විවාහ දිනයේ බහුරු කෝළම්වලට වැඩිහිටියෝ ද වගකිව යුතුයි

පෙබරවාරි 28, 2020

විවාහය යනු දෙවන ඉපදීමකැයි සමහරු කියති. සැබවින්ම පළමු උපතේ දෙමාපියන් සමඟ ගත කරන දුව පුතා, ඒ සැම අතැර ගොස් සහකරුවකු හෝ සහකාරියක සමඟ යුග දිවියට එළඹීම සැබවින්ම දෙවන ඉපදීමක් වනු ඇත. මෙම ගමන කොතෙක්නම් වැදගත්ද කියතොත් මෙතෙක් ගෙනා ජීවන රටාව වෙනතකට යොමු කිරීමට තරම් සමත් ය. එසේනම් එම ගමන අප යායුත්තේ නිවැරදි ලෙස මිස වැරදි ආදර්ශ සිතට ගෙන නොවේ. ඒ නිසාම යුග දිවි ගමන් කරන මුල් මංගල දිනයේ අප අතින් සිදුවිය හැකි වැරදි වෙනුවට ආදර්ශමත් හැදියාවකින් යුත් අවස්ථාවක් විය යුතුමයි. ඒ උතුම් අවස්ථාව මංගල යන සුබ වදන වෙනුවට එය අවමංගල කටයුත්තක් කරගන්නා බොහෝ අය අප අතරද නැතුවා නොවේ. සාම්ප්‍රදායිකව චාරිත්‍රානුකූලව පතිකුලයට යන යුවතිපති දෙපළ එදින පිළිපැදිය යුතු සාරධර්ම ගුණාංග චාරිත්‍ර විදි කොතෙකුත් ඇතත් එයට පයින් ගසා නව පන්නයට අයත් සංස්කෘතියට අනුගත වෙමින් කටයුතු කිරීම තුළ එම මංගල කටයුත්ත අවමංගල කටයුත්තක් කරගනු වළකාලනු නොහේ. මංගල ඇඳුම කොතරම් නම් උතුම්ව හා චාරිත්‍රව සිදු කළ යුතුද? හැසිරීම ගමන බිමන පවා යුවතිපතින්ට චාරිත්‍රානුකූල එසේ නැතිනම් චරිතවත් වියයුතුයි.

නමුත් අද මංගල ඇඳුම වෙනුවට එහි බොහෝ කොටස් අඩු වීමෙන් සුන්දර කය අසුන්දර ලෙස විවරව ඇත. ගමන බිමන ද හැසිරීම් රටාවද එසේම අසෝබන වී ඇත. එදා එතරම් දුව පැන නොඇවිදින යුවළ අද විවාහයටත් කලින් නටන ගයන අයුරු පෙර සූදානම් වෙති. ශබ්දය මත කඨෝර රිද්මයට උඩපැන නටන යුවළක් බවට පත් වී ඇත. එසේද නොනැවතී මනාළියගේ හෝ මනාළයාගේ මිතුරු කැළ ඒ දෙපළට විවිධ වධහිංසා පමුණුවමින් මංගල ගමනට යනවා වෙනුවට අපායට පරළොවට දක්කාගෙන යන වදක පිරිස් සේ මේ දෙපළ කැන්දාගෙන යාමට ඒ අය ලක්ෂ ගණන් මුදල් වියදම් කර අඳින පළඳින ඇඳුම අපවිත්‍ර කරන්නට පෙළෙඹීමෙන් පටු අසංවර අසීලාචාර බොළඳ වින්දනයක් ලැබීමට හුරු පුරුදු වී ඇත. විටෙක නව යුවළ පිහිණුම් තටාකවලට තල්ලු කිරීමෙන් මනාළිය මරණයට පත් වූ අවස්ථාවන් ද අප දැක ඇත.

ඒ අසංවරශීලී හැසිරීම් අදවනතුරුත් නොනැවතී අලුත් අලුත් ක්‍රම මඟින් කරලියට පැමිණෙන මේ අසෝබන දර්ශන වඩ වඩාත් අපට දකින්නට ඇතත් සීලාචාර තරුණයින් සීලාචාර තරුණියන් සීලාචාර දෙමාපියන් අතළොස්සකගේ මංගල කටයුතු එසේ නොවන අවස්ථාද අප කොතෙකුත් දැක ඇත. ඒ අයට අප හිස නමා ආචාර කරමු. මේ මෑතකදී මා දුටු දර්ශනයකට අනුව මහපාරේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි පස්කපන ඩෝසරයක් නවතා එහි ඉදිරි බහාලුමට නංවාගත් මනාළ යුවළක් සිය මනාළිය කෑගසා හඬද්දී රැගෙන යනු මම දුටිමි. ඒ අවස්ථාවේ පවිත්‍ර සුදු මංගල ඇඳුමේ මඩ තැවරීමෙන් හා විටෙක සාරිය ඉරීගොස් අඩ නිරුවතින් මෙන් ඒ සුන්දර දියණිය අවලස්සන වූ අයුරු දකින්නට විය. මෙය සිනාමුසු මුහුණින් බලාසිටි මනාළයා හා දෙපාර්ශවයේ පිරිස් මිනිසුන් නොව නොමිනිසුන් ලෙස හැඟුණි.

කෙසේ හෝ එබඳු අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුවන්නේ දෙමාපියන් වේවා තරුණ තරුණියෝ මේවා ඇසුරු කරන අසංවරශීලී ඇසුර නිසා බව සිතට ගන්න. කවදත් වැදගත් පිරිස් මෙබඳු නොවැදගත් පිරිස් ඇසුරට නොගනු ඇත. ඒ නිසා මෙබඳු අසීලාචාර හැසිරීම් ඉවසා සිටින මවුපියවරු මේ සඳහා වගකිවයුතුව ඇත. තමා හෝ තමාගේ මංගල ගමනට යාමට සිටින දුව පුතා ඇසුරු කරන අය පිළිබඳ සොයා බැලිය යුතුයි. එබඳු දේ සිදුවන මංගල දිනයේ ඇඟිල්ල දිගුකර එවලේම එය නවතාලීමට දිරිමත් විය යුතුයි එයට ඉඩ හැරීමෙන් අවනම්බු විඳින්නේ තමාත් තමාගේ අහිංසක දුව පුතාත් නොවේද?

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.