අනුන් වසඟයට හා දමනයට සමත් වෘෂභ ලග්න හිමියෝ

මැයි 17, 2024

ස්ථිර ගුණයෙන් යුක්ත වෘෂභ රාශිය පොළෝ ධාතුවට අයත් වේ. මෙහි ඇති පියවි ගුණය ඔබේ දුකට මෙන්ම සැපතට බලපානු ඇත.

පේ‍්‍රමවන්ත හැඟීම්වලින් ගහන වූ සිතින් මවාගත් සතුටින් කාලය ගත කිරීමට කැමතිය. දේපළ වස්තුව රැස් කිරීමට තද බල ආශාවක් දක්වන අතර චිත්‍රකර්මය, සංගීතය වැනි විෂයයන්වලටත් ඉතා කැමතිය. බාහිර අලංකාරයට, ඔපයට ඇඳුම් පැලඳුම්වලට ඉතා ළැදිවන අතර සිතුම් පැතුම් ස්ථිරසාර වේ. අධිෂ්ඨාන ශක්තිය බලවත්වන අතර සාමයට, සමගියට කැමතිය. යටි හිතේ බල පැවැත්වෙන ආත්මාර්ථකාමි හිතුවක්කාර අදහස් නිසා සිරිත් විරිත් පහසුවෙන් වෙනස් නොවේ. ගතානුගතිකව අදහස්වලට ගැතිව කාලය ගෙවයි. අනුරාගී ගතිය තදින් පවතී. ආත්ම අර්ථය ගැන නිතරම සිතයි.

වෘෂභ ලග්නයේ ලග්නාධිපතියා කිවි හෙවත් සිකුරුය. මේ රාශිය චන්ද්‍රයාගේ උච්ච භවනය ද වේ. සිකුරු සෞන්දර්යට සහ කාමයට අධිපති වේ. පේ‍්‍රමය, ආලය, ආදරය සිතේ නිතර බලපවත්වයි. සමාජ වැඩවලට ද ඉතා ළැදිය. ඔබට අවනත වන මිත්‍රයන්ට නෑදෑයන්ට ඉතා ළැදිය. අන්‍යයන්ගේ අවවාද අනුශාසනා ලැබීමට කැමති නැත. උපශාන්ත බවක් මතුපිටින් පෙන්නුවත් අයිතිවාසිකම් ගැන දරුණු සටන්වල යෙදීමට වුවත් සිත දරුණුය.

වෘෂභ රාශියෙන් දෙවැනි රාශිය වන්නේ මිථුන රාශියයි. එහි අධිපතියා බුධ ග්‍රහයා වෙයි. ලිවීම, වෙළෙඳාම, ශාස්ත්‍රිය කටයුතු, බ්‍රෝකර් වැඩ , කතාව සහ සිත මුල්කරගෙන කරන කටයුතුවලින් මුදල් ඉපැයීමේ වාසනාව ඇත. හොර වංචනික වැඩවලින් දේපළ මිල මුදල් විනාශ වීමට ඉඩ ඇත. විවාහයෙන් පසුව ධන හානි වීමට ඉඩ ඇත. ධනය ආරක්ෂා කර ගැනීමේ බලය ඇත්තේ උප්පත්ති කේන්දරයේදී ග්‍රහයන් පිහිටි ආකාරය අනුව වේ.

වෘෂභ ලග්නයෙන් ජනිත ඔබේ කේන්දරයේ තුන්වැනි ස්ථානය කටක රාශියයි. එය චන්ද්‍රයාගේ හෙවත් සඳුගේ ස්වක්ෂේත්‍ර රාශියයි. ගුරු හෙවත් බ්‍රහස්පතිගේ උච්ච රාශියයි.

ගමනේ යෙදීමට ඉතා කැමතිය. සංචාර නිසා ප්‍රසිද්ධියත් මහජන සම්බන්ධයත් ඇති වේ. ශෝකයට සහ කරදරබාධාවලට පත්වන්නේ සහෝදර සහෝදරියන් නිසාය. නෑයන් නිසා දියුණුවට බාධා ඇතිවේ. උපාය ඥානය නිසා අන්‍යයන් වසඟ කිරීමට, දමනය කිරීමට මෙන්ම විනාශ කිරීමට ද හැකිය.

ආත්මාර්ථකාමි ගතිය නිසා ධනවත්වීමටත් ගෞරව සම්මාන ලැබීමටත් හැකි වේ. කෝපය හේතුකොටගෙන තැන්පත් ගතිය අඩුවේ. භූගෝල ශාස්ත්‍රය පිළිබඳ හොඳ දැනුමක් ලැබිය හැකිය. ගොවිකම්වැඩවලට ඉතා කැමතිය.

වෘෂභ රාශියෙන් උපන් අයගේ කේන්ද්‍රයේ හතරවැන්න සිංහ රාශියයි. එය රවි හෙවත් හිරුට අයත් වේ. තේජවන්ත ජීවිතයක් ගත කිරීමට කැමති වන අතර වෘත්තියක යෙදී සිටින්නේ නම් අවසාන කාලය සැපෙන් ඓශ්චර්යයෙන් යුතුව ගත කළ හැකි වේ. උසස් අය ආශ්‍රයට ලැබෙනවා මෙන්ම ඒ අයගේ ආධාර උපකාරද ලැබෙයි. කෙසේ වෙතත් මහලු කාලයේ සැපවත් සහනදායි ජීවිතයක් ගත කිරීමට ලැබෙනු ඇත. ගමට වඩා පිට පළාත්වලදී උසස් දියුණුවට මෙන්ම ගෞරව සම්මානවලටද පාත්‍ර වෙයි.

ඔබේ පස්වැනි ස්ථානය වන්නේ කන්‍යා රාශියයි. එය අයිති වන්නේ බුධ ටය. විමෝදය, සැපය, සතුට, පී‍්‍රතිය, ආයුෂ, ආලය, ආදරය, සංගීතය කලාකාමි වැඩ දූදරුවන් ගේ බුද්ධිය, දැනුම ඉගෙනීම හෘදයවස්තුව පිළිබඳව තොරතුරු මේ ස්ථානයෙන් දත හැකිය.

කන්‍යා රාශිය පිළිබඳ අයිතියක් රාහුට ද ඇත. එනිසා ආලය, ආදරය සම්බන්ධ කටයුතුවලින් කරදර ඇතිවීමට ඉඩ තිබේ. රේස් ඔට්ටු, සූදු ක්‍රීඩාවලින් ජයග්‍රහණ ඇති වේ. ඒ සමඟම සතුරු කරදර මතුවන බැවින් ඒවායින් වැළකී සිටීම දියුණුවට වඩාත් උචිත වේ. ඔබේ දරුවන් කුඩා කාලයේ ශරීර සනීපයෙන් දුර්වල අය විය හැකිය. එය කුඩා අවදියේ පමණක් බලපවත්වයි. මහලු කාලයේ දරුවන් නිසා සතුට, සැපත, පී‍්‍රතිය ඇතිවේ.

වෘෂභ රාශියෙන් හයවැන්න තුලා රාශියයි. එය සිකුරුට අයත් වේ. සෙනසුරුගේ උච්ච රාශියයි. කාම තෘෂ්ණාව සහ කෑමබීම නිසා රෝග හට ගැනීමට ඉඩ තිබේ. වකුගඩු රෝග උගුරේ පීඩා සෑදීමට ද දියවැඩියාව මූත්‍රාරෝග, සෙම් ගෙඩි, කණ්ඩමාලය වැනි රෝගවලින් පීඩාවිඳීමට හේතු වෙයි. දත් රෝග, අකලට දත්වැටීම, දත් සෙලවීම වැනි රෝග ඇති වූ වහාම ප්‍රතිකාර කළ යුතුය.

වෘෂභ රාශියෙන් හත්වැන්න වෘශ්චික රාශියයි. එය අධිපති වන්නේ අඟහරු හෙවත් කුජටය. මෙය රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය වේ. හත්වැන්න විවාහය සම්බන්ධ නිසා අඟහරුගේ අධිපතිකම සුදුසු නොවේ. ක්ෂණිකව ඇතිවන පේ‍්‍රමය සහ විවාහවලින් ප්‍රවේශම් විය යුතුය. නැතිනම් විවාහ ජීවිතය අවුල්සහගත වීමට හේතු වේ. පොරොන්දම් පරික්ෂාව වඩාත් යෝග්‍ය වේ. මුරණ්ඩු ලෙස ක්‍රියා කිරීමට ගියහොත් ශරීර පීඩා තුවාල සිදු වේ. සතුරන් නිසා නින්දා අපහාස පමණක් නොව විවාහ ජීවිතයටද එම කරදර එල්ල වේ.

වෘෂභ ලග්නයෙන් අටවැන්න ධනු රාශියයි. එය ගුරුට හෙවත් බ්‍රහස්පතිට අයත් වේ. මේ අටවැනි රාශිය මාරකස්ථානය වශයෙන්ද හඳුන්වයි. කෙසේ වෙතත් වෘෂභ ලග්නයෙන්් උපන් අයට අට ධනුව බැවින් ගුරුගේ බලය අනුව මළවුන්ගේ දේපළ ලැබීමට වාසනාව ඇත. විවාහයෙන් දෑවැදි ලැබීම හෝ සමාගම් කටයුතුවලින් දියුණුව ලැබීමට වාසනාව ඇත. රක්ෂණ කටයුතුවලින් ලාභ ලැබේ. අවසාන කාලය ශාන්ත ලෙස දුක් නොවිඳ මරණයට පත්වන්නේ ගුරුගේ බලය නිසාය. දීර්ඝායුෂ ලැබෙන අතර ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගතහොත් සනීපය ආයුෂ වැඩි වේ. අනතුරු කීපයකට හෝ මුහුණදී ජීවත්වීමේ බලයක් ඇත. පිටස්තර ප්‍රදේශයකදී මරණය සිදුවීමට ඉඩ ඇත.

වෘෂභ ලග්නයෙන් නව වැන්න මකර රාශියයි. එය සෙනසුරුට අයත් වේ. කුජගේ උච්ච රාශියයි. ආගම පිළිබඳව ඇත්තේ සාමාන්‍ය හැඟීමකි. ගැඹුරු න්‍යායධර්ම ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් ලබා ගැනීමට හැකිය. නීතිය සම්බන්ධ කටයුතුවලට දුර්වල වේ. විදේශ ගමන් දුර ගමන්වලට කැමැත්තක් නොදක්වයි. උපන්ගම ඔබේ දියුණුවට හා සැනසීමට හේතු වේ.

වෘෂභ රාශියෙන් දහවැනි රාශිය කුම්භ රාශියයි. එය සෙනසුරුට අයත් වේ. බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් ධනය ලබා ගැනීමටත් ප්‍රසිද්ධවීමටත් පුළුවන.

නිෂ්පාදනය කිරීමට ප්‍රචාරය කිරීමට මේ ස්ථානය බලවත්ය. තමාගේ නියම තැනට තත්ත්වයට පැමිණීමේදී නොයෙක් බාධා මංමුළාවීම් ඇති වේ. අවසානයේ බාධා මැඬගෙන ජයගත හැකිය. යන්ත්‍ර සූත්‍ර, මෝටර් රථ ඉලෙක්ට්‍රොනික් වැඩ රක්ෂාව වශයෙන් හිමි වේ. ගරු සැලකිලි සම්මාන ගැන අධික ආශාවක් පවතී. පේ‍්‍රමය ගැන එතරම් ප්‍රබල හිතක් නැත. තමාට ඇති අඩුපාඩු ගැනත් බාහිර ලෝකය ගැනත් ඊර්ෂ්‍යාවෙන් පසුවෙයි. පාලන බලයක් ලැබුණොත් උසස් බලවත් තත්ත්වයට පත් වේ.

වෘෂභ රාශියෙන් එකොළොස්වන රාශිය මීන රාශියයි. එය ගුරුට අයත් වේ. සිකුරුගේ උච්ච රාශියයි. මෙම රාශිය කේතුට හිමි වේ. බොහෝ මිත්‍රයන් ආශ්‍රයට ලැබුණත් ඒ හැම කෙනෙක්ම නියම මිත්‍රයන් නොවේ. කල්‍යාණ මිත්‍රයන්ගෙන් ඉඩම් මුදල් ලැබෙන බලයක් ඇත. පාප අදහස් ඇති මිතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ඔවුන් නිසා මරණය පවා සිදුවීමට ඉඩ තිබේ. අන් අයට ඇපවීම මුදල් ණයට දීම දුර දිග බලා කළ යුතුය.

වෘෂභ රාශියෙන් දොළොස්වැනි රාශිය මේෂ රාශියයි. එය කුජට අයත් වේ. රවිගේ උච්ච රාශිය වේ. ගුප්ත විද්‍යා, භූත විද්‍යාවලින් ආදායම් ලැබිය හැකිය. ජීවිතයේ එක් අවස්ථාවක හෝ සිර ගෙයක හෝ රෝහලක ගත කිරීමට සිදු වේ. රෝගයක් නැතිව රෝග සාදන හෝ නිර්දෝෂීව බන්ධනාගාරගත වීමට ඉඩ ඇත. දුරදිග බලා කටයුතු කළ යුතුය.

ඔබේ උපත සිදුවූ අවස්ථාවේ පැවැති ග්‍රහ බලපෑම් සහ නැකැත් බල අනුව පලවිපාක අඩු වැඩි වේ. රවි, ශනි, මහ දශා අතුරු දශාවල සුබපල ගෙන දෙනු ඇත. ඒ ඒ ග්‍රහයාත් සිටි දුටු තත්ත්ව අනුව ඔවුන්ගේ දශා අතුරු දශාවල පච්චගල් පැලඳීම යහපති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.