමරය හදනවා.ඒක වැරදියි. අඩුපාඩු දෙගුණ වෙනවා.කිසිම වෙලාවක මුළුතැන්ගෙයට උඩින් හෝ යටින් නිදන කාමර සුදුසු නැහැ. ඒ වගේම තමයි බ්‍රහ්ම පාදය අපිරිසිදු ස්ථානයක යෙදුණොත්, බිත්තියකට හෝ පඩිපෙළකට යට වුණොත්, නාන කාමරයට යෙදුණොත් ලෙඩ රෝග බහුල වීමට හේතුයි.ඒ නිසා බ්‍රහ්ම පාදය දුර්වල වීම හොඳ නැහැ.

නාන කාමරය පැත්තට හිස දැමීම

නාන කාමරය පැත්තට නම් හිස දමන්න එපා.ජනේලයක් පැත්තට හිස දැමීමත් හොඳ නැහැ. බොක්ස් ඇඳන් පාවිච්චි කරන්නත් එපා.

ප්‍රධාන නිදන කාමරය කුමන දිශාවටද

නිවසේ කාමර වෙන් කිරීමේදී දිශානුකරණය අතිශය වැදගත්.නිසි තැනට නිසි දේ ස්ථාපිත වුණොත් තමයි බලාපොරොත්තු ඉටුවෙන්නේ.ඔබේ ප්‍රධාන නිදන කාමරය සුදුසු වන්නේ නිරිත දිශාවට.ඒ පැත්තට ගන්න බැරි නම් වයඹ දිශාවට, ඊසාන, ගිනිකොන දිශා ප්‍රධාන නිදන කාමරයට සුදුසු නැහැ. සාර්ථක වෙන්න නම් නිදන කාමරය නිරිත හෝ වයඹට සුදුසුයි.

ලිංගික සතුට හා නිදන කාමරයේ දිශාව

ලිංගිකත්වය කියන්නේ ජීව විද්‍යාත්මක සහ මානව ක්‍රියාකාරකමක්.අලුත විවාපත් වුණු අය ඊසාන හෝ ගිනිකොණ පැත්තේ කාමරවල නිදන්න එපා.එය ඔබේ ජීවිතයේ සතුට, ප්‍රීතිය කෙරෙහි අසුබ බලපෑමක් ගෙන එන්නට සමත්.

නිවසේ වර්ග අඩි ප්‍රමාණය

නිවසේ නැකත ගළපාගන්න ඕනේ.හොඳ වර්ග අඩි ගණනාවක් තියෙන්න ඕනේ.නැකැත් 27 ක් තියෙනවා.සාමාන්‍යයෙන් පින් පව් අනූව අපට උරුමවන ප්‍රමාණයක් තියෙනවා.ඒ අනූව තමයි නිවසක් හැදෙන්නේ.ඉතින් ඒ පින් පව් වලට ගැළපෙන ආකාරයේ නිවසක් හදාගන්න ඕනේ.නිවසේ ඉන්න හැමෝටම ගැළපෙන ආකාරයට තමයි නිවසේ වර්ග අඩි ප්‍රමාණය ගළපාගන්න ඕනේ.

මුළුතැන්ගෙට හොඳම දිශාව

ඔබේ මුළුතැන්ගෙය පිහිටුවා තිබෙන දිශාව අනූව ඔබේ ජීවිතයේ ගමන් කරන දශාව, ගමන් කරන වේගය වෙනස්වෙන්න පුළුවන්.දන්නවාද ඔබේ ගෙදර මුළුතැන්ගෙය උතුරු දිශාවෙන් පිහිටියේ නම් එය ආදායම් මාර්ග සියල්ලම ඇණ හිටීමට හේතුවක්.ඒ වගේම තමයි ඊසාන ප්‍රදේශයත් මුළුතැන්ගෙයට සුදුසු නැහැ.එහෙම වුණොත් ඔබේ රැකියා අහිමි වේවි නිතර රැකියා වෙනස් වේවි .ස්වයං රැකියාවක් හෝ පුද්ගලික ව්‍යාපාරයක් කරන්නේ නම් ඒ හැමදේම කඩා වැටේවි.ඒ වගේම මුළුතැන්ගෙයි ළිප දල්වන දිශාවත් ඔබේ ඉදිරි දියුණුව වළක්වන්න හේතුවෙන්න පුළුවන්.ඒ අනූව උතුරට, ඊසානට ළිප දල්වනවා නම් එය හොඳ දෙයක් නොවෙයි.

ලිප ගිනිකොණට

ඔබේ ආදායමට බලපාන හොඳම දිශාව වෙන්නේ ගිනිකොණ දිශාවේ, ගිනිකොණ මුල්ලේ ළිප දල්වන එක.ඒ ගිනිකොණ කියන්නේ තාපයට අධිපති පැත්ත නිසා.ඒ දිශාවට ඔබේ කුස්සිය සහ ළිප පවතිනවා කියන්නේ සංචිත ධනය වඩාත් හොඳීන් ලැබීමට හේතුවක්.එවිට ඔබේ ආදායම් මාර්ග හොඳීන් විවර වෙන්න ගන්නවා.

ලිප වයඹට නම්

යම් හෙයකින් ඔබේ ගෙදර මුළුතැන්ගෙය ගිනිකොණ දිශාවෙන් නිමවා ගන්න බැරිවුණා නම්, ඒ සඳහා ඊළඟට සුදුසු වන්නේ වයඹ දිශාවයි.මොකද වයඹ කියන්නේ වායුවට අධිපති පැත්ත.වායුවයි ගින්දරයි මිතුරු නිසා ඒ පැත්තට කුස්සිය නිමවා ගන්න ඔබට පුළුවන්.එතකොටත් ආදායම් මාර්ග විවර වෙනවා.සාමාන්‍යයෙන් ජලයයි ගින්දරයි එකට තබන්න හොඳ නැහැ.ජලයයි ගින්දරයි ළං වුණොත් ඒක ආදායම් මාර්ගවලට බාධාවක්.ඒ නිසා ළිපට අඩි හයක් වත් දුරින් තමයි වතුර කරාමය හා වතුර භාජන තැබිය යුතු වන්නේ.

බොහෝ නිවෙස් වල ගෙවල්වල පෝරණුවට ඉහළින් වතුර ටැංකිය සකසා තිබෙනු දැකිය හැකියි.එය එතරම් සුබ දෙයක් නොවෙයි. ජලයයි ගින්දරයි ප්‍රතිවිරුද්ධ නිසා. පරිසරය අසංතුලනය වෙනවා.එහෙම වුණාම මානසික ආතතිය, කේන්තිය ඉහල යාම වගේම ධනය වර්ධනය වීම බොහෝ අඩුයි.

මුළුතැන්ගෙයි ආම්පන්න නිසි තැනට

කුස්සියේ ළිප, සින්ක් එක, විදුලි උපකරණ ආදී මේ හැමකෙක්ම තැබිය යුතු නිවැරදි තැනක් තියෙනවා.ඒ තැන නොතැබුවොත් ගෙදර ආදායම් ඇහිරෙනවා.ඒ අනූව ළිප ගිනිකොන ප්‍රදේශයේ තැබිය යුතු වෙනවා.හැබැයි ගෑස් ළිප බිත්තියේ ගෑවෙන්න තබන එක හොඳ නැහැ.එහෙම වුණොත් ගෙදර නිතර අඬ දබර, ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා.ඔබට පුළුවන් නම් මැටියෙන් තැනූ වතුර කළයක්, ගුරුලේත්තුවක් උතුරු දිශාවෙන් හෝ මුළුතැන්ගෙයි ඊසාන දිශාවෙන් තබන්න.

ශීතකරණයට නිරිත

මුළුතැන්ගෙයි තිබෙන ශීතකරණය නිරිතෙන් නැත්නම් බස්නාහිරෙන් තැබුවොත් ගෙදර කෑම අඩුවෙන එකක් නැහැ. ශීතකරණයේ තබන වතුර බඳුන්වල හෝ ගෙදර ප්‍රයෝජනයට ගන්නා වතුර බඳුන්වල දවස් දෙකකට වඩා පරණ වතුර තැබීම හොඳ නැහැ.

වියළි ආහාර ගබඩා කර තැබීම.

හාල්, සීනි, වියළි ආහාර හා පළතුරු දකුණෙන්, නිරිතෙන්, බස්නාහිරෙන් තබන්න.කවදාවත් කෑම හිඟ වෙන්නේ නැහැ.මුදල් හදල් අඩුවක් නැතුව ලැබෙනවා.

විදුලි උපකරණ තැන්පත් කිරීම

රයිස් කුකර්, බ්ලෙන්ඩර්, විදුලි කේතල් ගිනිකොනටයි සුදුසු.උතුරෙන් ඊසානෙන් නම් තබන්නම එපා.සින්ක් එක සුදුසු වන්නේ උතුරටයි. කිසිම අවස්ථාවක සින්ක් එකේ ඉඳුල් වළං පිඟන් තබා නිදා ගන්න යන්න එපා.

බස්නාහිරට කෑම මේසය

කෑම මේසය බස්නාහිරට තබනවා නම් කෑමෙන් හිඟයක් වෙන එකක් නැහැ.කෑම මේසයට ලා නිල් පාට ඇතිරිලි සුදුසුයි.සුදු පැහැයත් හොඳයි.මෙන්න මේ වගේ පුංචි පුංචි ක්‍රමවේදයන් එක්ක ඔබටත් පුළුවන් ඔබේ කුස්සියට බලපා තිබෙන වාස්තු දෝෂ නිරාකරණය කරගන්න.

ඒ.සී.එස්.නවීලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.