සැප්තැම්බර් 06 සිට 12 දක්වා සතිය ඔබේ ලග්නයට...

සැප්තැම්බර් 6, 2024

 

මේෂ

පොතට පතට රුචිකත්වයක්

පැවැති අවිවේකී බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවු පාර්ශ්වය හෝ සහෝදර සහෝදරියන් සමඟ සම්බන්ධය අඩුකරයි. රැවටීම්වලට හසුවීමට ඉඩ ඇති කාලයකි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

රැකියාව

කල්පනාකාරී ලෙස රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. ආහාරපාන බේත්හේත් සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති කාලයකි. එමෙන්ම රැකියාවේ වගකීම් බහුල කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. ඥාන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. විදෙස් අධ්‍යාපන සැලසුමකට කටයුතු සූදානමක් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. උදරාබාධ, සෙම් රෝග ඇතිවිය හැකි කාලයකි. වරින් වර රුධිරගත සීනිමට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.

අය 07 වැය 03

ජය අංකය 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

*************

වෘෂභ

රැකියාවෙන් සතුටක්

සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමි කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. වෙනදාට වඩා උද්‍යෝගයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියක් බවද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමට යම් යම් බාධා පැන නැඟෙන කාලයකි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන අධ්‍යාපනික වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. සාහිත්‍ය හා කලා අංශයට ළැදි කාලයකි.

සෞඛ්‍යය

නිසි ව්‍යායාම් හා ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගනී. එහෙත් සෙම් දෝෂ හා පපුව සම්බන්ධ ආබාධයකට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

 

 

අය 06 වැය 05

ජය අංකය 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

**************

මිථුන

සහජ දස්කම් ඉස්මතු වේ

තරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි. කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති කාලයකි.

රැකියාව

රැකියා අංශවලින් දියුණුවක් දැකිය හැකි කාලයකි. සාත්තු සේවය, වෙදහෙදකම්වලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටුකරන කාලයකි.

අධ්‍යාපනය

සහජ දක්ෂතා ඉස්මතුවන කාලයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට රුචිකත්වයක් දක්වයි. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. සෙම් අමාරු, කනේ අමාරු ආදිය හටගැනීමට ඉඩ ඇති බවක් පෙනේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.

 

අය 07 වැය 03

ජය අංකය 04

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

**************

කටක

තනතුරු ලාභ

ලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. පරම්පරාගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. ආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. විවාහ ගිවිස ගැනීමකට පැවැති බාධා මඟහැරී යන බවක් පෙනේ.

රැකියාව

ආර්ථික අතින් යහපත් රැකියාවකට හිමිකම් ඇති බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද වූ තනතුරු ස්ථිරවීමක බලාපොරොත්තුවක් ඉටු කරයි. සේවක පක්ෂය සමඟ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන කාලයකි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය බලවත් කාලයකි. තාක්ෂණික අංශයෙන් මෙන්ම ගණිත අංශයෙන් විවිධ ජයග්‍රහණ හිමි කරන බවක් පෙනේ. තරමක බාධා යෙදුණත් ප්‍රමාද වී හෝ ඉගෙනීමේ කටයුතු සිදු කර ගනී.

සෞඛ්‍යය

සෙම් අමාරු උගුරේ අමාරු ආදියෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට සම්බන්ධවීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය 01

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

**************

සිංහ

උත්සාහයෙන් ජයගනී

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට හැකිවන සතියක් වන අතර , මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරැණි හිතවත්කමක් අලුත්වන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් සකස් කර ගනී. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටට පත්විය හැකි කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. අලුත් රැකියා අපේක්ෂිතයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවේ.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලට සහභාගිවීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍ය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයක් සිදුකරයි. වරින්වර සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනයවීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

**************

කන්‍යා

අලුත් දේ මිලදී ගනී

උත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සැනසිලිදායක ලෙස සතිය උදා කරන බවක් පෙනේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. මවුපාර්ශවයට ළැදිව කටයුතු කරයි. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන සතියකි.

රැකියාව

අනුන් යටතේ කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවෙන් කීර්තියක් ප්‍රසිද්ධියක් අත් කරයි. එමෙන්ම තනතුරුවල වෙනසක් සිදුවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

අධ්‍යාපනය

උත්සාහය උනන්දුව තරමක් දුර්වල කරන කාලයකි. අමතර දේ ඉගෙනීමට වෙහෙසෙන සතියකි. විවිධ කරදර බාධා ඇතත් ප්‍රමාද වී හෝ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ක්‍රීඩාවලින් ව්‍යායම්වලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නා කාලයකි. නිතර රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. හදිසියේ ඇතිවන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනිමට සිදුවේ.

 

 

අය 07 වැය 05

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

**************

තුලා

ඥානය වැඩේ

උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහජීවිතය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අලංකාරයට විනෝදයට කැමැති කාලයකි. පහසුවෙන් රැවටිලිවලට හසුවිමට ඉඩ ඇත. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියා ස්ථානයේ හොඳ හිත දිනා ගැනීමට කටයුතු උදා කරයි. සේවකයකු වුවත් පාලකයකු වුවත් හොඳින් වැඩ කරන කාලයකි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අතමිට සරු කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඥාන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම සාහිත්‍යයට කලා අංශයට වැඩි රුචිකත්වයක් දක්වන අතර ඒ හා සම්බන්ධ කටයුතුවලින් උසස් අධ්‍යාපනයට යොමුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති කරයි. සෙම් දෝෂ උදරාබාධ හේතුවෙන් පීඩා ඇති කරන බවක් ද පෙන්නුම් කරයි.

අය 06 වැය 03,

ජය අංකය 02,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

**************

වෘශ්චික

විශ්වාසවන්ත ඇසුරක්

ඥාති හිතවතුන් සමඟ සුහදතාවයට කරුණු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. පැවැති ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ කැපවී කටයුතු කිරීමට සිදුවන සතියකි. අසල්වැසි සහය ලැබෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධවීමට අවස්ථාව උදා වේ. විදෙස් රැකියා මාර්ගවලට හිමිකම් ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරන සතියකි.

සෞඛ්‍යය

වරින් වර හට ගන්නා උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම නින්ද අඩුවීම, පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ.

 

අය 06 වැය 04,

ජය අංකය 03,

ජය වර්ණය - දම්,

සුබ දවස - සිකුරාදා

**************

ධනු

විදෙස් රැකියාවට සැලසුමක්

සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහජීවිතය

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ දානමය වැඩසටහනකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. අසරණ කෙනකුට පිහිටවීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ගුප්ත අංශවලට යොමුවිය හැකි බවක් පෙනේ.

රැකියාව

දුර බැහැර ප්‍රදේශයකට රැකියා කටයුතු උදෙසා යෑමට අවස්ථාව උදා කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු සම්බන්ධ පැවැති බාධාවක් මඟහැරී යයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් සහතික සම්මාන හිමි කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරන කාලයකි. දෙගුරුන්ගේ ප්‍රසාදයට පාත්‍රවන කාලයකි.

සෞඛ්‍යය

හිස, පපුව ආශි‍්‍රත සෙම් ගතිය හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ජලයට පි‍්‍රය වුවත් ජලයෙන් අගුණ ගෙනදෙන කාලයකි.

 

අය 06 වැය 05,

ජය අංකය 04,

ජය වර්ණය - කහ,

සුබ දවස - ඉරිදා

**************

මකර

අතමිට සරු කරයි

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ වගකීමක් තමා පිට පැවැරීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දනට පිනට ළැදි කාලයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක වෙනසක් සිදුවිය හැකියි. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අතමිට සරු කරන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපන

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පොතපත කියවීමට රුචිකත්වයක් දක්වයි. ඉගෙනීමට තරමක බාධා ඇති වුවත් ඒවා මැඩගෙන කටයුතු කරයි.

සෞඛ්‍යය

ව්‍යායාම් කටයුතුවලින් ක්‍රිඩාවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගනී. වෙනදාට වඩා කය වෙහෙසවා කරන කටයුතු අධික කරයි. පපුව ආශි‍්‍රත ආබාධ, සෙම් රෝගවලින් ආරක්ෂා විය යුතු බවක් පෙනේ.

 

 

අය 06 වැය 05,

ජය අංකය 04,

ජය වර්ණය - කහ,

සුබ දවස - බදාදා

**************

කුම්භ

කලා කටයුතුවලින් ජය

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයත් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කරන සතියකි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. නැති වූ දෙයක් නැවත හිමිකරන කාලයකි.

රැකියාව

අමතර ආදායම් මාර්ග හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. වෙනදාට වඩා පොත පතට ළැදි කාලයකි. සෞන්දර්යාත්මක කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් කාලයකි. පැවැති කොන්ද ආශි‍්‍රත ආබාධයක් සුව අතට පත් වන බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී දී සැලකිලිමත් වන්න.

**************

මීන

බාධක මඟහැරේ

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ළඟම හිතවතකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. උත්සහයෙන් කටයුතු සිදු කරන කාලයකි. දරුවකුගේ ඉදිරි දියුණුවට වැඩ පිළිවෙළක් සකසා ගනී.

රැකියාව

ගුප්ත අංශය, බේත් හේත් කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියා මාර්ගවලටද ඉඩකඩ ඇත් බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. භාෂා ශාෂ්ත්‍රය හා සාහිත්‍ය අංශවලට දස්කම් දක්වන බවක් පෙනේ. තාක්ෂණික අංශයෙන් හෝ ගණිත අංශයෙන් ඉදිරියට යන කාලයකි.

සෞඛ්‍යය

ගර්භාෂගත ආබාධයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවෙයි. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වැනි හදිසි අනතුරුවලින් මේ කාලය තුළ ආරක්ෂා වන්න

 

අය 06 වැය 04

ජය අංකය 06

ජය වර්ණය - රතු

සුබ දවස - බදාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.