යක්ෂ ගෝත්‍රිකයන් නවතාලිය හැක්කේ මරණයට පමණයි...

මාර්තු 8, 2019

සටන් ශූර හර්ෂදේවයන් ඇතුළු නැගෙනහිර හෙළ බළ සේනාව ඒ මහා සූර්ය දේවාලය හාත්පසින් රැකවල් කරද්දී, ජයමාලී බිසවත්, වැඩිමහල් පුත් කුමරුවන් ඇතුළු නැගෙනහිර බලනගිර බළකොටුවේ සෙනෙවියන් පිරිස සිය ආදරණීය හෙළයේ මහා සූර්ය පුත්‍රයා වැතිරගෙන සිටි සයනය වටා රොක්ව සිටියහ. සිහිසුන් වී සිටි ඒ මහා පුරුෂයා ගේ සිරුරින් සන්නාහය ඉවත් කර තිබූ අතර, නැගෙනහිර බලනගිර බළකොටුවේ ප්‍රධාන හෙළ වෛද්‍යාචාර්යවරයා විසින් තීක්ෂණ ලෙසින් මහරජතුමාව පරීක්ෂා කරමින් සිටියේය. නිහඬව රජතුමන්ගේ නාඩි පිරික්සා බැලූ ඒ වෛද්‍යවරයා සෙමෙන් ජයමාලී දේවිය දෙස බැලුවේ වෙනස්ම බැල්මකිනි. දෙදණ දක්වා දිගු කේශ කලාපයක් හිමි, සිහින් සිරුරැති එම හෙළ යක්ෂ ගෝත්‍රික වෛද්‍යවරයාගේ තියුණු දුඹුරු දෙනෙත් අබිරහස් බවකින් යුක්ත විය.

“මට පේන විදිහට එතුමන්ගේ සිරුරට දරුණු විෂක් ඇතුළු වෙලා තියෙනවා දේවීන් වහන්ස. මගේ උපදේශය නම් එතුමන් වහාම මහි අංගන අඩවියට ගෙන යා යුතු බවයි.” ජයමාලී දේවිය තියුණු බැල්මෙන් වෙදැදුරා දෙස බැලුවාය.

“එහෙනම් වෙද ඇත්තෝ කියන්නේ මේ කුමන ආකාරයේ විෂක්ද?” මහරජතුමන් ගේ සුරතින් අල්ලා නාඩි පරීක්ෂා කර බලමින් සිටි සිහින්දෑරි මිනිසා ප්‍රවේශමෙන් එම රාජකීය හස්තය යහනාව මත තැබීය.

“ධූත ලක්ෂණේ ආකාරයට මට පේන්නේ ඒක කිසියම් ආකාරයක ගෝණුසු වර්ගයක විෂක් වගේ. ඒත් ගෝණුස්සෙකු ගේ විෂ මිනිස් සිරුරට ඇතුළු වුණාම ඇති වන ලක්ෂණ මේවා නෙවෙයි. ඒ වගේම මහරජතුමන් ගේ නාඩි වැටෙනා වේගය ව්‍යාකූලයි. මගේ දැනුමේ ආකාරයට එහෙම වෙන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පීඩාවට පත් වුණාම. ඒ වගේම ප්‍රධාන බල නහරයක ගැස්මක් පවතිනවා. ඒකෙන් පැවසෙන්නේ එතුමන්ගේ හෘදය වස්තුවට රුධිරය සැපයෙන ධමනියක් අක්‍රිය වෙමින් පවතින බව. නියපොතු වලත් යම් යම් වෙනස්කම් සිදු වෙලා. මේ ලක්ෂණ වලින් පේන්නේ ගෝණුසු විෂට අමතරව මොවුන් කිසියම් විනාශකාරී මන්ත්‍ර ගුරුකම් මගින් මේ විෂ තවත් බල ගන්වා ඇති බවයි. ඒ කියන්නේ විෂ වෛද්‍යවරයෙකුට සොයා ගැනීමට නොහැකි වන ආකාරයට බාහිරින් පේන රෝග ලක්ෂණ වහලා දාලා තියෙනවා. එවිට විෂ ක්‍රියාත්මක වන්නේ අභ්‍යන්තර ස්නායුක විෂක් විදිහටයි. එහෙම වෙන්නේ මන්ත්‍ර ශක්තියෙන්. ඒ සඳහා විෂ ඉවත් කිරීමට සමානුපාතිකවම බැඳලා තියන බන්ධන සඳහා ඡේදන කර්මයක් ද කළ යුතුයි.”

හෙළ වෙද ඇත්තා සෙමෙන් වුවත් පැහැදිලි කට හඬකින් කියාගෙන ගියේය. ජයමාලී දේවිය කඳුළු පිරි දෙනෙතින් යුතුව සිය ස්වාමි පුත්‍රයාගේ හිස පිරිමැද්දාය.

“ඒත් වෙද ඇත්තෝ හදිසියේම අපට ඡේදන කර්මයක් මෙතැන කළ නොහැකියි. දස දහස් ගණනක සතුරු සේනාවක් වටලාගෙන සිටිද්දී අපට ශාන්ති කර්ම කළ නොහැකියි.”

වෙද ඇත්තෝ, සිය මහා රාජිණිය දෙස බැලූහ. එහෙත් කළ යුත්ත කඩිනමින් කළ යුතුමය. “වහාම අපේ මහ රජතුමන් මහි අංගනයට ගෙන යා යුතුමයි. දැන් කාල හෝරාවත් ඒ තරම් හොඳ මදි. ඉරු අස්තගත වන්නට පෙරාතුව වත් අප මහරජතුමන් මහි අංගනයට ගෙන යා යුතුමයි. එසේ නැතහොත්...”

මෙසේ කියූ ඒ දූරදර්ශී හෙළ වෙද ඇත්තා ගැඹුරු සුසුමක් හෙළීය. ජයමාලී දේවිය බියත්, කුතුහලයත් රැඳුණු දෑසින් වෛද්‍යාචාර්යවරයා දෙසම බලා සිටියාය. ඇයගේ මනසට නා නා විධ අදහස් ගලා ආවේ ක්ෂණයකිනි.

“එසේ නැතහොත් කියා ඔබ අදහස් කළේ වෙද ඇත්තෝ...?” වෛද්‍යවරයා සෙමෙන් හිස ඔසවා බැලීය.

“මට දැනෙන ආකාරයට මේ තත්ත්වයට ප්‍රතිකාර තිබෙන්නේ මහි අංගන ප්‍රදේශයේ පමණයි. අද දිනයේ ඉරු අස්තගත වන වේලාවට මහ රජතුමන් එතැනට ගෙන යාමට නොහැකි වුවහොත්, හෙට උදෑසන ඉර එළිය මහ පොළොවට වැටෙනා හෝරාව හෙළයේ අවාසනාවන්තම කාල හෝරාව වනු නිසැකයි.”

ජයමාලී දේවිය තුෂ්ණිම්භූත වූවාය. එහෙත් කළ යුත්ත කළ යුතුමය. ඇය සිය සෙනෙවිවරුන් දෙස හැරෙත්ම, ප්‍රධාන සෙනෙවියා වූ ජයබුද්ධිත්, නැගෙනහිර බලනගිර බළකොටුවේ ප්‍රධාන සෙනෙවියන් කිහිප දෙනාත් ඉදිරියට පැමිණියහ. ජයබුද්ධි සිය හඬ අවදි කළේය.

“දෙවියන් වහන්ස, අපට මහරජතුමන් රාජකීය රථයේ තබා සූර්ය දේවාලයේ පිටුපස රහසිගත උමං මාර්ගයෙන් පිට කරන්න පුළුවන්. ඒක සැතපුම් දෙක හමාරක් පොළොව යටින් ගමන් කරලා, නුගසෙන්පුර රාක්ෂගිරි පර්වතය අසල කැළෑවෙන් මතු වෙනවා. එතැන ප්‍රධාන මුර පොළින් අපට ආරක්ෂාව ලබා ගන්නට පුළුවන්. එයින් සැතපුම් පහක් දුරින් තමයි ගූඪාක්ෂ මහ සෙනෙවියාගේ වායු පා යාන අංගනය තිබෙන්නේ. එතැනින් ගුවන් රථයක් ලබාගෙන අපට මහරජතුමන් සිංහල පැය තුනකින් මහි අංගන පුරයට ගෙන යන්නට පුළුවන්.”

ඔහු විස්තර කළේය. ජයමාලී පැහැදිලිව එය අසා සිටියාය.

එකල හෙළයේ නිෂ්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගගන යාත්‍රා තිබූ අතර හදිසි අවස්ථාවන් වලදී ඒවා භාවිතා කරන ලදී. ඒවා රසදිය හා ශාක කොටස් නිස්සාරණයෙන් ලබා ගත් රසායන ද්‍රව්‍ය වලින් ගුවන් ගත වූ අතර, වා රිය පොළ, මහි අංගන වැනි අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වලින් ඒවා ගුවන් ගත කරන ලදී. බොහෝ විට ඒවා යොදා ගන්නා ලද්දේ අත්‍යවශ්‍ය කරුණක දී පමණක් ගුවනින් මිනිසුන් සහ ද්‍රව්‍ය ගෙන යාමටය. යුද කටයුතු සඳහා ද නිෂ්පාදන කර තිබූ යානා තිබූ නමුත්, රසදිය ඇතුළු වෙනත් පාෂාණ වලින් ලබාගත් රසායන ද්‍රව්‍ය යොදා තිබූ ඒවායේ විනාශකාරී බව අධික නිසා සත්ව ජීවිත හානි වීම වැළකීම සඳහා ඒවා භාවිතයට නොගන්නා ලදී. දැන් එළඹ ඇත්තේ හදිසි අවස්ථාවකි. හැකි ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුය. ජයමාලී දේවිය, පිරිස ඇමතුවාය.

“ජයබුද්ධි, ඔබ මාගේ පුතණුවන් සමග වහාම මහරජතුමන් රැගෙන මහි අංගන ප්‍රදේශයට යන්න. ඒ වගේම ජීවබන්ධු, ඔබ හර්ෂදේවයන් හා නැගෙනහිර බළ සේනාව සමග එක් වී, නැගෙනහිර බලනගිර බළකොටුවේ ආරක්ෂාව තහවුරු කරන්න. පාලේන්ද්‍ර, ඔබ ශූභ්‍ර සමග එක් වී අපගේ මාළිගයට පණිවුඩයක් යවන්න. අපගේ දරුවන් සියල්ලන්ට ඇති තොරතුරු පහදා දී ඔවුන් සුරක්‍ෂිත කරන්න. අභිරථ, ඔබ අනෙක් ජ්‍යෙෂ්ඨ සෙබළුන් සමග එක් වී හෙළයේ සිව් දිශාවටම පණිවුඩ යවන්න. හැකිතාක් ඉක්මණින් පියාසර දූතයන් සහ ධාවකයන් මගින් තොරතුරු ලබා ගෙන හෙළයේ සෑම කඳුකර බළකොටුවකටම ලැබෙන්න සලස්වන්න.”

තියුණු හඬින් මෙසේ අණ දුන්නේ ජයමාලී නම් ආදරණීය බිසව නොව, හෙළයේ මහා අධිරාජිණියයි. සියල්ලෝම හිස නවා ආචාර කරමින් එම නියෝග පිළිගත්හ. ඉන්පසුව ඇය සෙමෙන් මහරජතුමන් වැතිර සිටි සයනයට ළංව සෙමෙන් ඔහුගේ සුරත ගෙන, එහි මැදඟිල්ලේ පැළඳ සිටි නීලවර්ණ මාණික්‍යමය ස්වස්තික මුද්ද සෙමෙන් ගළවා අතට ගත්තාය. තනි නිල් මැණිකක් කපා දක්ෂ ලෙස සාදා තිබූ එම රාජකීය මුදුවේ මුහුණත වෘත්තාකාර කොටසේ, ඉදිරියට අර්ධ උන්නත ලෙස උළුප්පා තිබූ කැටයමින් අලංකාර වූ ස්වස්තිකය පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඉතා ගෞරවනීය ලෙසත්, භක්ති පූර්වකවත් එය සුරතට ගත් ඇය එය සෙමෙන් සිය සන්නාහයේ, ළමැද ආසන්නයේ සකස් කර තිබූ රහසිගත සාක්කුවක තැන්පත් කළාය. ඉන්පසුව සෙනෙවිවරුන් සිය මහ රජතුමන් ගේ සිරුර ගමනට සූදානම් කරද්දී, ඇය සිය සන්නාහයේ පටි තද කර ගෙන, කාලවර්ණ හිස් වැස්මද දෙනෙත පමණක් පෙනෙන සේ මුහුණ වැසෙන පරිදි පැළඳ ගත්තාය. ක්ෂණිකව ඇය එසේ සූදානම් වෙද්දී සෙනෙවිවරුන් මහරජතුමන් ගේ සිරුර මනාව සැහැල්ලු සළු වලින් ඔතා සූදානම් කර තිබිණ. එහිදී වැඩිමහල් පුත් කුමරුවන් සිය මව් රැජිණ දෙස බැලීය.

“මව් රැජිණියනි. ඔබ වහන්සේ කොහේද යන්නේ මේ වෙලාවේ...” ජයමාලී දේවිය සන්සුන් බැල්මකින් සිය පුත් කුමරුවන් දෙස බැල්මක් හෙළුවාය. “සබරගමුවට... නුඹ පියාණන් රැගෙන ජයබුද්ධි සමගින් මහි අංගන පුරයට යන්න. මා පසුව එහිදී නුඹව හමු වන්නම්.”

මෙහිදී ජයබුද්ධි සිය මහා රාජණිය දෙස බැලීය. “ඔබ සබරගමුවට යන්නේ හුදෙකලාවමද දේවීන් වහන්ස? මාර්ගය අවදානම් සහිතයි. ලැබුණු තොරතුරු වලට අනුව සතුරා මග දෙපස සෑම තැනකම සිටිය හැකියි.”

මෙහිදී ජයමාලී දේවිය තීක්ෂණ දෙනෙතින් සිය මහ සෙනෙවියා දෙස බැලුවාය. “මා යක්ෂ ගෝත්‍රික භීමනාථ හරඹාචාර්යයන්ගේ දියණිය. අපි හෙළ යක් ගෝත්‍රිකයෝ ජයබුද්ධි. එය අමතක වුණාද? යක්ෂ ගෝත්‍රිකයන් නවතාලිය හැක්කේ මරණයට පමණයි...”

මතු සම්බන්ධයි.

කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.