ඊශ්වර - පාර්වතී පිහිට ලබන මහා භාග්‍ය යෝගය

දෙසැම්බර් 6, 2024

කේන්දරයක ස්ත්‍රී පුරුෂ දෙදෙනාට සාපේක්ෂව හෙවත් කාන්තාවන්ට හා පුරුෂයන්ට අදාළව යෙදෙන ප්‍රබලතම යෝගයක් පවතී. එය මහා භාග්‍ය යෝගය වේ. මෙහි අමුතුම විදිහේ ආකූල ව්‍යාකූලත්වයන්ගෙන් තොරව පැහැදිලි නිර්ණායකයක් මත මහා භාග්‍ය යෝගය යෙදෙන බව දැක්විය හැකිය. සාමාන්‍යයෙන් රාශි 12 දී පුරුෂ රාශි වශයෙන් මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ රාශි හැඳින්විය හැකිය.

ස්ත්‍රී රාශි වශයෙන් වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන රාශි හැඳින්විය හැකිය. මේ ප්‍රභේදය පාදක කර ගනිමින් මහා භාග්‍ය යෝගය යෙදේ. මෙහිදී පොත පතට සීමා වී ඇති ආකාරයට දැක්වෙන මහා භාග්‍ය යෝගය සමඟම අදාළ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ කේන්දරය ද බලවත් නම් මේ යෝගයේ ප්‍රතිඵල වඩ වඩාත් සමෘද්ධිමත් වෙයි. උදාහරණයක් වශයෙන් එම කේන්දරයෙහි ගජ කේෂරී යෝගයක් තිබීම, අධි යෝගයක් තිබීම, වෙෂි, වොෂි, උභයචාරී, සුනඵා, අනඵා, ධුරු ධාරා යෝග තිබීම ඒ හැර කිසියම් පංච මහා පුරුෂ යෝගයක් තිබීම, ධර්ම කර්මාධිපති යෝගයක් තිබීම, කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති යෝගයක් තිබීම වැනි අතිරේක යෝග බලයක් උදා වී ඇත්නම් මහා භාග්‍ය යෝගයේ ප්‍රතිඵල තව තවත් ඔපමට්ටම් වී වර්ධනය වනු ඇත. එවිට මහා භාග්‍ය යෝගයේ නියම අර්ථය ජන්මියාට ලැබෙනු ඇත. මෙහිදී රාශි බලයට වඩා භාව බලය පිළිගැනේ. උදාහරණයක් වශයෙන් අදාළ ග්‍රහයෝ රාශියට වඩා භාවයේ බලවත් වීම වැදගත් කොට සලකනු ඇත. මෙහිදී එම ග්‍රහයන් නීච වීම හෝ සතුරු වීම වැනි තත්ත්වයට පත්වනවාට වඩා ස්ථානගත බලයෙන් සිටීම වැදගත් සේ පිළිගැනෙනු ඇත. සාමාන්‍ය ඡ්‍යොතිෂ නිගමනය පරිදි මේ ග්‍රහයකු නීචවීම ම දුර්වලත්වයක් ලෙස නොසැලකිය යුතු ය. ග්‍රහයකු නීච වුවත් ඒ තුළින් නීච භංග රාජ යෝගයක් යෙදේ නම් එම නීචය අවැඩ දායක යැයි පිළිගත යුතු නොවේ. ග්‍රහයෙක් නීච නොමැතිව නීච භංග රාජ යෝගයක් යෙදෙන්නේ කෙසේද? මෙහිදී නීචය වුවත් නීච භංග රාජ යෝගයක් යෙදෙන්නේ නම් වැදගත් කොට සැලකිය යුත්තේ එයයි. මහා භාග්‍ය යෝගයේ ස්වභාවය මෙසේ ය.

කිසියම් පුරුෂ උපතක දී එම පුද්ගලයා දිවා මානය තුªළ ඉපදී ඔහුගේ ලග්නය පුරුෂ රාශියක වීමද රවි පුරුෂ රාශිගත වීම ද චන්ද්‍රයා පුරුෂ රාශියක වීම ද යන කරුණු සියල්ලම නිසිසේ යෙදී ඇත්නම් පුරුෂ පක්ෂයට මහා භාග්‍ය යෝගය උදාවේ.

මෙහිදී දිවා මානය නම් සූර්ය උදාවේ සිට සුර්යය අස්ථය දක්වා කාලයයි. මෙසේ යෙදුණු කේන්ද්‍රය හිමියාගේ මහා භාග්‍ය යෝගය පිහිටා ඇත. ඔහුගේ ගමන බිමන කතාව රූප ලක්ෂණ මෙන්ම හැසිරීම් රටාවද සියල්ල නියම ම පුරුෂාකාරයෙන් පවතින බව කිව යුතුය.

මෙහිදී කේන්දරයෙහි ඉහතින් දක්වන ලද කුමන හෝ තවත් විශේෂ පිහිටීම් පවතින්නේ නම් මේ මහා භාග්‍ය යෝගය තවතවත් වර්ණවත් වේ.

උදාහරණයක් වශයෙන් මහා භාග්‍ය යෝගය ඇති කෙනෙකුගේ කේන්දරයේ මහා ත්‍රිකෝණාධිපති යෝගය නොහොත් විෂ්ණු හෝ ධර්ම කර්මාධිපති යෝගය යෙදී ඇත්නම් පෙර කී මහා භාග්‍ය යෝගය තව තවත් ඔප මට්ටම් වන්නේ ය. පුද්ගලයාගේ ජීවිතය බෙහෙවින් සරුසාර වීමට භාග්‍ය ඉස්මතු වීමට මෙය හේතුවක් වෙයි. මේ යෝගයෙන් උපන් අය අන් අයගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වේ. කඩිසරව කටයුතු කරයි. ජීවිතය ගැන විශේෂ දැක්මක් ඇත. මව්පියන්ගෙන් උපකාර හිමි වන අතර ගේ දොර යාන වාහන හිමිකම් ඇත.දරුවන් ද වාසනාවන්ත වන අතර දරුවන්ගෙන් සැලැකුම් ලැබේ. මහා භාග්‍ය යෝගය සමඟම ඊට සමඟාමීව තවත් යෝග ඇත්නම් පමණක් වඩාත් ඉහළම ප්‍රතිඵල ලැබෙනු ඇත.

ස්ත්‍රී උපතක දී එම තැනැත්තිය නිශාමානය තුළ ඉපදීම අවශ්‍ය වේ. එනම් සූර්යය අස්ථයේ සිට ඊළඟ දින සූර්යය උදාව දක්වා කාල සීමාව අතරේ උපත ලැබිය යුතු ය. මෙසේ උත්පත්තිය ලැබූ තැනැත්තිය පෙර දී සඳහන් කළ වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන රාශියකින් ඉපදී ඇත්ද ලග්නාධිපති එමෙන්ම සූර්යයා ද චන්ද්‍රයද, මේ කුමන හෝ රාශියක පිහිටා ඇත්ද එවිට එම කාන්තාවට මහා භාග්‍ය යෝගය යෙදේ. එවිට එම තැනැත්තිය ශාරීරික වශයෙන්ද කාන්තා ස්වභාවය නිරූපණය කරන කාන්තිමත් බවක් ඇති කරන්නා සේම කාන්තා ලාලිත්‍යය මෙන්ම කිසියම් ආකාරයක සෞම්‍යජනක බව මටසිලිටි බව හා ඇවතුම් පැවතුම් හා කතාබහේ දී පවා සංවේදී බවක් ලාලිත්‍යමය ස්වභාවයක් ඇති තැනැතතියක් වන්නේ ය.

කාන්තා ස්වභාවයෙන්ම හැසිරෙන ඇය එකී කාන්තා විලාසය මැනවින් පිළිබිඹු කරවන්නීය. මේ අතර තුර මේ භාග්‍ය යෝගය පවතින ගමන්ම පෙර දී සඳහන් කළාක් මෙන් කවර හෝ විශේෂ යෝග කීපයක් යෙදී ඇත්නම් එම මහා භාග්‍ය යෝගය වර්ණවත් වෙයි. විශේෂයෙන්ම කාන්තා නියෝජනය කරන සිකුරු වැනි ග්‍රහයන් හා සෞම්‍ය ජනක බව නියෝජනය කරන බුධ හා වැනි ග්‍රහයකු කේන්දරයේ ඉස්මතු වී කැපී පෙනේ ද එම තැනැත්තියගේ කේන්ද්‍රයේ කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති යෝගය ධර්ම කර්මාධිපති යෝගය, සුනඵා, අනඵා, ධුරු ධාරා, වෙෂි, වොෂි උභයචාරී යෝග කවර හෝ පංච මහා පුරුෂ යෝගයක් යෙදීම වැනි අතිරේක යෝගයන්ගෙන් එම කේන්ද්‍රය පෝෂණය වී ඇත්නම් ස්ත්‍රීන්ට යෙදෙන මේ මහා භාග්‍ය යෝගය වඩ වඩාත් ඔපමට්ටම් වී සුබපලම උදාකරන්නේමය. මේ ආකාරයට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට යෙදෙන මහා භාග්‍ය යෝගය නිසා මේ දෙපාර්ශ්වයෙහි වාසනාව භාග්‍යය ඉතා හොඳින් උදාකරන බව පැවැසිය යුතුයි. මහා භාග්‍ය යෝගය යෙදුණු පුරුෂයන් විශේෂයෙන් ඊශ්වර දෙවියන්ට නමස්කාර කිරීම, ඊශ්වර දෙවියන්ගේ පිහිට පැතීම මෙන්ම පොදුවේ විෂ්ණු ලක්ෂ්මී පූජාවන් පැවැත්වීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. මේ යෝගය යෙදී ඇති කාන්තාවන් විශේෂයෙන්ම, පාර්වතී පූජාව පැවැත්වීම ලක්ෂ්මී දෙවඟනට පුද පූජා පැවැත්වීම බෙහෙවින් ප්‍රතිඵල දායක වන්නේ ය.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.