මාරක දෛවය වෙනස් කළ සාම දූතයා...

මාර්තු 1, 2019

සිය වමතේ වැළමිට ආසන්නයේ දැණුනු දැඩි වේදනාව නිසා අත හරවා බැලූ මහාසිද්ධ මහරජතුමන් දුටුවේ, සිහින් ඉත්තෑ කූරක් වැනි සිහින් කූරක් තමාගේ සන්නාහයෙන් නොවැසුණු කොටසේ, අතේ මසට කා වැදී ගොස් ඇති බවය. එය දෙසට අවධානය යොමු වූ එතුමන් ගේ සිත මඳකට සටනෙන් බිඳීගියෙන්, සිම්ජා දැවැන්ත අසිපත හිසට ඉහළින් අමෝරාගෙන තමා වෙත කඩා පනිනු එතුමන් දුටුවේ අන්තිම මොහොතේදීය. ඒ මොහොත එතුමන් හට අසිපත ඔසවා ගැනීමට කාලය මඳ වූයෙන්, සටන දෙස බලා සිටි ජයමාලී දේවිය ඇතුළු හෙළ ගෝත්‍රයේ සියලුම දෙනාගේ දෙනෙත් දෙගුණයක් විශාල වී ගියේය. සතුරු සෙබළුන් බලා සිටියේ මේ උත්තරීතර පුරුෂයා, සිය නායකයා ගේ අසිපත් පහරින් දෙපළු වී ගොස් බිම ඇද වැටෙන ආකාරයයි. ක්‍රෑර බැල්මකින් හරේරා ඒ දෙස බලා සිටි අතර, ඉග්ලීස් රජුගේ බැල්ම තියුණු වී ගොස් තිබිණ. එහෙත් ජාගෙන් පමණක් මහත් තැතිගැන්මකින් ඒ තත්පර කිහිපයේ ඇඟ ලෙය හිරි වට්ටන දසුන දෙස බලා සිටියේය. නමුත් සියල්ල කල් තබා දැන සිටි හෙළයේ පෙරදිග සටන් ශූරයා, මහරජතුමන්ගේ එම මාරක දෛවය වෙනස් කළේ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයටය.

දැවැන්ත තියුණු අසිපත තමාගේ හිස වෙත එල්ල කරමින් සිම්ජා වේගයෙන් පනිත්ම, මහරජතුමන් ආවරණය කරමින් අස්වාභාවික වේගයකින් ඉදිරියට ආ හර්ෂදේවයෝ, සිය ජීවිතය පවා නොතකා සිය තියුණූ නැමි කඩුපත් යුගළය කතිරාකාරව ඔසවා සිම්ජාගේ මාරක පහර බිඳ හැරියේ කිසිවෙකුටත් සිතාගත නොහැකි අන්දමටය. සිම්ජා හට සිතීමටවත් කාලයක් නොමැති අන්දමින් අසිපත් පහර වැළකී සමබරතාව ගිලිහී යත්ම, කෝප වේගයෙන් දැවුණු හර්ෂදේවයෝ හිටි තැනම ගුවනට පැන එල්ල කළ පා පහර සිම්ජාගේ පපුවට එක එල්ලේ වැදුණෙන්, ඔහු අඩි කිහිපයක් පිටුපසට විසිවී ගොස් බිම පතිත විය. එසැණින් තවත් පිම්මකින් ඉදිරියට පැන්න නැගෙනහිර දිග සටන් ශූරයා, සිය තියුණු නැමි අසිපත් යුවළ කතිරාකාරව, බිම වැටී සිටි සිම්ජාගේ ගෙලට තැබුවේය. හෙළ සෙබළුන් සහ සතුරු සෙබළුන් යන සියලුම දෙනා මෙවිට නැඟිට සිටි අතර, සිහින් කසු කුසුවක් දෙපාර්ශවයේම සෙබළුන් අතර පැතිර ගියේය.

“තෝ නීචයා...”

හර්ෂදේවයන්ගේ තියුණු කටහඬ ප්‍රදේශය පුරා රාව ප්‍රතිරාව නැංවීය. “එහෙනම් ඒකද නුඹලාගේ සැලැස්ම? අපගේ මහරජතුමන් සමඟ මුහුණට මුහුණ ලා සටනේ යෙදී සිටියදී සැඟවී විෂ තුඩු විදීමෙන් එතුමන් ඝාතනය කිරීම? ඒකද නුඹලාගේ මහ ලොකු බටහිර දිග ප්‍රතිපත්තිය?”

සිම්ජා ගොළු වී ගියේය. හර්ෂදේවයෝ සිය තියුණු දෙනෙතින් සතුරු සෙනඟ සිසාරා බැල්මක් හෙලූහ. ඒ වන විටත්, හරේරා සිය උරහිසේ ඇනුණු කිණිස්ස සමඟින්ම වේදනාවෙන් මිරිකෙමින් බලා සිටියේය. සිදු නොවිය යුතු යමක් සිදු වී ඇති බව වටහාගත් සතුරු සේනාවේ සෙබළුන් එකෙක් හෝ ඉදිරියට ආවේ නැත. ඔවුන් සිටි සිටි තැන්වලම සිටගෙන සිදුවන්නට යන දේ බලා සිටියහ.

මෙවිට සිය අතේ ඇනුණු විෂ තුඩ අනෙක් අතින් ගලවා ඉවත් කළ මහරජතුමෝ, එම තුඩ අතට ගෙන ජයමාලී දේවිය දෙසට හැරුණා පමණි... තම දේවිය ඇතුළුව තමා ඉදිරිපිට සිටිනා සියලුම දෙනා බොඳ වී, මීදුමක සැඟව යන්නාක් මෙන් මහරජතුමන්ට දැණුනි. පාලනයෙන් තොර වූ එතුමන් ගේ පා පැටලී යන්නට වූයෙන් සිය සුරතේ වූ අසිපත ක්ෂණිකව බිමට ඇන එතුමෝ දණින් වැටුණහ. ඒ සමඟම ජයමාලී දේවිය යටි උගුරින් කෑ ගසමින් සිය ස්වාමියා අසලට දිව ආ අතර, වහාම සිම්ජාගේ ගෙල දෙපසින් අසිපත් යුවළ ආපසු ඇදගත් හර්ෂදේවයෝ, වහාම දිව අවුත්, සිය අධිරාජයා බිම පතිතවන්නට නොදී වත්තම් කර ගත්හ. එසැණින් සිම්ජා නැඟිට වහාම සිය සෙබළුන් අතරට දිව්වේය. ඒ සමඟම නැගෙනහිර බලකොටුවේ අනෙක් ආරක්ෂක සෙනෙවියන් පිරිස වේගයෙන් ඉදිරියට පැන, සතුරු සේනාව දෙසට මුහුණලා අසිපත් මානාගත්තේ, යම් හෙයකින් ඔවුන් සිය මහරජතුමන් හට පහරදීමක් සිදු වුවහොත් එයට මුහුණදීම සඳහාය. තමාගේ බොඳ වූ දෙනෙතට ඉහළින් දිස් වුණු මුහුණ තමාගේ ආදරණීය බිසවගේ බව වටහාගත් මහාසිද්ධ මහරජතුමන් සෙමෙන් යමක් කෙඳීරුවේය. “ජ.. ය.. මා.. ලී.. මාගේ ස්වස්තික මුදුව... එය වහාම ධූරා වෙත ගෙන යන්න... ධූරා වෙත...”

තම සුරත ඇය වෙත පාමින් මහරජතුමෝ එලෙසින් ගොත ගැසූහ. ඇය ඒ ප්‍රබල සුරත තරයේ අල්ලා ගත්තාය. ඒ සමඟම එතුමන්ගේ දෙනෙත ක්ෂණික අන්ධකාරයක ගිලී ගියෙන් බාහිර සියලු මතකයන් එතුමන්ගේ මතකයෙන් බැහැර විය. සිරුර අප්‍රාණික වී ගියෙන් ජයමාලී දේවියගේ සුරත දැඩිව අල්ලාගෙන සිටි ප්‍රබල ග්‍රහණය සිඳී ගොස් ඒ මහා සූර්ය පුත්‍රයා සිහිසුන්ව, හිඳගෙන සිටි සිය ආදරණීය බිසවගේ උකුල් තලාව මතට ඇද වැටුණේ විනාශකාරී පොරෝ පහරින් ඇද වැටෙන මහා වනස්පති වෘක්ෂයක් මෙනි. ඒ සමඟම යටි උගුරින් ජයමාලී දේවිය නැගූ විලාප හඬ ඒ මුළු මහත් ප්‍රදේශය පුරා, දෝංකාර දෙමින් පැතිර ගියේය.

වැඩිමහල් පුත් කුමරුවන් වහාම සිය පියාණන්ගේ සිරුර වටා අත යවා අනෙක් සෙනෙවියන් හට සංඥා කළෙන්, ඒ සමඟම ක්‍රියාත්මක වූ නැගෙනහිර දිග ප්‍රධාන සෙනෙවිතුමන් ඇතුළු පරිවාර සෙනෙවියන් වහාම සිය අධිරාජ්‍යයා ඔසවාගෙන සූර්ය දේවාලය දෙසට දුවන්නට වූහ. සටන් බිම ඉතිරි වූයේ ජයමාලී දේවියත්, නැගෙනහිර දිග සටන් ශූරයා වූ හර්ෂදේවයන් සහ මහාසිද්ධ මහරජතුමන්ගේ වැඩිමල් පුත් කුමරුවා පමණි.

“ඒයි නුඹ... ජටාධාරියා... මෙහි වර නීචයා...”

ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් සිටි ජයමාලී දේවිය සිය තියුණු නැමි කඩුපත ඇද ගනිමින්, සටන් බිම කෙළවර වැටී සිටි හරේරා වෙත හුදෙකලාවම ගමන් කළාය. හර්ෂදේවයන්ගේ තියුණු කිණීස්ස උරහිසේ ඇනී ගොස් තුවාල ලබා සෙබළුන් දෙදෙනෙක් වත්තම් කරගෙන සිටි හරේරා, තමා දෙසට කෝපයට පත් දිවි දෙනක් ලෙස වේගයෙන් පැමිණෙන කාලවර්ණ සන්නාහයෙන් මුළු සිරුරම වැසී යන සේ හැඳ සිටි ජයමාලී දේවිය දෙස බලා සිටියේය. ඇයගේ නිරාවරණය වී තිබුණේ රූමත් මුහුණ සහ මැණික් කටුවෙන් පහළ අත්ල පමණි. එහෙත් ඇය කෙතරම් රූමත් කාන්තාවක් දැයි වේදනාව මධ්‍යයේම හරේරා කෑදරකමින් යුතුව කල්පනා කළේය.

ඒ සමඟම සතුරු සෙබළුන් කිහිපදෙනෙක් ජයමාලී දේවිය ඉදිරියට පැන්නේ ඇයගේ ගමන නවතා ලන්නටය. මේ රූමත් මෙන්ම සියුමැලි කාන්තාව එක කඩු පහරින් මරා හෙළන්නට ඔවුන් සිතුවා විය හැකිය. එහෙත් හෙළයේ මහරජතුමන්ගේ ආදරණීය බිසව මෙන්ම, උත්තරීතර හෙළ ගෝත්‍රයේ මහා රාජිණිය යනු කවුරුන් දැයි එම සෙබළුන් දැන නොසිටීම ඔවුන්ගේම අවාසනාව විය. කුඩා කල සත්වැනි වියේ පටන් විවාහ වූ දහ අට හැවිරිදි විය දක්වා රණගල හටන් පරම්පරාවේ ප්‍රධානියා වූද, තම පියා වූද, භීමනාථ මහා සෙනෙවියාගෙන්ද, විවාහ වූ පසුව සිය ප්‍රබල ස්වාමියා වූ මහාසිද්ධ මහරජතුමන්ගෙන්ද සටන් ක්‍රම ප්‍රගුණ කළ ජයමාලී දේවිය, වසර ගණනාවක් හෙළයේ රාජකීය කාන්තා සටන් බළකායේ ප්‍රධාන හරඹාචාර්යවරිය ලෙසද කටයුතු කළාය. පස් දරු මවක් වුවද, ඇය තමාගේ දියණියන් දෙදෙනාටම සටන් පුහුණුව පූර්ණකාලීනව ලබාදීමට තරම් ශක්තිමත් තැනැත්තියක් වූවාය.

ඉදිරියෙන්ම පැමිණි සෙබළුන් දෙදෙනා ක්ෂණික කඩු පහරවල් දෙකකින් කපා හෙලූ ඇය, දෙවනුව ඇය වෙත කඩාපැන්න දැවැන්ත ලුන්ඩා යෝධයාගේ දෑතම කපා හෙලුවේ සිතා ගැනීමටවත් පවා නොහැකි ශීඝ්‍රතාවයකිනි. ඒ සමඟම අනෙක් සෙබළුන් සෙමෙන් ඇය වෙතින් ඈත් වූ අතර, බිම වැටී සිටි හරේරාට පියවර දහයකින් පමණ මෑතින් නතර වූ ඇය තියුණු හඬින් හරේරා ඇමතුවාය.

“ද්වන්ද්ව යුද්ධයකට පිටුපසින් හිඳ විෂ විදින්නේ නීචයෝ. නුඹලාගේ කාන්තාර සම්ප්‍රදාය කොහොමත් සැඟවිලා යුද්ධ කරන එක. මා දැන් නුඹගේ සේනාව ඉදිරිපිටදීම නුඹට අභියෝග කරනවා නීචයා. නුඹ මා සමඟ ද්වන්ද්ව සටනකට ආ යුතුයි. එය අනිවාර්යනේම සිදුවනවාමයි. මතක තබාගනු. කොඳු ඇට පෙළක් තිබේ නම්, පුරුෂ ධෛර්යයක් කියා යමක් නුඹ තුළ තිබේ නම් නුඹ මා හා සටන් කළ යුතුයි. මා දැනට නුඹ අතහරිනවා. එහෙත් අවස්ථාව උදා වූ සැණින් මා නුඹව මරා දමනවා. එය පැහැදිලිව මතක තබාගනු...”

මසේ කියා ජයමාලී දේවිය, හාත්පස සිසාරා සිටි සතුරු සේනාව දෙස සිය කාලවර්ණ තියුණු දෙනෙතින් ප්‍රබල බැල්මක් හෙළුවාය. ඉන්පසුව යළිත් වරක් හරේරා දෙසට තම තියුණු අසිපත් තුඩ දිගු කර අනතුරු ඇඟවීමේ සංඥාවක් කළ ඇය, හුදෙකලා සිංහ රාජිනියක් ලෙස ප්‍රතාපවත් ගමනින් යළිත් සූර්ය දේවාලය වෙතට යන්නට වූවාය. හුස්මක් කටක් ගත නොහැකි වූ සතුරු සේනාවේ සියලුම දෙනා, තමන්ගේ කාන්තාරවාසී දේශයේ ඔටුන්න හිමි කුමරුවා, ස්ත්‍රියක අබියස නිවට වී, නියාළු වී යනු කම්පාවෙන් යුතුව බලා සිටියහ. ඒ සමඟම සිය ප්‍රබලත්වය හුදෙකලාවම සතුරු සේනාව අබියස විදහා දැක්වූ ජයමාලී දේවිය පිළිබඳව ඔවුන් තුළ දැඩි ගෞරවයක්ද පහළ විය. ඔවුන් සියලුම දෙනා හෙළයේ මහා රාජිනිය දෙස බලාගත් බැල්මෙන් බලා සිටියේ එබැවිනි.

මෙහිදී හර්ෂදේවයන්ගෙන් නැඟුණු තියුණූ සියුරුහන් හඬකට අනුව හෙළයේ නැගෙනහිර දිග පාබළ බළකාය, එකාවන්ව පෙළ ගැසී ඒ ප්‍රබල ගල් අතුරා ලූ මාවතට පිවිස ඉරුගල්තැන්න සූර්ය දේවාලයට ආරක්ෂක පවුරක් මෙන් ආරක්?ෂක වළල්ලක් යෙදූ අතර, ජයමාලී දේවිය, සිය වැඩිමහල් පුත් කුමරුවන් කැටුව වහාම පියගැට පෙළ නැඟ ගොස්, සිය ස්වාමියා සිටි කුටිය සොයා වේගයෙන් දුවන්නට වූවාය.

මතු සම්බන්ධයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.