දින 56ක් පුරා සිකුරු කටකයේ විපරීත වෙයි

අගෝස්තු 7 සිට 17 දක්වා ප්‍රවේශම් වන්න
17 දා රවි සිංහයට සංක්‍රමණය වූ පසු සුවිශේෂී තත්ත්වයක්
ජූලි 21, 2023

අගෝස්තු 07 වැනිදා සඳුදා පෙරවරු 10. 54 සිට ඔක්තෝබර් 02දා දක්වා දින 56ක් පුරා සිකුරු කටක රාශයේ සතුරුව ගමන් කරයි. මෙය මිනිස් සිතෙහි අසාමාන්‍ය සිතිවිලි බිහි කරන සමයක් වනු ඇත. සමගිය සමාදානය වෙනුවට එකිනෙකා පරයා ස්ව ආත්ම ලාභය වෙනුවෙන් කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට පෙලඹෙන බවක් පෙන්නුම් කෙරේ. කඩාකප්පල්කාරී ක්‍රියා, ගසාකෑම් ආදිය කෙරෙහි සිත් යොමු කෙරෙන වකවානුවක් මේ කාලය පුරා යෙදෙනු ඇත. අමනුෂ්‍ය ගතිපැවතුම් ඇති අය අන් අයට වඩා ජනප්‍රියව හැසිරෙනු ඇත. තිරුවානා වැනි උගතුන්, බුද්ධිමතුන් අබිබවා ගොමරිටි වැන්නවුන් මතුවන පිහිටීමකි. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශ කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකිය.

මෙයට හේතු වන්නේ චන්ද්‍රයා අධිපතිත්වය දරන කටක රාශියට සතුරුව සිකුරුගේ යෙදෙන ගමනයි. ගංගා, වැව්, පොකුණු, ළිං, ජල තටාක, අවංකත්වය, විශ්වසනීයත්වය, වාණිජ, ව්‍යාපාර පිළිබඳ පැවසෙන්නේ කටක රාශිය ආශ්‍රිතවයි. එහි යෙදෙන මේ ග්‍රහ ගෝචරය නිසා සමස්තයක් ලෙස මුළු ලෝකය පුරා නොසන්සුන්බවක් දැක්වෙනු ඇත.

යුගදිවි, ආදර සබඳතා ආදියේ ගැටලු මතුවන සමයකි. ව්‍යාපාර කටයුතු ආදී ආරම්භක කටයුතු තරමක ව්‍යාකූලත්වයක් දරන අතර එනිසා සිත් නොසන්සුන් වන තත්ත්වයක් උද්ගත වනු ඇත. දේශපාලන වේදිකාව ද වෙනස් ගමන් මඟක් පෙන්වනු ඇත. වසංගත රෝගවල වැඩි පැතිරීමක් පෙන්වයි. සියදිවි නසාගැනීම් වැනි සිදුවීම් සහ හදිසි තීරණ මත ගන්නා බොළඳ තීරණ නිසා දිවි අහිමිවීම් දක්නට ලැබෙනු ඇත. සතුරු සිකුරුගේ ග්‍රහණයට ලක්වන්නන්ට වයස හෝ තරාතිරම නොබලා ජීවිත හානි සිදු වීමේ වැඩි ඉඩකඩක් පවතී. එබැවින් රවි සිංහ රාශිගත වන අගෝස්තු 17 වැනිදා දක්වා දින දහයක කාලය සියලු දෙනා ඉවසීමෙන් සහ අවබෝධයෙන් යුතුව හදිසි තීරණවලට නොඑළඹී කටයුතු කිරීම මේ දින පනස් හයක ව්‍යාකූල කාලය අතුරු ආන්තරාවලින් තොරව ගෙවා දැමීමට සුදුසු ම ක්‍රමය වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.