වෘශ්චික ලග්නය

ජුනි 28, 2024

අංග සම්පූර්ණ ලෙස වැඩුණු අවයව ඇති නිරෝගීමත් කෙනෙකු වේ. නිර්භයව ඉදිරිය කරා පිය නඟන කරදර බාධා ගණන් නොගන්නා රහස් නැති කෙනෙකි. උසස් සිතිවිලිවලින් පිරුණු ඥානවන්ත අදහස් ඇත. ඕනෑම දෙයක් ගැන දක්ෂතාවක් මෙන්ම දුටුහැටියේ යම් දෙයක් කිරීමේ ශක්තිය ඇත.

ධෛර්ය ඇති කඩිසර වැඩට දක්ෂ අය වෘශ්චික රාශියේ උපදිති. ආඩම්බර ගති බලවත්වන අතර අන්‍යයන්ගේ දොස් දැකීමෙන් ඒ අය සමඟ අසතුටුකම් සාදා ගනී. මේෂ රාශියෙන් උපන් අය මෙන්ම ක්‍රියා වේ. දක්ෂය. වහා අවබෝධවන ශක්තියක් ද ඇත. තණ්හාව අඩුය. රහස් සෙවීමට බොහෝ දක්ෂය. තර්කානුකූලව අදහස් ගෙන හැර පෑමෙන් අන් අය තමා වෙත යොමුකර ගැනීමේ හැකියාවක් ද ඇත.

ආගිය තැන කැපී පෙනෙයි. ආත්ම විශ්වාසය හේතු කොට ගෙන වැඩ කටයුතු අවසන් මොහොත දක්වා කල් දැමුවත් ඕනෑ වෙලාවට එම කටයුතු නිසි පරිදි ඉටු කිරීමේ හැකියාව ද පවතී. වෘශ්චික රාශිය ස්ථිර රාශියකි. ආපෝභූත බලය අඩංගු වේ. මේ කරුණු වෘශ්චික ලග්න හිමි අයගේ ගති සිරිත්වලට බල පැවැත්වේ. වෘශ්චික රාශියේ අධිපතියා වන්නේ කුජ හෙවත් අඟහරුය. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය ද වේ.

වෘශ්චික රාශියෙන් දෙවැනි රාශිය වන්නේ ධනු රාශියයි. ගුරුට හෙවත් බ්‍රහස්පතිට අයිති වේ. ධනකාරක ගුරුට ධනස්ථානය හිමිවීම වෘශ්චික ලග්නයේ විශේෂත්වයකි. මේ නිසාම වෘශ්චික රාශියේ උපන් අය භාග්‍යවන්තයෝ වෙති. ධනය සැපයීමටත් ධනවත් වීමටත් හැකිය. ආදායම් මාර්ග දෙකක් ඇති වේ. මුල් කාලයට වඩා අවසාන කාලයේදී ධනවතකු වීමේ භාග්‍යය ඇත. කතා කරන වචන ඉතාම තියුණුය. ඒ නිසාම අන්‍යයන් සිත් අමනාපකම් ඇති කර ගනී. එය අයහපත්ය. එයින් වැළකී සිටීම ඉතා යහපත් වේ. සැරපරුෂ ලෙස විරුද්ධවාදීන්ට කතා කිරීම භේද ඇතිවීමට හේතු වේ. ගරු සම්මාන සැලකිලි ලබන ප්‍රසිද්ධ ජීවිතයක් ගත කිරීමට ලැබේ. ජීවිතයේ පසු භාගයේදී දියුණුව ඇතිවේ.

වෘශ්චික රාශියෙන් තුන්වැන්න මකරයයි. මෙය සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර රාශියයි. කුජගේ උච්ච රාශියයි. සහජස්ථානය වන මේ තුන්වැන්නෙන් සහෝදර සහෝදරියන් පිළිබඳ තොරතුරු දත හැකිය. කුඩා කාලයේ ඉගෙනීමට අසමර්ථකම් ප්‍රමාදය සහ මැලිකම් දැක්වුවත් පසුව අධ්‍යාපන කටයුතුවල දක්ෂ ලෙස නියැලෙන කෙනෙකු වේ. වැඩිහිටියන්ගේ සහයෝගය, උනන්දුව නිසියාකරව ලැබුණොත් හොඳ බුද්ධිමතකු වේ. සහෝදර සහෝදරියන්ගෙන් අසල්වාසින්ගෙන් සතුරුකම් මිස යහපත් දෙයක් සිදු නොවේ.

ඔවුන්ගේ කරදරබාධා කිරීම්වලට ගොදුරු වේ. අධිෂ්ඨාන ශක්තිය ඉතාම බලවත්ය. අවසාන මොහොතේ හෝ ජයග්‍රහණය ලබා ගනී. එමෙන්ම ස්වභාවධර්මයාට ද ඉතා හිතකාමි වේ. සහෝදර සහෝදරියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම කෙසේවත් කළ නොහැකිය. කිසිවකුගෙන් උපදෙස් නොගන්නා අතර තම කටයුතු නිවැරැදි ලෙස කර ගැනීමට දනී. ඒ නිසාම සමහරු ඔබ හිතුවක්කාරයකු ලෙස සලකයි.

වෘශ්චික රාශියෙන් හතරවැනි රාශිය කුම්භ රාශියයි. එය අයිතිවන්නේ ද සෙනසුරුටය. ඔබේ පියා ගුප්ත විද්‍යා සම්බන්ධ හෝ නවීන සිතුම් පැතුම් අනුව කටයුතු කරන්නකු විය හැකිය. තවද ඔහු හිතුවක්කාර මුරණ්ඩු අයකු වීමටද බැරි නැත. කුඩා කාලය මව්පියන්ගෙන් වෙන්වී වාසය කළ හැකිය. මහලු කාලයේදී තනිවම කල් ගෙවීමට කැමතිය. කලකිරුණ අදහස් ද බලපවත්වයි. උත්සාහ ගතහොත් මහලු කාලයේදී ඉඩම් වාහන හිමි අයකු ලෙස ජීවත්විය හැකිය. පියා ඔබට හිතවත් වුවත් කොයි මොහොතේ හෝ විරුද්ධකාරයකු විය හැකිය.

වෘශ්චික රාශියෙන් පස්වැනි රාශිය වන්නේ මීන රාශියයි. එය ගුරුට අයත් වේ. සිකුරුගේ උච්ච රාශියයි. තියුණු සන්සුන් මනසකින් යුක්තව කටයුතු කළ යුතුයි. නැතිනම් අලාභ හානි සිදුවේ. විවාහ සම්බන්ධ කටයුතුවලදී සිතා බලා ප්‍රවේශම් සහිතව කළ යුතුයි. නැතිනම් විරුද්ධවාදී කම් හට ගැනීමට ඉඩ තිබේ. බලවත් කාම තෘෂ්ණාවක් පවතින අතර අනවශ්‍ය සදාචාර විරෝධි පෙම් බැඳුම් ඇතිකර නොගත යුතුයි. එසේ වුවහොත් නින්දා අපහාස හිරිහැර අතෝරවලට ගොදුරුවීමෙන් මානසික පීඩාවට පත්වේ. දරුවන් ගැනද පරීක්ෂාකාරිව කටයුතු කළ යුතුය. ඒ අය අබිිරහස් කටයුතුවලට ගොදුරු වීමෙන් නොයෙක් කරදර ඇතිවේ. මුදල් සම්බන්ධයෙන් දුරදිග බලා කටයුතු කළ යුතුය. නැතිනම් අලාභහානි ඇතිවේ. දූ දරුවන් මෙන්ම ව්‍යාපාර කටයුතු ගැනද සොයාබලා විමසිල්ලෙන් කටයුතු කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබා ගත හැකිය.

වෘශ්චික රාශියෙන් හයවැනි රාශිය මේෂ රාශියයි. එය කුජට අයත් වේ. රවිගේ උච්ච රාශියයි. ලෙඩ රෝග පිළිබඳව සේවක සේවිකාවන් ගැන තොරතුරු මේ ස්ථානයෙන් දත හැකිය. සෙම් රෝග, උෂ්ණ රෝග, උණරෝග, මූත්‍රා , වකුගඩු, බගන්ධරා රෝග, මස් පිඬුවල රෝග ඇති වේ. අධික කෝපය, ද්වේෂය, ශල්‍යකර්ම ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. අධික කෝපය මේ රෝගවලට මුල්වේ. හිත සන්සුන් කරගැනීමෙන් ආරක්ෂා විය හැකිය. මහලු කාලයේදි මළ පහවීමේ දෝෂ ඇතිවේ. මේ සෑම අවස්ථාවකදීම මුල් අවදියේ දීම ප්‍රතිකාර ගැනීමෙන් සහනය ලබා සුවපත් විය හැකිය. කුඩා කාලයේ අධික සෙම් රෝග නිසා ඔබ මෙන්ම මවුපියන්ද කරදරයට පත්වේ.

වෘශ්චික රාශියෙන් හත්වැනි රාශිය වෘෂභ රාශියයි. මේ රාශිය සිකුරුට අයත් වේ. සඳුගේ හෙවත් චන්ද්‍රයාගේ උච්ච රාශියයි. මේ හත්වැනි රාශියට සිකුරුගේ ඇති සම්බන්ධය හේතු කොට ගෙන පී‍්‍රතිය සැපත ගෙනදී ඔබට අවනත වන අයකු විවාහයට ලැබේ. එසේ ලබා ගැනීමට නම් පොරොන්දම් පරික්ෂාවෙන් සුබ ග්‍රහබල ඇති කේන්ද්‍රයක් තිබෙන කෙනකු සොයා ගත යුතුය. නැතිනම් විවාහයෙන් පසු ඝට්ඨනවලට මුහුණදීමට සිදු වේ.

වෘශ්චික රාශියෙන් අටවැනි රාශිය මිථුන රාශියයි. එය අයිති වන්නේ බුධටය. එක් අවස්ථාවක අන්තිම කැමති පත්‍රයකින් හෝ මරණයකින් සුළු වශයෙන් මුදලක් ලැබීමට ඉඩ ඇත. අන්‍යයන් සමඟ හවුලේ කරන කටයුතුවලින් ලැබීම් දුර්වලය. කලක් දුක්විඳින රෝගයකින් හෝ සිවුපා සතකුගෙන් ලබන තුවාලයක් නිසා මරණය සිදුවිය හැකිය. නැතිනම් පේ‍්‍රම කටයුතු නිසා මරණය වීමට ඉඩ ඇත. එනිසා එයින් ප්‍රවේශම්වන්න.

වෘශ්චික රාශියෙන් නවවැනි රාශිය කටක රාශියයි. එය සඳුට අයත්වන අතර ගුරුගේ උච්ච රාශියයි. ආගම කෙරෙහි භක්තිය පවතින අතර පෘථුල දැනුමක්ද ඇත. ඉගෙනීමෙන් කුඩා කාලයේ සිටම විනයානුකූල ජීවිතයත් ගත කිරීමට පුරුදු පුහුණු වුවහොත් දියුණුව සැලසේ. ජීවිතයේ මුල් භාගයේදී බාධා කරදර හිරිහැරවලට ලක්වේ. මෙයින් බේරීමට උත්සාහ ගතහොත් අවසානයේ භාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකිවේ.

වෘශ්චික රාශියෙන් දසවැනි රාශිය සිංහ රාශියයි. එය රවිට අයත්වේ. මේ රවිගේ බලය නිසා කීර්ති ප්‍රශංසා මෙන්ම රජයේ සම්බන්ධයද ලැබේ. රජයේ නිලතල දැරීමටද වාසනාව ඇත. එසේ නැතිනම් ව්‍යාපාර කටයුතුවලින් දියුණුව සැලසේ. වෛද්‍ය, නීතිය, වෙළෙඳාම යන්ත්‍ර සූත්‍ර වැඩ, කාර්මික ඉංජිනේරු වැඩ යන සේවාවන් දියුණුව සඳහා සුදුසු වේ.

වෘශ්චික රාශියෙන් එකොළොස්වැනි රාශිය කන්‍යා රාශියයි. එය බුධට අයත් වේ. රාහුට ද අයිති වේ. දන්නා හඳුනන හිත මිතුරන් අධිකය. ශාස්ත්‍රිය කටයුතුවල නියුතු අය වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ අය ලේඛකයන්, ගත්කතුවරුන් ආශ්‍රයට වඩා සුදුසුය. ඒ අයගෙන් සතුට සැනසුම ලැබේ.

වෘශ්චික රාශියෙන් දොළොස්වැනි රාශිය තුලා රාශියයි. එය සිකුරුට අයත් වේ. සෙනසුරුගේ උච්ච රාශියයි. ගුප්ත විද්‍යා ඡ්‍යොතිෂ කටයුතු ගැන ආශාවක් දක්වයි. ඒවා ඉගෙන ගතහොත් විශේෂ සමර්ථකම් දැක්විය හැකිය. කුමන්ත්‍රණ හා සතුරු කරදර ඇතිවේ.

පෙර කර්මය අනුව සිදුවෙනවා යයි කියන දේ උත්සාහ කිරීමෙන් වෙනස් කරගත හැකිය. අසුබ ග්‍රහබල පවතින විට ප්‍රවේශම් වීමෙන්ද සුබ ග්‍රහබල පවතින විට උත්සාහ කිරීමෙන් ද උසස් සමාජ තත්ත්වයන් හිමිකරගෙන ධනවත් සැපවත් ජීවිතයක් ගත කළ හැකිය.

පුෂ්පරාග කහපාට ගල් පැලඳීම යහපති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.