වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
මෙරට පළමු ඔලිම්පික් පදක්කම හිමිකර දුන් ඩන්කන් වයිට්ගේ ඒරාෂ්ටකය
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කමකින් සරසා රටෙහි කීර්තිය ඉහළ නැංවූ තවත් සුවිශේෂී චරිතයක් පිළිබඳවය. ඒ අන් කිසිවකුත් නොව, 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කමක් හිමි කර ගත් ඩන්කන් වයිට්ය.
ඩන්කන් වයිට් මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති දින සටහනට අනුව ඒ මහතා උත්පත්තිය ලබා ඇත්තේ 1918 වසරෙහි මාර්තු 1 වැනිදාය. ඒ දිනය පුරාම චන්ද්‍රයා කන්‍යා රාශිය තුළ තැන්පත්ව ඇති බව ඕනෑම අයකුට ඉතා පහසුවෙන් සොයා ගත හැකිය. කළුතර දිස්ත්‍රික්කයේ උත්පත්තිය ලබා ඇති ඒ මහතා, විජයග්‍රාහී ඔලිම්පික් පදක්කම දිනා ගෙන ඇත්තේ 1948 වසරෙහි ජූලි 31 වැනිදාය. එදින වද්දී ශනි ග්‍රහයා සිංහ රාශිය තුළ ගෝචර වෙමින් සිටින බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සුළු දැනුමක් ඇති අයකුට වුවද පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත. ඒ අනුව ඔලිම්පික් රිදී පදක්කමකින් පිදුම් ලබන විට, ඒ මහතාගේ ලග්නය කුමක් වුවද චන්ද්‍රයාට යාබද රාශියෙහි ශනි ගෝචර වන බව පෙනේ. මේ ආකාරයට උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයාට යාබද රාශියෙහි ගෝචර ශනි ගමන් කිරීමට අනුව විජයග්‍රාහී ඔලිම්පික් රිදී පදක්කම ලබාගත් මොහොත වන විට ඩන්කන් වයිට් මහතා ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කර ඇති බව සක් සුදක් සේ පැහැදිලිය. මෙරට මුල් වරට ඔලිම්පික් පදක්කමක් ලැබුණ එම ඓතිහාසික මොහොත ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇති අතර 2000 වසරෙහි සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහට ඔලිම්පික් පදක්කමක් ලැබෙන තුරු ගත වූ වසර 52ක කාලසීමාව තුළ ශ්‍රී ලංකා මෑණියට තවත් කිසිදු ඔලිම්පික් පදක්කමක් අත්පත් කරගත නොහැකි වීමෙන්ම ඉහත විජයග්රහණයෙහි වටිනාකම තහවුරු වෙයි.
මෙරට පහළ වූ කීර්තිමත්ම කෙටිකතාකරුවා ලෙස ඇතැම් අය සලකන ජී.බී. සේනානායක මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උපන් දින සටහනට අනුව, ඒ මහතා උත්පත්තිය ලබා ඇත්තේ 1913 වසරෙහි ජූලි 14 වැනිදා වන අතර ඒ මහතාගේ ස්වයං චරිතාපදානයක් වන ‘විනිවිදිමි අඳුර” කෘතියෙහි දැක්වෙන ආකාරයට ඒ මහතාගේ ලග්නය “ධනු” ය. ජී.බී.සේනානායක මහතාගේ ස්වයං චරිතාපදාන කෘතිවල දැක්වෙන ආකාරයට ඒ මහතා තම ජීවිත කාලය තුළ වඩාත්ම සතුටු වු දිනය ලෙසද දැනෙන්නේ ඒ මහතා 1985 වසරෙහි මාර්තු මස 9 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි පැවති උපාධි ප්රදානෝත්සවයේදී “සාහිත්‍ය සූරී” නම් වූ ආචාර්ය උපාධියෙන් පිදුම් ලද දිනයයි. ජී.බී. සේනානායක මහතාගේ උපන් දිනයට සහ ලග්නයට අනුව ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ, චන්ද්‍රයා වෘශ්චික රාශිය තුළ නීචව තැන්පත්ව ඇත. ඒ අනුව ඒ මහතා ආචාර්ය උපාධියෙන් පිදුම් ලද 1985 වසරෙහි මාර්තු මාසය වද්දී ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා, මතින් ශනි ගමන්කර ඇති බව පෙනේ. ඒ අනුව ඒ මහතා “සාහිත්‍ය සූරී” නම් වූ ආචාර්ය උපාධියෙන් පිදුම් ලබන විට ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. ජී.බී. සේනානායක මහතා තමන්ට ආචාර්ය උපාධිය ලැබුණ පසු තම මව්පියන් නිවන් දකින ලෙස ප්‍රාර්ථනා කිරීම ප්‍රසිද්ධ කාරණාවක් වන අතර ඒ තුළින්ද පෙනී යන්නේ ඒ මහතා එම ජයග්රහණයෙන් ඉමහත් සතුටක් ලැබූ බවය.
මගේ සමීපතම හිතවතකුගේ බිරිඳගේ ලග්නය ධනු වන අතර ඇයගේ කේන්ද්‍ර සටහනේ 10 වැනි භාවය තුළ චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව ඇයට 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වැනිදාත් අතර කාලය තුළද, 2005 වසරෙහි මැයි 29 වැනිදාත්, 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලය තුළද, 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාලය තුළද අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. ඒ අනුව 2006 වසරෙහි. නොවැම්බර් මාසයේදී ඔවුන් දෙපළ විවාහ වන විට ඇයට අතිප්රබල අෂ්ටම ඒරාෂ්ටකය ගත වී ඇති බව පෙනේ. 2006 වසරේදී විවාහ වුවද විවාහ වී වසර පහකට අධික කාලයක් ගත වනතුරු ඔවුන් දෙපළට දරු ඵල නොලැබුණි. ඒ නිසා ඒ පිළිබඳව ඔවුහු තරමක් නොසතුටකින් පසු වූහ. ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් පැතුවද, විවිධ පුද පූජා පැවැත්වුවද පලක් නොවුණ බව මගේ හිතවතා පැවසුවේය. ඔහුගේ බිරිඳට 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද, 2012 වසරෙහි මැයි 13 වැනිදාත්, 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, අතර කාලය තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වන්නට විය. ඒ අනුව ඔවුන් දෙපළට ජීවිතය තුළ ලද සතුටුදායකම ආරංචිය ලැබුණ වසර ලෙස 2011 වසර හැඳින්විය හැකිය. එයට හේතුව වනුයේ ඔවුන් දෙපළට 2011 වසර තුළ වසර ගණනාවකට පසු දරුවකු පිළිසිද ගැනීමේ ආරංචිය ලැබීමය. ඒ අනුව ඔහුගේ බිරිඳගේ අති ප්‍රබල ජන්ම ඒරාෂ්ටක කාලය ගත වී මාස දෙකක් ගත වීමටත් පෙර එනම් ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර තුළ ඔවුන් දෙපළට නිවුන් දරුවන්ගේ උරුමය ලැබී ඇත.
මෙය ඉතා සුවිශේෂී සිදුවීමක් නිසාම මා ඔවුන්ගේ කේන්ද්‍ර සටහන් පිළිබඳව විමසිලිමත් වීමි. ඒ අනුව මා විශ්වාස කළ ආකාරයටම එම සුවිශේෂී සිදුවීම සිදු වන විට මගේ හිතවතාගේ බිරිඳ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇත.
ධනු ලග්නය දරන මගේ ඥාතිවරයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ 8 වැනි භාවය තුළ චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුට 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වැනිදාත් අතර කාලය තුළද 2005 වසරෙහි මැයි 29 වැනිදාත්, 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලය තුළද 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාලය තුළද ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව එකවර ගත වී ඇත. මගේ ඥාතිවරයා විසින් වටිනා ඉඩමක් මිළදී ගැනීමද, ඉන්පසු එම ඉඩමෙහි වාහන පිරිපහදු ආයතනයක් ආරම්භ කිරීමද මේ අති ප්‍රබල ඒරාෂ්ටක කාලසීමාව තුළ සිදු විය. ඔහු අද දවස වනවිට ඉතා සාර්ථක ලෙසින් එම ව්‍යාපාර ආයතනය පවත්වා ගෙන යන අතර ඔහුට එය අතිරේක ආදායම් මාර්ගයක් වී ඇත. ඒ අනුව ඔහුට මුළු ජීවිත කාලයටම බලපාන ආකාරයේ මේ සුබදායක සිදුවීම් සිදු වී ඇත්තේ අතිප්රබල ඒරාෂ්ටක දෙකක් එකවර ගත වන අවස්ථාවේදීය.