ගෝරාවරුන් සත් කට්ටුව එක් වූ වගයි...

මැයි 17, 2019

සීතල අරුණෝදයේ පළමු හිරු රැස් දහර ඒ මහා සමනළ පව්ව සිප ගන්නටත් පෙරාතුව ජයමාලී දේවිය මෙන්ම, ධූරා ගේ ගම්මානයේ සිටි සියලුම දෙනා පිබිදී සිටියහ. බ්‍රහ්ම මුහුර්තිය හෙවත් උදෑසන හතරහමාරටත් කලින් අවදි වීම හෙළ දේශයේ කුඩා දරුවන්ට පවා හුරු වී තිබූ පුරුද්දක් විය. බොහෝ මහලු අය සහ අත දරුවන් හැරෙන්නට අන් සියලුම හෙළ ජනතාවට, එය සාමාන්‍ය දෙයක් වී තිබිණ. සිරුර කිළිපොළා යන සීතලෙන් වෙළී, මිහිදුම් පටලයෙන් එතී පැවතියද, ඒ කුඩා කඳුකර ගම්මානයේ උදය කාලය අතිශයින් ක්‍රියාශීලී බවක් පෙන්නුම් කළේය.

ධූරාගේ නිවසේ කෑම කාමරයේදී උදයේ පාතරාසයෙන් පසුව, ධූරා ඇතුළු සබරගමුව අඩවියේ ගෝරාවරුන් ගේ නායකයින් සියලුම දෙනා එක්රැස් වී සිටියහ. එසේම හෙළ දෙරණේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ගෝරාවරුන් සත් කට්ටුව ඒ වන විටත් ඒ කුඩා කඳුකර ගම්මානය බලා රහස් මාර්ග ඔස්සේ පැමිණෙන බව ධූරා විසින් ජයමාලී දේවිය හට දැනුම් දෙන ලදී. එසේ පැමිණෙන ඒ මහා ගෝරාවරුන් සත් කට්ටුවේ ඇති විශේෂතාවයන්ද ධූරා ජයමාලී දේවිය පහදා දුන්නේය. “මහා මෑණියන් වහන්ස.. අපගේ කණ්ඩායමේ පුහුණුව ලද ගෝරාවරුන් සත් කට්ටුව මේ වන විටත් සමනළ පව්ව බලා පැමිණෙනවා. ඒ හූරන් සියලුම දෙනා තමන් උගත් ශිල්පයන් සහ ආත්මීය උරුමයෙන් ලද ශිල්ප වල පරතෙරට පැමිණ සිටිනවා. අද ඉර මුදුන් සමයමට පෙරාතුව ඒ සියලුම දෙනා මෙහි පැමිණෙනවා මහා මෑණියන් වහන්ස...” යටහත් පහත් ලෙස ජයමාලී දේවියට ආචාර කරමින් ධූරා පැවසීය.

“මාගේ පුත්‍රය... ඇයි ඔවුන් අනෙක් ගෝරාවරුන් අතරින් විශේෂ වෙන්නේ?” එසේ හඬ අවදි කළේ හෙළයේ මහා රාජිණිය වූ ඒ රණ ශූරියයි. භීමනාථ මහ සෙනෙවියාගේ

වැඩිමහල් දියණිය වූ ඇයට හෙළ සටන් ශිල්පය යනු ජීව රුධිරය මෙන් වූ මහාර්ඝ වස්තුවක් විය. එහෙත් ගෝරාවරුන් යනු හෙළයේ සටන් පරම්පරාවන් ගණනාවකින් තෝරා ගන්නා අසමසම ශිල්පීය හැකියාවන්ගෙන් පරතෙරට පත් අග්‍රගණ්‍ය සටන් ශූරයන් වූහ. ඔවුන්ගේ බොහෝ රහසිගත ක්‍රමවේදයන් එම ගුරු ගෝල පරම්පරාවන් වලින් සහ ලේ උරුමයෙන් පමණක් පැවත ආ ඒවා වූහ. එම නිසා ඒවා පිටතට කාන්දු වූයේ ඉතාමත් විරල අවස්ථාවන් වලදී සහ අත්‍යවශ්‍යම පුද්ගලයන් හමුවේ පමණි. හෙළයේ මහා රාජිණියද එවන් වූ සුවිශේෂී වූ තැනැත්තියක් වූ බැවින් ද, මේ ගත වන්නේ හෙළයේ තීරණාත්මක හෝරාවක් වූ නිසාවෙන්ද ධූරා එම ගෝරාවරුන් සත් කට්ටුව පිළිබඳ තොරතුරු මහා රාජිණියට හෙළි කළේය.

“මහා මෑණියන් වහන්ස... අපගේ පුහුණුවට තෝරා ගත් අය අතරින් වේලාපත්කඩය බැලීමෙන් සහ පරම්පරානුගත සුදුසුකම් සපුරාලීම අනුව සත් දෙනෙක් තෝරා ගත්තා. ඔවුන් එකිනෙකට වෙනස් පරම්පරා වලට අයිති සටන් ශිල්පීන්. ඔවුන් සියලුම දෙනා හෙළ දෙරණේ ඒ ඒ ගුරු පරම්පරා වලින් පැවතෙන ගෝරාවරුන් හට නායකත්වය ලබා දෙනවා. ඔවුන්ගේ ගුරු දේවයන් වන්නාවූ ඒ පරම්පරා වල ශිල්පය භාර මහා හරඹාචාර්යවරුන් ගෙන් සහ සෘෂිවරුන්ගෙන් අතපොත් තැබූ එම ශිල්පීන් බොහෝ විට සාමාන්‍ය යුද්ධ වලට යොදා ගන්නේ නැහැ. මොකද, ඔවුන් සියලු දෙනා තමා අදහන ගුරුකුලයේ ආදි මහා සටන් බලවේග සමග සටනට පිවිසෙන නිසා. ගෝරාවරයෙක් සටනට පිවිසියා කියන්නේ අනිවාර්යයෙන්ම සතුරාගේ රුධිරය දැකිය යුතු බවයි. එය නියතයක්. ඒ වගේම ආදි සටන් බලවේග සමග සටනට යන එම රණ ශූරයන් හට සතුරාගේ වේගය දැනෙන්නේ හරියටම ගොළුබෙල්ලෙක්ගේ වේගය වගෙයි. ඒ කියන්නේ සතුරා අසිපත අදින්නටත් පෙරාතුව සතුරා කපා හෙළා අවසන්. ගෝරාවරුන් යනු එවන් පිරිසක්. අද දවසේ මෙහි පැමිණෙන්නේ එවන් වූ ගෝරාවරුන්ගේත් අග්‍රගණ්‍ය පිරිසයි මහා මෑණියන් වහන්ස.”

ධූරා පැවසීය. ජයමාලී දේවිය දෙනෙත් මහත් කර ඔහු දෙස බලා සිටියාය. තමාද සටන් ශූරියක වූ නමුත්, අධිමානුෂික ගෝරාවරුන්ගේ අබිරහස් ජීවිතය සහ ඔවුන්ගේ හැකියාවන් ගැන මේ ගුප්තමය තොරතුරු ඇය දැනගත්තේ ප්‍රථම වතාවටය. “ඔවුන් කුමන පරාසයන් වලද දක්‍ෂයන් වන්නේ පුත්‍රය?” ජයමාලී දේවිය කුතුහලයෙන් විමසා සිටියාය.

“අවසර මහා මෑණියන් වහන්ස.. අද දවසේ මෙහි පැමිණෙන පිරිසෙන් කෙනෙක් වන්නේ රාස්සගල ප්‍රදේශයේ වාසය කරන මහා ජීවාලෝක කුමරුන්. ඔහු නිල ශාස්ත්‍රයේ හෙළ දෙරණේම අති දක්ෂයෙක්. එසේම ඔහු යෂ්ටි හරඹයෙන් අග්‍රගණ්‍යයි. ඒ වගේම ඔහුගේ සමකාලීන සගයා වන්නේ මහා පද්මනාථ කුමරුන්. ඔහු හටන්ගල, සුබාහු සටන් පරම්පරාවේ දැනට සිටින මහා රණශූරයා. හෙළ අසිපත් කලාවේ හෙළ දෙරණේ පද්මනාථ කුමරුන්ට ඉහළින් යන්නට ශිල්පියෙක් නැහැ. ඒ වගේම සටනක දී විෂ පෙවූ අසිපත්ධාරී සතුරන් හට පවා නිරායුධව මුහුණ දීමේ ප්‍රබල හැකියාවත් ඔහු සතුයි. පද්මනාථ කුමරුන්ගේ එක කුස උපන් බාලම සහෝදරයා මහා චන්ද්‍රනාථ කුමරුන්. චන්ද්‍රනාථ කුමරුවන් කියන්නේ දැනට හෙළයේ සිටින ප්‍රබලම කරණම් ශිල්පධාරියා. වනගත කරණම් ශිල්පයන්ගේත් ඔහු පරතෙරට ගිය ප්‍රබලයෙක් වනාන්තරයේ ගසෙන් ගසට පවා කරණමින් පැන යාමේ සහ දිය මත කරණම් ගැසීමටත් ඔහු අති දක්ෂයෙක්...” ජයමාලී දේවිය අගය කරන නියායෙන් මද හසක් මුවගට නගා ගත්තාය.

“අපගේ අනෙක් ශිල්පියා වන්නේ මහි අංගන ප්‍රදේශයේ මහා විද්‍යාජෝති කුමරුවන්. හෙළ ගුප්ත විද්‍යාවේ පරතෙරට පත් ඔහු, පිල්ලු යැවීමටත්, තමා විසින් ඝාතනය කරන සතුරන් ගේ මළ මිනී වලට මන්ත්‍රානුභාවයෙන් අමනුෂ්‍යයන් ආරූඪ කරවා සටනට යැවීමටත් අති දක්‍ෂයෙක්. සතුරන් ස්ථම්භනය කිරීමත්, මන්ත්‍රානුභාවයෙන් කරනු ලබන මායා සටන් ශාස්ත්‍රයත් ඔහු ගැඹුරටම හදාරා තිබෙනවා. එසේම ඔහුට අවශ්‍ය විටක සිය සතුරන්ගේ සිරුරු වලට පහර දී ක්‍ෂණිකව කුණුකර හැරීමේ විශේෂඥයෙක්. භද්‍රජෝති මහසෘෂිතුමන්ගේ අසපුව ආරක්‍ෂා කරන්නේද ඔහුයි. ඉරුගල්තැන්න සූර්ය දේවාලය භාරව සිටින මහා හර්ෂදේවයන් යනු අපේ මහා ගෝරාවරුන් සත් කට්ටුවේ තවත් සාමාජිකයෙක්. කළු දිවියාගේ ආරූඪය ලබාගත් මහා ශාර්දූල බළකායේ නායකත්වය දරන්නේද ඔහුයි. හර්ෂදේවයන්ගේ විශේෂත්වය වන්නේ අවශ්‍ය විටක කළු දිවියන් දස දෙනෙකු ගේ ශක්තිය සිරුරට කැඳවා ගත හැකි වීමයි. එම ශක්තිය සමග ඔහුගේ

පුරාණ ගෝරා අසිපත් යුගළය දෑතට ගත් විට ඔහුව නවතාලිය හැක්කේ ඔහු වැනිම වූ තවත් අයෙකුටම පමණයි. දුන්නකින් විදින විෂ පෙවූ හී තලයක් පවා ඒ අවස්ථාවක දී ඔහුට අතින් අල්ලා නවතාලිය හැකියි..” තමාගේ සිරුරේ රෝමෝද්ගමනය වෙද්දී, ජයමාලී දේවිය සිය වීර හෙළ දරුවන්ගේ දක්‍ෂතා අගය කිරීමෙන් යුතුව අසා සිටියාය.

“අපේ මීළඟ රණශූරයා වන්නේ මහා උදකාභිරාක්‍ෂ කුමරුන්. ඔහු සිය මනස ජල කසිණය සමග කෙතරම් ඉහළට දියුණු කළාද කියනවා නම්, ජලයට පැන්න පසුව ජලය සමග මුහු වී, ජල පහරක් ලෙසින් ගලා ගොස් ජලයේ සිටින සතුරන් වටා ජල පහරක් ලෙසින් ඉහළට එතී සතුරා මරා දැමීමේ හැකියාව තිබෙනවා. ජලයේදී උදකාභිරාක්‍ෂ කුමරුන් ඝාතනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ මහා මෑණියන් වහන්ස. මතකද... ඔබ වහන්සේගේ කනිෂ්ඨ දූ කුමරියගේ ගෙට ගෙවදීමේ චාරිත්‍රයට අවශ්‍ය වූ විට, මන්නාරම් ප්‍රදේශයේ සාගරය පතුලට කිමිදී මුතු කළයක් ගෙන ආවේද ඔහුයි.” සිය රණශූර හෙළ දරුවන්ගේ වෘත්තාන්තය ඇය මද මොහොතක් ධූරා දෙස බලා සිටියාය. “ඒත් පුත්‍රය... නුඹ මට කිව්වේ සය දෙනෙක් ගැන පමණයි. සත් වැනියා...?”

කුතුහලයෙන් යුතුව ජයමාලී දේවිය විමසුවාය. ධූරා එයට පිළිතුරු දෙන්නට සැරසෙත්ම, නිවසේ දොරටුව නිහඬව ඇරී ගියෙන් කාලවර්ණ සන්නාහ සන්නද්ධ වූද, සාමාන්‍ය ගෝරාවරුන්ට වඩා අතිශයින් ප්‍රබල සිරුරුවලින් යුතු වූද, තියුණු දෙනෙත් වලින් සහ අයෝමය මාංශ පේශීන් ගෙන් ද යුතු මහා පුරුෂයින් සය දෙනෙක්, එකා පසුපස එකා වශයෙන් එම කුටියට ඇතුළු වී ජයමාලී දේවියට රාජකීය ආචාරය පුද කර සිටියහ. ධූරා ඇතුළුව සබරගමුවේ ගෝරාවරුන්ගේ නායකයන් මෙහිදී නැගී සිටි අතර, නැගෙනහිර දිසාව භාර සටන් ශූර හර්ෂදේවයන් ඇතුළුව අලුතින් පැමිණි රණශූරයෝ සය දෙනාම ධූරා අබියස දණ ගසා අමුතුම ආකාරයේ හස්ත මුද්‍රා තුනකින් සාම්ප්‍රදායික ගෝරාවරුන්ගේ නායකයාට පුද කරන සටන් ආචාරය පිරිනැමූහ. මෙහිදී ප්‍රති හස්ත මුද්‍රා තුනකින් එම ආචාරය පිළිගත් ධූරා දෙස, ජයමාලී දේවිය තියුණු දෙනෙතින් යුතුව බලා සිටියාය. එවිට නැගී සිටි මහා ගෝරාවරුන් සය දෙනා අතර සිටි මහා හර්ෂදේවයන් ජයමාලී දේවිය ගේ කුතුහලාත්මක බැල්ම තේරුම් ගෙන ඇයව ඇමතුවේය.

“අවසරයි හෙළයේ මහා මෑණියන් වහන්ස... මේ සිටින්නේ හෙළයේ මහා ගෝරාවරුන්ගේ වර්තමාන සත් කට්ටුවේ ජ්‍යෙෂ්ඨතම සටන් ශිල්පියා. හස්ති රාජයෙකු ගේ කාය බලයෙන් යුතු, වායෝ ධාතුව පාලනය කළ හැකි, නිරායුධ සටනට මෙන්ම ආයුධ සටනටත්, නිල හරඹයටත් එකසේ මුහුණ දිය හැකි, තාන්ත්‍රික යෝගා විද්‍යාවේ ඉහළටම පිවිසි අපේ ජ්‍යෙෂ්ඨම ශිල්පියා. අපේ ධූරා කුමරුන්...”

ප්‍රශංසාත්මක සිනාවකින් ආලෝකමත් වී ගිය මුහුණින් යුතුව ජයමාලී දේවිය, තමාගේ හෙළයේ මහා ගෝරාවරුන් සත් කට්ටුව දෙස ආඩම්බරයෙන් බලා සිටියාය.

 

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.