වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ඔහුට වේදනාව සැපතක් විය. මරණය තවත් හුදෙකලා නින්දක් විය...
සතුරු සේනාවේ සියලුම සෙබළුන් එම හඬ ඇසුණු සැණින් සිටි සිටි තැන් වලම ගල් ගැසී ගියහ. එවන් වූ දෝංකාර දෙමින් විනිවිද යන සුළු කට හඬක් ඒ දක්වා ඔවුන් අසා තිබුණේ නැත. ලෝකයේ ඒ පැරණි කාල වකවානුවේ පැවති භාෂාවන් අතර හෙළ භාෂාව ද බොහෝ රටවල සංචාරය කරන මිනිසුන් මඳ මඳව දැන සිටියද, එවන් වූ හෙළ භාෂාව කථා කරන දූපත් වාසීන් අතර, මෙවන් වූ තියුණු සහ ප්‍රබල කටහඬක් ඇති මිනිසුන් ඇතැයි ඔවුන් සිහිනෙනුදු නොසිතූහ. සිම්ජාත්, ඔහුගේ සගයිනුත්, සෙල් රූ ලෙසින් තමා අබියස පෙනෙන්නාවූ ඒ මහා ගොඩනැගිලි සමූහය දෙසත්, රන්වන් උළු සෙවිලි කළා වූ ඒ මහා සූර්ය දේවාලය දෙසත් බලා සිටින්නට වූ අතර, සතුරු සේනාව ඉදිරියෙන්ම සිටි ලුන්ඩා ගෝත්‍රිකයන්ගේ ප්‍රධානියෙකු අනතුරක සංඥාවක් දක්වන්නාක් මෙන් හඬ නඟමින්, අර මහා ප්‍රාසාදය දෙසට අත දිගු කළේය. සතුරු සේනාධිපතිවරුන් මෙන්ම සියලුම සෙබළුන් ද මෙහිදී ඒ දෙස දෙනෙත් යොමුකළහ.
එය නම් ආශ්චර්යවත් දර්ශනයක් වීය. තනි කළුගලින් කපා ඔපදමා තිබූ සූර්ය දේවාලයට නඟින ගල් පඩිපෙළ ඉහළින් තිබූ දැවැන්ත දැවමුවා දොරටුව හඬ නඟමින්, පළු දෙකකට සෙමෙන් දෙපසට විවර වී ගියේය. ඒ තුළින් පේළි දෙකකට වන සේ සන්නාහ සන්නද්ධ වූ සෙබළුන් කණ්ඩායම් දෙකක් ප්‍රබල පියවරින් පැමිණ, පඩිපෙළ සහ දොර අතර වූ කොරිඩෝවෙහි දෙපසින් මුහුණට මුහුණ ලා, පේළි දෙකකට සිටගත්හ. ඉන්පසුව ඒ අතරින් ප්‍රතාපවත් පියවරින් පුද්ගලයෙකු ඉදිරියට පැමිණියේ කේශර සිංහ රාජයෙකුගේ නැතහොත්, සද්දන්ත කුලයේ මහා හස්ති රාජයෙකුගේ පියවරිනි. ඒ නම් මහා හෙළ රාජධානියේ අධිරාජයා වන්නා වූද, හෙළ දේශයේ සූර්ය පුත්‍රයා වන්නා වූද, තුන්වන මහාසිද්ධ මහ රජතුමන් වූයේය.
මධ්‍යාහ්න සූර්යාලෝකයෙන් රන් වනින් දිලිසෙමින්, අංග සම්පූර්ණ ස්වර්ණමය රාජකීය යුද සන්නාහයෙන් සන්නද්ධව, දහස් ගණනක් වූ සතුරු සේනාව ඉදිරියට පැමිණි ඒ ප්‍රතාපවත් මහා හෙළයේ සූර්ය පුත්‍රයාගේ තේජස දකිත්ම, සිම්ජා සහ ඔහුගේ සගයින් මුහුණට මුහුණ බලාගත්හ. එවන් වූ ප්‍රතාපවත් රජෙක් ඒ වන තුරාවට නොදුටු සතුරු සේනාවේ සෙබළුන් ද, හුස්මක් කටක් ගත නොහැකිව බලාගත් බැල්මෙන් බලා සිටියහ. සතුරු සේනාවකට එක් වී නොපැමිණියේ නම්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ඒ දර්ශනයෙන්ම සිය ආයුධ බිම තබා දණ්ඩ නමස්කාරය කරනු නියතය. ඒ දසුන දුටු සතුරු සේනාවේ බොහෝදෙනෙකුගේ අත වූ අසිපත් සෙමෙන් වෙව්ළුම් කනු ඔවුන්ටම දැනී ගියේය.
සතුරු සේනාධිපතියන් ඉදිරිපිට වූ ශෛලමය පඩිපෙළේ ඉහළම පඩිය අසලට පැමිණ මහාසිද්ධ මහරජතුමන් නතර වූ අතර, එතුමන් පිටුපසින් පැමිණියේ ජයමාලී බිසවත්, වැඩිමහල් පුත් කුමරුන් සහ නැගෙනහිර බළකොටුවේ සිටි හෙළ යක්ෂ ගෝත්‍රික සේනාධිපතියන් පිරිසයි. ඔවුන් කණ්ඩායමක් ලෙස කවාකාරව මහරජතුමන් පිටුපසින් නතර වූහ. ඒ සමඟම අසල වූ ගස් මුදුන් මතින්, පඳුරු අතරින් සහ දෙපස වූ ගල් තලා වලට පිටුපස සිට සෙමෙන් මතු වූයේ සිය අවි ආයුධ මානාගත් නැගෙනහිර හෙළ බළ සේනාවේ දහස් ගණනක් වූ පාබල බළකායයි. ඒ බළකායට නායකත්වය දුන්නා වූ “සාම දූතයා” හෙවත් නැගෙනහිර දිසාවේ හෙළ සටන් සම්ප්‍රදායේ ප්‍රධානියා වූ හර්ෂදේවයන්, පඩිපෙළ පහළ වූ කිසියම් ස්ථානයකින් මතු වී, සූර්ය දේවාලයේ පඩිපෙළේ පඩි කිහිපයක් නැග, මහ රජතුමන්ට ආචාර කර සිටියේය. මෙහිදී මහාසිද්ධ මහරජතුමන් සිය ප්‍රතාපවත් වූ කටහඬින්, සතුරු සෙනග ඇමතීය. “සේනාධිපතිවරුනි, බටහිර රටවලින් පැමිණි නුඹලා අපේ දේශය ආක්‍රමණය කරන්න හේතුව මොකක්ද? මේ වෙනකල් අප කිසිදාක ලෝකයේ කිසිම රටකට තර්ජනයක් වී නැහැ. ඒ වගේම නුඹලා මගේ සෙබළුන් තිස්දෙනෙක් මරා දමලා. තවත් සිය ගණනකට තුවාලයි. ඇයිද මේ?”
මහාසිද්ධ මහරජතුමන්ගේ ගැඹුරු කටහඬ ස්වර්ණලෝකඩ ඝණ්ටාරයක් ලෙසින් ඉතා පැහැදිලිවම දසත පැතිර ගියේය. මෙහිදී පිරිස අතරින් ඉදිරියට ආ සිම්ජා, කථා කරන්නට පටන්ගත්තේය. ඔහුගේ කටහඬ හෙළ මහරජුන් ගේ කටහඬ සමඟ කිසි සේත් සම කළ නොහැකි විය. ඔහුගේ ගොරෝසු කටහඬ තල් අත්තකට බොරළු ගසන්නාක් මෙන් විය. කැඩුණු හෙළ බසින් ඔහු හෙළයේ රජතුමන් ඇමතුවේ කිසිම ගරු සරුවක් නොමැතිවය. “ඔව්”. අප ආක්‍රමණය කළා තමයි, ලෝකයේ එකම අධිරාජ්‍යය නුඹලාගේ හෙළය නොවෙයි. ලෝකයේ නියම උරුමක්කරුවන් වන්නේ අපයි. අප නුඹලාගේ මේ දිවයින අල්ලා ගන්නවා පමණක් නොවෙයි. එහි සියලුම වස්තූන්ද අපගේ දේශයන්ට ගෙන යනවා. නුඹලාට සදා කාලිකවම අපගේ බටහිර දේශයේ යටත් විජිතයක් ලෙස පවතින්නට සිද්ධ වේවි. ඒ වගේම නුඹලාගේ ස්වස්තික ලාංඡනය දැන් අවලංගුයි. ඉදිරියට මේ දේශයේ ලාංඡනය වන්නේ සිංහයෙකු ඩැහැගත් ගිජුළිහිණියෙකු ගේ ලාංඡනයයි. ඒ බව මතක තබාගනු...”
මහාසිද්ධ මහරජතුමන්ගේ කට කොණකට සිනාවක් නැඟුණි. තමා ඉදිරියේ මේ මොරදෙන පුද්ගලයා රජතුමන්ට කජුකිරි කොල්ලෙක් වැනිය. එහෙත් මහරජතුමන්ගෙ සිතට නැඟුණු ගැටලුව වූයේ, මේ සේනාව සමඟ පැමිණි මිනී කන ලුන්ඩා ගෝත්‍රිකයන් සහ මන්ත්‍රධාරීන්ය. මන්ද යත්, මේ පුද්ගලයාගේ පිටුපස සිටින ප්‍රධාන බළ කණු ඔවුන් වන බැවිනි. “හොඳයි...” මහරජතුමන් සිම්ජාගේ දෙනෙත දෙස තීක්ෂණ ලෙස බලා සිටියේය. “නුඹට මගෙන් වුවමනා යුද්ධය නම්, මා නුඹට යුද්ධය දෙන්නම්.... සාමය අවශ්‍ය නම් සාමය දෙන්නම්. මා ඒ දෙකටම සූදානම්.”
මහාසිද්ධ මහරජතුමන්ගේ මුවින් මේ වදන් ගිළිහෙත්ම, සිම්ජා යටි උගුරින් කෑ ගසමින් සිය අසිපත ඇද එසවූයේය. ඒ සමඟම ඉදිරි පෙළ ලුන්ඩා ගෝත්‍රිකයන්ද සිය අසිපත් ඇද එසවූහ. අඩි හතහමාරක් පමණ උස වූ අයෝමය පුරුෂයන් වැනි මේ ලුන්ඩා ගෝත්‍රිකයෝ, හෙළයන්ගේ මස අමු අමුවේම අනුභව කර, අමරණීය වන්නට කෙළ හළමින් සිටියහ. “පලයවු... උන්ගේ රජාව මරාපියවු. විරුද්ධව එන හැම එකාම පෙති ගසාපියවු. හා.... දැන් ඉදිරියට යමවු...”
සිම්ජා අණ කරත්ම, ලුන්ඩා යෝධයින්ගේ සිය ගණනක් වූ ඉදිරි පෙළ බළ මුළුව සිය මුගුරු සහ අසිපත් අමෝරාගෙන සූර්ය දේවාලය දෙසට දිවයන්නට වූ අතර, පිටුපසින් වූ හරේරාගේ බල සේනාවද එකා මෙන් ප්‍රදේශය දෙවනත් වන්නට කෑ ගසමින් ඉදිරියට දිවයන්නට වූහ. ඒ සමඟම ඉග්ලීස් රජුගේ සෙබළුන් සහ ජාගෙන්ගේ අසිපත් ධාරී සේනාංකයද අසිපත් ඇදගෙන ඉදිරියට දුවන්නට පටන්ගත්හ.
ඔවුන් සිතා සිටි තරමට එම කාර්යය පහසු නොවීය. සතුරු සේනාව ඉදිරියට පැමිණෙත්ම, මහාසිද්ධ මහරජතුමන් තියුණු හඬින් ආඥාවක් කළේය. “මේ පඩිපෙළට පා තබන්නාට මරණය...”
ඒ ආඥාව සමඟම මහ රජතුමන් සිය කැටයම් සහිත වූ ඇත්දත් මිටකින් යුක්ත වූ, ලේ කාණු දෙකේ මහා අසිපත ක්ෂණිකව ඇදගත්හ. එයම හෙළ ගෝත්‍රයේ සෙබළුන් සටන් බිමට කැඳවූ සංඥාවක් විය. හෙළයේ පාබළ සෙබළුන් ක්ෂණිකව ගස් ගල් මතින් පැන ඉදිරියට පැමිණි අතර, සතුරු සේනාවේ දෙපස සෙබළුන් ඔවුන් සමඟ අවි ගටා සටනට වන්හ. ඒ සමඟම ගස් මත සිටි දුනුවායන්ගේ තියුණු හීතලවලින්
සතුරු සෙබළුන් එකා පිට එකා ඇද වැටෙන්නට වූහ. ඒ සමඟම ඉදිරිපස වූ ලුන්ඩා ගෝත්‍රිකයන් සූර්ය දේවාලයේ පඩිපෙළ අසලට දිව එන්නට වූයේ මහාසිද්ධ මහරජතුමන් ඝාතනය කර දැමීමේ අරමුණ ඇතිවය.
එහෙත් එය ඒ තරමටම පහසු නොවූයේ හර්ෂදේව හෙවත් සාම දූතයා හුදෙකලාවම රජතුමාගේ ඉදිරියෙන් සිට, සතුරන්ගේ ගමන අවහිර කළ බැවිනි. තියුණු නැමි කඩුපත් දෙකක් දෑතට ගත් ඔහු, තීක්ෂණ වූද, නිසංසල වූද, අමානුෂිකව සිහින් වී ගිය දෙනෙතින් ද යුතුව තමා ඉදිරියට පැමිණෙන දැවැන්තයින් පිළි ගැනීමට බලා සිටියේය. යන්තම් අඩි හයකට ආසන්නවූ ඔහු, තමා කරා මාරාවේෂයෙන් මෙන් දිව එන සත් අඩියකටත් වඩා උස් වූ දැවැන්තයින් දෙස ගොදුරකට කුරුමානම ගන්නා කළු දිවියෙකු මෙන් හිටි අඩියේම සටන් අඩියකට පත් විය.
වේදනාව... හර්ෂදේවයන් හට වේදනාව කෙසේ දැණුනේද...? ඔහුට මරණය කෙසේ දැණුනේද...? හෙළ යක්ෂ ගෝත්‍රික ගෝරාවරයෙකු වූ ඔහුට වේදනාව සැපතක් වීය... මරණය යනු තවත් හුදෙකලා නින්දක් පමණක් වීය...
මතු සම්බන්ධයි.
කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත