භද්‍රජෝති මහසෘෂිතුමන් ගේ පිටසක්වළ මිත්‍රයෝ...

අප්‍රේල් 26, 2019

සිය මහරජතුමන් සුරක්‍ෂිතව නිසි වේලාවට තමා වෙත ගෙන ඒම පිළිබඳව භද්‍රජෝති මහසෘෂිතුමෝ, ජයබුද්ධි හට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කළහ. මන්ද යත්, ඉර අස්තගත වන්නට පෙරාතුව මහරජතුමන් මහි අංගන පුරවරයේ භද්‍රජෝති ආශ්‍රමයට නොගෙනාවේ නම්, ශරීරගත වූ විෂ සමගම බැඳුණු විනාශකාරී මන්ත්‍ර ශක්තිය හේතුකොට ගෙන මහාසිද්ධ මහරජතුමන්ගේ ජීවිතයට අනතුරක් වීම නිසැක බැවිනි. එහෙත් හෙළ දේශයේ සහ හෙළ ජාතියේ වාසනාවකට මෙන් එසේ මහරජතුමන් ගේ ජීවිතය ගැළවීම යක්ෂ ගෝත්‍රික සෙනෙවියන්ගේ කැපවීම සහ උත්තරීතර වූ රාජ්‍ය පක්ෂපාතීත්වය විදහා පෙන්වූ කැඩපතක් බඳු වීය.

ඉතා ඉක්මණින් මහරජතුමන් රැගත් සෙනෙවියෝ, භද්‍රජෝති මහසෘෂිතුමන්ගේ මග පෙන්වීම අනුව, ශෛලමය මහා අසපුවේ ඇතුළු ගැබකට පිවිසුණහ. විශාල ශාලාවක් වූ එය සත්‍ය වශයෙන්ම පුරාණ හෙළ වෛද්‍ය කර්මය ඇස්පනාපිට දිස්වුණු ආශ්චර්යවත් විද්‍යාගාරයක් වැනි වීය. භද්‍රජෝති මහසෘෂිතුමන් ගේ සිසුන් වූ තවත් සෘෂිවරුන් රාශියක් මහරජතුමන් ගෙනෙනා තුරු බලා සිටියහ. මහරජතුමන්ගේ සිරුර ඔසවාගෙන ආ සෙනෙවියන්, එතුමන්ව සුරක්‍ෂිතව වෛද්‍ය සයනයක තැන්පත් කළ පසුව, භද්‍රජෝති මහසෘෂිතුමෝ, එම සෙනෙවියන් දෙස බැලූහ.

“දැන් නුඹලාට බියක් ගන්නට කාරි නෑ. නුඹලාගේ රාජකාරිය නුඹලා අකුරටම ඉටු කළා සෙනෙවිවරුනි. මට නුඹලා ගැන ආඩම්බරයි. දැන් අප ඉක්මණින් මහරජතුමන් හට කළ යුතු ප්‍රතිකර්ම අරඹනවා. මේ ඖෂධ ප්‍රතිකාර සමගම යම්කිසි ප්‍රබල ඡේදන කර්මයක් මහරජතුමන්ට ඉක්මණින් කරන්නට සිදු වෙනවා. ඒ නිසා අවශ්‍ය වුණොත් මම නුඹලාව කැඳවන්නම්. එතෙක් නුඹලාට පිටතින් සිටින්නට සිදු වෙනවා.”

භද්‍රජෝති මහසෘෂිතුමන්ගේ බසට අවනත වූ වැඩිමහල් පුත් කුමරුවන් ඇතුළු සියලුම සෙනෙවියෝ, එතුමන්ට ආචාර කර වෛද්‍යාගාරයෙන් පිටතට පැමිණෙත්ම, දැවැන්ත දැවමුවා දොර වැසී ගියේය. පිටත වූ සුන්දරව වැඩී ගිය ගස් ගොමුවක් සහිත ශාලාවක රැඳුණු ඔවුන්, ඊළඟට කළ යුතු දේ සෙමෙන් කථා කරමින් සැලසුම් කළහ. මේ අතර භද්‍රජෝති අසපුවේ ආරක්ෂක සෙනෙවියන් වෙතින්, විඩාපත්ව සිටි මේ පිරිසට ආහාර සහ නවාතැන් ද සැපයීමට කටයුතු කරන ලදී.

මහරජතුමන් මනාව පිරික්සා බැලූ භද්‍රජෝති මහසෘෂිතුමෝ, කළ යුතු කාර්යය මනාව වටහා ගත්හ. මේ ගත වන්නේ කෙළි සෙල්ලම් කළ යුතු හෝරාවක් නොවේ. මුළු මහත් හෙළ ජාතියත්, හෙළ දේශයත් අන්තරායක වැටී ඇති මොහොතකි. එම නිසා කළ යුතු කාර්යය මනාව සිය සිසුන් හට පහදා දුන් මහසෘෂිතුමෝ, හුදෙකලාවම ඒ මහා ආශ්‍රමයේ මධ්‍යයෙන් ඉහළ කඳු ගැටය දක්වා වැටුණු පියගැටපෙළ නගින්නට වූහ. හිරු අස්තගත වී සිංහල හෝරා කිහිපයක් ගත වී ගොස් ඇති නිසා අන්ධකාර ඡායාවන්ගෙන් එම පියගැටපෙළ ක්‍රමයෙන් වැසී යන්නට පටන් ගෙන තිබුණි. සීතලත් සමග නැගෙන මිහිදුම් ක්‍රමයෙන් එතෙමින්, පැටළෙමින් මහසෘෂිතුමන් ගේ සිරුර වටා ගමන් කරන්නාක් බඳු විය. ඉහළට නැගී ගිය පියගැට පෙළ වංගු සහිත මාර්ගයකට පිවිසියෙන්, ගල් පතුරු අල්ලා මනාව සකස් කර තිබූ ඒ මාර්ගයේ ඡායා ගහන අංගනයන්ද, දැවැන්ත උළුවහු ද, ආරුක්කු ආකාර ගත් සෙල්මුවා කැටයම් සහිත දොරටු ද පසු කරමින් තවත් ඉහළට නැගී ගිය ඒ පටු මග කෙළවර තවත් විශාල පියගැට පෙළක් විය. සෙමෙන් සෙමෙන් එය නැග ගිය මහසෘෂිතුමෝ, කඳුගැටය මත වූ මනා ඉඩ ඇති වෘත්තාකාර වූද, දැවැන්ත ගල් කුලුනු වලින් යුතු වූද එළිමහන් අංගනයකට පිවිසියහ. එම ආශ්චර්යවත් වෘත්තාකාර අංගණයේ මධ්‍යයේ වූයේ ස්වස්තිකයක ආකාරයට හැඩ ගැසුණු ගරුඬ පාෂාණයෙන් සැදුණු අස්වාභාවික පූජාසනයකි. එය අසලට ගිය භද්‍රජෝති මහසෘෂිතුමෝ ඉහළ ආකාශය දෙස බැලූහ. එහිදී මිහිදුම් පටලය තුළින් දිස්වූයේ නැගෙනහිර අහසේ පායා තිබූ දඩයක්කාරයා හෙවත් ‘ඔරායන්’ තාරකා මණ්ඩලයයි. ඒ දෙස දැඩිව බලා සිටි මහසෘෂිතුමෝ පූජාසනයට අත ගසා වැඳ දෙනෙත් පියා කිසිවක් තොළ මතුරමින් සිට නිහඬ වූහ. මිනිත්තු කිහිපයක් එසේ නිහඬව ගෙවී ගියේය. ඉන් පසුව සියල්ල අස්වාභාවික ලෙස වෙනස් වීය.

පූජාසනයට ඉහළින් නැගෙනහිර අහසේ පායා තිබූ දඩයක්කාරයා හෙවත් ඔරායන් තාරකා මණ්ඩලයේ බඳ පටියේ වූ තාරකා ත්‍රිත්වයේ මධ්‍ය තාරකාව, ගිනිගෙන දැවෙන්නාක් මෙන් දීප්තියෙන් යුක්තව බබළන්නට වීය. ඒ සමගම අවට පරිසරය සිසාරා සුළි සුළඟක් ලෙසින් දැඩි වායු දහරාවක් හමා බසින්නට වූයේ මිහිදුම් පටලය දිය සුළියක් ලෙස භ්‍රමණය කරවමිනි. කලින් දිස්වූ තාරකාව තවත් දැඩිව දීප්තිමත් වන්නාක් මෙන් පෙනී ගිය අතර, මිනිත්තු කිහිපයක දී පෙනී ගියේ එම තාරකාවේ සිට තවත් උප ග්‍රහයෙක් වැනි යමක් කෙමෙන් කෙමෙන් පොළොවට පහත් වන බවකි. ඊළඟ මොහොතේදී එහි දකින්නට වූ ආශ්චර්යමත්ම දර්ශනය පෙනී ගියේය. මුළු ප්‍රදේශයම ශ්වේත වර්ණ ආලෝකයකින් ආලෝකමත් කරමින්, ඈත ආකාශයේ සිට පහතට ආ අස්වාභාවික යානයක් පූජාසනයට ඉහළ අහසේ නිහඬව නවත්වන ලදී. එයින් පිට වූ බඹර මැසි නාදයක් වැනි නාදයත් සමගම භද්‍රජෝති මහසෘෂිතුමෝ සෙමෙන් දෙනෙත් විවර කළහ.

ඔබ අප වර්තමානයේ අසා පුරුදු පිටසක්වළ යානා වලට බෙහෙවින් සමාන වූ එම යානය දෙස මහසෘෂිතුමෝ, සතුටින් පිරුණු දෙනෙතින් යුතුව බලා සිටියහ. මෙහිදී පොළොවට පියවර සියයක් පමණ ඉහළින් නවතා තිබූ එම යානයේ මධ්‍යයේ සිට දීප්තිමත් සෘජු ආලෝක කදම්බයක් පූජාසනයට එහා පැත්තෙන් පොළොවට පතිත කරන ලදී. ඒ සැණින් එම ආලෝක කදම්බය මධ්‍යයේ දිස්වූයේ අඩි දහයක් පමණ උසින් යුතු, දැවැන්ත පුද්ගලයෙකි. අයෝමය මාංශ පේශීන්ගෙන් සැදුම් ලද්දා වූද, ලෝහමය ශීර්ෂාවරණයක් පැළඳ ගත්තා වූද, ඇඟටම ඇළුණු කාලවර්ණ ඇඳුමකින් මුළු සිරුරම වැසී ගියා වූද එම පුද්ගලයා ගේ දෙනෙතෙහි වූයේ තනි කළු ඉංගිරියාවක් පමණි. සුදු ඉංගිරියාවක් නොවීය. ඔහු පිය නොගැසෙන දෙනෙතින් මහසෘෂිතුමන් දෙස බලා සිටියේය. “ආයුබෝවන් ෂිර්ඩෞන්... භද්‍රජෝති ආශ්‍රමයට සාදරයෙන් පිළිගන්නවා...”

කලකින් දුටු මිතුරෙකු හට මෙන් භද්‍රජෝති මහසෘෂිතුමෝ, අමුත්තා ඇමතූහ. “ආ.. යු.. බෝ.. ව.. න්.. භද්ද්ර ජෝත්ති... යක්ෂ ගෝත්රයට අපේ සුබ පැතුම්...”

දැවැන්ත පුද්ගලයා වූ ෂිර්ඩෞන් කැඩුණු හෙළ බසින් පවසා සිය දෑත එකතු කළේය. මෙහිදී පූජාසනය වටා ගිය භද්‍රජෝති මහසෘෂිතුමෝ සිය පිටසක්වළ මිතුරා වෙතට ළං වීය. ඔවුන්ගේ දෑත එක් වන්නට ගත වූයේ තත්පර ගණනක කාලයකි. “කොපමණ කාලයක්ද..? මට මතක විදිහට අපි මීට පෙර අන්තිම වතාවට හමු වුණේ අදින් වසර දෙසිය දහයකට පමණ පෙර...”

මෙහිදී ෂිර්ඩෞන් සිය සිහින් දත් පෙන්වා සිනාසුණේය. “ඔව්... ඩෙම්බ්‍රා වර්ෂ දෙසියයකට පෙර. ඔබලාගේ පළ වන මාසිද්ධා රජු ගේ කාලය දී...”

ඔහු එසේ කැඩුණූ හෙළ බසින් පැවසුවේ භද්‍රජෝති මහසෘෂිතුමන් හමු වූයේ මෙයට වසර දෙසියයකට පමණ පෙරාතුව බවයි. එනම් පළමුවන මහාසිද්ධ මහරජතුමන් ගේ කාලයේ බවයි. එයින් අදහස් වූයේ මෙම පිටසක්වළ අමුත්තා මෙන්ම භද්‍රජෝති මහසෘෂිතුමන් ද කාලය ජය ගත් උත්තරීතර පුද්ගලයන් දෙදෙනෙක් බවයි. ඔවුන් දෙදෙනාම සියවස් ගණනාවක පටන් දන්නා හඳුනන මිතුරන් වූහ. මෙහිදී ෂිර්ඩෞන් සිය තියුණු බැල්ම භද්‍රජෝති මහසෘෂිතුමන්ගේ දෙනෙත තුළට යොමු කළේය. “මට දැනෙනවා භද්ද්ර ජෝත්ති... හෙළ යක්ෂ ගෝත්ත්රයට ආන්තරාවක්... යුද්ධයක්...?”

ඔහු ප්‍රශ්නාර්ථයෙන් යුතුව විමසීය. මෙහිදී භද්‍රජෝති මහසෘෂිතුමන් සෙමෙන් හිස සෙළවූයේ ‘ඔව්’ කියන්නාක් මෙනි. මෙහිදී පිටසක්වළ සගයා දෙනෙත පුළුල්ව විවර කර හාත්පස බැලීය. “නුඹලා කිසිදාක නොමියෙන ජාතියක් භද්ද්ර ජෝත්ත්ති... හෙළය කඩන්නට උත්සහ කරන්නවුන්ට උරුමය විනාශය පමණයි. අපේ ලෝකයේ මහාර්ෂිවරුන් සියලුම දෙනා ඒ බව දන්නවා භද්ද්ර ජෝත්ත්ති... නුඹ මා කැඳවූයේ අපගේ සහය ගන්ටයි. නෑ... එය අවශ්ය නෑ භද්ද්ර ජෝත්ත්ති.. නුඹලා සතුව ඉන්නවා වෙනත් ප්‍රරබල කොටසක්...”

කැඩුණූ හෙළ බසින් මෙසේ කියූ ෂිර්ඩෞන්, භද්‍රජෝති මහසෘෂිතුමන් දෙස බැලීය. මහසෘෂිතුමන් ගේ දෙනෙතේ වූයේ කුතුහලාත්මක බැල්මකි. “ඔව්... නුඹලාගේ නායකයා මේ වෙන කොටත් සයනයේ... ඒ වුණත් නුඹලා රකින්නට ඉන්නවා විශේෂ කොටසක්... ඔවුන්ට නුඹලා කියන්නේ ‘ගෝරා වරුන්’ කියා. මානසිකව ඔවුන් අප හා සමානවම බලවත්. ඔවුන් නුඹලාට හෙළ බිම දිනා දේවි. එහෙත් සැලෙන්නට එපා. අවශ්‍ය වුණොත් අප සිහි කරන්න. මේ විශ්වයේ හෙළ ගෝත්‍රය කවදාවත් තනි වන්නේ නෑ. විශ්ව ධාතුවම ඔබලා සමගයි...”

සෙමෙන් භද්‍රජෝති මහසෘෂිතුමන් හට ආචාර කළ ෂිර්ඩෞන් යළි ආලෝක කදම්බය තුළට නොපෙනී ගියේය. මදක් ඉහළට එසවී, දඩයක්කාරයා හෙවත් ‘ඔරායන්’ තාරකා මණ්ඩලයේ බඳ පටියේ මධ්‍ය තාරකාව දෙසට ඇසිපිය හෙළන සැනින් ගමන් ගන්නාවූ පිටසක්වළ යානය දෙස මහසෘෂිතුමන්, දෙනෙතේ නැගෙන කඳුළු මධ්‍යයෙන් බලා සිටියේය. “ඔව් මාගේ වීර හෙළ පුත්‍රයිනි... හෙළයන් කවදාවත් විශ්වයේ තනි වන්නේ නැහැ...” භද්‍රජෝති මහසෘෂිතුමන් සෙමෙන් එසේ පවසා ගැඹුරු සුසුමක් විශ්වයට මුදා හැරියහ.

කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

මතු සම්බන්ධයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.