විපුල ඡ්‍යොතිෂ දැනුම් කඳ මාදම්පේ සිරි සීලක්ඛන්ධ නාහිමියෝ

සැප්තැම්බර් 29, 2023

පංචිකාවත්තේ අභයසිංහාරාමය පිහිටා ඇත්තේ ජනාකීර්ණ පෙදෙසකය. ඒ 1935 වර්ෂයයි. එවක එහි විහාරාධිපති වූයේ පූජ්‍යපාද මාදම්පේ ශ්‍රී අත්ථදස්සි සීලක්ඛන්ධ හිමිපාණෝය. බ්‍රහ්ම මූර්තියෙන් සැමදා අවදිවන උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා මැද්දේ තම දවසේ උදාව ආරම්භ කිරීමට පුරුදුව සිටියහ. එම පුරුද්ද උන්වහන්සේ සමස්ත ලක්වැසියන්ට ද උදාකරවූයේ 1957 වර්ෂයේදී ලංකාවේ පළමුවරට ලංකා ගුවන් විදුලි සේවයෙන් උදෑසන සෙත්පිරිත් සජ්ඣායනා ශ්‍රාවක ජනතාවට අසන්නට සලස්වමිනි. උන්වහන්සේ විසින් දේශනා කරන සෙත් පිරිත් උදෑසන ශ්‍රවණය කොට දවස ඇරැඹීමට බොහෝ සැදැහැවත් බෞද්ධයෝ මේ නිසාම කටයුතු කළහ.

එවකට රටේ ප්‍රධානියා වූ අගමැතිවරයාගේ සිට පැල්පතේ වෙසෙන දුගියා දක්වාම සීලක්ඛන්ධ නාහිමියන් හමුවීමට නිතර දෙවේලේ පන්සලට පැමිණියහ. ඒ උන්වහන්සේ සතුව පැවැති විස්මිත අනාවැකි පළකිරීමේ හැකියාව හේතුවෙනි. බුදුදහම පිළිබඳව මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව එහිමියෝ මැනවින් දැන සිටි නිසාම තමා හමුවේ යම් ගැටලුවක් බලාපොරොත්තුවක් පැවතියේ නම් ඒ පිළිබඳ සුබ අසුබ සැක හැර දැන ගැනුමට සීලක්ඛන්ධ හිමියන් වෙත එන්නට ඔවුහු දෙවරක් නොසිතූහ.

ඒ ගැටලුව නිරාකරණය කරදී ඔහුව හෝ ඇයව සැනසුම් සිතින් යුතුව පිටත්කර හරින්නට උන්වහන්සේට අප්‍රමාණ බලයක් හැකියාවක් ලැබී තිබිණි.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ සහජ දැනුමක්, බුද්ධියක්, හැකියාවක් උන්වහන්සේට තිබිණි. තමාගේ හුදු පෞද්ගලික පරිහරණය උදෙසා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය යොදා නොගත් සීලක්ඛන්ධ හිමියන් එය ජනතාවගේම හුදු ප්‍රයෝජනය සඳහා යෙදවූහ. මෙනිසාම පෙර සඳහන් කළා සේම පන්සලේ මිදුල කේන්දර කොපි, සුබ මුහුර්ත සෙත්කවි යනාදී කටයුතු මහ නාහිමියන් ලවා කර ගැනුමට පැමිණි ජනතාවගෙන් පිරී පැවැතිණි. මැති ඇමැතිවරුන්ගේ පටන් සාමාන්‍ය මහජනයාත්, භික්ෂූන් වහන්සේලාත් මහනායක හිමිපාණන්ගේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය දැනීමේ ප්‍රයෝජන ගත්හ.

අභයසිංහාරාමය බණමඩුව අද්දර වූ කුටියක උන්වහන්සේ තමා දැන සිටි ඡ්‍යොතිෂ ශාස්ත්‍ර කටයුතු සිදු කළහ. උන්වහන්සේට තිබුණූ එකම විනෝදය වූයේ ද නිදහස්ව හඳහනක් බලා දීමය. එම හඳහන බලා උන්වහන්සේ යමක් පැවැසුවහොත් අකුරටම සිදුවන බව උන්වහන්සේ වෙත ආ පොදු ජනතාව දැන සිටියහ. තමන්ගේ අභාවය සිදුවන අයුරු පවා කල් තියා උන්වහන්සේ දැන සිටි බවත් එය කල්තියා ජනතාවට දැනුම් දුන් බවත් ප්‍රසිද්ධ කාරණයකි. ඒ උන්වහන්සේ සතුව පැවැති ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය දැනුම් සම්භාරය කියාපාන්නට හැකි කදිම උදාහරණයයි. මේ පෙළ ගැසෙන්නේ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් මෙරට බැබළ වූ යතිවරුන් අතර, උත්තම ගණයේ යතිවරයාණන් වහන්සේ නමක් වූ මාදම්පේ සිරි සීලක්ඛන්ධ නායක හිමිපාණෝ පිළිබඳ කතා පුවතයි.

 

උපත

1902 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනිදා මාදම්පේ උපත ලද පින්වත් කුමරාගේ මවුපියන් වූයේ විජේසිංහ ඒකනායක මුදියන්සේලාගේ මැණික්රාළ අප්පුහාමි සහ මහහිටිහාමිලාගේ සාංචිහාමි යුවළය. මේ පින්වත් කුමරා උපත ලබන අවස්ථාවේ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පැවැතියේ ගුරු හිමි ධනු රාශියයි. උත්පත්ති කේන්දරය පරික්ෂා කර බැලූ ඡ්‍යොතිෂවේදියා පවසා සිටියේ, කේන්දරයේ බලවත් බව නිසාම මේ දරුවා රටේ නමගිය පැවිද්දෙක් බවට පත්වන බවයි. මන්ද යත් උන්වහන්සේගේ කේන්දරයේ ප්‍රබල පැවිදි යෝගයක් පැහැදිලිව සඳහන්ව පැවතිණි. ‘සඳු සිටි රාශිය අධිපතියා සෙනසුරු විසින් දකිනු ලැබුවේ ද එම ජන්මියා ඒ කාන්තයෙන්ම පැවිද්දෙකු වන්නේය.’ යනාදි සිද්ධාන්තය පසක් කරමින් මේ කුඩා දරුවාගේ ද සඳු කටකයේ සිටියදී ගුරුගේ සහ ශනිගේ දෘෂ්ටියට ලක් වී ඇති බවත් ශනිගේ ස්වක්ෂේත්‍ර බලයෙන් දෙවැන්නේ නීචව සිටින ලග්නාධිපතියාගේ නීචය භංග වී ගොස් ඇති බවත් ලග්නාධිපතියා සඳුට දෘෂ්ටි හෙළන විට ද පැවිදි යෝගයක් යෙදෙන බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ පෙන්වා දී ඇත. ඒ අන්දමට මේ දරුවාගේ හඳහනේද ප්‍රබල පැවිදි යෝගයක් ඇති බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයාගේ අදහස විය. මේ කුඩා පුත් රුවනට නම් තැබුණේ විලියම් විජේසිංහ ඒකනායක ලෙසිනි.

 

අධ්‍යාපනය

 

බහතෝරන වියේදී කුරුක්කුවේ සුගතානන්ද විද්‍යාලයට ඇතුළත් කළ මේ දරුවා අකුරු ශාස්ත්‍රය කෙරෙහි ද දැක්වූයේ දක්ෂතාවයකි. මෙසේ උගැනුම ලබමින් සිටියදී වයස අවුරුදු 09 දී පමණ එනම් 1911 වසරේ දෙසැම්බර් මාසයේදී මාදම්පේ සිරි සීලක්ඛන්ධ නමින් පැවිදි දිවියට ඇතුළත් විය. ඒ එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපතිව වැඩ විසූ ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නායක හිමියන්ගේ උපාධ්‍යායකත්වයෙනි.

1927 වසරේදී ගෝනුල්ලේ මේධංකර හිමියන්ගේ සහ මීගස්දෙණියේ ශ්‍රී අත්ථදස්සි නායක හිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍යයකු ලෙස මහනුවරදී උපසම්පදාව ලදහ.

විද්‍යෝදය පිරිවෙනේදී මුන්වහන්සේ පාණ්ඩිත්‍යයෙන් යුතුව ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍රාදිය, හොඳින් පුහුණු කළහ. ඉගෙනීමේ කටයුතු කෙතරම් හොඳින් කළේ ද යත් පිරිවනේ උපරිම පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත්වන්නට උන්වහන්සේට හැකි විය. 1932දී කර්මාචාර්ය පදවියට පත් වී පංචිකාවත්තේ අභයසිංහාරාමාධිපති පදවියට පත්විය. 1956දී ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය උපාධිය සහිතව කොළඹ නව කෝරලයේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූහ.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ දැනුම

ධර්ම දේශනාවට මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය කෙරෙහිත් සීලක්ඛන්ධ නා හිමියෝ අතිශය දක්ෂතාවයක් දැක්වූහ. උන්වහන්සේ තුළ පැවැති නක්ෂත්‍ර දැනුම පොතට පතට පමණක් සීමා නොවීය. කේන්දර ගැන නක්ෂත්‍ර යෝග මෙන්ම නක්ෂත්‍රයට වැදගත් වූ වෙනත් නොයෙක් කරුණූ ගැන පරික්ෂා කොට බලා අත්දැකීමම මූලාශ්‍රය කොට ලබා ගත්තා වූ දැනුමක් උන්වහන්සේ සතු විය. සීලක්ඛන්ධ හිමියන් මෙරටින් මෙන්ම පිටරටින්ද කේන්දර එකතු කොට ඒවා සටහන් කර ගනිමින් ඡ්‍යොතිෂ පරීක්ෂණවල නිරත වූහ. උන්වහන්සේ සතුව කේන්දර රැසක් ලියන ලද විශාල පොතක් විය. ඒවා නිතර සංශෝධනය කිරීමෙන් ලබාගත් කේන්ද්‍ර පිළිබඳ විශාල විශාරද දැනුමක් උන්වහන්සේට තිබිණි. ඒ දැනුම උන්වහන්සේ ඇසුරු කළ බොහෝදෙනාට වැඩ පිණිස විය. නැකැත් කීම ගැනත් පන්සල් සෑදීමට, බුදුගෙවල් සැකසීමට, චෛත්‍ය සෑදීමට, බණමඩු සෑදීමට හා වෙනත් බොහෝ දේ කිරීමට විවිධ පෙදෙස්වලින් හාමුදුරුවරුන් සේම ජනතාවද උන්වහන්සේ කරා ආහ. මේ සියලු නක්ෂත්‍ර කටයුතු උන්වහන්සේ සිදු කළේ බොරුවට කඩදාසිවල ගණන් හද හදා ඉන්නේ නැතිව මනෝමය හැකියාවෙනි. උන්වහන්සේ මේ සඳහා කිසිවිටෙක මුදල් හෝ ද්‍රව්‍ය ලබා ගත්තේ නැත. රටට තමාගෙන් විය යුතු සේවයක් ලෙස සලකා ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ නියැළෙන්නට උන්වහන්සේ හැමවිටම කටයුතු කළහ.

භික්ෂූන් වහන්සේ නමකගේ උසස් බවට හා පි‍්‍රයශීලි බවට හේතුව ධනය හෝ බලය නොව ගුණය හා නුවණ බව සමාජයට ක්‍රියාවෙන්ම තේරුම් කළ උන්වහන්සේ හැමවිටම තමාට හැකි පමණ දුර බැහැර සිට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහියන්ට ඉදුම් හිටුම් දී ආහාරපාන ලබා දී පි‍්‍රයමනාපව ආගන්තුක සංග්‍රහ කරන්නට කටයුතු කළහ.

රටට දැයට මෙලෙස සේවය කරමින් සිටියදී ස්වකීය කේන්දරය බලා ස්වකීය මාරකය සොයා ගන්නට උන්වහන්සේට හැකි විය. තමාගේ අවසානය පිළිබඳ උන්වහන්සේ නිතර ඇසුරු කළ ඡ්‍යොතිෂවේදීන් සමඟ මෙලෙස පවසා ඇත. ඒ 1969 වසරේදීය.

“මේ ඔක්තෝබර් මාසයේ පටන් දෙසැම්බර් අවසානය තෙක් මට මාරක 11ක් පවතිනවා. අනික් මාරක 10ම පැන්නුවා. දෙසැම්බර් අවසානයට ඇති මාරකය නම් ජයගන්න බැහැ.” යනුවෙනි. උන්වහන්සේගේ කීම සැබෑ කරමින් නොසිතු මොහොතක ලෙඩ ඇඳට වැටෙන උන්වහන්සේ 1969 සීතල දෙසැම්බර් මාසේ 31 වැනිදා අලුයම අපවත්වී වදාළේ ලක්වැසියන්ගේ හදවත්හි නොමැකෙන කඳුළක් ඉතිරි කර තබමිනි. උන්වහන්සේගේ අපවත්වීම ඡ්‍යොතිෂයට වූ බරපතළ හිඩැසක් බව ඡ්‍යොතිෂවේදීන් ගේ මතය විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.