නාසයේ හැඩයෙන් පවසන තතු

සැප්තැම්බර් 29, 2023

දික්වූ උස්වූ නැහැය ශෝභාමත්ය. මුහුණට අපූර්ව ලස්සනක් ගෙන දෙන්නකි. සැළලිහිණි සන්දේශයේ කතුවර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි විෂ්ණු දෙවිඳුගේ දික් වූ උස්වූ නැහැයට මැටියෙන් කළ හොරණෑවකටද වඩා අතිශයින් රමණීයැයි (82 පදය) පවසත්. සද්ධර්මාලංකාර කතුවර ධර්මකීර්ති සංඝරාජ හිමියෝ පද්මාවතී කුමරියගේ නැහැය නීල පුෂ්පාකාරවූ උස්වූ නාසිකාවක් ලෙස දකිති.

 

(සද්ධර්මාලංකාරය 187 පි. දෙහිවල, බෞ. සං. මධ්‍යස්ථානය) පිරිමි නැහැය මෙන්ම ගැහැනු නැහැය ගැනද කවියෙන් ලේඛකයෝ වර්ණනා කරති. ඒ දැක්වූ දික්වූ උස්වූ නැහැය වාසනාවේ ස්වභාවයයි.

පිරිමි නාසයේ හැඩය

දික්වූ, උස්වූ නාසය ඇත්තෝ ඉතා නිරහංකාර පුද්ගලයෝය. ආඩම්බරවීමට ඕනෑ තරම් කරුණුූ ඇත. ඒ කිසිවක් ගැන නොසිතති. තීක්ෂණ බුද්ධියෙන් යුතු මොවුහු කාගේත් ජනප්‍රසාදය දිනා ගන්නා අතර, බෙහෙවින් ප්‍රකට පුද්ගලයෝ වෙති. මහත් දැනුම් සම්භාරයකින් යුතු මොවුන්ගේ උපදෙස් අන්‍යයෝ පිළිගනිති. අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ නැහැයේ මෙපරිදි දික්වූ උස්වූ නැහැයකි.

නාසය දිගු නමුත් මහත් නම් ඔහු අවිචාර පුද්ගලයෙකි. ක්ෂණික තීරණ ගන්නා අතර, ඒ ගනු ලබන තීරණ නිවැරැදි තීරණ නොවේ. කලබලකාරය. අන්‍යයන් දෙස නිරතුරු අවිශ්වාස වපර ඇසින් බලන ඊර්ෂ්‍යාවෙන් පීඩිත අයෙකි. කරන කියන හැම දෙයම සාර්ථක නොවේ.

නාසය රවුම් එනම් තරමක් වටකුරු ස්වභාව ගනියි නම් හේ දිය යටින් ගින්දර ගෙන යන ආකාරයේ අයෙකි. අනිකාගේ අදහස්වලට අවශ්‍ය වූවකුසේ පෙන්වමින් ඊට හාත්පසින් ක්‍රියා කරන පුදුමාකාර කපටි සහගත පුද්ගලයෙකි. අනුන් පාවා දෙමින් හෝ තමා ගැලවීමට කටයුතු කරන්නෙකි.

සමහරුන්ගේ නාසය මදක් ඇදවූ ස්වරූපයක් පෙන්වයි. මෙබන්දෝ ජීවිතය ඔන්න ඔහේ යන්නන් වාලේ ගෙවා ලන්නෝය. මද වූද ධෛර්යසම්පන්න භාවයෙන් නැත. කපටි කමින් තොරව හිතට එකඟව අවංකව ජීවිතය ගෙන යන අයෙකි. යමෙකුගේ නාස්පුඩු බොහෝ විශාල නම් වංචාකාර ප්‍රයෝගකාරි සූක්ෂ්ම කපටි චරිතයක් හඟවයි.

කාන්තාවගේ නාසය

කාන්තාවගේ මුහුණටද අපූරු සිරියාවක් නාසයේ හැඩයෙන් සිදුවෙයි. කාන්තාවගේ නාසය තරමක පහතට නැඹුරු හෙවත් එල්වුණු ස්වරූපයක් ගනියි නම් ඉතා ලාබාල වියේදීම චරිතය කෙලෙස ගන්නා ජීවිතය කෙළිබඩුවක් සේ සලකන්නියකි. සදාචාරය කිසිසේත් අගය නොකරන ඇය සලෙළුන් පි‍්‍රය කරයි. විවාහයක් සිදුවුව ද කෙටි දිනකින් එය කඩාකප්පල් වෙයි. සමාජයේ අන්‍යයන්ගේ ඇසුර හොඳ හිත නොලබයි.

ගැහැනියගේ නාසයේ දිගට පිහිටීමත් සමඟම නාස් සිදුරු සිහින් ලෙස වේ නම් රජයේ හෝ පෞද්ගලික අංශයේ වගකිව යුතු ඉහළ පෙළේ නිලතල දරන්නියකි. කවරම බරපතළ ප්‍රශ්නයක් යොමුවූව ද ඉතා කල්පනාකාරිව බුද්ධිමත්ව තීරණ ගැනීමේ හැකියාවක් ඇත. කාගේත් ගෞරවයට සැලකිල්ලට ලක්වන, යහපත් විවාහ ජීවිතයක් ගත කරන ලක්ෂණයක් සේ කියැවේ.

නාසය දික්ව මෙන්ම කෙළවර මඳක් වටකුරු සේ නම් ක්ෂණිකව කෝප සහගත ස්ත්‍රියකි. ආගමික අදහස්වලින් බරය. අන්‍යයන්ගේ අදහස් කිසිවිටෙකත් ගරු නොකරයි. තමා විසින් ගනු ලබන අදහස් නිවැරැදි සේ සලකන ඇය යුක්තිගරුකය.

සමහර කාන්තාවන්ගේ නාසය අගට වන්නට මහත් බවක් පෙන්වයි. එසේම එය නැමුණු බවක් ද වේ. මෙබඳු නැහැයක් ඇති ස්ත්‍රියකගේ විවාහය සිදුවන්නේ ඉතා ප්‍රමාදවය. සමහර විට විවාහය සිදු නොවන තරම්ය. සමාජශීලී බවෙන් තොර මෙබඳු ස්ත්‍රිය බොහෙවින් හුදකලාව ජීවත්වන්නට උත්සාහ ගනියි. අන්‍යයන් පි‍්‍රය නොකරයි. කාහටත් කරදරයක් නැති අහිංසක චරිතයකි.

ගැහැනියගේ නැහැය අග රතුපාටට හුරු ඉන්නන් ඇත්නම් ඇය රාජ්‍ය නායිකාවක වන ලක්ෂණයකි. බලගතු රාජයෝගයක් පිහිටි බව කියැවෙයි. ඕනෑම පිරිසක් වුවත් පාලනය කිරීමේ හැකියාව ඇත්තියකි. තමාට පරිවාර සම්පත්තිය ලැබෙයි. ඉතා වාසනාවන්ත සාර්ථක ජීවිතයක් ගෙවයි. යහපත් සැමියකු හා දූදරුවන් ලැබීමේ වාසනා මහිමය ඇත.

එසේම යම් කාන්තාවකගේ නාසය අග කෙළවර කලුපාට ඉන්නෙක් ලකුණු වේ නම් ඇය අවිවාහක වන්නීය. විවාහයක් සිදුවුව ද ඉතා ප්‍රමාදවනවා මෙන්ම ඉක්මණින් කණවැන්දුම් වන්නීය. අනතුරුව ඇය අන් පුරුෂයින් කරා යන්නීය. ඉතා අවාසනාවන්ත ස්ත්‍රියකි.

සමහර විට කාන්තාවකගේ නැහැය පැතලි ස්වභාවය ගනී. මෙබඳු ස්ත්‍රිය අන්‍යයන් දෙස බලන්නේ අවඥාසහතවය. හරි හෝ වැරදි හෝ වේවා නිරතුරුව අන්‍යයන් හෙළා දකියි. සටකපට, වංචාකාරි, ඇය හොඳින් හෝ නරකින් තමන්ගේ අදහස ඉටුකරගන්නට සම්පූර්ණ උත්සාහය ගන්නා ස්ත්‍රියකි. කිසිවිටෙකත් අන්‍යයන්ගේ සැලකිල්ලට පාත්‍ර නොවේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.