අශ්වයාගේ රාශියේ අය මේ වසරේ කල්පනාවෙන් ඉන්න චීන ජ්‍යොතිෂයෙන්

ජුනි 30, 2023

චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව පලාපල දැන ගැනීමට දැන් ඔබ අප හා එක්වන බව අපි දනිමු. ඒ නිසාම චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව අශ්වයාගේ රාශියේ පුද්ගලයන්ට මේ වසරේ සුබ අසුබ තත්ත්වයන් කවරේදැයි ඔබ දැනගැනීමට උනන්දුවෙන් ඇති. මෙතෙක් චීන රාශි චක්‍රයේ රාශි හයක පලාපල අප ඔබට පවසා ඇති අතර අද හත්වැනි රාශිය ලෙස සැලකෙන අශ්වයාගේ රාශිය ගැන දැන ගනිමු.

 

පළමුවෙන් ම අශ්වයාගේ රාශියට අයත් පුද්ගලයන්ගේ ගති ගුණ කුමනාකාර දැයි හා ඔවුන් සතු ශක්තීන් හා දුර්වලතා කවරේදැයි ඔබට දැනගන්නට පුළුවන්. අශ්වයාගේ රාශියට අයත් වන්නේ 1942,1954, 1966, 1978, 1990, 2002, 2014 යන වසරවල උපන් අයයි. මේ රාශියට අයත් පුද්ගලයන් තම නිදහස අගය කරන, සජීවීකරණ ගුණයෙන් යුතු, ජවසම්පන්න හා ක්‍රියාකාරී පුද්ගලයන් වේ. මෙවැනි අයට සම්බන්ධතා සඳහා හෝ ළඟින් ඇසුරු කිරීමට සුදුසු පුද්ගලයන් වන්නේ අශ්වයා රාශියේ ම පුද්ගලයන් හා කොටියා, එළුවා, බල්ලා රාශිවල පුද්ගලයන් ය.

අශ්වයා පැරැණි සමාජයේ බහුලව ම ප්‍රවාහන මාධ්‍යයක් වූ අතර එනිසාම චීනයේ වැදගත් ම සතුන් හය දෙනාගෙන් පළමුතැන ළා සැලකේ. අශ්වයන් ශක්තිමත්, බලවත් හා අලංකාර සතුන් කොට්ඨාසයකි. චීන සංස්කෘතිය තුළ අශ්වයා සෑම විටම වීරයන් සහ දක්ෂතා නියෝජනය කරයි. අශ්වයාගේ අවුරුදුවල උපන් පුද්ගලයන් අශ්වයා සමඟ යම් සමානකමක් පෙන්නුම් කරන අතර ඒ අනුව ඔවුන් නිර්භීත, ශක්තිමත්, දක්ෂ හා ස්වාධීන පුද්ගලයන් වේ. අශ්වයාගේ මූලද්‍රව්‍ය ගින්න වන අතර එය උද්‍යෝගය සහ ශක්තිය සංකේතවත් කරයි. එමනිසා අශ්ව රාශියේ අයට ජවසම්පන්න සහ උද්‍යෝගිමත් චරිතයක් හිමි ය.

අශ්ව රාශිය හිමි පුද්ගලයන්ගේ මිත්‍රශීලී සහ ත්‍යාගශීලී පෞරුෂ ලක්ෂණය නිසා ඔවුන් බොහෝ මිතුරන් ඇතිකර ගැනීමට සමත් වේ. ස්වාධීනත්වය අගය කරන මේ පුද්ගලයන්ට අන් අයගේ උදවු නොමැතිව බොහෝ බාධක ජය ගැනීමේ හැකියාව ඇත. මොවුන්ට විසල් ජීව ශක්තියක් හිමි බැවින් පහසුවෙන් කිසිවකුට යටත් වන්නේ නැත. අශ්ව රාශියේ බොහෝ දෙනෙක් ජීවිතය දෙස ධනාත්මක ආකල්පයක් ඇතිව කටයුතු කරයි. එබැවින් ඔවුනට ඥාතීන් හා මිතුරන් කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් පවතී.

අශ්ව රාශියේ බොහෝ පිරිමි ප්‍රේමණීය වන අතර විස්මිත දේ කිරීමෙහි දක්ෂයෝය. ඔවුන් නායකත්වයේ දක්ෂතා ද ප්‍රකට කරයි. ඔවුනට අන් අයගේ මනස පිළිබඳ අවබෝධයක් ඇති නිසා ඔවුන්ට සෑම විටම නිසි ප්‍රතිචාර දැක්වීමට හැකිය. ඉගෙනීමේ හා අවබෝධ කරගැනීමේ තියුණු හැකියාවක් ද ඇත. අනෙක් අයට වඩා, යමක් පිළිබඳ දැනුමක් හා නිපුණතාවක් ඉතා කෙටි කාලයක් තුළ ලබා ගත හැකිය.

අශ්ව රාශිය හිමි පුද්ගලයන් වියදම් කිරීමට ප්‍රිය වේ. එබැවින් ඔවුනට මුදල් තැන්පතු තබා ගැනීමට තරමක් අපහසු ය. අනපේක්ෂිත සිදුවීම් සඳහා ඔවුන් සූදානම් වන්නේ කලාතුරකිනි. අන් අයට සවන් දීමේ දී ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසු නොවන ගතියක් ඇති නිසා සංවාදවල දී අනෙක් අය අමනාප විය හැකිය. මොවුන්ගේ වීර්යයෙහි ඇති අඩුපාඩු නිසා කාර්යයන් අතරමඟ අතහැරීමට සිදු වේ. එමනිසා ඔවුනට අවශ්‍ය දේ ලබා ගැනීමට නොහැකි ය. නිෂ්ඵල දේ පිටුපස හඹා ගිය ද සරලව හා ගෞරවනීය ලෙසින් ඇඳීමට පැලඳීමට උනන්දු වේ. අන් අයගේ උපදෙස් හෝ අදහස්වලට ඇහුම්කන් දීම දුර්වල වන අතර තම සිතුවිලි මත ඇලී සිටීම, වැදගත් කාරණා සම්බන්ධයෙන් වැරැදි විනිශ්චයන්ට පවා එළඹිය හැකිය.

අශ්ව රාශියේ අයගේ පෞරුෂය නිසා ඔවුන් ළමා කාලයේ දී කැරැලිකාර, හිතුවක්කාර අය වුවද වැඩෙන විට ඔවුනගේ ඉරණම වෙනස් කරන විශිෂ්ට ජයග්‍රාහකයන් විය හැකිය. ඔවුන් මිතුරන් ඇතිකර ගැනීමට කැමැති අය නිසා බොහෝ දුෂ්කරතාවල දී මිතුරන්ගේ උපකාර ලැබේ. මොවුන් විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමට ප්‍රිය කරන බැවින් අන්තර් පුද්ගල සන්නිවේදනය සම්බන්ධ රැකියා ඔවුනගේ ප්‍රියතම රැකියා බවට පත් වේ. අශ්ව රාශියේ පුද්ගලයන් යම් කිසි කාර්යයක ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට නැඹුරු වන නිසා අණට කීකරු වීමට මෙන්ම අණ දීමට ද කැමැත්තක් දක්වයි. මොවුනට සුදුසු රැකියා වන්නේ අලෙවි නියෝජිත, ප්‍රචාරක අංශයේ රැකියා, කථිකත්වයෙන් කළ යුතු රැකියා, මාධ්‍යවේදී රැකියා, රංගන ශිල්පය, පුස්තකාලයාධිපති වැනි රැකියාවන් ය.

මිතුරන්ගේ ආධාර, උපකාර මත ඔවුන් තරුණ වියේ දී වෘත්තීය හා ව්‍යාපාරයේ දියුණුවක් ලබා ගනී. මූල්‍ය හිඟය ගැටලුවක් වන්නේ නැත. වියදම් කිරීමට ඇති කැමැත්ත ඔවුනගේ ධනයේ ස්ථාවරත්වයට බලපානු ඇත. එබැවින් අනාගතය සඳහා මුදල් තැන්පත් කිරීම මහලු විය සඳහා කරන ආයෝජනයක් විය හැකිය.

අශ්ව රාශියේ උපන් අය නිදහසට ප්‍රිය වන අතර කිසිදු සබඳතාවකින් බැඳී සිටීමට අකැමැති ය. තම අරමුණු සඳහා තනිවම උත්සාහ කරමින් නිවෙසින් බැහැරව ජීවත් වීම සහ වැඩ කිරීම තෝරා ගනී. අශ්ව රාශියේ අය ආකර්ෂණීය පුද්ගලයන් වේ. විරුද්ධ ලිංගිකයන් විසින් මොවුන් මුළු හදවතින් ම බාරගනී. මේ රාශිය හිමි පුද්ගලයන් සබඳතා වලදී හැඟීම්බර හා චිත්තවේගීය පුද්ගලයන් වේ. ආදරය කරන විට ඔවුන් සෑම විටම හොඳම දේ හඹා යනු ඇත. කෙසේ වෙතත් විවාහයේ දී ඔවුන් අනෙකාට පක්ෂපාතී වේ. දෛවය අනුව ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ සබඳතාවක් ඇති නොවිය හැකිය. ඔවුහු පෙම් සබඳතාවල දී තරමක් යථාර්ථවාදී ආකල්ප අනුගමනය කරති.

මේ රාශියේ අයට එදිනෙදා ජීවිතයේ දී උණ, පිපාසය, මලබද්ධය වැනි රෝග ලක්ෂණ ඇති කරයි. එමනිසා මේ පුද්ගලයන් කායික වෙනස්කම් ගැන දැඩි අවධානයකින් පසුවිය යුතුය. මැදිවියේ හා මහලු අශ්ව රාශි හිමියන් හෘද රෝග, අධි රුධිර පීඩනය ආදිය වළක්වා ගැනීමට කටයුතු කරන්න. අල, රතු රට ඉඳී, මී පැණි, නෙළුම් බීජ සහ කළු බෝංචි වැනි පෝෂණීය ආහාර වැඩිපුර ලබා ගැනීම සුදුසුයි.

දැන් අපි මේ වසර අශ්වයාගේ රාශියේ ඉපදුණ ඔබට කෙසේවේදැයි විමසා බලමු. මේ ගතවන්නේ හාවාගේ වසරයි. එය අශ්ව රාශිය හිමි ඔබට සුබ අසුබ මිශ්‍රඵල ඇති කරන වසරකි. ඔබේ වැඩ කටයුතුවලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබේ උත්සාහයේ තරමට මේ නොසන්සුන් වසර සාමකාමීව ගත කිරීමට හැකියාව ලැබේ. ඔබේ වෘත්තිය අහිමි කිරීමට බලා සිටින කඩාකප්පල්කාරී පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව ලබා නොදීමට වගබලා ගන්න. වෘත්තීය කැලඹිලිවල බලපෑම නිසා ඔබේ ආදායම අස්ථායී වනු ඇත. අශ්ව රාශියේ ඔබට ආදර සබඳතා පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගත හැකිය. අවිවාහක ඔබට වාසනාවන්ත ආදරණීය හමුවීම් ලැබෙනු ඇත. මේ නිසා හොඳ සම්බන්ධතාවක් හිමිකර ගැනීමට ද හැකියාව ලැබේ. මේ වසර ඔබට විවාහය සඳහා සුදුසු වන අතර ඔබේ අනාගතය පිළිබඳ සෑම කටයුත්තක්ම පිළිවෙළකට සැලසුම් කළ හැකිය.

මේ වසර අශ්ව රාශිය හිමි ඔබේ ආදායම් තත්ත්වයට අහිතකර ලෙස බලපායි. එබැවින් මේ වසරේදී වියදම් පිළිබඳ මෙන්ම ආදායම් මාර්ග පිළිබඳ සැලකිලිමත් වෙන්න. ව්‍යාපාර කරන ඔබ තම ප්‍රාග්ධනය පිළිබඳ ද වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න. තම ව්‍යාපාර පුළුල් කිරීමට අදහස් කරන්නේ නම් කල්තියාම පර්යේෂණයක් කිරීමෙන් අනතුරුව විචක්ෂණශීලීව ප්‍රවේසම් සහිතව එය සිදු කරන්න. හිතුමතයේ එවැනි දේ කිරීම ඔබේ සියලුම සන්තකයන් නැතිවීමට පවා හේතු විය හැකිය. වෘත්තීය දියුණුව සියලු ආකාරයේ උච්චාවචනයන්ගෙන් යුතුය. වෘත්තීය ජීවිතය තුළ ස්ථාවරව වර්ධනය වීමට අවැසි නම් ඒ පිළිබඳ හොඳීන් සිතා බලා කටයුතු කරන්න. කිසියම් දෙයක් සිදු කිරීමට පළමුව දෙවරක් සිතා බලන්න. කිසිවිටෙකත් නොඉවසිලිවන්ත ලෙස කටයුතු නොකිරීමට සිතට ගන්න. ඔබ ඇතැම් තාවකාලික දුෂ්කරතා සහ පසුබෑම් නිසා කිසි විටෙකත් රැකියාව පහසුවෙන් අත නොහැරිය යුතුය.

ඔබේ සෞඛ්‍ය තත්ත්වය මේ වසරේ එතරම් යහපත් නොවන නිසා ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. රැකියාවේ කාර්යබහුලතාව නිසා ආහාර ගැනීම මඟහැරීමෙන් උදරාබාධ ඇති විය හැකියි. අශ්ව රාශියේ ඔබගේ වාසනාවන්ත වර්ණ වන්නේ: දුඹුරු, කහ සහ දම් වර්ණයන් ය. වාසනාවන්ත අංක වනුයේ 2, 3, 7 යන අංකයි.

 

සටහන

අයන්ති උඩුගම්පල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.