2025 ලග්න පලාපල

ජනවාරි 3, 2025

වෙනදා මාසයකුත් දින 25 කින් රාශියක් පසු කරන කුජ මෙවර මාස අටකට අධික කාලයක් එනම්, ගෙවුණු ඔකතෝබර් 20 සිට 2025 ජූනි 7 දක්වා කටක මිථුන රාශිවල වක්‍ර වෙමින් නිවෘත වෙමින් ගමන් කරයි. එයින් ලංකාවට පමණක් නොව ලෝකයටම ජල ගැලීම් භයානක අනතුරු, ගොඩබිමේ, ජලයේ, ගුවනේ ආපදා අනතුරු ඇති කෙරේ. ලග්න අනුව කුජගේ අපල ඇති අය ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු ය.

කුජගෙන් සුබපල ලැබීමට මේ පිළිවෙත් කරන්න.

කනේරු මල්, රත්මල්, රතු නෙළුම්, තුනුරුවන්ට පූජාකර දෙවියන්ට පින් දෙන්න. රතු වස්ත්‍ර, උක්හකුරු, පරිප්පු, තිරිඟු, සීනි දන් දෙන්න. වැඩිහිටියන්ට උපස්ථාන කරන්න. ඉවසීම ඇති කර ගුණධර්ම වඩන්න. තරුණ භික්ෂූන්වහන්සේ නමකට උපස්ථාන කරන්න. උදේ සවස මහා මංගල සූත්‍රය භාවිත කරන්න. ගිතෙල් පහන් පූජා කර කතරගම දෙවියන් ඇතුළු සියලු දෙවිවරුන්ට පින් දෙන්න. අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න. තම තමන් අදහන ආගම අනුව ආගමානුකූලව කටයුතු කරන්න.

මේෂ ලග්නය

තරග විභාග ජය

මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ වක්‍රව හතර වැන්නේද ගුරු ද වක්‍ර වී දෙවැන්නද බුධ අටවැන්නේද රවි නවවැන්නේ, සඳු දසවැන්නේ, සෙනසුරු, සිකුරු අයස්ථානයේද රාහු දොළහේ කේතු හය වැන්නේ ද ගමන් කරමින් නව වසර ආරම්භ වේ. 2025 මැයි 14 ගුරු තුන්වැන්නට ද මාර්තු 29 සෙනසුරු දොළොස්වැන්නටද මැයි 18 රාහු එකොළොස්වැන්නටද කේතු පස්වැන්නටද පිවිසෙයි.

ගෘහ ජීවිතය - ලග්නාධිපති නීචය. එහෙත් කුජ කේන්ද්‍රගතවීමේ බලය පවතී. වගකිවයුතු පුද්ගලයකු ලෙස සමාජයේ වැදගත් තැනක් හිමිවේ. වෙනත් අයගේ වගකීම් යුතුකම් ඉටු කිරීමට සිදුවේ. සමාජයේ කැපී පෙනේ. ජූනි 7 දක්වා කුජ කටක රාශියේ සිටියි. ශරීරයේ වෙහෙස ගති ඇති කරයි. ස්ථාන වෙනස්වීම් ද ඇති විය හැකිය. පවුලේ දියුණුව රැකියා දියුණුව ඇතිවේ. සතුරු කරදර ද මතුවේ. අලුත් දේ ඉගෙනීමට ලැබේ. මිතුරු මිතුරියන්ගෙන් සහ කාන්තා පක්ෂයෙන් උදව් උපකාර ලැබේ. අවිවාහක අයට මංගල කටයුතු ද උදාවේ. උරුම හිමිකම් ලැබිය හැකිය.

ධනය සහ රැකියාව - අඩු පාඩුවකින් තොරව ධනය ලැබේ. ධනවත්වීමට උරුම හිමිකම් පවතී. වෙළෙඳ කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. බලාපොරොත්තු නොවූ වියදම් ද ඇතිවේ. රැකියා කටයුතුවලින් දියුණුවක් ඇති වේ. ප්‍රධාන තැනක් ගෙන කටයුතු කළ හැකිය. රැකියාවල ව්‍යාකූලතාද ඇතිවිය හැකිය. රැකියා තනතුරු ලාභ ලැබේ.

අධ්‍යාපනය - ඉගෙනීමේ කටයුතු සහ අධ්‍යාපන කටයුතු පෙර පින් බලයෙන් සාර්ථක වේ. උනන්දුව උත්සාහය නිසි ලෙස දරන්නේ නම් අධ්‍යාපන කටයුතු උසස් ලෙස සාර්ථක කර ගත හැකිය. පාරම්පරික ශාස්ත්‍රීය අංශ ඉගෙනීමේ හැකියාවද ඇතිවේ. විදේශගතව ඉගෙනීම්වලටද වාසනාව ඇති වේ. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ හිමි වේ.

ශරීර සෞඛ්‍යය - ලේ දෝෂ රෝග, පපුව ආශි‍්‍රත රෝග තිබෙන අයට වැඩි බලපෑම් ඇතිවේ. පපුව ආශි‍්‍රත රෝග උදරගත රෝග, ලේ දෝෂ රෝග ඇතිවිය හැකිය. තමාට නැත්නම් පවුලේ කෙනකුට රෝග පීඩා යෙදී තමාට වෙහෙසීමට සිදුවිය හැකිය. හිතේ අසහනගති ද ඇතිවේ. මැයිවලින් පසු අනතුරු පීඩා ගැනද සැලකිලිමත් විය යුතු ය. අනතුරු පීඩාවුවද වන්දි ලැබීමටද ඉඩ තිබේ. සෙනසුරු දශා, අතුරු දශා, විදශා ගත කරන අය වංචාකාරයන්ගෙන් සොර සතුරන්ගෙන් තම වස්තුව ආරක්ෂා කරගත යුතු ය.

සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා, සිකුරාදා

සුබ වර්ණ - රතු, නිල්,

සුබ අංක - 6, 8, 9

සුබ මාස - ජනවාරි, පෙබරවාරි

සුබ මැණික් - දියමන්ති, සුදු නිල් මැණික්

වෘෂභ ලග්නය

වැඩිපුර ධනය උපයයි

ගුරු ලග්නගතව ගමන් කරන අතර ලග්නාධිපති සිකුරු සෙනසුරු සමඟ දසවැන්නේ කේන්ද්‍රගතව ගමන් කරයි. කුජ තුන් වැන්නේ ද කේතු පස්වැන්නේ රවි බුධ අට වැන්නේ ද සඳු නවයේ රාහු අයස්ථානයේද ගමන් කරමින් නව වසර ආරම්භ වේ. 2025 මැයි 14 ගුරු දෙවැන්නටද මාර්තු 29 සෙනසුරු අයස්ථානයටද මැයි 18 රාහු දස වැන්නටද කේතු සිව් වැන්නටද පැමිණෙයි.

ගෘහ ජීවිතය - ඉවසීමෙන් කටයුතු කළයුතු වසරකි. නැති නම් ගුණධර්ම පිරිහී අපහාස උපහාසවලට ලක්වීමට ඉඩ තිබේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ. සිත් තැවුල් ඇති විය හැකිය. වරින් වර වාසනාව මතුවන අවස්ථාද උදා වේ. ස්ත්‍රීන්ගෙන් බාධා කරදර ඇති වේ. අලුත් රැකියා ව්‍යාපාර කටයුතුවල යෙදීමට කටයුතු සැලසේ. ප්‍රසිද්ධිය ඇතිවේ. දියුණුව උස්පාත් වන අවස්ථාද ඇතිවේ. ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන බලය පවතී. සහජ දක්ෂතා මතුවේ. කරදර බාධා මධ්‍යයේ දියුණුව ඇතිවේ. ආශ්‍රය කරන අයගෙන් උදව් උපකාර ලැබිය හැකිය. සමහර දේවල් නොතකා හැරීම නිසා පාඩු විඳීමටද සිදුවිය හැකිය. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ.

ධනය සහ රැකියා - නිකරුණේ වියදම් වැඩිවීමටද ඉඩ තිබේ. අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමෙන් වැඩිපුර ධනය උපයා ගැනීමට හැකිවේ. පොළොවෙන් ලැබීම්ද ඇතිවේ. ඉඩකඩම් දේපොළ රැස්කර ගැනීමටත් සිත යොමුවේ. ප්‍රසිද්ධිය ධනය ලැබේ. රැකියාවල දියුණුව මෙන්ම උසස්වීම් ද ඇතිවේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලටද සුබදායක වේ. ක්ෂණික ලාභ උපදවන කටයුතුද යෙදේ.

අධ්‍යාපනය - මුලදී අධ්‍යාපනයට බාධා ඇති වුවත් වසර මැද දී අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. බාධක මධ්‍යයේ වුවද ඥාන ශක්තිය, ධාරණ ශක්තිය ඇති කරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. ක්‍රමානුකූලව දියුණුව ඇති කරගත හැකිය.

ශරීර සෞඛ්‍යය - රුධිර පීඩනය වැනි ලේ දෝෂ රෝග ඇතිවීමට ඉඩ ඇත. දණහිස්වල රෝගද මතුවිය හැකිය. රහස් සතුරු කරදර ගෙනදිය හැකිය. නඩුහබ සුදුසු නැත. හිසේ රෝග පීඩා යෙදීමට ඉඩ තිබේ. දේශගුණය නිසාද ශරීර සෞඛ්‍යයට බාධා යෙදේ.

සුබ දවස් - බදාදා, සිකුරාදා

සුබ වර්ණ - කොළ, සුදු

සුබ අංක - 5, 6, 8

සුබ මාස - පෙබරවාරි, මාර්තු

සුබ මැණික් - පච්චගල්

 

මිථුන ලග්නය

අලුත් ව්‍යාපාර

ලග්නාධිපති බුධ රවි සමඟ හත්වැන්නේ ගමන් කරමින් ද කුජ දෙවැන්නේ කේතු සිව්වැන්නේද සඳු අට වැන්නේ ද සිකුරු ශනි නව වැන්නේ ද ගුරු දොළොස් වැන්නේ ද ගමන් කරමින් නව වසර ආරම්භ වේ. මිශ්‍රපල උදාකරන වසරකි.

ගෘහ ජීවිතය - අලංකාර රෙදි පිළි ඇඳුම් පැලඳුම් ආදියට සිත ඇදී යන කාලයකි. විනෝදයට ද වැඩිපුර යොමුවේ. ඒවායින් පවුලේ ප්‍රශ්න මතුවීමටද ඉඩ තිබේ. හිතේ දුක්සහගත අවස්ථාද ඇතිවේ. අවිවාහක අයට මංගල යෝගද උදාවේ. අලුතින් ආරම්භ කරන ව්‍යාපාර ආදී කටයුතුවල ද දියුණුව යෙදේ. ගෙදර දොර දේපළ දියුණුව ඇති කරයි. ආශ්‍රය කරන අයගෙන් ද දියුණුවට ආධාර ලැබිය හැකිය. වන්දනා ගමන් වැනි දුර ගමන් යෙදිය හැකිය. කෙසේ හෝ දියුණුව ඇති කර ගැනීමට උත්සාහ ගනී. සතුරු කරදර හේතුවෙන් වියදම් යෙදීමටද ඉඩ තිබේ. ගමන් බිමන්වලින් නිසිපල නොලැබීමටද ඉඩ තිබේ.

ධනය සහ රැකියා - ධනය අතින් ලාභ පාඩු දෙකම සිදුවේ. බලාපොරොත්තු රහිතව ලැබීම ඇතිවීමට ඉඩ තිබේ. පොළොවෙන් ලැබීම්ද තිබේ. සහකරුගේ හෝ සහකාරියගේ ධනය හානිවීමට ඉඩ තිබේ. කල්පනාකාරීව කටයුතු කළ යුතු ය. රැකියාවට අමතරව තවත් ව්‍යාපාරවල යෙදීමෙන් ආදායම් ලැබීමට, හවුලේ කරන ව්‍යාපාරවලින් ලාභ ලැබීමට ද නියෝජිත තනතුරුවල කටයුතු කිරීමටද ,පාරම්පරික ධනය ලැබීමට ද ඉඩ තිබේ. රජයේ රැකියා ලැබීමට රජයෙන් උදව් උපකාර ලැබීමට හැකියාව පවතී. කොමිස් කොන්ත්‍රාත් වැනි කටයුතුවලින් ද ධනය ලැබිය හැකිය.

අධ්‍යාපනය - අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරිමට සිදුවේ. හෙමින් හෙමින් වුවත් ක්‍රමානුකූලව ඉගෙනීම දියුණුකරගත හැකිය. ආගමික අංශයේ ඉගෙනීම් මෙන්ම උසස් අධ්‍යාපනයටද අවකාශ ඇති වේ.

ශරීර සෞඛ්‍යය - සෙම් රෝග පීඩා මෙන්ම ජලයෙන් අගුණ ඇතිවේ. උදරගත උෂ්ණ රෝගද ඇතිවේ. දත්වල රෝග පීඩා ද යෙදේ. අනුන්ගේ කරදරවලට මැදිහත්වීමෙන් අපහසුතා ඇතිවේ. අර්ශස් වැනි රෝග ඇතිවීමට ද ඉඩ තිබේ.

සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා

සුබ වර්ණ - කොළ, කහ

සුබ අංක - 3, 5, 14

සුබ මාස - මාර්තු, අප්‍රේල්

සුබ මැණික් - ළා නිල් මැණික්

 

 

කටක ලග්නය

අලංකාර දේවල් ලැබේ

 

කුජ ලග්නගතව ගමන් කරන අතර ලග්නාධිපති සඳු හත්වැන්නේද කේතු තුන්වැන්නේ ද රවි බුධ හය වැන්නේ සිකුරු ශනි අටවැන්නේ ද රාහු නව වැන්නේ ද ගුරු අයස්ථානගතව ගමන් කරමින්ද නව වසර ආරම්භ වේ. මැයි 14 ගුරු දොළොස් වැන්නටද මාර්තු 29 සෙනසුරු නවයට ද මැයි 18 රාහු අට වැන්නටද කේතු දෙවැන්නට ද පිවිසෙයි.

ගෘහජීවිතය - හිතට මෙන්ම ගතටද කරදර පීඩා ඇතිවිය හැකිය. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කිරීමෙන් දියුණුව ඇති කර ගත හැකිය. සතුරු කරදර ආරාවුල් පැටලිලි ද ඇතිවේ. අලංකාර දේවල් ලැබේ. කරන කියන කටයුතුවල දියුණුවද යෙදේ. දුර බැහැර ගමන් යෙදී ඒවා සාර්ථකවීමටද ඉඩ තිබේ. හිතේ සතුට අඩුවේ. දේපළ පිළිබඳ කරදර බාධක යෙදිය හැකිය. දේපළ දියුණුව අඩුවේ. කටක ලග්නය යෝග කාරක කුජ ලග්නයේ නීචව ඇත. එනිසා ජූනි දක්වා පසුබෑම් ඇතිවේ. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. වියදම් කිරීමේදී ප්‍රවේශම්ව කටයුතු කරන නිසා ආර්ථික දියුණුව ඇති කරගත හැකිය. අධික ලෙස විනෝදවීමට යාමෙන් අපහසුතා ඇතිවීමටද ඉඩ තිබේ. ස්ත්‍රී පක්ෂයෙන් බාධා කරදර ඇතිවේ. මහන්සියේ තරමට ප්‍රතිඵල අඩුවීමට ද පලදීම අඩුවීමටද ඉඩ ඇත. තමා කරන කටයුතුවලදී තමාටම අවිශ්වාසය ඇතිවේ.

ධනය සහ රැකියාව - බලාපොරොත්තු නොවූ පරිදි වියදම් ඇතිවීමට ඉඩ තිබේ. සාමාන්‍ය ලැබීම් ද ඇතිවේ. දේපළවල කරදර බාධා ඇතිවීමටද ඉඩකඩ පවතී. රහස් ආදායම් මාර්ගද ඇතිවිය හැකිය. සතුරු කරදර හේතුවෙන්ද ධන හානි යෙදේ. රැකියාවල උනන්දුව ඇති වේ. රැකියාවල වෙනස්වීම් ඇතිවුවත් උසස්වීම් සහ දියුණුව ඇතිවේ.

අධ්‍යාපනය - ඉගෙනීමට යම් යම් දුර්වලතා ඇතිවේ. නැත්නම් උගත් දෙයින් ප්‍රයෝජන ගැනීම අපහසුවේ. උදාසීන හා කම්මැළිවීම හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. අඩුපාඩු සකස්කරගෙන ඉදිරියට යාමෙන් විභාග ආදිය ජයගත හැකිය. ඥාන ශක්තිය ධාරණ ශක්තිය වර්ධනය කරගත හැකිය.

ශරීර සෞඛ්‍යය- රෝග පීඩා ගැන අස්ථාන බිය ඇතිවේ. හිතේ අසහන ගතිද ඇතිවේ. සෙම් පිත් රෝග ඇතිවේ. උෂ්ණාධික ලේ දෝෂ රෝගද ඇතිවිය හැකිය. හදිසි අනතුරු පීඩාවලින්ද ආරක්ෂා විය යුතු ය. හිසේ තුවාල පීඩා ඇතිවීමටද ඉඩ තිබේ.

සුබ දවස් - අඟහරුවාදා, සිකුරාදා

සුබ වර්ණ - සුදු, කහ

සුබ අංක - 2, 7, 9

සුබ මාස - අප්‍රේල්, මැයි

සුබ මැණික් - පච්ච ගල්

 

සිංහ ලග්නය

ධන මාර්ග පෑදේ

ලග්නාධිපති රවි පස්වැන්නේ ත්‍රිකෝණගතව බුධ සමඟ ගමන් කරන අතර කේතු දෙවැන්නේ ද සඳු හය වැන්නේ ද සිකුරු ශනි හත් වැන්නේ රාහු අට වැන්නේ ගුරු දස වැන්නේ ද කුජ දොළොස් වැන්නේද ගමන් කරමින් නව වසර උදා වේ. මැයි 14 ගුරු අයස්ථානයටද මාර්තු 29 සෙනසුරු අටවැන්නටද, මැයි 18 රාහු හත් වැන්නටද කේතු ලග්නයට ද පිවිසෙයි.

ගෘහ ජීවිතය - නිතර කරදර බාධා ඇතිවේ. ගමන් බිමන්වලදී හදිසි අනතුරු පීඩාවලට මුහුණදීමට සිදුවිය හැකිය. පවුලේ අසමගිය සහ බාධා කරදර මතුකරයි. සොර සතුරු පීඩාද ඇතිවිය හැකිය. ක්‍රීඩා සහ විනෝද කටයුතුවලටද සිත යොමුකරයි. පහසුවෙන් මිතුරු සබඳතා ඇතිකර ගත හැකිය. ආගමික සමාජ සේවා වැනි කටයුතුවලට යොමුවේ. සමාජයෙන් ප්‍රසිද්ධිය සැලකිල්ල ලැබේ. පැරැණි දේට ගුප්ත අංශවලට සිත යොමුවේ. එවැනි අංශවලින් දියුණුව ඇතිවීමටද ඉඩ තිබේ. ගමන් බිමන්වලින් පල ප්‍රයෝජන ඇතිවේ. ඉඩ කඩම් දේපළ හිමි විය හැකිය. මාර්තු 29න් පසු සෙනසුරු දශා තිබෙන අයට තරමක් බාධා අපල ඇති කරයි. සතුරු කරදර පීඩා අනතුරු රෝග පීඩා ඇතිවිය හැකිය. ඉවසීම ගුණවත්කම තැන්පත් බව අඩුවේ. සැලැස්මක් අනුව කටයුතු කිරීමෙන් බාධක ජයගත හැකිය. අනුන්ට උදව් කිරීමට යාමෙන්ද අපහසුතා ඇති කර ගනී.

ධනය සහ රැකියා - මිල මුදල් ලාභ ලැබෙන අතර විටෙක පාඩුද ඇතිවේ. අධ්‍යාපන සුදුසුකම් අනුව ධනය උපයන මාර්ග හිමිවේ. උපායශීලිව කරන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ආර්ථික වාසි අත්පත් කර ගත හැකිය. හවුල් ව්‍යාපාරවලින්ද ලාභ ලැබිය හැකිය. නිලතල ලැබීමට මෙන්ම ස්වකීය වෘත්තියක යෙදී පල ප්‍රයෝජන ලැබීමටද ඉඩ තිබේ. ගෞරවයෙන් යුතු රැකියා ලැබේ.

අධ්‍යාපනය - ඉගෙනීමේ කටයුතුවලට විශේෂ දක්ෂතා ඇතිවේ. අධ්‍යාපනයේ දියුණුව ඇතිවේ. දැනුම අවබෝධය අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන කටයුතු කළ හැකිය. උගත් දෙයින් නිසි පල ප්‍රයෝජන ලැබීමේ වාසනාව ඇති වේ. ඉගෙනීමේ බලාපොරොත්තු සාර්ථක කර ගත හැකිය.

ශරීර සෞඛ්‍යය - වෙහෙස මහන්සිය නිසා ශරීරයේ අප්‍රාණික ගති ඇතිවේ. අෂ්ටම ඒරාෂ්ටකයද පවතී. කල් අල්ලන රෝග පීඩා යෙදිය හැකිය. සතුරු කරදර ද ඇතිවිය හැකිය. වාතාබාධ හිරි වාත ඇතිවිය හැකිය. උදරාබාධ යෙදිය හැකිය. හිතේ අසහන ගතිද ඇතිවේ.

සුබ දවස - බ්‍රහස්පතින්දා

සුබ වර්ණ - රතු

සුබ අංක - 1, 4, 5

සුබ මාස - මැයි, ජූනි

සුබ මැණික් - රතු මැණික්, දියමන්ති, බෙරලියන්තු

කන්‍යා ලග්නය

මිතුරන්ගෙන් උපකාර

ලග්නාධිපති බුධ රවි සමඟ හතර වැන්නේ කේන්ද්‍රගතව ගමන් කරන අතර කේතු ලග්නගතව ඇත. සඳු පස්වැන්නේ ද සිකුරු, ශනි හය වැන්නේ ද රාහු හත් වැන්නේ ගුරු නව වැන්නේ ද කුජ අයස්ථානගතවද ගමන් කරන අවස්ථාවේ නව වසර උදාවේ මැයි 14 ගුරු දස වැන්නටද මාර්තු 29 සෙනසුරු හත්වැන්නටද මැයි 18 රාහු හයවැන්නටද කේතු දොළොස්වැන්නටද පිවිසෙයි.

ගෘහ ජීවිතය - මිශ්‍ර පල ලැබේ. මවට ඥාතීන්ට හිතවත් වේ. හැමදේම හොඳින් කෙටියෙන් පිරිසුදුව කිරීමට වගබලා ගනී. පවුලේ දියුණුව අඩුවීමට ඉඩ තිබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබී යාමට ඉඩ ඇත. හිතේ සැප සතුට අඩුවේ. යහපත් මිතුරන් ඇතිවන අතර ඔවුන්ගෙන් උදව් උපකාරද ලැබේ. හවුලේ කරන කටයුතු සාර්ථක වේ. දුර බැහැර ගමන් වන්දනා ගමන් යෙදේ. දරුවන්ගේ දියුණුවද ඇතිවේ. කාලය අපතේ නොහැර ප්‍රයෝජනවත් ලෙස කටයුතු කිරීමට උත්සාහ ගනී. පළපුරුද්ද අත්දැකීම් තුළින් කටයුතු කරගැනීමේ හැකියාව පවතී. සමාජ සේවා කටයුතුවලට ළැදිවන අතර ආත්මගරුත්වයද ආරක්ෂා කර ගනී. යම්කිසි දක්ෂකමකින් ප්‍රසිද්ධියක් ලැබිය හැකිය. සියුම් කටයුතුවලින් වැඩි වාසි ලැබේ. දේපළ සම්බන්ධ නඩුහබ ගේ දොර සම්බන්ධ අධික වියදම් යෙදීමටද ඉඩ තිබේ. යුග දිවියේ ගැටලු ඇතිවිය හැකිය. අස්ථාන චෝදනා එල්ලවීමට ද ඉඩ තිබේ. පිට පළාත්වලදී කරන කියන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. රාජ්‍ය සේවයේ නියුතු අයට යහපත් වේ. ජුනි සිට වැඩිපුර පී‍්‍රතිය සතුට ලැබේ.

ධනය සහ රැකියාව - රැකියාව ගැන දැඩි අවධානය යොමුවේ. රැකියා වෙනුවෙන් නිල නිවාස ලැබීමටද ඉඩ තිබේ. යාන වාහන ලැබීම් ද ඇති වේ. දැනුමෙන් බුද්ධියෙන් කරන රැකියා ගේ දොර ඉඩකඩම්වලට සම්බන්ධ ව්‍යාපාර කටයුතුද සාර්ථක ලෙස කළ හැකිය. හවුල් කටයුතු ද සාර්ථක වේ. ධනෝපායන මාර්ග දියුණු වේ. රැකියා ව්‍යාපාර කීපයක් කිරීමෙන් ආදායම ධනය උසස් කර ගනී.

අධ්‍යාපනය - ඉගෙනීමට දක්ෂතා ඇතිවේ. ප්‍රචාරක කටයුතුවලට ද දක්ෂතා යෙදේ. ඉගෙනීමට යොමුවුණ අංශ ගැන හොඳ දැනුම අවබෝධ ලබාගත හැකිය. ගුප්ත අංශවලටද කැමැත්ත ඇතිවේ. ආගම දහම ගැනද උසස් දැනුම ඇති කරගත හැකිය. ස්ව උත්සාහයෙන් යම් යම් දේ අවබෝධ කර ගැනීමට හැකියාව ඇති වේ. ශිල්පීය අංශවල ඉගෙනීම්ද දියුණු වේ.

ශරීර සෞඛ්‍යය - ගති පැවැතුම්වලින් ආහාර පානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට වගබලා ගනී. සතුරු කරදර ඇතිවේ. ලේවල දෝෂ ලේ ගමනේ දෝෂ ඇති විය හැකිය.

සුබ දවස් - බදාදා, සිකුරාදා

සුබ වර්ණ - සුදු, කහ

සුබ අංක - 2, 5, 7

සුබ මාස - ජූනි, ජූලි

සුබ මැණික් - ළා රතු හෝ පද්ම රාග

තුලා ලග්නය

රාජ්‍ය ගෞරව

ලග්නාධිපති සිකුරු සෙනසුරු සමඟ පස්වැන්නේ ත්‍රිකෝණගතව ගමන්කරන අතර රවි බුධ තුන්වැන්නේ ද සඳු හතර වැන්නේ ද රාහු හයවැන්නේ ගුරු අටවැන්නේ ද කුජ දස වැන්නේ කේතු දොළොස්වැන්නේ ද ගමන්කරන අවස්ථාවේ නව වසර උදාවේ. මැයි 14 ගුරුට නවවැන්නට ද මාර්තු 29 සෙනසුරු හය වැන්නට ද මැයි 18 රාහු පස්වැන්නට ද කේතු අයස්ථානයට ද පිවිසෙයි.

ගෘහ ජීවිතය - හිතට එකඟව කටයුතු කරන අතර අන්‍යයන්ගේ සහයෝගය අගය කරයි. අලංකාරයට, විනෝදයට, සංගීත කලා ආදියට කැමැත්ත ඇති වේ. ඥාති මිත්‍ර සම්බන්ධතා වර්ධනය කරගත හැකිය. හිතේ ධෛර්ය ඇතිවන අතර සතුරු කරදර දුරුවේ. රජයේ නිලධාරින්ගෙන් සැලකිලි ලැබේ. සහෝදරයන්ගෙන් සහ අසල්වාසීන්ගෙන් උපකාර ලැබේ. තෑගි බෝග ආදිය ද ලැබේ. නිතරම ප්‍රයෝජනවත් වැඩක යෙදීමට වග බලා ගනී. ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරයි. එමෙන්ම චාම් බවෙන් හා අරපිරිමැස්මෙන් යුතු කටයුතු කරයි. ගමන් බිමන් යෙදෙන අතර කීර්තිය, ප්‍රසිද්ධිය ඇතිවේ. හැම දෙනා සමඟම සුහදව කටයුතු කිරීමට හැකියාව ඇතිවේ. උත්සාහය නිසා තමාම දියුණුව ඇති කර ගනී. සාධාරණ ලෙස සිය කටයුතු කරයි. නිදහස, සමානාත්මතාවය, සාධාරණය ගරු කිරීම නිසා හැමගේම සිත් දිනාගෙන ඉදිරියෙන් සිට කටයුතු කිරීමට වාසනාව උදා වේ. යම්කිසි දක්ෂකමක් නිසා ප්‍රසිද්ධිය ලැබිය හැකිය. ආගමික සහ සමාජසේවා කටයුතුවල යෙදී ප්‍රසිද්ධිය ලැබිය හැකිය. පිළිවෙළකින් තොරව අලුත් අලුත් දේවල්වලට සිත පෙළඹේ. ආශ්‍රය කරන අය හේතුවෙන් ආත්ම ගෞරවයට හානි ඇතිවීමට ද ඉඩ තිබේ. නඩුහබ ඇතිවීමට ද ඉඩ තිබේ.

ධනය හා රැකීරක්ෂා - රැකියා අංශවල කරදර බාධා ස්ථාන මාරු යෙදීමට ඉඩ තිබේ. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ඇති වේ. උරුම හිමිකම් ලබන අතර ඉඩකඩම්වලින් ගෙවල් දොරවල්වලින් ආදායම් ලැබීමට ද ඉඩ තිබේ. ආදායම් මාර්ග කිහිපයක් යෙදීමට ද ඉඩ ඇත. රැකියා ව්‍යාපාර කටයුතුවල මාරුවීම් ඇතිවිය හැකිය.

අධ්‍යාපනය - අතරමඟ බාධක ඇති වුවත් උසස් අධ්‍යාපන කටයුතු ද සාර්ථක කරගත හැකිය. විභාග ආදියෙන් හෝ ජයග්‍රහණ හිමි වේ. අලුත් දේවල් ඉගෙනීමට ද සිත යොමු වේ.

ශරීර සෞඛ්‍යය - ශරීර අභ්‍යන්තර රෝග, හිසේ තුවාල, උෂ්ණාධික රෝග, සමේ රෝග, උදරගත පීඩා, මූත්‍ර ආශි‍්‍රත රෝග යෙදිය හැකිය.

ජය අංක - 1, 2, 4

ජය වර්ණය - සුදු, රතු

ජයදින - ඉරිදා, සඳුදා,

ජය මාස - ජූලි, අගෝස්තු

පැලඳිය යුතු මැණික් - බෙරලියන්තු දියමන්ති සුදු, නිල්, මැණික්

වෘශ්චික ලග්නය

පැතුම් ඉටුවේ

ලග්නාධිපති කුජ නවවැන්නේ නීචව ගමන් කරන අතර රවි බුධ දෙවැන්නේ ද සඳු තුන් වැන්නේ ද සිකුරු ශනි හතර වැන්නේ ද රාහු පස්වැන්නේ ගුරු හත්වැන්නේ කේතු අයස්ථානයේ ද ගමන් කරන අතර නව වසර ආරම්භ වේ. මැයි 14 ගුරු අටවැන්නට ද මාර්තු 29 සෙනසුරු පස්වැන්නට ද මැයි 18 රාහු හතර වැන්නට ද කේතු දස වැන්නට ද පිවිසෙයි.

ගෘහ ජීවිතය - බාධා කරදර මධ්‍යයේ තම කටයුතු කරගෙන යාමට හැකිවේ. නිතර අදහස් වෙනස් කිරීමට සිදු වේ. බොහෝ දෙනාගේ විශ්වාසය නිරන්තරයෙන් ලැබේ. ඥාතින්ගෙන් කරදර ඇතිවිය හැකිය. මිතුරන්ගෙන් උපකාර ලැබේ. රහස් සතුරු කරදර මෙන් හිතේ රහස් ස්වභාවද ඇතිවිය හැකිය. රහස් මාර්ගවලින් ලැබීම් ද ඇති වේ. ගේ දොර ඉඩකඩම් පිළිබඳ අවධානයකින් කටයුතු කරයි. පළපුරුදුකම, පුහුණුව අත්දැකීම් අනුව තමාට ආවේණික ක්‍රමවලින් විශාල දියුණුවක් ලැබීමට හැකි වසරකි. අවිශ්වාස වැඩ, නොසැලකිල්ල නිසා බලාපොරොත්තු නැති කරදර ඇති විය හැකිය. අවිවාහක අයට මංගල කටයුතු ද උදා වේ. ගමන් බිමන් හේතුවෙන් විවේකය අඩුවේ. පාරම්පරික උරුම හිමිකම් ලැබීමට ද ඉඩ ඇත. දුක සැප දෙකටම ඔරොත්තු දෙන ශක්තිය, ප්‍රසිද්ධිය ඇතිවේ. එඩිතරව, නීතිගරුකව ගුණ යහපත්ව සාධාරණ ලෙස කටයුතු කළ හැකිය. රහස් නැත. ස්ථාන මාරු යෙදීමට ද ඉඩ තිබේ. රැවටීම් මුලාවීම්වලින් වැළකිය යුතුය.

ධනය සහ රැකියා - ධන ලාභ ලැබේ. ව්‍යාපාර අංශවලින් දියුණුව යෙදේ. කලාවෙන් විලාසිතාවන් සම්බන්ධ ව්‍යාපාරවලින්ද ලාභ ලැබිය හැකිය. රහස් මාර්ගවලින් ගුප්ත ක්‍රමවලින් ධනය ලැබීමට ද ඉඩ තිබේ. ප්‍රචාරක අංශවල රැකියා කටයුතුවලින් ද ලැබීම් ඇතිවේ. තැන්පත් ධනයක් හෝ දේපළක් හිමිවීමට ඉඩ ඇත. වියදම්ද වැඩිවේ. රැකියා ව්‍යාපාර දියුණූු වේ.

අධ්‍යාපනය - ඉගෙනීම් කටයුතුවලට යහපත් වර්ෂයකි. උනන්දුවෙන් කටයුතු කළ යුතුය. ගුප්ත අංශවලටද පි‍්‍රයතාවය ඇතිවේ. ඥාන ශක්තිය ධාරණ ශක්තිය බලවත් වේ. උගත් දෙයින් ඵල ප්‍රයෝජන ලැබීමටත් ප්‍රසිද්ධිය ලැබීමටත් හැකිවේ.

ශරීර සෞඛ්‍යය - වැටීම් තැළීම්වලින් පීඩා ඇතිවීමටත්, ලේ දෝෂ රෝග යෙදීමටත්, ලේ ගමනයේ දෝෂ ඇති වීමටත් ඉඩ ඇත. රහස් සතුරු කරදර ඇතිවේ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ රෝගද යෙදිය හැයිය. කාන්තාවන්ට දරුවන් පිළිසිඳ ගැනීමේ දෝෂ, උගුරේ සෙම් දෝෂ දත්වල අමාරුද යෙදිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

ජය අංක - 3,4,9

ජය වර්ණය - කහ, රතු

ජය දින - ඉරිදා, සඳුදා

ජය මාස - අගෝස්තු, සැප්තැම්බර්

සුබ මැණික් - පුෂ්පරාග, කහපාට ගල්

ධනු ලග්නය

කීර්තිය ප්‍රසිද්ධිය

ලග්නාධිපති ගුරු හයවැන්නේ ද රවි බුධ ලග්නයේ ද සඳු දෙවැන්නේ ද සිකුරු – ශනි තුන් වැන්නේ ද රාහු හතරවැන්නේ ද කුජ අටවැන්නේ ද කේතු දසවැන්නේ ද ගමන් කරන අවස්ථාවේ නව වසර උදාවේ. මැයි 14 ගුරු හත්වැන්නට ද මාර්තු 19 සෙනසුරු හතරවැන්නට ද, මැයි 18 රාහු තුන්වැන්නට ද කේතු නව වැන්නට ද පිවිසෙයි.

ගෘහ ජීවිතය - ආගම දහමට ළැදිය. ඒ මඟින් කීර්තිය, ප්‍රසිද්ධියද ඇති වේ. ප්‍රමාණවත් දියුණුවකට පත්වේ. බොහෝ දෙනා විශ්වාසයෙන් යුතුව වගකීම් භාර දෙති. උගත් උසස් අය ආශ්‍රයට ලැබේ. වැඩ කටයුතු ස්ථිරව කරගෙන යාමට ඉඩ ලැබේ. චාම් බවෙන් අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරයි. සතුරු කරදර, ඊර්ෂ්‍යාකාරකම් හේතු කොට දියුණුවට බාධා ඇති විය හැකිය . ඥාතීන්ගෙන් කරදර යෙදීමට ඉඩ තිබේ. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබිය හැකිය. විවාහක අයට පවුල් ජීවිතයේ කරදර බාධා ගැටලු ප්‍රශ්න ඇති කරයි. අසනීප, කරදර මෙන්ම අසතුට ඇතිවේ. දරුවන්ටද රෝග පීඩාදියෙන් කරදර ඇතිවේ. දෙමාපියන්ට අපල උපද්‍රව ඇතිවීමට ද ඉඩ තිබේ. නෑදෑයන්ට උදව් උපකාර කළත් ඔවුන්ගෙන් හොඳනමක් නොලැබේ. සංගීත කලා ශාස්ත්‍රීය අංශවලින් දියුණුව ඇති වේ. ගමන් බිමන් විනෝද ගමන් යෙදේ. ඒවායින් සාර්ථක ප්‍රතිපලද ලැබිය හැකිය. ආගමික සහ සමාජ කටයුතුවලට උනන්දුව ඇතිවේ. දියුණුව ඇතිවන පරිදි වැඩ කටයුතු කරගැනීමට හැකිවේ. හොර බොරු වංචාවලට අකමැතිය. ඍජුව කටයුතු කළ හැකිය. ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරයි. අස්ථාන චෝදනා එල්ල වීමට ද ඉඩ ඇත.

ධනය හා රැකියා - අප්‍රසිද්ධ කටයුතුවලින් වාසි ලැබීමට ද ඉඩ තිබේ. රැකියාවල උසස්වීම් ද ඇතිවේ. රැකියා ව්‍යාපාර කීපයක් කිරීමට ද ඉඩ තිබේ. රාජ්‍ය අංශයේ රැකියා ද ලැබේ. ධනය අතින් දියුණුව තරමක් අඩු විය හැකිය. රැකයාවලද යම් යම් දුර්වලතා ඇතිවිය හැකිය. ලෝහවලට සම්බන්ධ කාර්මික අංශ දියුණු වේ. කලාවට, සංගීතයට සාහිත්‍ය සම්බන්ධ කටයුතුවලින් දියණුව යෙදේ. වැදගත් රැකියා හිමිවේ. අධ්‍යාපනය

සෞන්දර්ය කලා, සංගීත, සාහිත්‍ය අංශවල ඉගෙනීම් ද සමස්ත ඉගෙනීම ද, ආගමික දාර්ශනික අංශවල ඉගෙනීම්ද සාර්ථක කරගත හැකිය. විවිධ අංශවල හැකියාවක් දියුණු කරගත හැකිය. ඉගෙනීමෙන්ද රැකියාවෙන්ද උසස් තත්ත්වයක් ලැබේ.

ශරීර සෞඛ්‍යය

සෙම් දෝෂ රෝග උදරාබාධ, ලේ දෝෂ රෝග අනතුරු තුවාල ඇතිවීමට ද ඉඩ තිබේ. උගුරේ අමාරු, දත්වල අමාරු ද ඇති විය හැකිය. හිසේ උෂ්ණ රෝග පීඩා, පපුවේ පීඩාද ඇති විය හැකිය.

ජය අංක - 3,5,6

ජය වර්ණය -කොළ, සුදු

ජය දින - බදාදා, සිකුරාදා

ජය මාස - සැප්තැම්බර් , ඔක්තෝබර්

පැලදිය යුතු මැණික් - පසිංගල් හෝ පච්චගල්

කුම්භ ලග්නය

සමාජ සුබසිද්ධියට හිත් දේ

ලග්නාධිපති සෙනසුරු සිකුරු සමඟ ලග්නගතව ගමන් කරන අතර රාහු දෙවැන්නේ ගුරු සිවුවැන්නේ ද කුජ හයවැන්නේ ද කේතු අටවැන්නේ ද රවි බුධ අයස්ථානයේ ද සඳු දොළොස්වැන්නේද ගමන් කරමින් සිටියදී නව වසර උදාවේ. මැයි 14 ගුරු පස්වැන්නට ද මාර්තු 29 සෙනසුරු දෙවැන්නට ද මැයි 18 රාහු ලග්නයට ද කේතු හත්වැන්නට ද පිවිසෙයි.

ගෘහ ජීවිතය

ලග්න ඒරාෂ්ටකයක් පවතී. දුක සැප දෙකටම ඔරොත්තු දෙන ශක්තිය පවතී. උසස් අදහස්වලින් යුක්ත වේ. පළපුරුද්ද අත්දැකීම් තුළින් නිසියාකාරව කටයුතු කිරීමේ හැකියාව පවතී. ආගම දහමට ළැදියාව ඇති වේ. සමාජ ගෞරවය හිමිවේ. පිරිස් බලය තිබෙන අතර ඉඩකඩම් දේපොළ ලැබීමට ද වාසනාව ඇත. ක්‍රමයෙන් දියුණුව ඇතිවේ. මාර්තු 29න් පසු කරන කියන කටයුතුවලට බාධා ඇතිවීමට ද ඉඩ ඇත. සහකරුට හෝ සහකාරියට රෝග පීඩා ඇතිවීමට ද ඉඩ තිබේ. පදිංචිය වෙනස්වීම් ස්ථානමාරු ඇතිවීමට ද ඉඩ ඇත. කලාත්මක සහ ගුප්ත අංශවලට කැමැත්ත ඇතිවේ. සමහර විට ඥාතින්ගෙන් කරදර ඇති විය හැකිය. සිතුම් පැතුම් වැඩ කටයුතු හිටි හැටියේ වෙනස් කිරීමට ඉඩ තිබේ. සතුරු කරදර ද ඇති විය හැකිය. තම දියුණුව ගැන සලකන අතර සමාජ සුබසිද්ධියට ද කටයුතු කරයි. ස්ථානගත දියුණුව අලංකාරය ඇතිවේ. වැඩ කටයුතු ප්‍රමාද වුවත් ක්‍රමානුකූලව නිවැරැදිව ඉටුවේ. දරුවන් දියුණුවට පත්වේ. හිතේ රහස් නැත. විවෘතව කටයුතු කරයි. සාධාරණ කාරුණික අදහස් ද ඇතිවේ. කතාව නිසා ප්‍රශ්න ඇතිවීමට ද ඉඩ ඇත. යහපත් කටයුතුවලින් වුවද නරක නාම අලාභ ඇතිවීමට ඉඩ තිබේ. රැවටීම් මුලාවීම්වලට ලක්වීමටද ඉඩ ඇත.

ධනය හා රැකියා

ආදායම් තත්ත්වය යහපත් වන අතර බලාපොරොත්තු නැති වියදම් ද ඇතිවේ. ස්වයං රැකියා ව්‍යාපාරවලින් ද දියුණුව ලැබිය හැකිය. රැකියා ලැබීම්වලදී ප්‍රමාද වන අවස්ථා ඇතිවේ. බලාපොරොත්තු රැකියාව නොලැබී වෙනත් රැකියා ලැබීමට ද ඉඩ ඇත. රැකියා ව්‍යාපාර කටයුතුවලදී රජයට සම්බන්ධ වීමේ බලයද පවතී. ධනෝපායන මාර්ග කිහිපයක් උදාකර ගැනීමට ද හැකියාව ඇත.

අධ්‍යාපනය

වෙහෙස මහන්සි වී ඉගෙනීමේ කටයුතු කිරීමට සිදුවේ. විවිධ අංශ පිළිබඳ දැනුම ඇතිකර ගත හැකිය. ප්‍රමාද වුවත් ස්වශක්තියෙන් ඉගෙන ගෙන ප්‍රසිද්ධියක් ලැබිය හැකිය. උසස් අදහස්වලින් යුක්ත වන අතර දැනුම, බුද්ධි වර්ධනය කරගත හැකිය. පල රහිත දේවල්වලට හිත යොමු කිරීමෙන් වැළකිය යුතුය.

ශරීර සෞඛ්‍යය - දත්වල ආමරු, ලේ දෝෂ රෝග, ඇස්වල අමාරු ඇතිවිය හැකිය. අනතුරු පීඩා හදිසි තුවාල ඇතිවීමටද ඉඩ ඇත.

ජය අංක - 2, 3,5

ජය වර්ණ - කහ, රතු , සුදු

ජය දින -බ්‍රහස්පතින්දා , සිකුරාදා

ජය මාස - නොවැම්බර්, දෙසැම්බර්

පැලදිය යුතු මැණික් - නිල් මැණික්

මකර ලග්නය

උපහාර ගෞරව

ලග්නාධිපති සෙනසුරු සිකුරු සමඟ දෙවැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කරන අතර සඳු ලග්නයේද රාහු තුන්වැන්නේ, ගුරු පස්වැන්නේ, කුජ හත්වැන්නේ ද කේතු නව වැන්නේ රවි බුධ දොළොස්වැන්නේ ද ගමන් කරන අතරතුර නව වසර උදාවේ. මැයි 14 ගුරු හය වැන්නට ද මාර්තු 29 සෙනසුරු තුන්වැන්නට ද මැයි 18 රාහු දෙවැන්නට ද කේතු අට වැන්නට ද පිවිසෙයි.

ගෘහ ජීවිතය – පී‍්‍රතියෙන්, විනෝදයෙන්, සැහැල්ලුවෙන් ජීවිතය ගතකිරීමට ලැබෙන අතර කරගෙන කටයුතු දියුණු තත්ත්වයට පත්වේ. නෑදෑයන්ගෙන් මිත්‍රයන්ගෙන් ගෞරව උපකාර මෙන්ම සැලකිලිද ලැබේ. අලංකාර දේවල් ලැබීමට ද ඉඩ ඇත. යුගදිවියේ සැපත, සතුට අඩු වීම්, වාද භේද, සතුරු කරදර ද ඇතිවිය හැකිය. බලවත් අගහිඟතා නොයෙදේ. ආගම දහම පිළිබඳව උනන්දුව ඇතිවේ. ක්‍රමවත් සැලැස්මකින් කටයුතු කිරීමෙන් දියුණුව ඇතිවේ. නඩුහබ යෙදීමටද ඉඩ තිබේ. පිටපළාත්වලදී වෙනසක් නැතිව ජීවත් විය හැකිය.

පිටස්තර අයගෙන් ආධාර උපකාර ද ලැබේ. හිතේ චංචල ගතිද ඇතිවේ. ලාභ අලාභ දෙකේදීම නොවෙනස්ව කටයුතු කළ හැකිය. සමාජයේ යහපත උදෙසා කටයුතු කිරීමට ද ඉදිරිපත් වේ. ආගමික කටයුතුවල යෙදීමෙන් සැනසුම ලැබිය හැකිය. දුර බැහැර ගමන් බිමන් යෙදේ. අදහස් හිටි හැටියේ වෙනස් කිරීම නිසාද දිවියේ ගැටලු මතුවිය හැකිය. වෙනත් අය තම දක්ෂතාවලින් ප්‍රයෝජන ගැනීමට ඉඩ තිබේ. උනන්දුවෙන් කටයුතු කළ යුතුය.

ධනය හා රැකියා

බාධා ඇති වුවත් ධනවත්භාවයට පත්විමත්, රැකියා ව්‍යාපාර ආදි කටයුතුවල දියුණුවත් ඇතිවේ. ස්වයං රැකියාවලින්ද, හවුල් ව්‍යාපාරවලින්ද ලාභ ලැබේ. රැකියා වෙනස් වුවත් එය දියුණුවට හේතු වේ. කාර්මික හා කලා කටයුතුවලින් දියුණුව ඇතිවේ.

අධ්‍යාපනය

ඉගෙනීමෙන් තත්ත්වය උසස් කර ගැනීමට හැකිවේ. අලුත් දේවල් ඉගෙනීම ආරම්භ කිරීමට ද සුබයි. ගුප්ත අංශවල ඉගෙනීම්වලට ද සුබයි. පොත් ආශ්‍රයෙන් කරන ශාස්ත්‍රීය අංශවල ඉගෙනීම්වලට ද සුබයි. එම අංශවලින් දියුණුව හා ප්‍රසිද්ධිය ද ඇතිවේ.

ශරීර සෞඛ්‍යය

සෙම් දෝෂ, ලේ දෝෂ රෝග පීඩා ඇතිවේ. විවිධ උදරාබාධ ද ඇති විය හැකිය. ශල්‍යකර්ම යෙදීමට ද ඉඩ තිබේ. දත්වල අමාරු, වකුගඩු මූත්‍ර ආශි‍්‍රත රෝග ද ඇති විය හැකිය. කාන්තාවන්ට දරුවන් පිළිසිඳ ගැනීමේ දෝෂ ද යෙදිය හැකිය.

 

ජය අංක - 6,8, 9

ජය වර්ණ - රතු, නිල්

ජය දින - අඟහරුවාදා, සිකුරාදා

ජය මාස - ඔක්තෝබර්, නොවැම්බර්

පැලදිය යුතු මැණික් - චන්ද්‍රකාන්ත ගල්

 

මීන ලග්නය

බාධක මැද දියුණුව සැලසේ

ලග්නාධිපති ගුරු තුන්වැන්නේ ගමන් කරන අතර රාහු ලග්නගතව ද, කුජ පස්වැන්නේ ද කේතු හත්වැන්නේ ද රවි, බුධ දසවැන්නේ ද සඳු අයස්ථානගතව ද සිකුරු, ශනි දොළොස්වැන්නේ ද ගමන් කරන අතර නව වසර ආරම්භ වේ. මැයි 14 ගුරු සිවුවැන්නට ද මාර්තු 29 සෙනසුරු ලග්නයට ද මැයි 18 රාහු දොළොස්වැන්නට ද කේතු හය වැන්නට ද පිවිසෙයි.

ගෘහ ජීවිතය

දුක් කරදර මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවේ. මැයිවලින් පසු ප්‍රමාණවත් දියුණුවක් ඇති කර හැකිය. තම මතයට අනුව කටයුතු කරයි. පේ‍්‍රම සම්බන්ධ වැනි දේවල් අසාර්ථක විය හැකිය. දියුණුව ඇතිවීමට කල්ගත වේ. හිතට දුක් ඇතිවේ. සහකරුට හෝ සහකාරියට රෝග පීඩා ඇතිවිය හැකිය. ගමන් බිමන් යෙදීමට පදිංචිය වෙනස්වීමට ඉඩ තිබේ. නඩුහබ ඇති වුණොත් පාඩු සිදුවේ. නිදහස, සත්‍යවාදී බව නිතර අගයයි. හැම දෙයකින්ම හැම කෙනකුගෙන්ම වාසි පල ප්‍රයෝජන බලාපොරොත්තු වේ.

රහස් සතුරු කරදර නිසා කටයුතුවල බාධා ප්‍රශ්න ඇති විය හැකිය. නැතිනම් රෝග පීඩා නිසා රැකියා කටයුතුවලට බාධා ඇතිවේ. සමාජ සේවා කටයුතුවලට ද ඉදිරිපත් වේ. අනුන්ට උදව් කිරීමට යාමෙන් දොස් අවලාද ඇසීමට සිදුවේ. සැප, සතුට, විනීදය උදෙසා සීමාරහිතව වියදම් කරයි. අස්ථාන චෝදනා මෙන්ම මුලාවීම්ද ඇති විය හැකිය. තම දැනුමෙන් වෙනත් අංශවලින් පල ප්‍රයෝජන ගැනීමට ද ඉඩ තිබේ.

කේලාම් අවලාද ලැබෙන අතරතුර ප්‍රශංසා ද ලැබේ. පදිංචි වෙනස්වීම් හා පාඩුද ඇතිවේ. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් යහපත උදාකරගත හැකිය.

ධනය හා රැකියා - නිකරුණේ ධනහානි ඇතිවේ. තම ධනය පැහැර ගැනීම්වලටද ඉඩ තිබේ. ඉඩකඩම් යානවාහන පිළිබඳ රැකියා ව්‍යාපාර වඩා සුබදායක වේ. හවුලේ කරන ව්‍යාපාර කටයුතුවලට බාධා කරදර ඇති විය හැකිය.

අධ්‍යාපනය

ඉගෙනීමට උනන්දුව ඇතිවේ. ඥාන ශක්තිය ධාරණ ශක්තිය ඇතිවේ. ගණිත මිනිත ශාස්ත්‍රිය අංශ සාහිත්‍ය නිර්මාණ අංශවල ඉගෙනීම්වලට ද දක්ෂතා ඇති වේ. උසස් ඉගෙනීමෙන් පල ප්‍රයෝජන ලැබිය හැකිය.

ශරීර සෞඛ්‍යය - ලේ විෂවීමේ රෝග, බාහිර විෂ ශරීර ගතවීම වැනි රෝග, පාදවල වාත වේදනා, දත්වල අමාරු, උෂ්ණ රෝග සහ පපුවේ සෙම් රෝග පීඩා ද ඇති විය හැකිය. ලේ ගමනේ දෝෂද යෙදිය හැකිය.

 

ජය අංක - 1, 3, 4

ජය වර්ණ - කහ, රතු

ජය දින - ඉරිදා, බ්‍රහස්පතින්දා

ජය මාස - දෙසැම්බර්, ජනවාරි

පැලදිය යුතු මැණික් - පසිංගල් හෝ පළිඟු ගල්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.