ජනපති කෙනඩි ඝාතනය අකුරටම කියූ ලෝ පතළ අනාවැකිකාරිය

ජූලි 26, 2024

ජෝර්ජ් ටවුන් නගරයේ ඉහළ පෙළේ ආපන ශාලාවක 1963 වසරේ දිනෙක හෝල් නැමැති තරුණියක් තම යෙහෙළියක සමඟ දිවා ආහාරය ගනිමින් සිටියාය. හෝල් මෙනවියද ඉහළම සමාජ ස්ථරයකට අයත් තැනැත්තියක් වු අතර, පවුල් අතර වූ දේශපාලන සබඳතා පැත්තෙන් කෙනඩි පවුලේ මිතුරියක වූවාය. එසේම රූස්වෙල්ට් පවුල සහ වින්සන්ට් චර්චිල් පවුලේ සාමාජිකයන් ද ඇය හොඳීන් දැන හඳුනන්නෝ වූහ.

මේ මොහොතේ අහර ගනිමින් සිටි ඔවුන් දෙදෙනා වෙත පැමිණි ආපන ශාලා කාර්ය මණ්ඩලයේ අයෙකු පැවසුවේ රූස්වෙල්ට් පවුලේ සාමාජිකයෙකුගෙන් ඇයට දුරකතන ඇමතුමක් තිබෙන බවය. එම දුරකතන පණිවිඩයෙන් කියවුණේ වහාම ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කොට සවන් දෙන ලෙසය.

“ජීන් ඩික්සන් මහත්මිය ඔබට දැන්වු කාරණය දැන් සිදු වී තිබෙනවා”

වහාම ආපන ශාලාවේ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළ ඇයට අසන්නට ලැබුණේ ඇමෙරිකාවේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතාට සාහසිකයෙකු විසින් වෙඩි තබා ඇති බවත්, වහාම රෝහල් ගත කරනු ලැබූ එතුමාගේ තත්ත්වය තවම වාර්තාවී නැති බවත්ය.

ජනාධිපතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය හැරුණු විට මේ පුවතේ තවත් විශේෂත්වයක් හෝල් නැමැති මේ තරුණියට අදාළය. එය නම් මීට තෙමසකට පෙර ජීන් ඩික්සන් නැමැති සුප්‍රකට අනාවැකි පවසන්නිය ඇය හමුවීමට පැමිණීමය. “මට අසන්නට ලැබී ඇති ආකාරයට ඔබ ජනාධිපති කෙනඩි මහතා ළඟින් හඳුනන කීපදෙනෙකුගෙන් එක් අයෙක්. එතුමා ළඟදී රටෙහි එක්තරා පළාතක සංචාරය කිරීමට නියමිත බව ප්‍රචාරය වී තිබෙනවා. නමුත් මෙය එතුමාගේ ජීවිතයට ඉකාම අනතුරුදායක ගමනක්. ඒ ගමන නොයන ලෙස ඔබ කොයි විදියකින් හෝ එතුමාට දැන්විය යුතුයි”

මහත් තැති ගැන්මකින් යුතුව මේ කතාවට සවන් දුන් හෝල් මෙනවිය, ජීන් ඩික්සන්ගෙන් විමසා ඇත්තේ “ඔබ නිශ්චිතවම ඒ බව කියන්නේ කෙසේදැ?”යි කියාය.

“දැනට කාලයක සිට ධවල මන්දිරයට ඉහළින් කළු වලාකුළක් පාවෙනවා මම දැක්කා. ඒක දැන් භයංකාර විදියට විශාලව, කළු පාටින් යුතුව මුළු ධවල මන්දිරයම වසා ගන්නට සූදානම් වෙනවා. මෙහි තේරුම ධවල මන්දිරයෙන් පිටතදී එතුමා මරණයට පත්වෙන බවයි”

එසේ වුවද, කෙනඩි පවුල හා ඇති පෞද්ගලික සබඳතාවය ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු කෙරෙහි බලපෑමක් කරන ආකාරයට යොදා ගැනීමට ඇයට කිසිම හැකියාවක් නොවීය. නමුත් ජීන් ඩික්සන් එදා අනාවැකි කියූ දේ අකුරටම දැන් නිවැරදිව සිදු වී තිබේ.

හරියටම මේ මොහොත වන විට, එනම් 1963 නොවැම්බර් මාසයේ 22 දා ජීන් ඩික්සන් සිටියේද සිය මිතුරියන් දෙදෙනෙකුත් සමඟ දිවා ආහාරයට සූදානම් වෙමිනි. ඒ වොෂිංටන්හි මේ ෆ්ලවර් භෝජනාගාරයෙහිය.

නමුත් එක් නිමේෂයකදී ආ ගිය කතා නවතා දැමූ ඇය බර කල්පනාවක නිරත වූවාය. මේ මිතුරියන් දෙදෙනා කළ විමසීමට පිළිතුරු දෙමින් ජීන් ඩික්සන් පැවසුවේ අද දින ජනාධිපති කෙනඩි මහතා භයානක ඉරණමකට මුහුණ දෙන බවත්, ඒ බව තමන්ට ඉතා හොඳීන් දැනෙන බැවින් සිය මනස ව්‍යාකූලව ඇති බවත්ය.

එසේ පවසා ගත වූයේ සුළු කාලයකි. ආපන ශාලාව මුළුල්ලේ පැතිර යමින් තිබූ මියුරු සංගීතය එක්වරම නතර විය. මේ ෆ්ලවර් භෝජනාගාරය සිසාරා පැතිර ගියේ ගැඹුර නිහඬතාවයකි. ඔවුන්ව හොඳීන් හඳුනන ආපන ශාලා කළමනාකරුවා එතැනට කලබලයෙන් දිවවිත් පැවසුවේ ජනාධිපති කෙනඩිට සාහසිකයෙකු විසින් වෙඩි තබා ඇති බවය.

“ජනාධිපතිතුමා මේ වන විටත් මරණයට පත්වී අවසානයි”

ජීන් ඩික්සන් බලවත් සංවේගය දනවන ස්වරයකින් පැවසුවාය.

“නැහැ?” කළමණාකරුවා පැවසීය.

“එතුමා මරණයට පත් වී නැහැ”

“තව ටික වේලාවකින් ඒ බව අපට දැනගන්නට ලැබේවි”

සත්‍ය වශයෙන්ම ඇය ජනාධිපති කෙනඩිගේ ඉරණම ගැන අනාවැකි පැවසුවේ මෙහි දැක්වෙන ආකාරයට සිදුවීමට ආසන්න කාල පරිච්ඡේදයකදී නොවේ. ඊට වසර දහකයකටත් ඔබ්බෙන් වූ දිනයකදීය.

ඒ කෙනඩි එතරම් ප්‍රසිද්ධ චරිතයක් නොවූ කාලයකදී වූ අතර, ඇයගේ අනාවැකිය වී ඇත්තේ 1960 දී තෝරා පත්කරනු ලබන ජනාධිපතිවරයා පිළිබඳවය. එම ජනාධිපතිවරයා තරුණ පුද්ගලයකු වන අතර, නිල්වන් දෙනෙතකින් සහ දුඹුරු පැහැති හිසකෙස්වලින් යුතු වන බව ජීන් පවසා තිබුණාය.

මෙසේ පත්වන ජනාධිපතිවරයා ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයෙකු වන අතර, ඔහු ධූරයේ සිටියදී ඝාතනයට ලක්වන බවද ඇයගේ අදහස විය. මේ පිළිබඳ කළ විමසීම්වලදී ඇය කියා ඇත්තේ ධවල මන්දිරය වෙත විශාල මිනී පෙට්ටියක් රැගෙන යන අකාරය තමන්ට පෙනෙන බවය.

“ඔහු මරණයට ලක් වන්නේ ධවල මන්දිරට පිටතදී. ජනතාවගේ ශෝකය පළකිරීම සඳහා සිරුර එහි ගෙන යනවා”යයි ජීන් ඩික්සන් විසින් පැහැදිලි කර තිබේ.

ඇය මේ ගැන තවත් පුද්ගලයින් දෙදෙනෙකුටද පවසා ඇත. ඉන් එක් අයෙකු වූයේ වොෂින්ටන් නුවර ප්‍රකට පුවත්පත් කලාවේදියෙකි. අනෙක් පුද්ගලයා වන්නේ ඇමෙරිකානු නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ හිටපු ප්‍රධානියෙකු වූ චාර්ල්ස් බෙන්ටර්ය.

මේ අයුරින් ජීන් ඩික්සන් වඩාත් ප්‍රකට වූයේ සුප්‍රකට දේශපාලනඥයන් සහ දෙස් විදෙස් වශයෙන් ගන්නා ලද දේශපාලන තීරණ පිළිබඳ පළ කරන ලද අනාවැකි හේතුකොට ගෙනය.

1944 දී හතරවැනි වතාවටත් අමෙරිකාවේ ජනාධිපති ධූරයට තේරී පත්වී සිටි ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් මහතාට අවශ්‍ය වූයේ තමන්ට රට වෙනුවෙන් වැඩ කිරීමට කොපමණ කලක් ඉතිරිව තිබේදැයි ඇයගෙන් දැන ගැනීමටය.

“මට ඔබතුමාගේ ඇඟිළි තුඩු අල්ලන්නට ඉඩ දිය හැකිදැ?”යි ඇය ඉතා ගෞරවණීය ලෙස විමසුවාය. ඒ සැණින් ඇයට වැටහී ගියේ ජනාධිපතිවරයා වෙත අසුබ අනාවැකියක් පැවසීමට ඇති බවය. කිසිවක් නොපවසා කතාව වෙනතකට හැරවීමට උත්සාහ කළේ ඒ අනුවය. නමුත් ඇයට මඟහැර සිටිමට ඉඩ නොදුන් ෆෑන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරයා තමාගේ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ඇගෙන් බලාපොරොත්තු වූයේය.

“ඔබතුමාට වැඩ කරන්නට ඉතිරිව තිබෙන්නේ මාස 6ක් හෝ ඊට අඩු කාලයක්” අකමැත්තෙන් නමුදු තමා වටහාගත් සත්‍යය ඇය ප්‍රකාශ කළාය. පරිණත පුද්ගලයකු වූ රූස්වෙල්ට් ජනාධිපතිවරයා ජීන් ඩික්සන්ගේ ප්‍රකාශයත් සමඟ මදක් කල්පනාකාරී වූ නමුත් තවත් මොහොතකින් ඇගෙන් විමසුවේ රුසියානු ඇමෙරිකානු සබඳතා මිත්‍රශිලී තත්ත්වයකට පත්වේදැයි යන්නය. ඇය පැවසුවේ මිත්‍රත්වයක් ඇතිවන බවක් පෙනෙන්නට නැති බවය.

“එහෙත් රතු චීනයට එරෙහිව ඇමෙරිකාවත් රුසියාවත් එක් පාර්ශවයකට එනවා”

“රතු චීනය?”

ජනාධිපතිවරයා පුදුමයට පත් වෙමින් විමසීය.

“චීනය කියන්නේ සමාජවාදී රටක් නොවෙයි”

නමුත් සිය පළිඟු ගෝලය සිසාරා යළිත් නෙත් හෙලූ ඇය ස්ථීර ලෙසම පැවසුවේ චීනය සමාජවාදී රටක් බවට පත්වෙන බවය.

1945 අප්‍රේල් මාසයේදී ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් මහතා මරණයට පත් වූයේ ජීන් ඩික්සන් පැවසූ පරිදි හය මාසයක් නොව, ඊටත් අඩු කාලයකදීය.

වැදගත්ම කාරණය එතුමාගේ අභාවයෙන් වසර පහකින් අනතුරුව එනම් 1949 සැප්තැම්බරයේදී ජීන් ඩික්සන්ගේ අනාවැකිය සත්‍ය කරමින් චීනය කොමියුනිස්ට් ආධිපත්‍යයට යටත් වූ රටක් බවට පත්විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.