වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ශ්‍රී සහ ස්ත්‍රී
ඡ්‍යොතිෂය ඉන්දියානු වේද ග්‍රන්ථවලින් ප්‍රචලිත වූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඉන් බිඳී ගිය සහ බෙදී ගිය වෙනත් ක්‍රමවේද රැසක් මේ වන විට ලොව පුරා ප්‍රචලිතව පවතී. ඉන්දියාව මතු නොව චීනය, ජපානය වැනි දියුණු තාක්ෂණයක් හා ආර්ථිකයක් හිමි රටවලද බටහිර ලෝකයම ද ඡ්‍යොතිෂය යොදා ගන්නේ තමන්ගේ කටයුතු වඩා සාර්ථක කර ගැනීමේ අටියෙනි. රොකට් යවන විට ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද නැකැතක් බැලීම සාධාරණ වන්නේ ඔවුන් ඒ විෂයයන්හි සාරය නවීනත්වයට මුසු කොට තම සාර්ථකත්වය මුදුන් පමුණුවා ගන්නා බැවිනි.
තාක්ෂණයෙන් කොතරම් දියුණු වුවද ජපානය හස්ත රේඛා පොත් පමණක් සහිත ප්‍රදර්ශනයක් මෙන්ම සායනයක් පවත්වමින් තම දේශයේ පවතින්නා වූ අස්පර්ශී ශාස්ත්‍රයන් පිළිබඳ අනාගත පරපුරට අත්දැකීමක් ලබා දීම මේ රටවල් ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ තවත් සුබවාදී නිදසුනකි. ඡ්‍යොතිෂය පමණක් නොව වෙනත් භූත විද්‍යා ආදිය පිළිබඳ මේ වන විට පෙරදිග රටවලට වඩා බටහිර රටවල් උනන්දු වන්නේ, ඔවුන් සතු කෙටි කාලීන ශිෂ්ටාචාරය පෙරදිග රටවල් සතු දිගු කාලීන ශිෂ්ටාචාරවල ගුණාංගයන්ගෙන් පොහොසත් කරගැනීමේ අටියෙනි. එය යටත් විජිතවාදය භෞතිකව නොව ආධ්‍යාත්මිකව ක්‍රියාත්මක වන ආකාරයක් ලෙස වුව සැලකිය හැකිය.
මේ වන විට තවමත් දියුණු රටවල් බවට පත් නොවූ ආසියාතිකයන් ලෙස සලකන අප වැනි රටවල දරුවන් නව ලිබරල්වාදී ආර්ථිකයෙන් හමා ආ ටික්ටොක්, ෆෙස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රැම් වැනි සමාජ මාධ්‍යවල පැටලී අන්තර්ජාල ජංජාලයක තම ආත්ම සිරකරගෙන සිටින විට, එයින් තම අනාගත පරපුර බේරාගත් චීනය වැනි රටවල් සමාජ මාධ්‍ය සීමා කිරීමෙන් ජාතිකත්වය රැක ගැනීම සහ තාක්ෂණික දියුණුව යන දෙවැදෑරුම් ජයග්‍රහණ අත් කර ගැනීමට සමත්ව ඇත.
එහෙත් සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ජංගම දුරකථන තිරයට විරිත්මින් සිටින අපේ අනාගත පරපුර තමන් සියල්ල දන්නා පිරිසක් ලෙස සිතා සිටින්නේ අන්තර්ජාලය සර්වතෝභද්‍ර, සකල ඥාන විභූෂිත එකම සර්වබලධාරියා ලෙස අදහමිනි.
එයින් සිදුව ඇත්තේ අපට තිබුණු වටිනා සංස්කෘතික අංග කෙරෙහි උපහාසයෙන් බැලීමට පුරුදුවීම සහ තම මවු රටේ වටිනාකම් තුට්ටුවට මායිම් නොකරන අග්මුල් නැති බහුතරයක් අනාගතය බාර ගැනීමට සූදානම් වීමය. එකල ඇමරිකන් ඩ්‍රීම් ලෙස ලොවම හැඳීන් වූ හොඳම සැපත ඇමෙරිකාවේ පදිංචි වීම යැයි සිතුවා සේ මේ වන විට ඔස්ට්‍රේලියානු සිහිනය, කැනඩා සිහිනය තරුණ පරපුරේ සිතුම් පැතුම් සුළි සුළඟකට නතු කර ඇති සේය.
මෙය පාලනය කළ හැක්කේ ද අවුස්සාලිය හැක්කේ ද ඉන්දියානු ඡ්‍යොතිෂයේ ශ්‍රී හෙවත් ශ්‍රියා කාන්තාව ලෙස සලකන ස්ත්‍රියටමය. බටහිර ක්‍රමයට නීතියෙන් මුදු දමා ලියැවිල්ලක අස්සන් කොට විවාහ රැහැනට හසුකර තැබුවද හිත පාලනය කිරීමට නොහැකි දෙදෙනකු සාර්ථක යුග දිවියක් ගත කරන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තම සැමියා කෙරෙහි නිසගයෙන් ඇතිවන භක්තියෙන් දරු මුණුපුරන් හදා වඩාගෙන, රසට ගුණට උයා පිහා දුන් සාම්ප්‍රදායික ගෘහණියන් අද සමාජයේ සෙවීම අරුත් සුන් උත්සාහයකි. එහෙත් පිරිමින් සමඟ කරටකර වෘත්තීන්හි නියැළෙමින්, දේශ දේශාන්තර ජයග්‍රහණ අත්කරගනිමින් වුව නිවෙසේ රාජකාරිද නොපිරිහෙළා ඉටු කරන කාන්තාවන් අද තම පවුල් ජීවිත රැක ගැනීමට මෙන්ම දරුවන් ගොඩ ගැනීමට දරන්නේ අපමණ වෙහෙසකි.
කොපමණ සමාන වෘත්තීන්වල යෙදුණත්, අසමාන තරම් සේවයක යෙදුණත් ජීව විද්‍යාත්මකව පුරුෂයා සහ ස්ත්‍රිය අතර ඇති වෙනස හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. එය ගසක් සහ වැලක් මෙන් වෙනස් කායික ස්වභාවයන් දෙකකි. කළුවර ගස් මෙන් ශක්තිමත් පිරිමින් මෙන්ම ගස්ලබු හෝ කෙසෙල් ගස් මෙන් කඩා වැටෙන පිරිමින් ද ලෝකයේ පැවැත්මට අවශ්‍යය. ඒ අයුරින්ම නරිවැල් මෙන් එකවර බිඳී යන කතුන් සේම පුස්වැල් මෙන් ශක්තිමත් ස්ත්‍රීන් ද මේ සොබාදහමේම නිර්මාණයන්ය. තම වෘත්තිය, සේවය, නිවෙස, පවුල, නෑදෑ හිතමිතුරන් වැනි සමාජ සම්බන්ධතා සියල්ල පවතින්නේ මේ ගසේ එතී ගිය වැල තනන සෞන්දර්යය මෙන් වූ ගැහැනු පිරිමි සුසංයෝගය මත ගොඩනැඟෙන පවුල් සංස්ථාව තුළය.
ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ඡ්‍යොතිෂයට අනුව ස්ත්‍රියට ලැබුණේ ඉහළ තැනකි. නිවෙසේ ලක්ෂ්මිය වන්නෙ ස්ත්‍රිය ලෙස පැවසෙන්නේ එබැවිනි. ගෙදර බුදුන් අම්මා යනුවෙන් අප පවසන්නේ ද එනිසාය. රට දැය සමය පිළිබඳ ස්ත්‍රිය දරන ආකල්පය නිවෙසේ අනෙක් පිරිස අදහන්නට පටන් ගන්නේ එබැවිනි. තම දරුවන් රැක ගැනීම මවු පිය දෙදෙනටම පොදු වගකීමක් වුවත් සෑම සංස්කෘතියකම දරුවන් වැදූ මවට එහි වැඩි බරක් පැටවෙන බැවින්, තාක්ෂණයෙන් ඉදිරියට යන අතර සංස්කෘතිය රැක ගන්නට නැඹුරුවක් ඇති දරුවන් පිරිසක් රටට ඉතිරි කිරීමේ වැඩි වගකීම පැවරෙන්නේද ශ්‍රී බඳු ස්ත්‍රීට බව අවබෝධ කර ගැනීමට ඡ්‍යොතිෂයෙන් ද සපයන්නේ මහඟු අත්වැලකි.