වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
පාරම්පරික වෛද්‍යවරුන් 105ක් ලියාපදිංචි කරයි
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන ශ්‍රවණාගාරයේද සිදු කෙරිණ.
එහිදී සර්වාංග වෛද්‍ය 29, කැඩුම් බිඳුම් වෛද්‍ය 47, චර්ම රෝග වෛද්‍ය 07, සර්ප විෂ වෛද්‍ය 15, ගෙඩිවණ වෛද්‍ය 04, මානසික රෝග වෛද්‍ය 02 හා අක්ෂි රෝග වෛද්‍ය 01 ලෙස සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනකු සඳහා මෙසේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමිණ.
එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී අජිත් කුමාර යන මහත්වරු සහ පාරම්පරික වෛද්‍යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
----------------------------
දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමට පැන විසඳුම් තරගයක්
නීරෝගීමත් ජනතාවගෙන් සපිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා රටේ අනාගතයවන් දරුකැළ වෙත දේශීය වෛද්‍ය ක්රමයේ මහිමය හා විශිෂ්ටත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් “සුව ධරණී-සිසු නැණ දිරිය ”නමින් දීප ව්‍යාප්ත අන්තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් පැවැත්වීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර තිබේ.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් පාසල්වල 9,10,11 වසරවල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පවත්වනු ලැබේ.
එම තරගාවලිය වට හතරකින් සමන්විත වන අතර එමඟින් හෙළ වෙදකමේ ඉතිහාසය හා එහි පැවැත්ම පිළිබඳ කරුණු විමසමින් දැනුවත් භාවයක් ලබා දීම, හෙළ වෙදකමේ අභිමානය පාසල් ළමුන් තුළ ජනිත කරවීම හා එය අනාගතය වෙත සම්ප්‍රේෂණය කිරීම, පාසල් ළමයින් ස්වාභාවික ආහාර පාන හා දේශීය ඖෂධ භාවිතය සඳහා හුරු කරවීම මෙන්ම දේශිය වෛද්‍ය ක්‍රම පිළිබඳව උසස් අධ්‍යාපනික විෂයයන් හා අවස්ථා සඳහා පාසල් ළමයින්ගේ උනන්දුව වැඩිකිරීම මේ වැඩසටහනේ මූලික අභිප්‍රාය වනු ලබයි.
ප්‍රශ්න විචාරාත්ම වැඩසටහනට සමඟාමීව ඒ සඳහා සහභාගී වන පාසල් වෙත ඔසු උයන් පිහිටුවීම උදෙසා ඔසු පැළ ලබාදීම, අවශ්‍ය තාක්ෂණික දැනුම අවබෝධය ලබා දීම ද දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය මඟින් සිදු කරනු ලබයි.
මේ තරඟාවලියේ සමාරම්භක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන 2023 ජුනි මස 20 වැනි දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලබන අතර එහි දී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය තරග වැදීමට නියමිතය.