පාප් ධුරය ලැබීමට හේතු වූ ගුරු-ශනි ග්‍රහ බලය ජේසුස් වහන්සේ

දෙසැම්බර් 15, 2023

ක්‍රිස්තු ධර්මයේ නිර්මාතෘ ජේසුස් වහන්සේ කුරුසියේ වද විඳ මිය යෑමෙන් තුන් දිනකට පසු මළවුන්ගෙන් උත්ථානය වී දින 40ක් පුරා උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට සහ උන්වහන්සේ අදහන්නන් සියලු දෙනාට දර්ශනය වූ සේක. ඉන්පසුව එනම් දින 40කට පසු උන්වහන්සේගේ මෑණියෝද ගෝලයෝද බලා සිටියදී අහස දෙසට ඔසවනු ලැබ වලාකුළකින් නොපෙනී ගිය සේක. එසේ උන්වහන්සේ අහස දෙසට ඔසවනු ලැබ වලාකුළ කින් නොපෙනී යන විට ස්වර්ගයෙන් උන්වහන්සේ (ජේසු වහන්සේ) යනවා සේම නැවත වඩිනු ඇතැයි හඬක් නික්මිණි. 

එලෙස ජේසුස් වහන්සේ ස්වර්ගයට වැඩීමට පෙරාතුව තම කීකරු හිතවත් පි‍්‍රයාදර ගෝලයා වූ පේදුරුතුමාව ජීවමාන කිතුණු නායකයා වශයෙන් පත් කළ සේක. ඒ අනුව එතැනින් පාප්ධූරය ආරම්භ වු අතර, දැනට පාප්වහන්සේලා 260 දෙනෙක් පාප්ධුරය හොබවා ඇත.

ඒ අනුව මෙලෙස මෙකී පාප්ධුරය දැරූ පාප් වහන්සේලා බොහෝ දෙනෙකුගේ කේන්දර සටහන්වල ජන්මියාට ආගම ධර්මයට සහ ලෝකෝත්තර ජීවිතයකට යොමු කරන ගුරු සහ සෙනසුරු යන ග්‍රහයන් බලවත්ව සිටිනු මා බොහෝ වර අත්දැක ඇති ග්‍රහබලයක් වන්නේය. ඒ අනුව මේ නත්තල් මාසයේ ඡ්‍යොතිෂ්‍ය ළැදි සිංහල කතෝලික ජනතාව සඳහා මේ ලිපියේ මෙතැන් පටන් ඒ පිළිබඳව කරුණු විග්‍රහ කරමි.

උපත 1920 / 05/18 සවස 5.30 වොඩොවික් පොලන්තය

කැති නැකතේ තුන්වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් රවි මහ දශාවේ ඉදිරියට වර්ෂ 00 මාස 00 දින 9ක් ශේෂව තිබුණි.

ඉහත තුලා ලග්න කේන්දරය අයත් වන්නේ පොලන්ත ජාතික කාඩිනල් කාලො ජොසප් පිය තුමාටය. එම තුලා ලග්න කේන්දරයේ ප්‍රබල ආගමික නායකයකු බිහි කිරීමට හේතු භූත වන ගුරු සහ ශනි යන ග්‍රහයන් බලවත්ව යෙදී ඇත. ඒ පිළිබඳව කරුණුූ විග්‍රහ කළහොත් ඉහත තුලා ලග්න කේන්දරයේ ජන්මියා ධර්ම මාර්ගයට යොමු කරවන ගුරු ග්‍රහයා 10 වැන්න වූ කටක රැසේ ජය සිඳු යෝගය සමඟ ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය උදා කරමින් බලවත්ව සිටියි. අප මාතෘකාවට සම්බන්ධ අනෙක් ග්‍රහයා වන සෙනසුරු ලෞකික ජීවිතය නීරස කිරීමට හේතු භූත වන ග්‍රහයා වෙමින් තුලා ලග්න කේන්දරයේ 11 වැන්න වූ සිංහ රැසෙහි සතුරුව පිහිටයි. මෙහිදි ශනි සතුරුව සිටීම දුර්වල ලෙස පෙනුණත් ශනි උපචය භාවයක් වන 11 වැන්නෙහි පතිතව සිටීම ශනි තුන්පත් නවාංශකාධිපති සඳු ලග්න කේන්දරයේ උච්ච බලය ලබා සිටීම සෙනසුරුට භාග්‍ය ස්ථානාධිපති බුධ සමඟ යෝග වූ සිකුරුගේ පූර්ණ දෘෂ්ඨිය වැටීම යන කරුණු මඟින් සෙනසුරු ග්‍රහයා බලවත් බව පෙන්නුම් කරන සාධකයන් වන අතර, එලෙස බලවත් වූ ගුරු,ශනි ලග්නය දැකීම, සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටියෙනුත් ගුරු රාශි දෘෂ්ටියෙනුත් අට වැන්නේ සිටින රවි, සඳු දැකීම කේන්දර හිමියා නියත වශයෙන් ප්‍රබල ආගමික නායකයෙක් වන බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමක් වන අතර ඒ අනුව 1978/10/16 වෙනි දින සිට කාඩිනල් කාලො ජොසප් පියතුමා 2 වෙනි පුවාම් පාවුල් යන නාමය යටතේ අවුරුදු 27ක් පාප්ධුරය හෙබවිය.

 

උපත 1876 මධ්‍යම රාත්‍රි 12.39 ඉතාලියේදී

කැති නැකතේ 2වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් රවි මහ දශාව ඉදිරියට වර්ෂ 3යි මාස 6යි. දින 25ක් ශේෂව තිබුණි. අංක 2ක උදාහරණ කේන්දරය අයත් වන්නේ ඉතාලි ජාතික කාඩිනල් ඉයුජිනියෝ හිරියා පියතුමාටය. ඉහත දැක්වෙන එතුමා උපන් වෘශ්චික ලග්න කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ ගුරු ග්‍රහයා වෘශ්චික ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයා වෙමින් ලග්නයේ මිත්‍ර බලය මෙන්ම දිග්බලය ලබා සිටියි. එකී ගුරුට සප්තමව එනම් 7 වැන්නවූ වෘෂභ රැසෙහි සඳු උච්ච වෙමින් ගුරුට කේන්ද්‍රගතව බලවත් ගජකේශරී යෝගයක් උදා කර ඇති හෙයින් ලග්න කේන්දරය ගුරු ග්‍රහයා ඉතා බලවත්ය. අප මාතෘකාව හා සබැඳි අනෙක් ග්‍රහයා වන සෙනසුරු සිව්වැන්න වූ කුම්භයේ මුල ත්‍රිකෝණබල ලැබ ජය යෝගය සහ සස නම් පංච මහා පුරුෂ යෝගය උදා කරමින් බලවත්ව පතිතව ඇත. එසේ බලවත් වූ ගුරු සහ ශනි ගේ කේන්ද්‍ර දෘෂ්ඨියට ජගත් ආත්ම කාරක රවි සහ සඳු ලක්වීමේ ප්‍රතිඵලය වූයේ 1939 මාර්තු 2 වෙනි දින කාඩිනල් ඉයුජිනියෝ හිරියා පියතුමා 12 වෙනි පියුස් පාප් වහන්සේ යන නමින් වසර 19ක් පාප්ධූරය දැරීමයි. 

උපත 1936/12/13 බ්‍රහස්පතින්දා දහවල් 12.00 ආර්ජන්ටිනාවේ බ්‍රයිනොස් එරිස්හි සුවන නැකතේ දෙවැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සඳු මහ දසාව ඉදිරියට වර්ෂ 6යි මාස 5යි දින 23ක් ශේෂව තිබුණි.

3 වෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ ආර්ජන්ටියානු ජාතික කාඩිනල් ජොජි මාරියො පියතුමාටය. එම කුම්භ ලග්නයේ අප මාතෘකාව හා සම්බන්ධ ගුරු සහ ශනි යන ග්‍රහයන්ගෙන් ගුරු ග්‍රහයා 11 වැන්නවු ධනු රැසෙහි රණ හංස යෝගය උදා කරමින් මූල ත්‍රිකෝණ බලය ලබා බලවත්ව සිටියි. අප මාතෘකාවට සම්බන්ධ අනෙක් ග්‍රහයා වන සෙනසුරු ලග්නයෙහි ජය යෝගය සමඟ සස නම් පංච මහා පුරුෂ යෝගය උදා කරමින් බලවත්ව සිටියි. ඒ අනුව සෙනසුරුගේ බලපෑම සෙනසුරු ලග්නයේ සිටීම නිසා ලග්නයට ලැබීම අතර, ගුරු රවි සමඟ යෝගව සිටීම නිසා රවිගේ පූර්ණ දෘෂ්ටි මඟින් ගුරුගේ බලපෑම ලග්නයට ලැබීම සිදුව ඇත. සඳු 12 වැන්නේ බලවත් ගුරුට සහ ශනිට මැදිව සිටීමෙන් එකි ග්‍රහයන් දෙදෙනා ගේ බලපෑම සඳුට ලැබී ඇත. රවිගෙන් 12 වැන්න වූ වෘශ්චිකයට සෙනසුරුගේ පූර්ණ දෘෂ්ඨිය වැටීමෙනුත් රවි ගුරු සමඟ සංයෝගව විසීමෙනුත් ගුරුගේ සහ ශනිගේ බලපෑම රවිට ලැබී ඇත. එහි ප්‍රතිඵලයක් වන්නේ ජොජි මාරියෝ නම් ආර්ජන්ටියානු ජාතික කාඩිනල් තුමා 2013 මාර්තු මස 13 ෆ්‍රැන්සිස් යන නාම යටතේ පාප්ධූරය හෙබවීමට පටන් ගැනීමයි. ඒ අනුව වර්තමානයේ පාප්ධූරය හොබවන්නේ ෆ්‍රැන්සිස් පාප් තුමාය. ඒ අනුව ඉහත උදාහරණ කේන්දර තුනෙන් අප මාතෘකාවට සම්බන්ධ සෙනසුරු සහ ගුරු යන ග්‍රහයන් එකී ලග්න කේන්දරවල අන් ග්‍රහයන්ට වඩා බලවත්වීමත් එසේ බලවත් වෙමින් ලග්නය, ලග්නාධිපති රවි, සඳු යන ග්‍රහයන් බලපෑම් කිරීම, පාප්ධුරය ලැබීමට හේතු භූත වූ ප්‍රධානම ග්‍රහ බලයන් බව මා මෙම ලිපිය අවසානයේදී සඳහන් කරන අතර, ඡ්‍යොතිෂ්‍ය ලැදි හා සිංහල කතෝලික ජනතාවට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.