දරුවන්ටත් සතුන්ටත් ගොවීන්ටත් හිතැති වීරමුණ්ඩ දෙවියෝ

දෙසැම්බර් 6, 2024

 

එතෙර තිබුණ සක්ගෙඩි තුන මෙතෙර මේ දේශේ තියෙන්ඩ
ආරලියේ තද වතුරක් සේ අණසක පළාතෙම පැතිරෙන්ඩ
නැවට අඩිය ගසා සෙනඟ ගෙන ගොස් මුර කරන්ඩ
නවසීයක් ආවතේව කරුවන් යටත්වේ වීරමුණ්ඩ

මහමුහුදේ දිඹුල්නැවේ මෙතෙරට ඔබ වැඩමෙව් වේ
සීනිගමයි දෙවොල් දෙවියෝ පළමු වතේ බලපෑ වේ
වීරමුණ්ඩ දෙවිඳුගෙ තෙද මුල් කෝවිලවිල්බා වේ
කුමාර බණ්ඩාර දෙවියො රිදීගමට බලපෑ වේ

කන්ද උඩරට ප්‍රදේශයට තෙදබලැති දෙවියකු ලෙස ඒ ප්‍රදේශයේ ජනයා අදහන වීර මුණ්ඩ දෙවියෝ මුල්තැනක් ගනී. ප්‍රාදේශීය දොළහ දෙවියන්ගේ ගණයට අයත් වේ. අන් කවර දෙවියකුටත් වඩා වීරමුණ්ඩ දෙවියන්ට බැතිමතුන් මුල්තැනක් දෙන අතර, නර්තනයෙන් මේ දෙවියන් සතුටු කිරීම මූලික කාර්යයක් වේ. කොත්මලේ මහ දේවාලයේ නැටුම් සංගීත මහා කලා සංදර්ශන පවත්වන්නේ වීරමුණ්ඩ දෙවියන් සතුටු කිරීමටය.

දින 7ක් තේවාව කර නැටුම් සංදර්ශනයක් පවත්වයි. වීරමුණ්ඩ දෙවියන්ගේ මල්යහනාව දෙවොල් දෙවියන්ගේ යහනට වඩා වියන් 3ක් උසය.

අඩුක්කු පිදීම විශේෂයි. පලතුරු, කැවිලි, පස්ගෝරස, මීපැණි, උක්දඬු, උක්හකුරු ආදි රසවත් ආහාරපාන වර්ග 9ක් දේව පූජාවට තබයි. අන්නාසි සහ ගස්ලබු නොතබයි. කොත්මලේගෙදර කඩදොර උඩුගබ්බල මහ දේවාලය තුළදී අඩුක්කු පිදීම කෙරෙයි. මේ පුරාණ දේවාලය ගල් ගුහාවක් තුළ පිහිටා තිබීම විශේෂයි. ඒ තුළ ජල පොකුණක් ද තිබේ. එම ජලය නෑමෙන් සියලු කුෂ්ඨ රෝග සුව වේ. ගස්වල මුල් පොකුණ පුරා පැතිර පවතී. ඖෂධීය බල යුත් ජලයක් නිසා දේව හාස්කම සහිතව ලෙඩ සනීප වේ. අලව්වේ තිරුවන්පොළ දේවාලයේ වීරමුණ්ඩ දෙවියන්ට පූජා තබයි. මල්ලරජුගේ මානෙල් පොකුණේ මානෙල් මල් පූජාකර වතාවත් කරනු ඇත. මේ වීරමුණ්ඩ දෙවියන්ට සහාය දක්වන තවත් බාහිර දෙවියන්ද සිටී. ආවතේව කරන්නේ ද දෙවිවරුය. වීරමුණ්ඩ දෙවියන්ගේ පාසෙවණේ හැදී වැඩුණ මේ දෙවිවරුන් නිතරම ජනයාගේ දුක් ගැහැට වීරමුණ්ඩ දෙවියන්ට පණිවුඩ ලෙස දන්වති. පසුව දේව පිහිට ලබා දෙනු ඇත. වාර්ෂික මහ දේවාල පෙරහර පවත්වා දේව දානයක් දෙනු ඇත. දෙපක්ෂයම එකතුවී පොකුණෙන් දිය ස්නානය කර වී කොටා බත් පිස වෑංජන උයා රසකැවිලි සකසා අඩුක්කු පුදනු ලැබේ. කිළි ඇති කාන්තාවන් සහභාගි නොවේ. දේවදානය ගැනීමෙන් සියලු ශාරීරික ලෙඩ රෝග සුව වේ. වීරමුණ්ඩ දෙවියන් ගැන විවිධ රසකතා ගෙතී තිබේ. කුඩා දරුවන්ට මෙන්ම කුඩා සතුන්ට ද ඉතාම ආදරය කරයි. වනයේ ගැවසෙන කුරුලු රංචු මේ ජල පොකුණේ ජලය පිපාසයට බීමට එනු ඇත. විශේෂයෙන්ම පක්ෂීන් අතර රජා වූ මොනරාද පිල්විදහාගෙන වතුර පානය කර නර්තනයේ යෙදෙන්නේ සිය පි‍්‍රයාම්බිකාව වූ සෙබඩ කැඳවා ගැනීමටයි.

උරගයන්, සර්පයන්, ඉත්තෑවුන් ආදි සතුන්ද මේ පොකුණට දිය බීමට එන්නේය.

වීරමුණ්ඩ දෙවියන් පරිසරය හා සමඟ එක්ව සිටින දෙවියෙකි. මුළු දිවා කාලයේම වනයේ සැරිසරයි. සමහර විට අහස් වියන යට ගිමන් හරී. කතාපුවත් අනුව වීරමුණ්ඩ දෙවියන් ඉතාම බලගතු මහා හාස්කම් පෙන්වන පළමු පෙළේ දෙවියෙකි. කිසිවකුට පාලනය කළ නොහැකිය. කොහොඹ කංකාරියේදී වීරමුණ්ඩ දෙසුම ගැන කියැවේ. දේව උත්පත්තිය සඳහන් වන්නේ මෙසේය.

මලල රජ බිසවට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා දෙවොල්ය. දෙවැන්නා වීරමුණ්ඩය. බාලයා කුමාර බණ්ඩාරය. රටවැසියන් සමඟ අරගලයක යෙදුණ මේ තිදෙනාම පාලනය කර ගැනීමට නොහැකි වී රටින් පිටුවහල් කරන ලදී. ගල් නැවකින් එම වීරමුණ්ඩ දෙවියන් පිටමං කළත් මුහුදට පැන පීනා නැවත ගොඩට ආවේය. පළමුව තමාගේ තරමක දළදඬු ගතිය නැතිකර ගොවියන්ට උදව් කළේය. කුඹුරු වැඩට දේව ආධාර දෙන්නේය. කලට වැසි වස්සන්නේය. කෘමි සතුන් පලවා හරින්නේය. ගොවියන්ගේ අස්වැන්න සරුසාර වන්නේය.

එම නිසා වීරමුණ්ඩ දෙවියන්ට පුද පූජා තැබීම ගොවියන් විසින් සිදු කරන ලදී. වීරමුණ්ඩ දෙවියන් පිරිමි පුතුන් ලැබීමට ගැබිනි මවුවරුන්ට උපකාර කරන්නේ දේව බලය ආකර්ෂණය ලබා දෙමිනි.

දරුවෝ නිදුක් නීරෝගිව මෙලොව උපත ලබා පසුව දක්ෂ ගොවියන් බවට පත්වේ. ‘උඹ පුතේ උපන්නේ වීරමුණ්ඩ දෙවියන්ගේ උපකාරයෙන් උන්වහන්සේට වැඳ නමස්කාර කරපන් දේවාලයට ගොස් පුද පූජා තබා පින් දීපන් උඹට වීර මුණ්ඩ දෙවියන්ගේ පිහිට මිස වෙනත් පිහිටක් නැත’ යැයි මවුවරු පුතුන්ට අවවාද කරති.

තවද කොහොඹ කංකාරියේ වීරමුණ්ඩ දේව සංකල්පය මැනවින් යාකර තිබේ. කවි ගායනා කරයි. වීරමුණ්ඩ දෙවියෝ නවගමුවට පැමිණ පත්තිනි හළඹේ හඬ නැවැත්වීය. යාපාපටුනට බැස දමිළයින්ට බැට දුන්නේය. ඊරියම මහා යකා මරා දැම්මේය. අවශේෂ යකුන් යක්ෂණියන් සිය අග්නියෙන් දවා විනාශ කර දැමීය.

අපේ දේශීය සාම්ප්‍රදායික මහා ශාන්තිකර්මය වූ කොහොඹා කංකාරිය තුළ ඇති විවිධ ගායනා කාව්‍ය රචනා උපදේශන යාතිකා මෙන්ම අංග රචනා අනුව බලන විට කංකාරිය අවසානයේ එන ගබඩා කොල්ලයේදී ගබඩා මහ දොර බිඳින්නේ වීරමුණ්ඩ දෙවියන් පිට නැඟ යන මහා ඇත් රජු ලවාය. ගෝමර ඉසුණ මහා ප්‍රතාපවත් ඇත් රජ වීරමුණ්ඩ දෙවියන් මෙන්ම බලවත්ය.

දේව සංකල්පය අනුව විචාරාත්මකව බලන විටදී උඩුගම්පල විසූ සකල කලා වල්ලභ රජුගේ පුතෙකු වන කළුකුමාර තම සේවකයා වූ වීරා සමඟ රහසේ පැන ගොස් කුණුදිය පව්වෙන් පනින්නට යෑමේදි මියගියේය. කළු කුමරු සමඟ මියගිය වීරා දේවත්වයෙන් සලකන්නට විය.

ප්‍රදේශවාසීන්ගේ ගෞරවාදරයට ලක්විය. සමකාලීනයන් වීරාත් (මුණ්ඩ) දෙවියකු වශයෙන් ගන්නේ දැයි සමච්චල් කළහ. උක්ත කීම නිසා වීරා එතැන් සිට වීරකම ඇති බැවින් වීර මුණ්ඩ නමින් උඩුගම්පල පෙදෙසේ කල්යාමේදී අදහන්නට වී යැයි ජනප්‍රවාදයේ පවතී. මේ ගැන ඓතිහාසික දේව තොරතුරු විශාල සංඛ්‍යාවක් සිංහල දේව පුරාණයේ සඳහන් වී ඇත්තේය. දේව සංකල්පය පිළිබඳ විවිධ මතිමතාන්තර ඇත්තේය. කෙසේ වෙතත් අපේ හෙළයින් වනයට අධිපති දෙවි දේවතාවුන් හදවතින්ම පුද පූජා තබා අදහන ලද බැව් පෙනේ. මේවා නිකම්ම නිකන් අනුමාන යැයි කිසිවක් ඉවත දැමීමට නොහැකිය. රොබට් නොක්ස් සූරින්ද දේව වංශකතා ගැන තොරතුරු සොයාගෙන තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.