ඥානවන්තයන් දිනන කාලයක්

ජූලි 17-25 අතර ප්‍රවේශම් වන්න
මේෂ-සිංහ-ධනු-කුම්භ-මීන ලග්නවලට සුබයි
ජූලි 14, 2023



ආහාර මිළ පහළට

ආධ්‍යාත්මික දියුණුවට නැඹුරු වේ

නීතියට පිටුපාන්නෝ කොටු වෙති

අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රවල නව නැම්මක්

ලොව පුරා භූමිකම්පා සුළිසුළං ගංවතුර සහ නාය යෑම්


රාජ්‍යකාරක රවි ග්‍රහයා ජූලි 17 වෙනි සඳු දින අලුයම 05.07ට චන්ද්‍රයා හිමි කටක රාශියට පුනාවස, පුෂ, අස්ලිස නැකත් ආශි‍්‍රතව සංක්‍රමණය වෙයි. උදාවන කටක රාශියෙහි 10 වැන්න වන මේෂයේ බුද්ධිකාරකයා බ්‍රහස්පති මෙන්ම සතුරු රාහු සහ සමඵල දෙන යුරේනස් තැන්පත්වීම ද, සෙනසුරු වක්‍රව මෘත්‍යු ස්ථානගතව (8 වැන්නේ) අෂ්ටම මාරක ඒරාෂ්ටකව ද සිටී. බුධ, කටක රාශිගතව සතුරුව යෙදී ඇති 17 - 25 ආශි‍්‍රත කාල පරාසය ශ්‍රී ලංකා දිවයිනට මෙන්ම මේෂ රාශි හිමි විශ්ව කේන්දර සටහනටද අනුව ලොව පුරා රටවලට පාරිසරික විපත් සහ පොදු ජන මනස විකෘති කරවන ග්‍රහ පිහිටීමකි. හදිසි තීරණ, තීන්දු, කෝපය, ද්වේශය මුල් කරගන්නා අයට පරාජයත් ඥානවන්තව තීන්දු තීරණ ගන්නා අයට ජයග්‍රහණයත් තරහවුරු කරන සමයකි. 25 වැනිදා අලුයම 04.32ට බුධ ශ්‍රී ලංකා ජනරජ කේන්ද්‍රය හිමි සිංහ රාශිගත වෙයි. සාමාන්‍යයෙන් මසකට ආසන්න කාලයක් පැවතිය යුතු මේ ගෝචර ගමන මෙවර වක්‍ර, අස්ත රැල්ලකට හසු වී ඔක්තෝබර් මස පළමු වැනිදා දක්වා දීර්ඝ වෙයි.

ඒ කාලය තුළ රටේ බලපවත්නා ආර්ථික ව්‍යුහය මෙන්ම පාලන රටාවෙහි විශාල වෙනස්කම් රැසක් විද්‍යමාන කෙරෙනු ඇත. නීතියට පිටුපාන සෑම අයකුම නීතියේ රැහැනට හසු වේ. විදේශීය අනුග්‍රහ, ආධාර උපරිම ලෙස ගලා එයි. ආහාර ද්‍රව්‍ය මිල සහනය දෙගුණ වෙයි. සෞඛ්‍ය, නීති, අධ්‍යාපන, ක්ෂේත්‍රවල නව උද්යෝගයක්, නවීකරණයක් සහ අලුත් රටාවක පෙරළියක් මතු කෙරෙයි. කුමන්ත්‍රණ හෙළි වෙයි. බැකු ණය සහන බදු සහන සැලසෙයි. දිවයිනට මෙන්ම ලොව පුරා රටවලට මහා පරිමාණ කාලගුණික දේශගුණික විපර්යාස අත් විඳීමට සිදු වෙයි. භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුව වෙත නැඹුරු වන කාලයකි.

මේෂ රාශිය


25වැනිදායින් පසු හතුවැන්නාධිපති සිකුරු බුධ සහ කුජ සමඟ පස්වැන්නේ යෝග වීමෙන් සත්කලත්‍ර යෝගය මේෂ ලග්න හිමියන්ට උදා වේ. ලග්නාධිපති වූ සෙන්පති අඟහරු 05 වැන්නේහිදී දුබලව ඇත. මේ අනුව නව ව්‍යාපාර ආදිය ආරම්භ කිරීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත. එහෙත් තීරණ තීන්දු ගැනීමේදී හදිසි නොවී බුද්ධිමත්ව දූරදර්ශීව කටයුතු කළ යුතු වේ. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට රූමත් දරු උපත්වලට හේතුයි. සියලු සබඳතා ශක්තිමත් කෙරේ. යුගදිවිය, අධ්‍යාපනය කෙරෙහි සුබවාදී පිහිටීමකි. එහෙත් රෝගාබාධයන්ට නිසි පිළියම් කර ගැනීමට යුහුසුළු වන්න. සංචාරක කටයුතු, දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීම, රැකියා සහ ආදායම් මාර්ග යහපත් කෙරෙනු ඇත.

වෘෂභ රාශිය


04 වැන්නෙහි යෙදී ඇති යෝගබලය මත මඟහැරුණ හෝ කලක් අරමුණූ කොට තිබූ සිතැඟියාවන් මල්පල ගැන්වෙනු ඇත. පදිංචි ස්ථානය ආශි‍්‍රතව පැවැති බාධක අවහිරතා ඉවත්වෙයි. මානසික සහනයකට මාර්ගය සැලසෙයි. කෙසේ වෙතත් වාස්තු දෝෂ සහිත නිවෙස්වල වෙසෙන අයට භාග්‍යය, වාසනාව, ක්‍රියාශීලිත්වය යටපත් කෙරෙන ආකාරයේ දෝෂ කීපයක් යෙදිය හැකිය. පංච මහා භූතයන්ගේ අසමතුලිතතාව එයට ප්‍රධාන හේතුවයි. එනිසාම එවන් අයට සතුරු බලවේග ක්‍රියාත්මක වීමත්, ශාරීරික සුව සහනය දුර්වල වීමත් පෙන්නුම් කරයි. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සුබඵල උදාකරගත හැකිය.

මිථුන රාශිය


අටවැන්නේ සිටින ප්ලූටෝ සෙනසුරුගෙන් පීඩා වන මේ කාලයේ උත්සාහය, උනන්දුව, වීර්යය දුර්වල කෙරෙයි. දැඩි ආයාසයක් යොදා හෝ ආවේගශීලීබව දුරලීම යහපත සලසයි. උරහිස්, උදරය, කොන්ද, තුනටිය, කෙණ්ඩ, දණහිස්, පාද ආශිතව දැවිලි පිච්චිලි රුදා වේදනා වරින් වර මතුවෙයි. විවිධ සබඳතාවල මෙන්ම පවුල් දිවියේ ගැටලු මතු කෙරෙන බැවින් ඉවසිලිවන්ත වන්න. සොර සතුරු බලවේග වැඩිවන සමයකි. මිල මුදල්, ස්වර්ණාභරණ ආදියේ අහිමිවීම් සිදුවිය හැකිය. අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ බලවේග, කාන්තාවන්ගේ ගර්භාෂ ආශ්‍රිත දෝෂ මතුවන කාලපරාසයකි.


කටක රාශිය


සතරවැන්නේ සිටින කේතු තමන්ගේ සිතෙහි උපදින නව සිතිවිලි ක්‍රියාත්මක කිරීම වළක්වයි. දස වැන්නේ රාහු, යුරේනස් සහ දුර්වල ගුරු හිත නොසන්සුන් කරවයි. අටවැන්නේ සෙනසුරු වක්‍රව සිටී. පදිංචි ස්ථානයේ, පවුලේ මෙන්ම සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රශ්නකාරී බවක් මතු කෙරෙයි. ශාරීරික මෙන්ම මානසික පීඩනය අවම කර ගැනීමට කල්පනාකාරීව කටයුතු කරන්න. යටිබඩ, වකුගඩු ආශි‍්‍රතවද කොන්ද, තුනටිය , දණහිස්, පාද, පපුව, මුහුණ ආශි‍්‍රතවද රෝගාබාධ මතුවිය හැකි සමයකි. රැකියා ආදායම් මාර්ගයන් හි ගැටලු මතු විය හැකිය. වාස්තු දෝෂ සහිත නිවෙස්වල වෙසෙන අයට සතුරු කරදර වැඩියෙන් මතුවන බවක් දැනෙනු ඇත. මේ තත්ත්වය 25 වැනිදායින් පසු වෙනස් වන බව ඔබටම අවබෝධ වනු ඇත. එතෙක් පරෙස්සමින් කාලය ගත කරන්න.

සිංහ රාශිය


හත්වැන්නේ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරු සිංහ ලග්න හිමියන්ට උරුම වූ බලය අඩකින් හීන කරයි. ස්ථිර අරමුණු දුර්වල කරවයි. පවුල් ජීවිතයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරයි. එහෙත් 25දායින් පසුව උරුම හිමිකම් දේපළ වස්තුව පිළිබඳ යටපත්ව තිබූ සිතිවිල් නව මුහුණුවරකින් ඉදිරියට ගෙනෙන සමයකි. ඒවා හිමි වීමේ ප්‍රවණතාවක් ද පවතී. නැදි මයිලන් කෙරෙහි හිතවත්කම් දැඩිවන බවක් පෙන්නුම් කරයි. බලාපොරොත්තු නොවූ රැකියා, ආදායම් මාර්ග, ගණනාවකට අවස්ථාව උදා වෙයි. එහෙත් ඇතැම් ලැබීම්වලදී දැනමුත්තන්ගෙන් අවවාද උපදෙස් ලබා අනතුරු දුරු කර ගත යුතු වෙයි. දූරදර්ශීව බුද්ධිමත්ව තීරණ තීන්දු ගත යුතුයි. කෙසේ වුවත් පංච මහා යෝග අතරින් එකක් වන සස යෝගය බලවත්ව යෙදෙන බැවින් ඉතා හොඳ කාලයක් උදා වනු ඇත.

කන්‍යා රාශිය


පස්වැන්නේ පිහිටි ප්ලූටෝ දූ දරුවන්, අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකියා ආදායම් මාර්ග කෙරෙහි අහිතරක බලපෑම් ඇති කරයි. වාස්තු දෝෂ (ජලදෝෂ) සහිත නිවෙසක පදිංචිඅයට සොර සතුරු බලවේග මෙන්ම තදබල භූත දෝෂ ද ප්‍රබලව යෙදී ඇත. මේ අනුව පවත්වාගෙන ආ දියුණුවද ආරම්භ කරන ලද කටයුතු අවසාන කිරීමට බාධක ද යෙදීමට හේතුයි. තැන්පත් ධනය, මිල මුදල් ඉක්මනින්ම වැය වන සමයකි. ජන්ම ඒරාෂ්ඨකයක් සහිත කන්‍යා රාශි හිමියන් හට සෞඛ්‍ය, අධ්‍යාපන බාධා, හදිසි අනතුරු ආදිය යෙදිය හැකි බැවින් හදිසි තීරණ තීන්දු ක්‍රියාත්මක නොකර සාමකාමි වීම යහපත් වෙයි.

තුලා රාශිය


ලග්නස්ථානගත කේතු සහ සිවවැන්නේ පිහිටි ප්ලූටෝ තමන්ගේ දියුණුව වෙනුවෙන් මතුවන සිතිවිලි ක්‍රියාත්මක වීමට බාධා පමුණුවයි. එහෙත් බුධ සිංහයට ගමන් කරන 25 වැනිදායින් පසුව මේ තත්ත්වය තරමක් පහව යනු ඇත. පදිංචි ස්ථානවල අමනුෂ්‍ය දෝෂ ඇතිවිය හැකි වුවත් රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. සෙම් කෝප නිසා පපුව, යටිබඩ, වකුගඩු පාද උරහිස් ආශි‍්‍රතව පවතින රෝගාබාධ ඇති කරයි. සැනසුම , සතුට, දුරස්ථව කාලය ගත කෙරෙන බවක් පෙන්නුම් කෙරෙනු ඇත. නිතර කල්පනාවෙන් කටයුතු කිරීම සුබදායී ප්‍රතිඵල අත්පත් කරගැනීමට හේතු වනු ඇත.

වෘශ්චික රාශිය


පදිංචි නිවාසය, භූමිය, ආයතනය ආශ්‍රිත නිර්නාමික සොරසතුරන්ගේ බලපෑම් ඇතිවිය හැකි කාලයකි. හදිසි තීරණ තීන්දු නිතර ගැනීමට පෙලඹෙයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි බාධා මතු කෙරෙයි. ‍එහෙත් බුධ මාරුවෙන් පසු ඔබගේ සිතැඟියාවන්ට බොහෝ දුරට සාර්ථකත්වය ලබාදෙයි. උත්සහය,උනන්දුව, ප්‍රබලව ගෙන දෙයි. වාස්තු දෝෂ සහිත නිවාසවල ජීවත් වන අය සතුරු බලවේගවලින් මිදීමට කල්පනාකාරීව කටයුතු කරන්න.

ධනු රාශිය


හත්වැන්නාධිපති සහ දසවැන්නාධිපති බුධ පුණ්‍යස්ථානගත වූ පසු ජීවිතයේ වේගවත් ඉදිරි පිම්මක් තැබීමට හේතු වාසනාව ගෙන දෙයි. අන්‍යයන් අතර කැපී පෙනෙන ගතියක් ඉදිරිගාමී ගතියක් ඇති කරයි. මේ නිසාම දැඩි සතුරු බලවේගවල ඉලක්කයක් බවට පත්වනු ඇත. මුහුණ උරහිස් ,උදරය, පපුව, කළව, කෙණ්ඩ, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධක උත්සන්න වී යා හැකිය. ලැබීම් වැඩි වුව ද එයටද සතුරු බාධක පවතියි. භාග්‍යය වාසනාව මතුකෙරෙන බුධ මාරුව 09 වැන්නට යෙදී කුජ බුධ ග්‍රහ සංයෝගය ඉතා ප්‍රබලව බලපානු ඇත. රැකියා මාරුවකට සුදුසු සමයකි. බුද්ධිය, මෙහෙයවා ක්‍රියාකිරීම සැම අතින්ම යහපත් වෙයි.

මකර රාශිය


හිස, උරහිස්, පපුව, යටිබඩ වකුගඩු, දණහිස්, ඉල දෙපස වරින්වර රුදා වේදනා, දැවිලි, පිච්චිලි, මලානික අක්‍රිය ස්වභාවයක් මතු කෙරෙයි. හිස බර ගතිය, කල්පනාව, වෙනස් වීම ආදිය නිතර ඇති වන්නට හේතු වනු ඇත. අමනුෂ්‍ය දෝෂ හේතු කොටගෙන ඔබේ සබඳතා, පවුල් ජීවිතය ආශ්‍රිත මතභේද නිර්මාණය වෙයි. පදිංචිය ආශි‍්‍රතව ආකූල ව්‍යාකූලතා ඇති කෙරෙයි. ඉපැරණි උරුම හිමිකම් අත්වෙයි.

කුම්භ රාශිය


බොහෝ කුම්භ රාශි හිමියන්ගේ ජල දෝෂ මේ දිනවල දක්නට ලැබෙනු ඇත. ඔබේ නිවෙසේ දකුණු අත පැතතේ මුල්ලක ජල බඳුනක්, මාලු ටැංකියක් ආදිය ඇත්නම් මේ දෝෂය පවතී. අමනුෂ්‍ය දෝෂවලට නතුවන සමයකි. හිස, උරහිස්, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව වරින්වර රුදා වේදනා දැවිලි පිච්චිලි මතු වෙයි. පවුලේ ප්‍රශ්න මතු කෙරෙයි. කෙසේ වෙතත් බුධ සිංහයට මාරු වීමෙන් පසු උසස්තම දියුණුවකට හේතු යෙදෙනු ඇත. යානවාහන දේපළ වස්තු ලාභයකට මඟ සැලසෙයි. සතුටුදායක කාල පරාසයකි.

මීන රාශිය


හිස මුහුණ, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව වරින්වර රුදා වේදනා ගෙන දෙයි. එහෙත් ලිපි ලේඛන කටයුතු සාර්ථක වෙයි. අනවශ්‍ය ගමන්බිමන්වලින් වළකින්න. හදිසි අනතුරු ඇතිවිය හැකි බැවිනි. රැකියා මාරුවකට හිත් යොමු වන සමයකි. දාර්ශනික හැඟීම්වලින් බර වෙයි. උසස් අනාගත දියුණුවකට මඟ සැලසෙයි. ආර්ථිකය සතුටුදායක වනු ඇත.


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.