වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
කෘත්‍රිම බුද්ධිය සහ ඡ්‍යොතිෂය
මිනිසාගේ බුද්ධි මහිමයේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස කෘත්‍රිම බුද්ධිය හැඳීන්විය හැකිය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කෘත්‍රිම බුද්ධිය මඟින් ඉගැන්වීම් කටයුතු, දේශන ආදිය මෙන්ම රංගනය, විවිධ පරිගණක ක්‍රීඩා ආදියට ජනප්‍රිය සහ පියකරු චරිත යොදා ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ඕනෑ තරම් දැකිය හැකිය. දේශපාලනඥයන් හට නම් කෘත්‍රිම බුද්ධිය නිසා අවාසි සහගත තත්ත්වයන් උදා වූ ආකාරය ද මෑතකදී රුසියානු යුක්රේන නායකයන්ගේ චරිත ඇසුරෙන් නිර්මාණය වූ වීඩියෝ දර්ශන මඟින් විග්රහ කරගත හැකි වනු ඇත. කෙසේ වුවත් කෘත්‍රිම බුද්ධියෙන් චරිත භාවිතය පිළිබඳ නීති රීති ක්‍රියාත්මක වීමට පෙර පරිගණක තාක්ෂණයේ සුහුරු විනයක් ඇත්තන් මෙන්ම නැත්තන් ද මේ තාක්ෂණය භාවිත කරනු නොඅනුමානය.
කෙසේ වෙතත් ඡ්‍යොතිෂ කරුණු මෙන්ම ඡ්‍යොතිෂවේදීන්ට ද නුදුරු අනාගතයේදීම මේ කෘත්‍රිම බුද්ධිය සමඟ ගැටෙන්නට සිදුවන බව අනාවැකි කීමක් නොවනු ඇත. එහෙත් පැන නඟින ගැටලුවක් තිබේ. වෛද්‍ය විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව වැනි ඕනෑම විෂයයක මෙන්ම ඡ්‍යොතිෂයේ ද සිද්ධාන්ත දත්ත ලෙස මේ කෘත්‍රිම බුද්ධියට කැවීම එතරම් අපහසු කරුණක් නොවේ. එහෙත් වෛද්‍යවරයකු තම අත්දැකීම් යොදාගෙන ඇතැම් රෝග විනිශ්චයන් කරන ආකාරය මෙන්ම ඉංජිනේරුවකු අවස්ථානුකූලව බාසුන්නැහේලාද සමඟ කතා බස් කොට සැලැස්මක වෙනසක් කරන අයුරින් හෝ ඡ්‍යොතිෂවේදියකු වේලාපත්කඩ රැසක් අධ්‍යයනය කිරීමෙන් පසු ලබා ගන්නා ජීවන අත්දැකීම් සමඟ පවසන අනාවැකියක් කෘත්‍රිම බුද්ධියෙන් ඉටු කළ හැකි වේද යන්න තවමත් සැකයට බඳුන්ව තිබේ. සහජ බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධිය අතර වෙනස ඇත්තේ එතැනය. ලොව ඕනෑම දෙයක් සම්බන්ධව දත්ත පවතී නම් ඒවා ප්‍රකෝටි සංඛ්‍යාවක් වුවත් එක්වර නිරීක්ෂණය කරගැනීමේ හැකියාව කෘත්‍රිම බුද්ධියට තිබුණ ද මිනිසකුගේ හැඟීම්, භාවයන් සහ ඉංගිතයන් අධ්‍යයනය කිරීමටත් ව්‍යාංග්‍යාර්ථයෙන් පවසන ඇතැම් කරුණු පිළිබඳ අවබෝධ කරගැනීමටත් එයට හැකියාවක් තවම ලැබී නැත. ලැබුණත් විවිධ මිනිසුන්ගේ විවිධ ඉරියවු සහ හැඟීම් අධ්‍යයනය කර විග්රහ කර ගැනීමට තරම් අවබෝධයක් යන්ත්‍රයකින් අපේක්ෂා කළ නොහැකිය. යන්ත්‍රයක් යනු කවන ලද දත්ත මත යැපෙන්නක් වන බැවිනි.
එනිසා තවමත් ඡ්‍යොතිෂවේදියාට තමන්ගේ අත්දැකීම් සහ අධ්‍යයනයන් අනුව පලාපල කීම සම්බන්ධව ආධිපත්‍යය පැතිරවීමේ හැකියාව පවතින බව නම් විශ්වාසය. එහෙත් එනිසාම පරිගණකය හෝ කෘත්‍රිම බුද්ධිය අවතක්සේරු කිරීම නුවණට හුරු පිළිවෙතක් නොවන බව මතක තබා ගත යුතුය.
මේ වන විට බොහෝ දෙනා දකින්නේ පරිගණකයෙන් කේන්දරය බැලීම විශාල ජයග්‍රහණයක් ලෙසිනි. සැබෑවකි. පරිගණක සාක්ෂරතාව යනු මේ යුගයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇති බැවිනි. එහෙත් පරිගණකය යනු සහජ බුද්ධිය ඇත්තෙකු විසින් කාවද්දන ලද සීමිත දත්ත පද්ධතියක් මත මෙන්ම විදුලිය හෝ විද්‍යුත් කෝෂ මත යැපෙන, ස්ථානෝචිත ප්‍රඥාව වැනි චින්තන ශක්තියක් නැති, සියුම් ඉංගිතයන් වැනි දේ හඳුනාගත නොහැක්කක් බව අමතක නොකළ යුතු බව පුන පුනා සිහි කළ යුතුය. යම් මොහොතක පරිගණකයේ දත්ත පද්ධතියට වෛරසයක් ඇතුළු වුවහොත් අනාවැකි සියල්ල රෝගී වනු ඇත. එවිට නිරෝගී මනසක් ඇත්තකු යන්ත්‍රයට පරාද නොවන්නට බුද්ධිය සහ මතකය වර්ධනය කර තිබිය යුතුමය.
න්‍යුරෝන ලක්ෂ සංඛ්‍යාවකින් සැදුණු මොළයක් මෙන්ම පංචේන්ද්‍රියයන් ද සයවැනි සංවේදනයක් ද සහිත මිනිස් හැකියාව අභිබවා යා හැකි කිසිදු උපකරණයක් තවමත් බිහි වී නැත්තේ ස්වභාව ධර්මයේ නිර්මාණයන් අතික්‍රමණයට තරම් නිර්මානයක් කිරීමට මිනිසා තවමත් සමත් වී නැති හෙයිනි. එහෙයින් ඡ්‍යොතිෂයේ ඇතැම් දත්ත පරිගණක ඔස්සේ පහසුවෙන් හා වේගයෙන් පරිහරණය කළ හැකි වුවද තවත් මනුෂ්‍යයකුගේ අනාගතයක් වෙනුවෙන් කරන ප්රකාශයකදී හුදු දත්තයන්ටම සීමා වීම නුවණැතිකමක්දැයි සිතිය යුතුව ඇත.
නොබෝ දිනකින්ම සහජ බුද්ධිමතුන් විසින් කවන ලද දත්ත භාවිතයෙන් කෘත්‍රිම බුද්ධියෙන් අනාවැකි කියන්නට ලෝකය පියවර ගනු ඇත. එහි අපූර්වත්වය අත්විඳීන්නට විස්මය දනවන ක්‍රියාවන්ට ළැදි මිනිස් සිත ඇදී යනු ඇත. එහිදී ඡ්‍යොතිෂවේදියාගේ වගකීම වනුයේ නිවැරැදි අධ්‍යයනය සහ වැඩි බහුශ්‍රැත භාවය තමන්ගේ විෂයය අරභයා දියුණු තියුණු කරගනිමින් සහජ බුද්ධියේ සහ ‘සයේන්ද්රියයන්ගේ‘ බලමහිමය තවදුරටත් තහවුරු වන ආකාරයෙන් භාවිත කළ හැකි ශක්තියක් ගොඩනඟා ගැනීමය. එවිට තාක්ෂණයේ හෝ විද්‍යාවේ වහලුන් බවට පත්වනවා වෙනුවට ඒවා ශිල්පීය නිපුණයන්ගේ අතකොළු බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.