වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ලෝක විෂයය අචින්ත්‍යය
සිකුරු ග්‍රහයාගෙන් විස්මිත කොළ පැහැ ආලෝකයක් විහිදුණු බව පසුගිය දා තාරකා විද්‍යාඥයෝ ඡායාරූප ද සමඟින් පෙන්වා දුන්හ. මේ අතර විශ්වයේ තවත් මන්දාකිණි පිළිබඳ සොයන අභ්‍යවකාශ ගවේශකයන් පැවසුවේ අලුතින් සොයාගත් කුරු මන්දාගිනියේ අඳුරු ස්වභාවය සහ අඩු ගුරුත්වාකර්ෂණ ශක්තිය ක්ෂීරපථ පිළිබඳ විද්‍යාඥයන්ගේ අවබෝධය සහ අවධානය අපූර්ව ඉමකට යොමු කළ බවයි. ඉර රාහු අල්ලන මොහොතේ අසුබයක් නොවන්නට සමූහ පිටින් වදකහ ගුලි බොන මානසිකත්වයක නැති අද වැනි යුගයක පසුවන ලෝ වැසියා මේ වන විට සූර්යග්‍රහණයක් පැවැතිය හැකි දිගුම වේලාව කුමක්ද යන්න පිළිබඳ පවා විමසුම් ඇසින් බලන්නට පුරුදුව ඇත.
එහෙත් පූර්ණ සූර්යග්‍රහණයක් දක්නට ලැබෙන එළැඹෙන අප්‍රේල් 8 වැනිදා එය සම්පූර්ණයෙන් දර්ශනය වන ඇතැම් රටවල පන්ති නොපැවැත්වීමට පවා දැන්ම සැලසුම් කරන බවට වාර්තා වේ. ග්‍රහණය දිනයේ සූර්යයාගේ කිරුළ දැකීමට ද මේ අතර පිරිසක් බලා සිටිති. පෙබරවාරි මාසය පුරා කුජ සිකුරුගේ බැබළීම මෙන්ම සඳුගේ ඩාවින්සි දිස්නය ද මේ කාලය තුළ පැහැදිලි අහසේ දැක ගන්නට ගවේශකයෝ පෙලඹී සිටිති. මේ වසරේ කුඩාම පුර හඳ දිස්වන්නේ ද පෙබරවාරි පෝය දිනයේදීය.
ලොව පුරා මිනිසුන් තම තමන්ගේ විශ්වාස ඇදහිලි සහ අධ්‍යයන කාර්යයන් අනුව අහස දෙස බලන්නට පුරුදුව ඇත්තේ අද ඊයෙක නොවේ. සොබා දහමේ අපූර්වත්වය අප මහ පොළොවේ මෙන්ම සත් සමුදුරේත් අහස් තලයේත් එකසේ දකින්නෙමු. ඒවායේ අරුමයන් පිළිබඳ විස්මිත වන්නෙමු. එසේම තව තවත් මේ විශ්වයේ කෙළවරක් ඇත්තේදැයි සොයා යන්නට පෙලඹෙන්නෙමු. අපේ දැනුම විශ්වයෙන් බිඳක් බව තවදුරටත් ප්‍රත්‍යක්ෂ කර ගන්නෙමු. ඒ නිසාය කුරු මන්දාකිණිය මධ්‍යයේ ගුරුත්වාකර්ෂණය අඩු වීම සමඟ ඇතිවන විසමතා පිළිබඳ විස්මයෙන් කතා කිරීමට විද්‍යාඥයන් නිහතමානී වන්නේ.
එහෙත් ත්‍රිපිටකයේ සඳහන් පරිදි සත්ත්වයාගේ හෝ ලෝකය පිළිබඳ මුල සෙවීම මෙන්ම විශ්වයේ අගමුල සෙවීම යනු මනුෂ්‍ය බුද්ධියට අවිෂය වන්නකි. බ්‍රහ්මජාල සූත්‍රය කියවන විට අපට මිනිසා බිහි වූ ආකාරය පිළිබඳ බෞද්ධ අදහස සොයා ගත හැකිය. නිර්මාණවාදයේ මෙන්ම ශාස්වත දෘෂ්ටියෙන්ද හෝ වෙනත් ඕනෑම ආකාරයකින් බලන කල මිනිස් සත්ත්වයා බිහි වූ ආකාරය තවමත් අපට රහසකි. එසේ නම් විශ්වයේ රහස් කොපමණ වේදැයි සිතීම පවා අපහසුය යන්න සත්‍යයක් වන්නේය.
එහෙත් අපට පෙනෙන ත්‍රිමාණයේ ඇති වස්තූන් කෙරෙන් අපි විවිධ මිනුම් ලබා ගනිමු. බුදුවරයකු පහළ වීමේ සිට විවිධ ශාස්තෘන්ගේ උත්පත්තීන් මෙන්ම දෛවය පැවසීමටද සාමාන්‍ය මිනිසුන්ගේ ඉරණම සොයා ගැනීමටද ඒ දැනුම භාවිත කරමු. එසේම විශ්වයේ ඇති අපමණ වූ සැඟවුණු රහස් සෙවීමට භාවිත කරමු. ඒ සියල්ලට පොදු එක් සාධකයක් ඇත. ඒ ගණිතයයි. ලෝක විෂයය අචින්ත්‍ය වන්නේ ගණිතය පිළිබඳ අපට ඇති දැනුමේ පටුත්වය නිසාය.
ඡ්‍යොතිෂය ද ගණිත ක්‍රමයකි. අචින්ත්‍ය වූ ලෝක විෂයයෙන් විශ්වයේ සැරිසරන ඉර, හඳ, තාරකාවල ගමන ඉලක්ක කර ගන්නට ක්වන්ටම් භෞතිකය දක්වා කතා කරන වත්මනේ මෙන්ම වසර දහස් ගණනකට පෙර අහස දෙස බලා කළ ගණනයන්ගේ ද ඇත්තේ බොහෝ දුරට සමාන වූ මිනුම් වීම අරුමයක් නොවන්නේද? සිතන්නට බැරි තරම් වූ ඈතක ඇති ග්‍රහයන්ගේ ගමන මනින්නට නූතනයේ යොදා ගන්නා මෙවලම් කිසිත් නැති යැයි සැලකෙන සමයක ඡ්‍යොතිෂවේදියා සතු වූ ගණිත දැනුම අවතක්සේරු කළ නොහැකිව අදටත් හෙටටත් පවතින්නේ ඒ විස්මයජනක හැකියාව නිසාමය.