ගුරු වක්‍රය ඔබේ ලග්නයට බලපාන හැටි

ඔක්තෝබර් 4, 2024

මේ වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා බදාදා දහවල් 12.36 ග්‍රහ මණ්ඩලයේ ශුභම ග්‍රහයා වන ගුරු වෘෂභ රැසෙහි වක්‍ර වන්නේය. එසේ වක්‍රවන ගුරු ග්‍රහයා ලබන වසරේ (2025) පෙබරවාරි මස 4 සවස 3.12ට නිවෘත වී ඍජුව ගමන් කරන්නේය. ඒ අනුව ලග්න 12න් උපන් ජන්මීනට මෙකී ගුරු ග්‍රහයාගේ වක්‍රය බලපාන්නේ මෙසේය.

මේෂ ලග්නය

මේෂ ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයාවන (9 -12) අධිපති ගුරු දෙවැන්නවූ වෘෂභ රාශියෙහි වක්‍රවීම, බැංකු වැනි මූල්‍ය ආයතනවල රැකියා කරන, මූල්‍ය සම්බන්ධ ව්‍යාපර කටයුතුවල යෙදෙන ජන්මීන්ට ශුභඵල දෙන ග්‍රහ ගෝචරයක් වන අතර, එමෙන්ම බැංකු වැනි මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර ඇති මේෂ ලග්න හිමියන්ගේ මූල්‍ය තැන්පතුවල වැඩිවීමක් මෙකී ගුරු වෘෂභ රාශියේ වක්‍ර වන කාලසීමාව තුළ සිදු වේ. පවුලේ සාමාජිකයන්ගේ අතමිට වෙනදාට වඩා සරුවීමත් පවුල් ජීවිත සැපවත්වීමත් සිදුවන්නේය. මෙහිදී මෙකී වක්‍ර ගුරු ග්‍රහයා කේන්ද්‍රකොට ගෙන ගජකේෂරී, ලග්නාධි, චන්දාධි, යෝගයන් යෙදී ඇත්නම් බොහෝ ශුභ ඵල ලැබෙන්නේය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයට ගුරු පාපයකු වනමුත් 11 වැන්නාධිපති වන හෙයින් ගුරු ග්‍රහයා ලග්නයේ වක්‍රවීම රැකියා, ව්‍යාපාර කටයුතුවල දියුණුව ඇති වීමටත් ඒ හේතු කොටගෙන ජීවන තත්ත්වය උසස්වීමක් සිදුවන හෙයින් ගුරු ලග්නයේ වක්‍රවීම ශුභය. එසේම මෙකී ගුරුගේ වක්‍රය ඉගෙන ගන්නා වයසේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් තරුණියන්ට දරු ගැබ් ඇතිවීමටත්, විවාහ වයසේ පසුවන තරුණ තරුණියන්ට ධනවත් සහකාරියක ගේ හෝ සහකරුවකු සමඟ විවාහ වීමටත් භාග්‍යය උදා කරන්නේය. උත්පත්ති කේන්දරයේ මෙකී වක්‍ර ගුරු ග්‍රහයා කේන්ද්‍රකොට ගෙන ගජකේශරී යෝගය, ලග්නාධි හෝ චන්ද්‍රාධි යෝගයන් යෙදී ඇත්නම් බොහෝ ශුභඵල ලැබෙන්නේය.

මිථුන ලග්නය

මිථුන ලග්නයට 7 - 10 අධිපති ගුරුගේ වක්‍රය සිදුවන්නේ 12 වැන්න වූ වෘෂභ රාශියෙහිය. ඒ අනුව එම ග්‍රහ ගෝචරය මිථුන ලග්න හිමියන්ට විදේශ වෙළෙඳාමෙන් ලාභ, ලැබීමට දුර පළාතක සිටින තරුණයකු හෝ තරුණියක් සමඟ පේ‍්‍රම සම්බන්ධතා ඇතිකර ගැනීමටත් විවාහක අඹුසැමියන්ට වෙනදාට වඩා යහනේදී කම්සුවය ලැබීමටත් හේතු වන්නේය. එමෙන්ම උත්පත්ති කේන්දරයේ වක්‍ර ගුරු ග්‍රහයාගෙන් ගජකේශරී, ලග්නාධි, චන්ද්‍රාධි යෝගයක් යෙදී ඇත්නම් විවිධ අංශයන්ගෙන් බොහෝ ශුභඵල ලැබෙන්නේය.

කටක ලග්නය

කටක ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් උසුලන 6 - 9 අධිපති ගුරු 11 වැන්න වූ වෘෂභ රැසෙහි වක්‍රවීම කටක ලග්න ව්‍යාපාරිකයන්ට වෙනදාට වඩා වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබීමටත් උසස් අධ්‍යයන කටයුතුවල යෙදී සිටින කටක ලග්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් ඇතිවීමටත් හේතු වෙයි. විවාහ වන වයසේ පසුවන කටක ලග්න තරුණ තරුණියන්ට ආගම දහමට ළැදි ගුණයහපත් සහකාරියක් හෝ සහකරුවකු සමඟ යුග ජීවිතයට ඇතුළුවීමේ භාග්‍යය උදාවන්නේය. ලග්න කේන්දරයේ වක්‍රව සිටි ගුරු ග්‍රහයාගෙන් ගජකේශරි, ලග්නාධී, චන්දාධි යෝගයක් යෙදී ඇත්නම් ජීවිතයේ සෑම අංශයකින්ම වාගේ බොහෝ ශුභඵල ලැබෙන්නේය. මෙසේ ශුභඵල ලැබීමට නම් ගුරු ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා තිබිය යුතු අතර උත්පත්ති චන්ද්‍රයා කේන්ද්‍ර කොට ගෙන කණ්ඨක ශනි හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ලග්න කේන්දරයෙහි නොවිය යුතුය.

සිංහ ලග්නය

සිංහ ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් උසුලන 5 - 8 අධිපති ගුරු ග්‍රහයා 10 වැන්න වූ වෘෂභ රැසෙහි වක්‍ර වීම සිංහ ලග්න හිමියන්ගේ රැකියා කටයුතුවල දියුණුවක් ඇති වීමටත් සිංහ ලග්නයෙන් උපන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් මවගේ ශරීර සෞඛ්‍යය වෙනදාට වඩා යහපත් වීමටත් පවුලේ සාමාජිකයන්ගේ අතමිට සරුවීමටත් තමා කලක් යම්කිසි රෝගයකින් පීඩා විඳිමින් සිටියේ නම් එකී රෝගී තත්ත්වය යහපත් අතට හැරීමක් මෙකී ගුරුගේ වෘෂභ රාශි ගෝචරය හේතු වන්නේය. මෙහිදී ලග්න කේන්දරයේ මෙකී වක්‍ර ගුරු ග්‍රහයා මුල් කරගෙන ගජකේශරී, චන්ද්‍රාධි, ලග්නාධි යෝගයක් යෙදී ඇත්නම් බොහෝ ශුභඵල ලැබෙන්නේය.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට 4 -7 අධිපති ගුරු 9 වැන්න වූ වෘෂභ රාශියෙහි වක්‍රව ගමන්කිරීම මව හෝ මව්පස ඥාතීන්ගෙන් යම් යම් ලාභයන් ලැබීමටත්, ගෙදර වෙනදාට වඩා ආගමික වතාවත් පුණ්‍ය ක්‍රියාවන් සිදුවීමටත්, දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න තරුණියන්ට පින්වත් දරුවන් ලැබීමටත්, විවාහ සහකරු සහ සහකාරිය අතර වෙනදාට වඩා අධ්‍යාත්මික බැඳීමක් ඇතිවීමටත්, කන්‍යා ලග්න තරුණ තරුණියන්ට ගුණවත් ධනවත් සහකාරියක් හෝ සහකරුවෙක් සමඟ යුග ජීවිතයට ඇතුල්වීමේ භාග්‍යය ලැබීමටත් වෘෂභ රාශිගත ගුරුගේ වක්‍රය හේතු වන්නේය. මෙහිදී උත්පත්ති කේන්දරයේ වක්‍ර ගුරු කේන්ද්‍ර කොටගෙන ගජකේශරී, චන්දාධි, ලග්නාධී යෝගයක් යෙදී ඇත්නම් බොහෝ ශුභඵල ලැබෙන්නේය.

තුලා ලග්නය

තුලා ලග්නයට පාපියකු වූ 3 - 6 අධිපති ගුරු ග්‍රහයාගේ වක්‍රයෙන් ශුභඵල ලැබෙන්නේ උත්පත්ති කේන්දරයේ ගුරු ග්‍රහයා වක්‍රව 8 - 12 යන භාවයක හර්ෂ නම් විපරීත රාජයෝගයක් උදා කර ඇත්නම් පමණි. ඒ අනුව හර්ෂ නම් විපරීත රාජයෝගය උත්පත්ති කේන්දරයේ යෙදී ඇති තුලා ලග්න හිමියන්ට සතුරු ප්‍රශ්නවලින් නඩුහබවලින් ජය ලැබෙන අතර කලක් යම්කිසි රෝගයකින් පීඩා විඳිමින් සිටියේ නම් එකී රෝගය සුවවෙයි. නිරෝගී පුද්ගලයකු බවට පත්වන්නේය. උත්පත්තියේදී වක්‍ර වූ ගුරු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන ගජකේශරී, චන්දාධි, ලග්නාධි යෝගයක් යෙදී ඇත්නම් බොහෝ ශුභඵල ලැබෙන්නේය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයට 2 - 5 අධිපති වන ගුරු ග්‍රහයා 7 වැන්න වූ වෘෂභ රැසෙහි වක්‍රවීම උගත් බුද්ධිමත් සහකරුවකු හෝ සහකාරියක සමඟ විවාහ වීමේ වාසනාව ලබාදෙන ග්‍රහ ගෝචරයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතුවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ට තම ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ලැබෙන කාලයක් වන්නේය. මෙහිදි උත්පත්ති කේන්දරයේ වක්‍ර ගුරු ග්‍රහයාගෙන් ගජකේශරී, චන්දාධී ලග්නාධි යෝගයක් යෙදී ඇත්නම් සැම අංශයකින්ම වාගේ ශුභ ඵල ලැබෙන්නේය.

ධනු ලග්නය

ධනු ලග්න කේන්දරයට 1 - 4 අධිපති ගුරු 6 වැන්නේ වක්‍රවීමෙන් ශුභ ලැබෙන්නේ අන්‍ය ලග්නවලට සඳහන් කළ පරිදි උත්පත්ති කේන්දරයේ වක්‍රව සිටි ගුරු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන ගජකේශරී, ලග්නාධි හෝ චන්දාධි යෝගයක් යෙදී ඇත්නම් පමණි. ඒ හැර උප්පත්ති කේන්දර යේ ගුරු 6,8,12 යන භාවයක චක්‍රව පාප පීඩිතව ඇත්නම් ශාරීරික වශයෙන් හදිසි අනතුරු රෝග පීඩා ඇති වන්නේය. එහෙත් එකී භාවයක පාප පීඩිත නොවී ගුරු වක්‍රව සිටියේ නම් ලැබෙන්නේ ශුභ අශුභ මිශ්‍ර සම පලයකි.

මකර ලග්නය

මකර ලග්න කේන්දරයට පාපියකු වූ 3 - 12 අධිපති ගුරු ග්‍රහයා 5 වැන්න වූ වෘෂභ රාශියෙහි වක්‍රවීම ශුභ වන්නේ උත්පත්ති කේන්දරයේ වක්‍ර ගුරු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන ගජකේශරී ලග්නාධි, චන්දාධි යෝගයක් යෙදී ඇත්නම් පමණි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති මකර ලග්න හිමියන්ට දැනට ගුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් මෙකී ගුරුගේ වෘෂභ රාශිගත වක්‍රයෙන් බොහෝ ශුභඵල ලැබෙන්නේය.

කුම්භ ලග්නය

කුම්භ ලග්න කේන්දරයට 2 -11 එනම් ධන සහ අය භවාධිපති වන ගුරු ග්‍රහයා සිව්වැන්න වූ වෘෂභ රාශියෙහි වක්‍රවීම ශුභ වන්නේ උත්පත්ති කෙන්දරයේ ගුරු කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක පතිතව වක්‍රව ඇති දැනට ගුරු මහ දශාව අතුරු දශා ගතකරන කුම්භ ලග්න හිමියන්ටය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති කුම්භ ලග්න ජන්මීන්ට ස්ථානය, වාහන මුල් කරගෙන කරන රැකියා ව්‍යාපාරවලින් වෙනදාට වඩා ලාභ ලැබෙන අතර, ප්‍රාථමික උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නේය. මෙහිදී උත්පත්ති කේන්දරයේ වක්‍රව සිටි ගුරු ග්‍රහයා මුල් කරගෙන ගජකේශරී ලග්නාධි චන්දාධි යෝගයක් යෙදී ඇත්නම් යටකී අංශවලින් ලැබෙන ශුභඵල තීව්‍ර වන්නේය.

මීන ලග්නය

මීන ලග්න හිමියාගේ ලග්නාධිපති මෙන්ම කර්මස්ථානයට අධිපති ගුරු ග්‍රහයා 3 වැන්න වූ වෘෂභයෙහි වක්‍රවීම ශුභ වන්නේ උප්පත්ති කේන්දරයේ 3 වැන්නෙහි ගුරු වක්‍රව ශුභ ග්‍රහ දෘෂ්ටි සංයෝගවලින් පෝෂිතව සිටි පුවත්පත් කර්තෘවරුන්ට ලේඛක ලේඛිකාවන්ට කලා කරුවන් වැනි අයටය. එමෙන් උත්පත්ති කේන්දරයේ වක්‍ර ගුරුගෙන් ගජකේශරී, ලග්නාධි, චන්ද්‍රාධි යෝගයක් යෙදී ඇති මීන ලග්න කේන්දර හිමියන්ට දැනට ගුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇත්නම් සෑම අංශයකින්ම වාගේ ශුභඵල ලැබෙන්නේය.

 

ගුරු වක්‍රයෙන් අසුබ පල ලැබෙන්නේ නම් පිළියම්

ඒ අනුව ගුරු ග්‍රහයා වක්‍රවන මෙකී කාලසීමා තුළදී බ්‍රහස්පතින්දා දිනක උදේ 6.00 - 7.00 අතර පවතින ගුරුගේ කාල හෝරාවේ මුල් මිනිත්තු 4 තුළ පවතින ගුරුගේ සූක්ෂම කාල හෝරාවෙන් කහ වස්ත්‍රයකින් සැරසී සුමන සමන් දෙවියන්ට පහනක් තබා නැඟෙනහිර බලා ශුභ වැඩ කටයුතුවල යෙදීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේය. (මෙහිදී ඉර උදාවන වේලාව අනුව ගුරුගේ පංච කාලහෝරාවේ ගුරුගේ සූක්ෂම කාල හෝරාව ගැන ගත යුතුය.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.