වසර 12 කට පසු සරසවි වරම් ගෙන දුන් සෙනසුරු ඒරාෂ්ටකය

ජුනි 28, 2024

තදබලම ඒරාෂ්ටක කාල වකවානුවක බලාපොරොත්තු රහිත සුබපල ලැබූ තවත් චරිතයක් පිළිබඳ කතාබහ කරන්නට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. අද දිනයේ දී, උසස් පෙළ ලිවීමට නියමිත කාලයට වසර 12කට පමණ පසු නැවත උසස් පෙළ විභාගය ලියා ඉංජිනේරු පීඨයට තේරී පත් වෙමින් ජාතික මාධ්‍ය හරහා රටම හඳුනා ගත් ‘රංජිත් නාවලවත්ත’ මහතා පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි.

එම ප්‍රවෘත්තිය පළ වූ කාලයෙහි එම අපූරු සිදුවීම පිළිබඳව අප ආයතනයෙහි සෑම දෙනෙකුම පාහේ එකිනෙකා සමඟ මවිතයෙන් කතාබහ කරනවා මම දුටුවෙමි. කෙසේ වෙතත් උසස් පෙළ විභාගය තුන් වරක් ලිවීමට අවස්ථාව තිබියදී එක් වරක් පමණක් ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනකුට රංජිත් මහතා පෙන්වා ඇත්තේ කදිම ආදර්ශයකි.

1975 වසරෙහි ජනවාරි 27 වැනි දා උත්පත්තිය ලබා ඇති ඔහු කුම්භ ලග්නය දරන්නෙකු බව මා හට දැන ගත හැකි විය. තවද ඔහුගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා 6වැනි භාවය තුළ තැන්පත්ව ඇති බව හඳුනා ගත හැකි විය. ඒ අනුව 2004 වසරෙහි සැප්තැම්බර් 12 වනදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වනදාත් අතර කාලය තුළද, 2005 වසරෙහි මැයි 29 වනදාත් 2006 වසරෙහි නොවැම්බර් 15 වනදාත් අතර කාලය තුළද 2006 වසරෙහි දෙසැම්බර් 31 වනදාත්, 2007වසරෙහි ජුලි 17 වනදාත් අතර කාලය තුළ ද ඔහු ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කර ඇත.

ඔහු 2004 වසරෙහි සැප්තැම්බර් 12 වනදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වනදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දී ඉතා දැඩි බාධක මධ්‍යයේ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. 2005 වසරෙහි මැයි 29 වනදාත්, 2006 වසරෙහි නොවැම්බර් 15 වනදාත් අතර කාලය තුළ පැවති අති ප්‍රබල ජන්ම ඒරාෂ්ඨක කාල වකවානුව මොහුගේ ජීවිතයෙහි අතිශය තීරණාත්මක කාල වකවානුවක් වී ඇත. වසර 12 කට පමණ පසු නැවත වතාවක් ගණිත අංශයෙන් උසස් පෙළ විභාගය ලියන්නට ඔහු තීරණය කරන්නේ මේ කාල වකවානුව තුළය. ඔහු සමඟ තවදුරටත් කතාබහ කිරීමේ දී පෙනී ගියේ එම කාල වකවානුව තුළ කෙසේ හෝ උසස් පෙළ විභාගය ලිවිය යුතුමය යන මානසිකත්වය ඔහුගේ සිත තුළ ඇති වූ බවය. ඔහු ඒ සඳහා තදබල ලෙස මහන්සි වී වැඩකටයුතු සිදු කර ඇත. එනම් තදබලම ඒරාෂ්ටක කාලවකවානුවක ඉතා ප්‍රබලව මානසික විපර්යාස සිදු විය හැකි බව පෙනේ. එම නිසාම එම කාල වකවානුවල සිහිනෙන්වත් නොසිතන සිදුවීම් සිදු වන බව පෙනේ. මේ තීරණය ගැනීමට වසර කිහිපයකට පෙර ඔහු උසස් පෙළ විභාගයට ‘ගණිත’ අංශයෙන්ම නැවත ලියාවි යැයි ඔහුට සිහිනෙන්වත් නොසිතෙන්නට ඇත. ඔහුට හදිසියේ නෙත ගැටුණු විශ්වවිද්‍යාලයක දර්ශනයක් සහ හදිසියේ බසයේ දී හමු වූ රත්නපුර නගරයේ කීර්තිමත් ගණිත ගුරුවරයකු වූ අපගේද උසස් පෙළ ගණිත ගුරුවරයෙකු වූ ‘දයාරත්න’ ගුරු පියාණන්ද ඔහුගේ තීරණය කෙරෙහි සෘජුවම බලපා ඇත.

කෙසේ වෙතත් ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දී ඔහු 2005 වසරෙහි අගෝස්තු මාසයෙහි පැවැති උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත. ඉන් පසු උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ඔහු 2006 වසරෙහි මොරටුව විශ්වවිද්‍යාලයෙහි ඉංජිනේරු පීඨයට පිවිසෙන විටද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇත. සාමාන්‍යයෙන් අ.පො.ස උසස් පෙළ වැනි විභාගයක් ගණිත අංශයෙන් ලියා වසරක්, දෙකක් වැනි කාලයක් වෙනස් කටයුත්තක යෙදී වුවද නැවත විභාගය ලිවීම සඳහා සිත යොමු කිරීම අපහසුය. රංජිත් මහතාගේ ඉවසීම, කැපවීම, අධිෂ්ඨානශීලී බව සහ ධෛර්යයවන්ත බව නිසාම නැවත විභාගය වෙනුවෙන් සිත යොමු කළ හැකි වී ඇත.

ඔහු කුම්භ ලග්නයෙන් ඉපදී ඇති නිසා 2009 වසරෙහි සැප්තැම්බර් 12වැනිදාත් 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි මැයි 13 වැනිදාත්, 2012 වසරෙහි අගෝස්තු 6 වනදාත් අතර කාලය තුළද අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කර ඇති බව පෙනේ. ඔහුට විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු රැකියාව ලැබී ඇත්තේ 2010 වසරේදී වන අතර එය ඔහු ලබා ගත් විශේෂ ජයග්‍රහණයකි. එනම් ඔහුට රැකියාව ලැබී ඇත්තේද අෂ්ටම ඒරාෂ්ටක කාලයේදී ය. එමෙන්ම රටම දැන සිටි ජාතික පුවත්පතක් හරහා ඔහු මුළු ලංකාවම දන්නා චරිතයක් බවට පත්වන ආන්දෝලනාත්මක ලිපිය පළ වන්නේ 2011 වසරෙහි ජනවාරි මාසයේ දී වන අතර ඒ වන විටද ඔහු තදබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් සිට ඇති බව පෙනේ. එමෙන්ම පුවත්පතෙහි පළ වූ මේ ලිපිය හේතුවෙන් ඔහුගේ ප්‍රසිද්ධිය විශාල ලෙස වැඩි වූ අතර, මා දන්නා තරමින් ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය රැසක් ඔහු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන්නට යෙදුණි. ඒ නිසා ඔහුගේ ප්‍රසිද්ධිය තවත් වැඩි විය. තදබලව ඒරාෂ්ටක තිබූ කාලවකවානුවල කෙනෙකුගේ ප්‍රසිද්ධිය ඉතා වේගවත් ලෙස වැඩිවන බව මා මීට කලින් ද පැහැදිලි කර ඇත. කෙසේ වෙතත් ඔහු සමඟ පෞද්ගලිකව කතාබහ කිරීමේ දී පෙනී ගියේ එම කාලවකවානුව තුළ ඔහුට මානසික වශයෙන් පීඩාකාරී තත්ත්ව ඇති වූ බවය. එනම් රැකියා ස්ථානය තුළ ඇති වූ සුළු සුළු ගැටලු සහ වෙනත් හේතු නිසා සිතට කරදර ඇති වූ බවය. තදබල ඒරාෂ්ටක කාලවකවානු ගත කරන විට එම ඒරාෂ්ටකය ගත කරන පුද්ගලයාගේ සාර්ථකත්වය වැඩිපුර පෙනෙන්නේ අවට සිටින අයට බව සමහර අවස්ථාවලදී නිරීක්ෂණය කළ හැකි ය. එනම් සමහර අවස්ථාවලදී ඒරාෂ්ටකය ගත කරන පුද්ගලයාට එම සාර්ථකත්වය අවට සිටින අයට තරම්ම නොදැනේ. එයට හේතුව, ඇතැම්විට, ඒරාෂ්ටක කාල වකවානුව ගත කරන පුද්ගලයාට ඒරාෂ්ටක කාලවල ඇතිවන සුබපලවලට අමතර ලෙස සිතට කරදර ඇති වන නිසාය. කෙසේ වෙතත් රංජිත් මහතාගේ ජිවිතය තුළ, තදබල ඒරාෂ්ටක කාලවකවානු විසින් සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කර ඇති බව පෙනේ. තදබලම ඒරාෂ්ටක කාලවකවානු පවතිද්දී මුළු ජීවිතයටම බලපාන ආකාරයේ සිදුවීම් සිදුවන බව මේ උදාහරණයෙන්ද ඉතාම හොඳින් පැහැදිලි වේ යැයි සිතමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.