වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අමතක වුණු හිපොක්‍රටිස්
‘ඡ්‍යොතිෂය පිළිබඳ දැනුමක් නැති භෞත චිකිත්සකවරයාට තමන් වෛද්‍යවරයකු යැයි කීමට අයිතියක් නැත’ ( A physician without knowledge of astrology has no right to call himself a physician) යැයි පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වන හිපොක්‍රටීස්ය. ඔහුගේ යුගය වන විට ඡ්‍යොතිෂය කෙතරම් ප්‍රබලව තිබෙන්නට ඇත්ද යන්න ඉන් පැහැදිලි වනු ඇත. විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව යුගයේ මිනිසුන් පරිසරය සමඟ පැවැති මහත් බැඳීම හේතු කොට ගෙන එහි නා නා විධ වෙනස්කම් නිරීක්ෂණය මෙන්ම එයින් දැනගත හැකි දේ පිළිබඳ මනා අවබෝධයකින් පසු වූ බව රහසක් නොවේ. වත්මන් තාරකා විද්‍යාඥයන් පවා මේ වන විට පෙලඹී ඇත්තේ තාරකා විද්‍යාව බිහි වූයේ ඡ්‍යොතිෂයෙන් බව කීමටය. එබැවින් තාරකා විද්‍යාවේ මවු ශාස්ත්‍රය වන්නේ ඡ්‍යොතිෂය යැයි කීම වරදක් නොවේ. සිදුහත් උපතේදී මෙන්ම කිතු උපතේදී ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් කියූ අනාවැකි පිළිබඳ අපි සියල්ලෝ දන්නෙමු. ආසියාතික වෛද්‍ය ක්‍රමවලදී ඡ්‍යොතිෂය එහි අංගයක් ලෙස අදටත් පවතී. එයට හේතුව ගණිත ක්‍රමයක් වන ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය මඟින් රෝගියාගේ කර්ම පලය අනුව කළ යුතු වෙදකම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වෛද්‍යවරයාට පහසුවක් ඇති කරලීමය. රෝගියා තමන්ගේ ලෙඩදුක් ගැන විමසන තත්කාලයෙන් පවා එය සුව වන්නක් ද නැත්ද යන්න සොයා ගැනීමට ඡ්‍යොතිෂවේදය දන්නා දේශීය වෛද්‍යවරයකුට හැකියාව ලැබෙනු ඇත. විස කලාව අමෘත කලාව අනුව බලා බෙහෙත් බැඳීමට ද වෙදකම මෙන්ම ඡ්‍යොතිෂය පිළිබඳ දැනුම බෙහෙවින් ඉවහල් වනු ඇත. අතීතයේ ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේ පැවැති ශල්‍ය කර්ම කිරීමේදී නැකැතක් බැලීම අවශ්‍ය වූයේ එහි සාර්ථකත්වය තහවුරු කරගැනීම සම්බන්ධවය. එසේම රෝගියාගේ ලග්නයට නොගැළපෙන වෙදැදුරකු වෙත එන රෝගියාගේ තත්ත්වය උත්සන්න වනතුරු තමන් ළඟ තබා ගන්නවාට වඩා වෙනත් වෙදැදුරකු වෙත යොමු කිරීමටද ඡ්‍යොතිෂ ඥානය මහඟු උපකාරයක් වූ අතර එවැන්නකට පසුබට නොවීමට තරම් ඒ වෙදැදුරන් නිහතමානී වූ බව පැරැණියන්ගේ කතාබහවලින් පැහැදිලිව දැනගත හැකිය. අද වන විට මේ සියලු දැනුම ආයුර්වේද හා දේශීය වෙදැදුරන් වැනි පිරිසකට පමණක් සීමා වෙමින් ඇති අතර ඇතැම් අවස්ථාවල ඔවුන් විසින් ද මෙහි නිසි ප්‍රයෝජන ලබා ගන්නා බවක් නොපෙනේ. විශේෂයෙන් බටහිර වෛද්‍යවරුන් බොහෝ දෙනා ඡ්‍යොතිෂය සම්බන්ධව දක්වන්නේ නොසලකා හැරිය යුතු විෂයයක් හා සමාන ආකල්පයකි. තරගකාරී ලෝකයේ නැකැත් බල බලා සිටීමට කාලය වැය කරනවාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවකට බෙහෙත් දීම වඩා සුදුසු බව සිතන නිසා විය හැකිය. එහෙත් අපේ රටේ බටහිර වෛද්‍ය වෘත්තියට පිවිසෙන ඇතැම් වෛද්‍යවරුන්ගේ පරම්පරා පැවැත එන්නේ දේශීය වෛද්‍යවරුන්ගෙන් බව ද ඉවත දැමිය නොහැකි කරුණකි. එසේම ඇතැම් රටවල බටහිර වෛද්‍යවරුන් ද මේ වන විට අත්හදා බැලීමක් වශයෙන් හෝ ඡ්‍යොතිෂය යොදාගෙන තම කටයුතු සාර්ථක කර ගැනීමට වත්මනේ පෙලඹී ඇති බව නොකියාම බැරිය. එයට හේතුව අභ්‍යවකාශගතවීම්වලට පවා නැකැත් බැලීම ප්‍රසිද්ධියේ නොවුණත් සිදු වන කරුණක් බැවිනි. ඇතැම් මවුපියන් තම දරුවා සිසේරියන් සැත්කමකින් සුබ වේලාවක් අනුව ලබා දෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කෙතරම් බටහිරකරණය වී ඇතිමුත් ඡ්‍යොතිෂය පිළිබඳ මුල්බැසගත් සංකල්ප ඔවුන් සතු නිසාය. එවැනි දේට අකැමැති නොවන බටහිර වෛද්‍යවරුන් ද සිටීම අපේ සංස්කෘතියේ ඇතැම් නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාසයන්ට ගරු කරන පිරිසක් සිටින බවට ඇති යහපත් නිදසුනකි. මේ සියලු කරණු අතර අපට වැදගත් වන්නේ හිපොක්‍රටිස් වෛද්‍යවරයකුට ඡ්‍යොතිෂ දැනුම අත්‍යවශ්‍ය බව කීවේ ඇයිද යන්න නැවත විමසා බැලීමය. තමන්ගේ සුබ සිද්ධියටත් රෝගියාගේ සුවයටත් වැදගත් වන ඒ සංකල්පය පිළිබඳ අවධානය යොමු වන්නේ නම් වෛද්‍යවරයාගේ කීර්තියට මෙන්ම රෝගියාගේ සැනසීමට එය හේතු වනු ඇත.