හෙට වෙන දේ අද දැනගන්න

මැයි 31, 2024

මේ ලෝකයේ කාල තුනකි. අතීතය, වර්තමානය සහ අනාගතය යනුවෙනි ඒ. අතීතය සතුටුදායක නම් එය ආවර්ජනය කරමින් සතුටු වීමටත්, එය දුක්ඛදායක නම් අමතක කර දැමීමටත් අපේ මනස ම ක්‍රියා කරයි. ඒ, සතුට සියලු සතුන් නිසගයෙන් අපේක්ෂා කරන බැවිනි. සතුට පරම ධනය ලෙස බුදු දහමේ ද පැවසෙන්නේ එනිසාය.

වර්තමානයේ ජිවත් වීම සරල සහ පහසු වුවත් අනාගතය පිළිබඳ අවිනිශ්චිත වූ විට වර්තමානය සහනදායී නොවේ. එනිසා පෘථග්ජන මිනිසුන් වශයෙන් අනාගතය ගැන සුබවාදි අපේක්ෂාවන් ඇති කරගැනීමට මෙන්ම අපට නොපෙනෙන අනාගතය කෙබඳු වේද යන ඉඟියක් හෝ දැනගැනීමට කැමැත්තෙමු. යම් සැකසංකාවක් වේ නම් එයට පිළියම් යොදා ගැනීම විඳවීමට වඩා විඳීමට ඇති කැමැත්තේ ලක්ෂණයකි. එනිසා යමෙකු වර්තමානයේ බියෙන් තොරව බුද්ධිමත් ලෙස සතුටින් පසුවන්නේ නම් ඒ පුද්ගලයාට අනාගතය පිළිබඳ යම් නිශ්චිත ඉවක් තිබෙන බව නිසැකය. එය ඇතැමෙකුට සහජයෙන් ලැබේ. තවත් අය ඒ සඳහා විවිධ ශාස්ත්‍ර, විශ්වාස යොදා ගනී.

ඡ්‍යොතිෂය යනු අනාගතය පිළිබඳ ඉවක් ලැබිය හැකි ශාස්ත්‍ර රැසක එකතුවකි. එහි රස දන්නවුන් උක් යුෂ පානය කර සැබැවින් මත් සුව විඳීන අජානීය අශ්වයන් මෙන් නිහඬව සිය වර්තමානය සතුටින් ගෙවන අතර උක් රොඩු දියර පානය කළ බූරු රැළ මත් වූවන් සේ කෑගසමින් හැසිරෙන බව මුහුර්ත සාධනයේ පෙරවදනේ පැවසෙන්නේ විශ්වය මෙන් විසල් මේ විෂයයන් පිළිබඳ අබැටක් පමණ හෝ නොදැන වර්තමානය මෙන්ම අනාගතය වියවුල් කර නොගන්නා ලෙස ඉඟියක් මෙනි.

ඡ්‍යොතිෂය වැනි අස්පර්ශී විෂයයන් පිළිබඳ ලියැවෙන පුවත්පතක වගකීම වන්නේ එය සත්‍යබව ඔප්පු කිරීමට වෙහෙසීම නොව, සත්‍යයැයි සම්මත විද්‍යාවන්ට ඒ විෂයයන් අනුකූල වන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමයි. සෙත්කවියකින් වන සෙතක් නැතැයි පවසන භෞතික විද්‍යාව හදාරන්නකු ශබ්ද තරංග ඇති බව විශ්වාස කරයි නම් කළ යුත්තේ සෙත්කවිය ගැන කීම නොව ශබ්ද තරංගවලට සතුන්, ශාක මෙන්ම මිනිසුන් සුවපත් කිරීමටත්, ඝාතනය කිරීමටත් ඇති හැකියාව පිළිබඳ කතිකාවකට යොමු වීමය. හිරු, සඳු, ග්‍රහවස්තුවලින් මිනිසාට කළ හැකි බලපෑම කුමක්දැයි අසන්නකුට අලෝක තරංගවලින් සහ චුම්භක ක්ෂේත්‍රවලින් ලෝකයට ඇති කළ හැකි බලපෑම් පිළිබඳ අදහසක් ගොඩනැඟිය හැකිය. එහි අරමුණ ඡ්‍යොතිෂය සත්‍යම යැයි පිළිගැනීමට බලපෑම් කිරීම නොව, ත්‍රිමාණ දෘෂ්ටියක් පමණක් සහිත අපට නොපෙනෙන චතුර්මාන, පංචමාන වැනි තවත් මානවලින් යුතු බලයන් විශ්වයේ පැවතිය හැකිය යන අවබෝධය ඇති කරගැනීමට යමෙකුට උපකාර කිරීමය.

සුබසෙත 1969 වසරේ ඇරඹීමේදී පුවත්පතකට මේ සඳහා තිබුණු අවකාශයට වඩා සංකීර්ණ වූත් ව්‍යාකූල වූත් ලෝකයක් එහි 55 වැනි විය සපුරද්දී දක්නට ලැබේ. විශේෂයෙන්ම එදා පුවත්පත් කියවන වයසේ සිටි බේබි බූමර්ස් පරපුරට වඩා හාත්පසින් වෙනස් තාක්ෂණයක් හා දැනුම් පිපාසයක් මෙන්ම ඒ සඳහා වේදිකා රැසක් සහ අපමණ මෙවලම් රැගෙන උපදින ඇල්ෆා පරපුරට සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්නන්ට ගැළපෙන අයුරින් මේ තර්කයන් ඉදිරිපත් කළ යුතුව ඇත. ඇතැම්විට විශ්වයේ රහස් ලෙස නූතන විද්‍යාඥයන් සොයාගන්නා බොහෝ දේ ඡ්‍යොතිෂය ආදී පෙරදිග ශාස්ත්‍රවලින් මීට වසර දහස් ගණනකට පෙර පවසා ඇති බව නිවැරැදිව ඔවුනට හසු වුව හොත් අපට වඩා ඇල්මකින් ඔවුන් මේ විෂයයන් කෙරෙහි බැඳෙන්නට ද පුළුවන.

හෙට වෙන දේ අද දැනගන්නට මඟ කියන සුබසෙත පරිනත වියක පසුවන පුවත්පතක් ලෙස සිය වගකීම ලෙස සලකන්නේ සම්ප්‍රදායික දැනුම් සම්භාරය සහිත ජ්‍යෙෂ්ඨ පරපුර මෙන්ම මේ නූතන දැනුම හඹා යන පරපුර අතර දැනුම් පාලමක් ගොඩනැඟීමටයි. එමඟින් පරම්පරා වෙනස නිසා ඇතිවන අපැහැදිලිතා මෙන්ම අපැහැදීම් සමනය කිරීමට හැකිවන බව විශ්වාස කරන බැවිනි.

එමෙන්ම ගුරුකුල හා පද්ධති අතර ඇති දැඩි භේදයන් සමතයකට මඟ පෑදීමෙන් මේ විෂයයන් හැදෑරීමේදී හා භාවිතයේදී ඇතිවන නොගැළපීම්, නොමනාපයන් පසෙකලා එකම රෝගයට ලොව කොතැන ගියත් කුමන සන්නාමයකින් පැවතියත් එකම ඖෂධය භාවිත වන්නා සේ එකම කරුණක් පිළිබඳ එක මතයක් ඇති කරළීමේ අවශ්‍යතාව දැඩිව පවතින යුගයක් බව පසුගිය අවුරුදු සමයේ සියල්ලන්ට පැහැදිලි විය. ඒ සඳහා විවෘත වේදිකාවක් සැපයීමට සුබසෙත පෙරමුණ ගත යුතුව ඇත.

ජ්‍යෙෂ්ඨ පරපුරට නිසි ගෞරවය ලබා දීමත්, තරුණ පරපුරට අත දීමත් මඟින් අනාගතය උදෙසා ඡ්‍යොතිෂය, ආයුර්වේදය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව වැනි ජනප්‍රිය ශාස්ත්‍රයන් මතු නොව විවිධ පරම්පරාවන්හි අවසානයත් සමඟ සදහටම අපට අහිමි විය හැකි සාම්ප්‍රදායික දැනුම් පද්ධතිවලට නව ජිවයක් ලබා දීමට සුබසෙත සැදී පැහැදී සිටී.

අපරදිග බුද්ධිමතුන් රහසේ භාවිතයට යොදා ගනිමින් නවීන ක්‍රමයට පිටත සීනි තවරා තමන්ගේ අයිතිවාසිකම යටතේ ලොවට බෙදා දෙන පෙරදිග ශාස්ත්‍ර ඥානයන්වල සැබෑ උරුමය ලොවට හඬ ගා කීමට සම්ප්‍රදායික මෙන්ම නූතන මාධ්‍ය භාවිතයෙන් කටයුතු කිරීම පෙරදිග සම්භවයක් ඇති අපගේ වගකීම බව අවබෝධ කරගත යුතුය. වත්ත බද්දට දී ඇස්සට දත නියවනවාට වඩා තම අයිතිය රැකගැනීමේ වගකීම ඇත්තේ තමන්ටමය.

මේ සියලු කරුණු ඉටු කරලිය හැක්කේ සුබසෙතට එදා ලැබුණු ශක්තිමත් පාදම නිසාය. ඒ මත නැඟී සම්ප්‍රදායත් නූතනත්වයත් මුසුව අනාගතය දෙස බලා වර්තමානයේ සතුටු වන්නට තරම් ශක්තියක් ඇති සුබසෙත පරමාර්ථය වන්නේ මෙරට මෙන්ම ලොවපුරා විසිරී පැතිරී ඇති අස්පර්ශී සංස්කෘතික උරුමයන් අනාගතයට භාවිත කළ හැකි පරිදි ඒකරාශී කර තැබීමේ දැනුම් මධ්‍යස්ථානය ලෙස නුදුරේදී අන්තර්ජාතික තලයට පිය නැඟීමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.