කන්‍යා ලග්න හිමියන්ට ශුභඵල උදා කරන විපරීත රාජ යෝගය

පෙබරවාරි 4, 2022

විපරිත රාජ යෝගය යෙදෙන්නේ ලග්න කේන්දරයකට දැඩිව අශුභ ඵල දෙතැයි සැලකෙන 6, 8, 12 යන දුෂ්ට ස්ථාන සහ එහි අධිපතියන් කේන්ද්‍රකොට ගෙනය. ඒ අනුව ලග්න කේන්දරයක 6 අධිපති හය වැන්නෙහිම හෝ ඉතිරි දුෂ්ට භාව දෙක වන 8, 12 හි තැන්පත් වීමෙන් හර්ෂ නම් යෝගය යෙදෙන අතර 8 අධිපතියා 8 වැන්නේ හෝ 6, 12 යන දුෂ්ඨ භාවයක යෙදීමෙන් සරල නම් යෝගය යෙදෙයි. 12 වැන්නාධිපති 12 වැන්නෙහිම හෝ 6, 8 යන දුෂ්ට භාවයක යෙදීමෙන් විමල නම් යෝග යෙදේ.

මෙකී යෝගාත්‍රයෙන් යෝග දෙකක් හෝ තුනක් යෙදීමෙන් විපරිත නම් රාජයෝගය යෙදෙයි. ඒ අනුව මෙකී යෝග තුනෙන් 6 වැන්න මුල් කරගෙන යෙදෙන හර්ෂ යෝගය ශුභව යෙදුණු කල ජන්මියාට සතුරු ප්‍රශ්නවලින් ජය ලැබෙයි. 8 වැන්න මුල්කරගෙන යෙදෙන සරල යෝගයෙන් අන්තිම කැමති පත්‍රවලින් ධනය දේපල ඉඩකඩම් හිමිවෙයි. 12 වැන්න මුල්කර ගෙන යෙදෙන විමල යෝගයෙන් ජන්මියාට අනපේක්ෂිත පදවි ලාභ හිමිවෙයි. එමෙන් මෙකි හර්ෂ යෝගය අශුභව යෙදුණු විට ජන්මියා සොරකමට පෙළඹෙයි. අන්‍යයන්ට සතුරුකම් කරයි. ඒ හේතු කොට ගෙන නඩුහබවලට පැටලි සිරබත් කෑමට සිදුවෙයි. සරල යෝගය ලග්න කේන්දරයක අශුභව යෙදුණුවිට ඔහු මිනීමරුවෙකු වෙයි. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙයි. මත් ද්‍රව්‍ය ජාවාරම්වලින් ධන උපයයි. විවිධ වූ ලිංගික අපචාරයන්ට යොමුවෙයි. විමල යෝගය කේන්දරයක අශුභව යෙදුණු විට ස්ත්‍රීන්, ළමුන්, පැහැරගෙන ගොස්, සිරකොට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කොට මත් ද්‍රව්‍ය ව්‍යාපාරවලට ගණිකා ව්‍යාපාරවලට යොමු කරයි. රහසිගත ලෙස කළු සල්ලි ජාවාරම් කිරීම, හොර නෝට්ටු ජාවාරම් කිරීම, නීති විරෝධි අයුරින් රටකින් රටකට මුදල් යැවීම සහ ගෙන්වා ගැනීම වැනි නීති විරෝධී ව්‍යාපාරවලට යොමු වෙයි. ඒ අනුව හර්ෂ, සරල, විමල යන යෝගයකින් හෝ මෙකී යෝග දෙකක් හෝ තුනක් යෙදීමෙන් පැන නඟින විපරිත රාජ යෝගයකින් ජන්මියෙක් හට විග්‍රහ කළ පරිදි අයහපත් නීති විරෝධි කටයුතුවලට යොමු වන්නේ විපරිත රාජයෝගයට සම්බන්ධවන ග්‍රහයන් නෛසර්ගික ශුභයන් වී දුෂ්ට ස්ථානගතව සිටියදී නෛසර්ගික පාපයන් උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර යනාදි බලයකින් තොරව කේන්ද්‍ර, ත්‍රිකෝණ ස්ථානගතව, දුෂ්ට භාවවල සිටින විපරිත රාජ යෝගය උදා කළ නෛසර්ගික ශුභ ග්‍රහයන් පීඩා කළවිටදීය. මෙකී කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක්කේ උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් වන හෙයිනි. අපි ඒ සඳහා පහත දැක්වෙන උදාහරණ කේන්දර සටහන අධ්‍යයනය කරමු.

අංක 1 උදාහරණ කේන්දර අයත් වන්නේ ත්‍රස්තනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ටය. එම වෘශ්චික ලග්න කේන්දරයේ 12 වැන්නේ බුධ, සිකුරු යන සහජ ශුභයන් දෙදෙනා මුල් කරගෙන යෙදුණු විපරිත රාජයෝගයකි. ඒ අනුව එකී විපරිත රාජයෝගයට සම්බන්ධ බුධ සහ සිකුරු තවදුරටත් අට වැන්නේ සිටින කේතුගේ පූර්ණ දෘෂ්ටියෙන් ද සිව්වැන්නේ සිටින හය අධිපති අඟහරුගේ රාශි දෘෂ්ටියෙන් පීඩා වී ඇති අතර, ලග්නයේ සිටින නීච සඳුගෙන් සහ සිව්වැන්නේ සිටින 6 අධිපති කුජගේ පූර්ණ දෘෂ්ටිය බුධ / සිකුරුගෙන් 12 වැන්න වූ මීන රාශියට වැටීමෙන් පාප කර්තරිත වී ඇත. කේන්ද්‍ර ස්ථානය වන සිව්වැන්නේ පාපි කුජ සිටීමෙනුත් ලග්නයෙහි නීච අව අමාවක සඳු සමඟ නෛසර්ගික පාපියෙක් වන රවි සිටීමෙනුත් එය රවි, සඳු සහ ලග්නය තවදුරටත් රාහු, කේතු, ශනි යන පාප ග්‍රහයන්ගෙන් පාප කර්තරිත වීමත්, එලෙස පාප පීඩිත වූ රවි සඳුගේ කේන්ද්‍රය දෘෂ්ටිය කේන්ද්‍ර ස්ථාන 3 වැටීම හේතු කොටගෙන ලග්න කේන්දරයේ කේන්ද්‍ර ස්ථාන 4 ම පාප පීඩිත වී ඇත. ගුරු ත්‍රිකෝණ ස්ථානයක් වන 9 වැන්නෙහි උච්චව ඇතත් ගුරු තැන්පත් රාශි අධිපති සඳු නීචව අව අමාවක සඳුවෙමින් ලග්නයෙන් පාප පීඩිත වී ඇති නිසා ගුරුට කිසිදු ශුභ ඵලයක් දානය කළ නොහැක. ඒ අනුව ඉහත වෘශ්චික ලග්නයේ 8, 12 අධිපතියන් 12 වැන්නෙහි පාප පීඩිතවීමෙන් යෙදුණු විපරිත රාජයෝගය ප්‍රභාකරන් ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයෙක් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ඒ අනුව ලග්න 12 යින් මේෂ, වෘෂභ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මකර, කුම්භ යන ලග්න 8 කට නෛසර්ගික ශුභයන් දෙදෙනෙක් සහ නෛසර්ගික පාපියෙක් කේන්ද්‍රකොටගෙන විපරිත රාජ යෝගය යෙදෙන අතර, තුලා ලග්නයට පමණක් නෛසර්ගක ශුභයි 3 ක් කේන්ද්‍ර කොටගෙන විපරිත රාජයෝග යෙදෙයි. මිථුන, සහ මීන ලග්න දෙක නෛසර්ගික පාපීන් දෙදෙනෙක් සහ නෛසර්ගික ශුභයෙක් කේන්ද්‍ර කොට ගෙන යෙදෙයි. අප මාතෘකාවට සම්බන්ධ කන්‍යා ලග්නයට පමණක් නෛසර්ගික පාපීන් තිදෙනෙක් කේන්ද්‍රකොට ගෙන විපරිත රාජයෝගය යෙදෙන අතර, එතැනදී නෛසර්ගික පාපීන් සියලු දෙනාම 6, 8, 12 යන දුෂ්ට භාව ගත වීමෙන් නෛසර්ගික ශුභයන් වැඩි දෙනෙක් 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්ථාන හෝ 5, 9 යන ත්‍රිකෝණ ස්ථාන හෝ මිශ්‍රඵල උදා කරන 2, 3, 11 යන භාව ගතව, 6, 8, 12 යන දුෂ්ට භාව ගත වූ විපරිත රාජයෝගය උදා කල ග්‍රහයන්ට ඔවුන්ගේ ශුභඵල පෑම යොමු කිරීමෙන් කන්‍යා ලග්න කේන්දර හිමියාට අන්‍යය ලග්න හිමියන්ට වඩා විපරිත රාජයෝගයෙන් උසස් ශුභ බලයක් භුක්ති විඳිය හැකි වන්නේ ය. ඒ පිළිබඳව පැහැදිලි වූත් නිරවුල් වූත් අවබෝධයක් ලබාගත හැක්කේ උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් වන හෙයින්, අපි ඒ සඳහා පහත දැක්වෙන උදාහරණ කේන්දරය අධ්‍යයනය කරමු.

ඒ අනුව පහත දැක්වෙන උදාහරණ කේන්දරය අයත් වන්නේ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාටය. එම කන්‍යා ලග්න කේන්දරයේ 8 අධිපති අඟහරු 12 වැන්නෙහි යෙදීමෙන් සරල යෝගයත් 6 අධිපති සෙනසුරු 6 වැන්නෙහි යෙදීමෙන් හර්ෂ යෝගයත් යෙදීම හේතු කොට ගෙන විපරිත රාජයෝගයක් යෙදී ඇත. එම විපරිත රාජයෝගයට සම්බන්ධ කුජ, ශනි යන ග්‍රහයන් දෙදෙනා තව දුරටත්, කන්‍යා ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයන් දෙදෙනෙක් වන බුධ සහ සිකුරු ගේ ශුභ බලපෑමට ලක්ව බලවත්ව ඇත. එපමණක් නොව 6, 8 යන මෙකී විපරිත රාජ යෝගයට සම්බන්ධ භාවයන් ද බුධ, සිකුරු යන යන යෝග කාරක ග්‍රහයන්ගේ පූර්ණ සහ රාශි දෘෂ්ටියට ලක්වීමෙන් බලවත් ව ඇත. ඒ අනුව එකී ශුභව යෙදුණා වූ විපරිත රාජයෝගයේ ප්‍රතිඵලයක් ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතාට මෙරට ජනනායකත්වයක් ලබා ගැනීමට තිබුණු දේශපාලන බාධක, අවහිරතා නිරායාසයෙන්ම වාගේ ඉවත් විය. එපමණක් නොව එකී දුෂ්ට භාව සහ එහි අධිපතියන් ලැබුණු ශුභ බලපෑම හේතු කොට ගෙන ඒ මහතා ධර්මිෂ්ඨ සමාජයක් යන මුඛ පාඨය යටතේ නිදහස් නිවහල් රාජ්‍ය පාලනයක් ගෙන යෑමට හැකි විය. ඒ අනුව ඉහත විග්‍රහයෙන් ගම්‍ය වන්නේ අන්‍යය ලග්නවලට වඩා කන්‍යා ලග්න හිමියාට විපරිත රාජයෝගයෙන් ශුභඵල ලැබෙන බවයි. සුබසෙත ඡ්‍යෝතිෂ ලැදි පාඨකයන් ගේ ප්‍රයෝජනය සඳහා ලග්න 12 ට විපරිත රාජ යෝග උදා කරන ග්‍රහයන් පිළිබඳ විස්තරයක් පහත දක්වා ඇත.

මේෂ ලග්නයට

6 අධිපති බුධ, 8 අධිපති අඟහරු, 12 අධිපති ගුරු පිළිවෙලින් හර්ෂ, සරල, විමල යෝග උදා කරයි. මෙකී යෝගයන් ගෙන් දෙකක් හෝ 3 ක් යෙදුනු විට විපරිත නම් රාජයෝග යෙදෙයි.

වෘෂභ ලග්නයට

6 අධිපති, සිකුරු 8 අධිපති ගුරු 12 අධිපති අඟහරු හර්ෂ, සරල, විමල යෝග උදා කරයි. යටකී යෝගයන්ගෙන් දෙකක් හෝ තුනක් යෙදුණු විට විපරිත නම් රාජ යෝගය යෙදෙයි.

මිථුන ලග්නයට

6 අධිපති අඟහරු, 8 අධිපති සෙනසුරු 12 අධිපති සිකුරු පිළිවෙලින් හර්ෂ, සරල, විමල යෝග උදා කරයි. මෙකී යෝගයන්ගෙන් දෙකක් හෝ 3 ක් යෙදුණු විට විපරිත රාජයෝගය යෙදෙයි.

කටක ලග්නයට

6 අධිපති ගුරු 8 අධිපති ශනි 12 අධිපති බුධ පිළිවෙලින් හර්ෂ සරල, විමල යෝග උදා කරයි. මෙකී යෝගයන්ගෙන් දෙකක් ගෙන තුනක් යෙදුණු විට විපරිත නම් බලගතු රාජයෝගය යෙදෙයි.

සිංහ ලග්නයට

6 අධිපති සෙනසුරු හර්ෂ යෝගය ද 8 අධිපති ගුරු සරල යෝගය ද 12 අධිපති සඳු විමල යෝගය ද උදා කරන අතර, මෙකී යෝගවලින් දෙකක් හෝ තුනම යෙදුණු විට විපරිත නම් රාජයෝග යෙදෙයි.

කන්‍යා ලග්නයට

6 අධිපති සෙනසුරු, 8 අධිපති අඟහරු 12 අධිපති රවි යන ග්‍රහයන් පිළිවෙලින් හර්ෂ, සරල, විමල යෝග උදා කරයි. මෙකී යෝග තුනම හෝ දෙකක් යෙදුණු විට විපරිත නම් රාජයෝගය යෙදෙයි.

තුලා ලග්නයට

තුලා ලග්න හිමියාට 6 අධිපති ගුරු හර්ෂ යෝගය ද 8 අධිපති සිකුරු සරල යෝගය ද 12 අධිපති බුධ විමල යෝගය උදාකරයි. මෙකී යෝගයන්ගෙන් යෝග දෙකක් හෝ තුනක් යෙදුණු විට විපරිත නම් රාජයෝගය යෙදෙයි.

වෘශ්චික ලග්නයට

6 අධිපති කුජ, 8 අධිපති බුධ 12 අධිපති සිකුරු පිළිවෙලින් හර්ෂ, සරල, විමල යන යෝග උදා කරයි. මෙකී යෝගයන් තුනම හෝ දෙකක් යෙදුණු විට විපරිත නම් රාජයෝගය යෙදෙයි.

ධනු ලග්නයට

6 අධිපති සිකුරුගෙන් හර්ෂ යෝගය යෙදෙයි. 8 අධිපති සඳුගෙන් සරල යෝගය යෙදෙයි. 12 අධිපති අඟහරුගෙන් විමල යෝගය යෙදේ. මෙකී යෝග සියල්ලම හෝ යෝග දෙකක් යෙදුණු විට විපරිත නම් රාජයෝගය පැන නගියි.

මකර ලග්නයට

මකර ලග්න කේන්දරයට 6 අධිපති බුධ ගෙන් හර්ෂ යෝගය ද 8 අධිපති රවිගෙන් සරල යෝගය ද 12 අධිපති ගුරුගෙන් විමල යෝගය ද යෙදෙයි. යටකී යෝගවලින් දෙකක් හෝ තුනම යෙදුණු කල විපරිත නම් රාජයෝගය යෙදෙයි.

කුම්භ ලග්නයට

6 අධිපති සඳු, 8 අධිපති බුධ, 12 අධිපති ශනි යන ග්‍රහයන් පිළිවෙලින් හර්ෂ, සරල, විමල යන යෝගයන් උදා කරයි. මෙකී යෝගවලින් යෝග තුනම හෝ දෙකක් යෙදුණු විට විපරිත නම් රාජයෝගය පැන නගියි.

මීන ලග්නයට

6 අධිපති රවි, 8 අධිපති සිකුරු 12 අධිපති සෙනසුරු යන ග්‍රහයන් පිළිවෙලින් හර්ෂ, සරල විමල යන යෝගයන් උදා කරයි. මෙකී යෝග සියල්ලම හෝ ඉන් දෙකක් යෙදුණු විට විපරිත නම් රාජ යෝගය යෙදෙයි.

තවද මෙකී විපරිත රාජ යෝගයට සම්බන්ධ වන භාවාධිපතියන් කවර ආකාරයෙන් හෝ ඔවුනොවුන්ගේ භාව හුවමාරු කර ගැනීමෙන් විපරිත පරිවර්ත නම් රාජයෝග යෙදෙයි. උදාහරණයක් වශයෙන් 6 අධිපති 8 සිටිය දී 8 අධිපති 6 සිටීම, හෝ 8 අධිපති 12 සිටියදී 12 අධිපති 8 සිටීම හෝ 6 අධිපති 12 හි සිටියදී, 12 හි අධිපති 6 වැන්නේ සිටීම යනාදී වශයෙන් යෙදිය හැකි වන අතර, මෙකී විපරිත පරිවර්තන රාජයෝගය, අතිශයින්ම බලගතු විපරිත රාජයෝග විශේෂයක් වන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.