වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ගැටලු පසෙකලා එකමුතු වෙමු
සිංහල අලුත් අවුරුද්ද එකමුතු බවේ සංකේතයයි. එකිනෙකා අතර සුහදතාවය, ආදර කරුණාව ලියලන එකට එක්වී එකාමෙන් කටයුතු කිරීමට ලක් බිමේ ඇති එකම අවස්ථාව සිංහල අලුත් අවුරුදු සමය යයි කීවොත් එයද නිවැරදියි. සාධාරණව උපයාගත් දෙය සුබවාදි ලෙස පරිහරණය කරමින් සැම එකාටත් එකා සැමටත් සැදී පැහැදී ජීවත්වීමේ අරුත වටහා දෙන සිංහල අලුත් අවුරුද්ද ලොවේ අන් කිසිම රටක නැති චාරිත්‍ර රැසක් හුවා දක්වන සමයයි. ගේ දොර අලුත් වැඩියා කොට ගෙයට එක්රොක්වූ පරණ බඩුමුට්ටු ඉවත් කර නිවසේ අලංකාරය සඳහා නව ආම්පන්න උපකරණ සකසා ගනිමින් කරන අලුත් මුහුණුවරින්ම ඒ පිළිබඳ පෙර සූදානමක් ද වනු ඇත. එහිදී කටුමැටි පැලේ ජීවත්වූ මිනිසා ගෙයි ගොමමැටි ගා මකුළුදැල් කඩා වහල සෙවිලි කර ගෙයි ලිපේ අළු ඉවත් කර යළි නිවසට පණ පොවන්නට වූවේ පරණ සියලු දේ ඉවත දමමිනි. කෑම බීම වේවා ඇඳුම් ආයිත්තම් වේවා සිතුම් පැතුම් වේවා ඒ හැම එකක්ම අලුත්වූ වග ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. අනතුරුව රසකැවිලි සාදා ඒවා මේසෙට යවා අනුභව කොට වටපිටාවට ද අසල්වැසි ඥාති හිතෛෂි සැමට බෙදා දුන්නේ එකමුතුකමිනි. අනතුරුව එකට එක්වී සුවදුක් සොයමින් විනෝද වූවේද ඔන්චිලි වාරම් පංච කෙළිය හා චක්කුඩු පැනීම පොරපොල් ගැසීම ඇතුළු නානා ක්‍රීඩා තුළින් ගෙන ආවේද එකමුතු කමකි. කඹ ඇදිල්ල වර්තමානයේ එකිනෙකා අතර ඇති සුහදත්වය පලුදු කරන කටයුත්තක් වුවත් එදා කඹ ඇදිල්ල සිදු කළේ එකමුතුකමේ සංකේතයක් මෙන්ම සුහදත්වයේ ක්‍රීඩාවක් ලෙසය.
අං ඇදීම දෙපිළ බෙදී කළ සාමූහික ක්‍රීඩාවක් වුවද ඉන් පරදින කෙනාට දිනන පිළේ පිරිස උසුළු විසුළු කළේ සතුට විනෝදාස්වාදය පෙරදැරිකරගෙන මිස අන් විරෝධතාවක් පෑමට නොවේ. අද එසේ නොවේ පරදින කෙනාට දිනූ කෙනා විසින් උසුළු විසුළු කරන්නේ දැඩි අසීලාචාර කමිනි. අශිෂ්ඨ කමිනි. එදිරිවාදිකමින් නමුත් එදා එකම වේලාවේ එකම නැකතට අවුරුදු උදාවෙද්දි රතිඤ්ඤා පත්තුකොට ඔල්වරසන් දුන්නේද නොනගතයට පන්සල් ගොස් සිය ආගමික කටයුතු කළේ ද ආහාර පිස වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභව කළේ ද එකම වේලාවකටය. එයද එකමුතුකමේ පරම පවිත්‍ර සංකේතයක්ම විය. ඒ හැරුණු විට මුළු ගමම , රටම එකට එක්වි නෑදෑ හිතවතුන් සමඟ සුහදව සතුටු සාමීචියේ යෙදෙමින් ජන ක්‍රීඩාවක යෙදී කාලය ගත කළේ එකමුතුකමිනි. වැඩිහිටියන්ට බුලත්දී නෑදෑ හිතවතුන් හමුවී තම පවිත්‍ර සිතුවිලි ඔප් නංවා ගනිමින් කටයුතු කළේ ද පුදුම සහගත සීලාචාර අධ්‍යාත්මික ගුණ නුවණින්ය. රට ලෝකය දියුණු වෙද්දී එකා පරයා එකා නැගී සිටීමේ චේතනාව පෙරදැරිව කටයුතු කරන තරඟකාරි ලොවක පිරිසක් තුළින් මේවා අපේක්ෂා කළ නොහැක. දූපත් සංස්කෘතියක සිටින අපට අන් කිසිම රටක ඇප උපකාර නැතත් සෞභාග්‍යයෙන් දියුණුව පැවති ශ්‍රී ලංකාව ලොවේ අන් රටවලට ගැතිවී ඒ අයගෙම නිපැයුම් පරිහරනය කරමින් අධි සුඛෝපබෝගී දිවි පෙවෙතක් ගත කරන්නට පුරුදු කළ විවෘත ආර්ථික රකුසා ශී‍්‍ර ලක් දෙරණට හොට පෙවුදා පටන් අපට අපේකම අහිමි විය. සංස්කෘතිය සභ්‍යත්වය අමතක විය. ආගම දහම අමතක විය . සිංහලකම අමතක විය. වෙන එකක් නොව අපිට අපේ අම්මා, තාත්තා අමතක විය. සහෝදරයා සහෝදරිය අමතක විය. අසල්වැසියා අමතක විය. ඥාති හිතෛෂියයන් අමතක විය. අනතුරුව අපේ ඇඳුම පැළඳුම අමතක විය. අපි කෑ බී කෑම බීම අමතක විය. සියලු සිතුම් පැතුම් අමතක විය. ජීවන රටාව මුළුමනින්ම කනපිට පෙරළුනි. සභ්‍යත්වය ශීලාචාරාකම අමතක විය. ලැජ්ජා බය අමතක විණි. ඒ සියල්ලටම වඩා අපේ උරුමය අපේ ජීවිතය පිළිබඳව අපේ ඓතිවාසිකම් පිළිබඳව අමතක විණි. මේ හැම එකක්ම අමතකවූ තැන අප සෑම කෙනෙකුටම එකමුතුකම අමතක වී ඇත. එය නැති තැන අසාධාරණය සොරකම වංචාව අශිෂ්ඨකම දලුලාය. ඒ වා නැවත නිවැරදි කරගැනීමට අපට උදාර දවසක් උදාවෙයි. ඒ සිංහල අලුත් අවුරුද්දයි.