වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මේ හෙළයො කියන්නෙ මහ පුදුම ජාතියක්...
සතුරු සේනාව නැගෙනහිර ඉරුගල්තැන්න සූර්ය දේවාලය වට කොට තිබියදී, හෙළ යක් සෙනෙවියන් විසින් වහාම මහරජතුමන් ඇතුළු පිරිස ජවාධික අශ්වයන් දෙදෙනෙක් විසින් අදිනා ලද රථයකින් පිටත් කර හරින ලද්දේ සූර්ය දේවාලයේ පිටුපසින් වූ රහසිගත උමං මාර්ගයකිනි. මහාසිද්ධ මහ රජතුමන් ගේ කාලයටත් වසර දහස් ගණනාවකට පෙරාතුව මේ සූර්ය දේවාලය ඉදි වූ කාල වකවානුවේ සිට පැවති එම පුරාතන උමං මාර්ගය පිළිබඳව දැන සිටියේ හෙළයේ නැගෙනහිර බළකොටුවට කලින් කල පත්ව ආ හෙළ යක්ෂ ගෝත්‍රික සෙනෙවියන් සහ හෙළයේ සටන් ශූරයින් පමණි.
හෙළ යක්ෂ ගෝත්‍රිකයන් විසින් ඉදි කරනු ලැබූ සූර්ය දේවාල අටක් හෙළ දෙරණ පුරා පැවති අතර, ඒ සියල්ලම සැලසුම් කරන ලද්දේ පුරාතන සෘෂිවරුන්ගේ භාෂිතයෙන්, ඔවුන්ගේ මග පෙන්වීම යටතේය. ඒ සියලුම හෙළ ගෝත්‍රික සූර්ය දේවාලවල අභ්‍යන්තරයේ ඉදි කෙරුණු උමං මාර්ග පද්ධතියක් වූ අතර, ඒ සියල්ල එකිනෙකට සම්බන්ධිත වූත්, ඇතැම් අවස්ථාවන්වලදී වෙන් වෙන් ප්‍රදේශ කරා දිවුනා වූත් මාර්ගයන් විය. එම මාර්ගවලින් හෙළයේ බොහෝ ස්ථාන කරා ගමන් කළ හැකි වූ අතර, එම රහසිගත උමං මාර්ග පද්ධතිය පිළිබඳව සම්පූර්ණයෙන්ම දැන සිටියේ හෙළයේ මහරජතුමන් සහ ප්‍රධාන සෙනෙවිවරුන්, මහ සෘෂිවරුන්, ගෝරාවරුන් ඇතුළු ඉතාමත් සීමිත පිරිසක් පමණි.
මහරජතුමන්, එතුමන් ගේ වැඩිමහල් පුත් කුමරුවන් සහ ප්‍රධාන සෙනෙවි ජයබුද්ධි ඇතුළු පිරිස එසේ අශ්ව රථයකින් ගමන් ගත් අතර, ඒ හා සමගම එම රථයට පසෙකින් ගමන් ගත්තේ මහරජතුමන්ගේ යාවජීව, සුවච කීකරු කඟවේනා වූ සුබායු ය. සැතපුම් ගණනාවක් පවා වෙහෙසක් නොමැතිව එක දිගට දිවිය හැකි තරම් ජවාධික සත්වයෙකු වූ සුබායු මහරජතුමන් ගිලන් වූ බව ඉවෙන් මෙන් දැන සිටීම හාස්කමක් මෙන් විය. කිසිදු රැහැනකින් බැඳ නොතිබූ ඒ ආදරණීය වූත්, ශක්තිමක් වූත් සත්වයා සිය ප්‍රබල වූත්, ප්‍රෞඪ වූත් සෙනෙහසින් යුතු ස්වාමි පුත්‍රයා යන්නේ මරණයට වුවද, එතැනට පවා එක සිතින් ගමන් ගන්නා හිතෛෂී සත්ත්වයෙක් වූයේය.
එම පිරිස එසේ උමං මාර්ගය ඔස්සේ වේගයෙන් ගමන් ගනිද්දී, එම උමං මාර්ගයට පසෙකින් වූ තවත් උමං මාර්ගයක් ඔස්සේ කාල වර්ණ සන්නාහයකින් මුළු සිරුරම ආවරණය කර ගත්තා වූත්, පූර්ණ සන්නාහ සන්නද්ධ වූත්, දෙනෙත පමණක් පෙනෙන ලෙස මුහුණ පවා ආවරණය කරගත් කිසිවෙක්, කඟවේනෙකු ගේ පිට නැගී වාත වේගයෙන් පිටතට ගමන් ගන්නට විය. ඒ නම් හුදෙකලාවම සබරගමු පුරවරය කරා ගමන් ගන්නා ජයමාලී දේවිය වූවාය. සිය ප්‍රබල ස්වාමි පුත්‍රයාගේ අවසන් නියෝගය අනුව, තනි නීල වර්ණ මාණික්‍යයෙන් සැදුම් ලද ස්වස්තික මුදුවද ගෙන ඇය මේ වේගයෙන් ගමන් ගන්නේ සබරගමු පුරවරයේ ගෝරාවරුන් ගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය පිහිටි සමනල ගිර වෙතය. ඇය, මහරජතුමන් කැටුව එහි ගොස් ඇත්තේ එක වතාවක හෝ දෙවතාවක පමණි. එහෙත් ඒ මාර්ගය ඇයට මතකය. ඒ නිසා හැකිතාක් ඉක්මනින් එම මාර්ගයේ ඇති දුර කෙටි කරමින් ජයමාලී බිසව ගමන් ගත්තාය. ඇයගේ සිතැඟි තේරුම් ගත්තාක් මෙන් ඒ ජවාධික කඟවේනා ද, වේරම්භ වාතය පොළවට හමා බැස්සාක් මෙන් අධික වේගයෙන් යුතුව ඒ දුඹුරු වන් පසින් පිරි කටුක මාර්ගය ඔස්සේ වේගයෙන් දුවන්නට විය.
නැගෙනහිර බළකොටුවේ කරුණු එසේ සිදු වෙමින් පවතිද්දී තුවාළ ලද හරේරා වත්තම් කරගත් සෙබළුන්, ඔහුව ගුප්ත විද්‍යාධාරී මෂ්පිණ්ඩි ගේ කූඩාරම වෙත ගෙන ගියහ. කලින් සිම්ජා ගේ නැවෙහි දී අප දුටු මෂ්පිණ්ඩි යනු ප්‍රබල ගුප්ත විද්‍යාධාරියෙක් මෙන්ම දක්ෂ වෛද්‍යවරයෙක් වූයේය. ඔහු හරේරාගේ උරහිසේ ඇනුණු කිණිස්ස, හරේරා මර හඬ තළද්දී සෙමෙන් ඉවත් කර, සුදුසු ඖෂධ යොදා වෙළන්නට පටන් ගත්තේය. තරමක සහනයක් දැනුණු හරේරා කෝපයෙන් දැවෙන්නට විය.
“ශුද්ධ වූ ජිබ්ලා දෙවියන් පල්ලා අර කැණහිලා මගේ අතට කිණිස්සෙන් දමලා ගැහුවා. ඒකට වඩා අර ගෑනු මට සේනාව ඉදිරියේම නින්දා කළා. මේ රට දිනා ගත්තාම මම ඒ ගෑණිව......”
එතැන් සිට ඔහු ජයමාලී දේවිය අල්ලා ගත් පසුවට ඇයට කරන්නට සිතා සිටි සියල්ල කෝපයෙන් කෑ ගසා කියන්නට විය. දැඩි අසභ්‍ය වචනයෙන් කෑ ගසන හරේරා දෙස සිම්ජා බලාගත් බැල්මෙන් බලා සිටි අතර, ඉග්ලීස් රජු සහ ජාගෙන්, සිනාමුසුව බලා සිටියහ. “දැන් කෑ ගහලා වැඩක් නෑ හරේරා. නුඹට සිදු වුණු තුවාලය සුව වෙන්න ටික දවසක් යාවි. හොඳ වෙලාවට ඒක ඒ තරම් මාරාන්තික නැහැ. ඒ නිසා කලබල නොවී විවේක ගන්න. සුව වුණාම නුඹට පුළුවන් ඇයව අල්ලා ගන්න. ඊට පස්සෙ නුඹ ඔය කියපු හැම දේම කරන්න පුළුවන්...”
ඉග්ලීස් රජු සිනාමුසුව පැවසීය. හරේරා තවත් කෝපයට පත් විය. “ඒ මදිවට අර සාම දූතයාද මොකාද කියන එකා. ඌටත් මම කරන්නේ ඒ ටිකමයි. ඌව අල්ලගෙන මම උගෙ.......”
තැන් පටන් හර්ෂදේවයන් හට බණින්නට වූ ඔහු ඒ සාම දූතයාට දෙන්නට හැකි උපරිම දඬුවම් දෙන බවට දිවුරා කීවේය. අනෙක් සියලු සගයින් සිනා සෙන්නට වූ අතර, හරේරා තව තවත් කෝපයට පත්විය. මෙහිදී මෂ්පිණ්ඩි හරේරාගේ උරහිසට අත නොතැබුවේ නම්, ඔහු තවත් අසභ්‍ය වදනින් එම කූඩාරම දෙවනත් කරනු ඇත.
“ඔබ දැන් ටිකක් විවේක ගත යුතුයි. එසේ නොවුණහොත් තුවාලය හොඳටම පෑරිලා සුව වෙන්නට තවත් කාලයක් යාවි. මොන දේ කරන්නත් ඔබ සුවපත් වී දෙපයින් නැගී සිටිය යුතුයි.”
මෙහිදී කෝපයෙන් ගෙරවූ හරේරා නිහඬ විය. මෂ්පිණ්ඩි ඔහුට තවත් ඇප උපස්ථාන කරද්දී, සගයින් තිදෙනා කූඩාරමෙන් එළියට පැමිණියහ. මෙහිද සතුරු සේනාවේ සිම්ජාගේ බළකායට අයත් ප්‍රධාන සෙනෙවියෙකු කඩිනමින් ඔවුන් වෙත පැමිණියේය.
“අවසරයි කුමාරෝත්තමයාණන් වහන්ස, අපේ උතුරින් සහ බටහිරින් ගොඩ බැස්ස සේනාවන් දෙක දැන් ගම්මාන පසු කරමින් ඉදිරියට එනවා කියා මට පණිවිඩයක් ලැබුණා. ඒ වගේම දකුණින් ගොඩ බැස්ස ඉග්ලීස් රජුගේ සේනාව කණ්ඩායම් දෙකක් යටතේ රට තුළට ගමන් කරනවා කියලා තමයි කියවෙන්නේ.” මෙහිදී සිම්ජා තීක්ෂණ දෙනෙතින් සිය සෙනෙවියා දෙස බැලීය. “උන්ට මොකුත් හොයා ගන්න හම්බ වෙලාද? අභ්‍යන්තර සටන් එහෙම..?” සෙනෙවියා සිය හිස සැලීය.
“එහෙම කිසිම සටනක් වෙලා නැහැ කුමාරෝත්තමයාණන් වහන්ස. ඔවුන්ට හමු වුණ හැම ගමක්ම පාළු වෙලා ගිහින් කියල තමයි කිව්වෙ. එක ගමක වත් කොල්ලකන්න කිසිම දෙයක් ඔවුන්ට හම්බ වෙලා නෑ. අඩුම තරමෙ තිරිඟු ඇට ටිකක්, වී මල්ලක් තරමක වත් දෙයක් තිබිලා නැහැ. හැම ගමකම හැම ගෙදරකම ප්‍රධාන දොරේ යතුරු, ඒ යතුරු හිල්වලම තියලා ගිහින්. හරියටම අපි එන බව දැන හිටියා වගේ. අපේ සේනාව දැන් ගම් රාශියක බලය තහවුරු කරගෙන.” මෙහිදී සිම්ජා දත් මිටි කෑවේය.
“එහෙම වෙන්නෙ කොහොමද? අඩු ගානෙ උන්ගෙන් එකෙක් හෝ අහු වුණා නම් ඌව හම ගහලා හරි අපිට ඇත්ත හොයා ගන්න පුළුවන්. ඒත් මේ හෙළයො කියන්නෙ මහ පුදුම ජාතියක්. උංට ඉව තියෙනවද කොහෙද අපි එනකොටම හැංගිලා යන්නෙ.”
මෙසේ කියා සිම්ජා කෝපයෙන් ඉවතට හැරෙත්ම, තවත් උප සෙනෙවියෙක් සිම්ජා කරා කලබලයෙන් දිව ආවේය. සියල්ලන්ගේම අවධානය ඔහු වෙත යොමු විය. “අවසරයි කුමාරෝත්තමයාණන් වහන්ස...” ඔහු හති දැම්මේය. “කියනු... කුමක්ද පණිවුඩය...?” සිම්ජා ගෙරවීය.
“තුවාල ලැබූ හෙළයින්ගේ රජු යැයි සැක කළ හැකි අයෙක් ආවරණය කළ අශ්ව කරත්තයකින් අර රන්වන් ගොඩනැගිල්ලේ පිටුපස තියෙන රහස් උමගක් ඇතුළට අරන් යනවා අපේ ඔත්තුකරුවන් දැකලා තියෙනවා. ඒ වගේම හරේරා හට අභියෝග කළ සටන් ශූර කාන්තාව කඟවේනෙක් පිට නැගී ගොඩනැගිල්ලට බාහිරින් තියෙන වෙනත් මාර්ගයකින් බස්නාඉර දිශාවට මේ දැන් පිටත්ව ගියා කියලා ඔවුන් කියනවා.” මෙහිදී දෙබැම රැළි නැංවූ සිම්ජා කල්පනාකාරී විය.
“මෙතැනින් බස්නාඉර දිශාවට කියන්නෙ අපි සිතියමේ දැකපු, රට මැද තියෙන සමනල ගිර වෙතට යනවා කියන එකයි. ඒ කියන්නෙ ඇය පිටිපස්සෙන් ගියාම අපිට බොහෝ දේ දැන ගන්න පුළුවන් කියන එකයි. සිම්ජා ගේ මුවෙහි ක්‍රෑර මද හසක් මතු වී නිවී ගියේය.
මතු සම්බන්ධයි.
කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත