වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
වස් සහ සෙත්
වස් කවිවලට කවුරුත් බයය. සෙත් කවි සදා ගැනීමට අපි කැමැත්තෝ වෙමු. එසේම වස් වදින වචන කියනවාට කිසිවකු කැමැති නැත. එහෙත් සිත් පහන්වන සුබවාදී වචන ඇසෙනවාට අපි සැවොම සතුටු වෙමු. මේ සියල්ල පාදක වන්නේ ශබ්ද තරංග මත බව අපි දනිමු.
අප පමණක් නොව ගස්වැල් පවා කැමැත්ත දක්වන්නේ යහපත් ශබ්ද තරංග තමා වෙත ලැබෙනවාටය. ද සවුන්ඩ් ඔෆ් මියුසික් ඇන්ඩ් ප්ලාන්ට්ස් නම් වූ ග්‍රන්ථය ලියන ලද ඩොරති රෙටොලැක් මහත්මිය විසින් කරන ලද පර්යේෂණය එයට හොඳම උදාහරණයයි. ඒ පර්යේෂණය අනුව ඇතැම් පීඩාකාරී, ඝෝෂාකාරී සංගීත ඛණ්ඩ ඇසීමට සැලැස්වීම නිසා සමහර ශාක මිය යන තරමට දුර්වල විය.
නිසි ස්වර සංකලනයෙන් යුතුව සෞම්‍ය ලෙස නිර්මාණය වූ සංගීත ඛණ්ඩවලට නිරාවරණය වූ පැළෑටි සරුවට හැදෙන්නට විය. රොක් සංගීතය නිසා ඇතැම් පැළෑටි මිය ගිය අතර තවත් ඒවා විකෘති වනු දක්නට ලැබිණි. සමහර පැළෑටි ඒ සංගීතය යොමු වන පැත්තට විරුද්ධ අතට වැඩෙන්නට වූයේ සංගීතයට පිටුපාන්නාක් මෙනි.
ශබ්ද තරංගවලට කළ හැකි වික්‍රමය කෙතරම් ද යන්න ඉන් පැහැදිලිව අවබෝධ කරගත හැකි වනු ඇත. පුද්ගලයකු එකම දේ කියන ස්වරය අනුව එය අසන්නා පැහැදීමටත්, බිය වීමටත්, කෝප වීමටත් හැකිය. හොඳම නිදසුන අම්මා යන වචනයයි.
කරුණ රසය උතුරණ අයුරින් අම්මා ගැන කියන විට මෙන් නොව අනතුරක සේයාවක් දෙන හඬකින් අම්මා කියන විටත් කෝපයෙන් මව ගැන සඳහන් කරන විටත් එකම අකුරු සහිත එකම වචනයට අනෙකා තුළ ඇති කරන භාවය වෙනස් වෙයි.
සෙත් කවි සහ වස් කවි ලෙස යොදා ගන්නේ ද මේ ශබ්ද තරංගවල ඇතිවන වෙනසයි. එකම පුද්ගලයාට එක් විරිතකින් සකසන කවිය සෙතක් සැලසීමටත් තවත් විරිතකින් සකසන කවිය ඒ පුද්ගලයාටම දොසක් ඇති කිරීමටත් යොදාගත හැකි වන්නේ මේ තරංගවල සංයුතිය මඟින් ඇති කරන බලපෑම නිසාය.
සන්නිවේදනයේ මූලික අවස්ථාව වන්නේ ද විවිධ ශබ්ද මඟින් කරන හැඟීම් පළ කිරීමය. එනිසා ශබ්දය යනු මුළු මහත් විශ්වයම වෙනස් කළ හැකි ශක්ති තරංගයකි. අප එය නූතන භාෂාවෙන් හඳුන්වන්නේ ‘වයිබ්‘ එක යනුවෙනි. යහපත් වයිබ්ස් විශ්වයට මුදා හරින තරමට යහපතත්, අයහපත් වයිබ්ස්වලින් අයහපතත් ඇතිවන බව පවසන්නේ එබැවිනි.
ඡ්‍යොතිෂයේදී, වාස්තු විද්‍යාවේදී පමණක් නොව වෛද්‍ය විද්‍යාව ආදි ඕනෑම විෂයයකදී සේවය ලබන්නාට පළමුවෙන්ම ලබා දිය යුත්තේ යහපත් වයිබ්ස් යැයි කීම නූතන ක්‍රමයට ගැළපේ. එයට හේතුව මෙවැනි සේවයක් ලැබීමට බොහෝ විට අයකු එන්නේ යම් අපහසුවකට, අසරණ භාවයකට පත් වූ විට මිස සියල්ල හොඳීන් සිදු වන අවස්ථාවක නම් නොවන බැවිනි.
පොරොන්දමක් ගැළපීම, මල්වර නැකැතක් බැලීම වැනි අවස්ථාවක වුව ඔවුන් එන්නේ සැක සංකාවක් යන්තමින් හෝ හිතේ කොනක තබාගෙනය. එවැන් විටෙක පළමුව යහපත් ශබ්ද තරංගයකින් ඒ බිය සැක තුරන් කළ හැකි නම් එයම මහත් පිනක් වනවා පමණක් නොව සුබවාදී ආකල්ප ගොඩ නැඟීමෙන් සේවාලාභියාගේ මනසේ ප්‍රශ්න රැසක් විසඳී යහපත් වයිබ්ස් ඇති වන්නට පටන් ගනු ඇත.
මිනිසුන් වශයෙන් සියල්ලන් සුවපත් කිරීමට නම්, බියෙන් මුදවන්නට නම් කළ යුත්තේ වස් වදින අයුරින් වචන පිට කිරීම නොව සැමට සෙත් සැලසෙන වචනයෙන් සුබවාදී සමාජයක් බිහි කිරීමය.
හොඳට නරකට දෙකට කටමය යන්න කියා ඇත්තේ කට කහනවාට නොවන්නේ එබැවිනි. අනෙකාට හොඳක් කළ හැකි කෙනාගෙන් පිටවන හොඳ තරංගය සියලු සත්ත්වයන්ට යහපතම උදා කරවන සෙත් කවියක්මය. සම්මා වාචා යනුවෙන් බලාපොරොත්තු වන්නේද එයමය.