ඡ්‍යොතිෂයෙන් විපුලපල නෙළූ සාහිත්‍යධරයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සැප්තැම්බර් 8, 2023

ඒ 1940 දශකයේ අගභාගයයි. චන්ද්‍රරත්න මානවසිංහ නමැති මහා සාහිත්‍යධරයා ලංකාදීප පුවත්පතේ සේවය කළ සමයයි. නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා තවත් මාධ්‍ය සගයකු සමඟ ඔහු පිටත්ව ගියේ පෙරදිනෙක යොදාගත් රාජකාරි කටයුත්තක් සඳහායි.

මස්කෙළිය නගරයට ගිය මානවසිංහයන් තම රාජකාරි කටයුතු මධ්‍යයේ වුවද එහි තිබූ ඉපැරැණි කෝවිලට යන්නට අමතක නොකළේය. ඒ දෙවියන් කෙරෙහි පැවැති භක්තියත් එම කෝවිලෙහි පූජා මෙහෙය වූ පූසාරි සමඟ පැවැති පැරැණි හිත මිත්‍රත්වයත් නිසාය. මානවසිංහයන් දෙමළ භාෂා දැනුමෙන් සන්නද්ධව සිටි නිසාත් ඔහු නිතර අඳීන වේට්ටිය සහ කෝට්බෑය නිසාත් එතුමාට මේ පූසාරි ඇතුළු මස්කෙළිය නගරයේ දෙමළ ජනතාවගේ ගෞරව භක්තිය යන එන සෑම තැනකදීම නොඅඩුවම ලැබිණි. මානවසිංහයන් කෝවිලට ගොඩවත්ම එහි සිටි පූසාරිත් ඔහුගේ සගයනුත් මේ ප්‍රඥාවන්ත මිනිසාව පිළිගත්තේ මහත් වූ ගෞරවයෙනි. කෝවිලෙහි දේව පූජාවන්ට සහභාගි වී ආගිය තොරතුරු විමසමින් සිටි මානවසිංහයන්ට පූසාරිගෙන් අහන්නට ලැබුණේ දුක්මුසු කතාවකි. එනම් එහා ගමේ කෝවිලෙහි පූජා පවත්වන පූසාරි වෙතින් තමාට එල්ල වන කෙණෙහිළිකම් නිමක් නොමැති බවය. මේ හේතූන් නිසා තම කෝවිලට එන ජනතාවගේ ද අඩුවීමක් සිදුව ඇති බවත් ගම්වල ජනතාව අතර බෙදීමක් ඇතිවී ඔවුන් අතර රණ්ඩු සරුවල් ද බහුල වී ඇති බව පූසාරිගේ ශෝකාලාපයෙහි විය.

මොහොතක් නලළ රැළි ගැන් වූ මේ උගතා නළල මත අත තබා කල්පනා කළේය. අනතුරුව ගමේ කිහිප දෙනකු සමඟ මානවසිංහයෝ එහා ගමේ පූසාරි හමුවීමට එම කෝවිලට ගියහ. දෙමළ භාෂාවෙන් දේව ස්ත්‍රෝත්‍ර හා ශ්ලෝක දෙක තුනක් කියා රණ්ඩුවීමේ ආදීනව පෙන්වාඳුන් මේ පඬිවරයාගේ කතාබහ, ස්වරූපය දුටු කෝවිලේ පූසාරි ඔහු පිළිබඳ මහත් ගෞරවයක් දැක්වූ අතර මානවසිංහයන්ගේ බසට අවනත වූයේ කුඩා දරුවකු ලෙසිනි. ගත වූයේ මොහොතකි. ඉතාම සුහදව කෝවිල් දෙකෙහි පැවැති ගැටලු කතා කරගනිමින් ඒවා සමතයකට පත් කරන්නට මානවසිංහයන්ට හැකි විය. ගම් දෙකේ එකමුතු බව ගොඩනැඟීමට සුබ නැකැතකින් දේව පූජාවක් කළ යුතු බවට යෝජනා කළේය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් නැකැත් ශාස්ත්‍රයත් මනාව දැන සිටි මානවසිංහයන් සුබ නැකැතක් සියතින්ම ගණනය කොට ඒ සුබ නැකැතට අනුව කෝවිල් දෙකෙහි දේව පූජාවක් සහ වේල් පෙරහරක් පවත්වන්නට සුදානම් කළ යුතු බවට යෝජනා කර සිටියේය. මේ මහා පඬිරුවනගේ වදනට කුඩා දරුවන් සේ අවනත වූ පූසාරිවරු එයට එකහෙළා සිය කැමැත්ත ප්‍රකාශ කළෝය. ඒ අනුව පසු දිනෙක දේවපූජාවත් වේල්පෙරහරත් ගම් දෙකම එකතු වී පැවැත්වූයේ මානවසිංහයන් ලබා දුන් සුබ නැකැතිනි. වේල්පෙරහරේ ස්ත්‍රෝත්‍ර කියමින් නටමින් ගයමින් ඇති තරම් විනෝද වූ මානවසිංහයන් සහ මාධ්‍යසගයාත් යළි කොළඹට පැමිණියේ සතුරන්ව සිටි ගම් දෙකක් මිතුරන් බවට පත් කරමිණි.

එලෙස ඕනෑම තැනක ඕනෑම මොහොතක තමා දැන සිටි ඕනෑම ශාස්ත්‍රයකින් වැඩ ගැනීමේ අපූරු හැකියාවක් සහ විශේෂ දක්ෂතාවක් මේ ඇසූපිරූ තැන් ඇති ප්‍රාඥයා සතුවිය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් හා තම දැනුමෙන් තමා වෙත එන්නවුන්ට උපකාර කළ ඔහු කිසි දිනෙක අනෙකාගෙන් ප්‍රති උපකාර බලාපොරොත්තු නොවීය. මෙරට කලා ක්ෂේත්‍රයට සාහිත්‍ය කලාවට ද ඔහු තම දැනුමින් අගනා මෙහෙවරක් ඉටු කළේ ඊට නොදෙවෙනි ලෙසය. ඒ පිළිබඳ පොත්පත් ඕනෑ තරම් රචනා වී ඇත්තේය. මානවසිංහයන්ගේ ජීවිතය රසබර ය. විචිත්‍ර ය. ඡ්‍යොති‍ෂවේදියකු ලෙස රටේ වඩාත් ප්‍රචලිතව නොසිටිය ද එතුමන් ඒ මහා ශාස්ත්‍රය මැනැවින් හදාරා දැන සිටි එයින් වැඩගත් උගතෙකි. එම උතුම් ශාස්ත්‍රයෙන් සමාජයට අසීමිතව සේවය කෙරූවෙකි.

 

උපත

 

දකුණේ රුහුණු ගිරුවාපත්තුවේ බෙලිඅත්තට මායිම් වූ පුවක්දණ්ඩාව නම් සොඳුරු ගම්පියසේ දිවි ගෙවූ දොන් අන්ද්‍රියස් දියෙස් සූරියආරච්චි මොහොට්ටි සහ පුංචි එතනා ඕබඩආරච්චි යුවළට දාව 1913 ජුනි 13 දා උපත ලද කුඩා මේ බිළිඳාට නම් තැබූයේ චන්ද්‍රරත්න දියෙස් සූරියආරච්චි මෙහොට්ටි ලෙසය. මේ කුඩා බිළිඳා උපත ලබන මොහොතෙහි නැඟෙනහිර සිතිජයේ උදාව පැවැතියේ මේෂ රාශියයි. ඔහුට සහෝදර සහෝදරියන් දෙදෙනෙකි. කුඩා මානවසිංහ මූලික අධ්‍යාපනය ලැබුවේ බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙනි. ගම් සභාවේ නඩුකාර පදවිය දැරූ ඔහුගේ පියා ‘බද්දේගම හාමු‘ නමින් ගැමියන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ගමේ සැලකිය යුතු ධනවතකු වූ නිසාම ගමේ සිටි දඩයක්කරුවන් ‘බද්දේගම හාමුගේ‘ තුවක්කුව ගෙන දඩයමේ ගිය අතර දඩ මසින් හොඳම කොටස මානවසිංහයන්ගේ නිවෙසට ගෙන දීම සිරිතක් විය. ඒ අනුව පාසල නිමවී නිවෙසට එන කුඩා මානවසිංහ දරුවා දඩ මස් සමඟ බත් අනුභව කොට තම පියා හමුවීමට එන අමුත්තන් නිවෙසේ මිදුලේ තැනතැන වැටී කතාබහ කරමින් සිටින අයුරු දකියි. කුඩා ඔහු ද මේ ගැමියන් වෙත යයි. ඔවුන් පවසන කවි, කතා, ජනප්‍රවාද වෙත හොඳීන් ඇහුම් කන් දෙයි. මේවායින් ඔහුගේ කවීත්වයට බොහෝ දැනුමක් ලැබුණු බව පැවැසෙයි. පසු කලෙක මානවසිංහයන් ගමේකමට, ගැමි සංස්කෘතියට ඉහළ ම තැනක් දීමට මෙය හේතු විය. ඔහු ලියූ ගී වල මෙන් ම සාහිත්‍ය කෘතිවලට ද තමා කුඩා කල ගමෙන් සහ ස්වභාව දහමෙන් ලද ආස්වාදය, දැනුම උකහා ගෙන ඇති බව දැකිය හැකිය. ද්වීතික අධ්‍යාපනය මාතර මහතින්ද පිරිවෙනින් සහ උසස් අධ්‍යාපනය කැලණිය විද්‍යාලංකාර පිරිවෙනින් ද ලද්දේය. මානවසිංහයන් ඉන්දියාවට ගොස් බෙංගාලි, හින්දි හා භාරතීය සංස්කෘතික වටිනාකම් ද හැදෑරුවේය. එම හැදෑරීම් ඔහුගේ පසුකාලීන විශිෂ්ටත්වයට පාදම සම්පාදනය කළේ ය. මානවසිංහ තරුණයා හැදෑරූ පාලි, සංස්කෘත බඳු පෙරදිග භාෂා, ඔහුගේ ගීත නිර්මාණය කෙරෙහි බලපෑ වග විචාරකයෝ පවසති. හැටේ දශකයේ මුල් අදියරේදී මානවසිංහ ලියූ සරස්වතී අභිනන්දන ගීතය, ඔහු තුළ පැවැති සංස්කෘත භාෂා ඥානය මැනවින් නිරූපණය කළ බැව් විචාරකයෝ පෙන්වා දුන්හ. මේ ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කර ඇත්තේ, “සරස්වතී අභිනන්දන ගීතය පෙරදිග සංස්කෘත භාෂාව පිළිබඳ ඔහු තුළ පැවැති මනා පෘථුලත්වය ප්‍රකාශ කරන සටහනක් වැන්න.” යනුවෙනි. එලෙසම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වූ කලී ලාංකේය සුභාවිත ගේය කාව්‍ය සාහිත්‍යයේ නිම්වළලු පුළුල් කළ පුරෝගාමී ගීත නිබන්ධකයකු, සිංහල ගීත නාටක කලාවේ පුරෝගාමියකු, කීර්තිමත් පත්‍ර කලාවේදියකු, චතුර කථිකයකු, කෘතහස්ත තීරු ලිපි රචකයකු, පඬිවරයකු,හෙළ, පෙළ, සකු, වංග භාෂා විශාරදයකු, කලා, දේශපාලන, සමාජ විචාරකයකු යනාදී භූමිකා රැසක නිරත වූවකු ලෙස හැඳීන්විය හැකිය.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය දැනුම

 

1924 වසරේදී දොළොස් හැවිරිදි මානවසිංහ බෙලිඅත්ත පංච ථූපාරාමයේදී ‘පුවක්දණ්ඩාවේ චන්දරතන‘ නමින් පැවිදි දිවියට ඇතුළත් වී පසුකලෙක උපැවිදි වූයේය. සිංහල, පාලි හා සංස්කෘත භාෂා දැනුම සම්පාදනය වෙන්නේ මේ කාලයේ ය. ඒ පුවක්දණ්ඩාවේ සාරානන්ද හිමියන්ගේ ඇසුර නිසාය. මේ කාලයේදී ජ්‍යෙතිෂය කෙරෙහි වඩාත් නැඹුරුවන්නට මානවසිංහයන්ට හැකිවිණි. එහිමියන්ගෙන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ ඉගැනුම ලද ඔහුගේ ජීවිතයට පසුකාලීනව ඡ්‍යොතිෂශාස්ත්‍රය එල්ල කළ ආලෝකය සුළුපටු නැත.

නැකැත් ශාස්ත්‍රයේ පරතෙරට ගිය මානවසිංහයන් විශිෂ්ට සෙත්කවි හා වස්කවි රචකයකු ලෙස ද සම්භාවනාවට පාත්‍ර වූයේය. ඒ එතුමන් ලියන සෙත්කවියක් කියූ විට අදාළ කාර්යය කිරි ගහට ඇන්නා සේ හරියටම හරි යනවා ය යන විශ්වාසයක් සමාජයේ හිත මිතුරන් අතර පැතිර තිබීම හේතු වෙනි.

දිනක් ඔහු හමුවට ආ පුද්ගලයකු කතරගම දෙවියන්ගේ පිහිට ලැබුමට ගැළපෙන සෙත් කවියක් සදා දෙන ලෙස මානවසිංහයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීමට කන් දුන් මානවසිංහයන් සෙත් කවිය රචනා කළේය.

සෙත් කවියදුටු පුද්ගලයා “මානවසිංහ මහත්තයා මේ කවියේ කතරගම දෙවියන්ට වඩා වල්ලි අම්මා ගැන නේද ලියලා තියෙන්නේ?” යනුවෙන් මානවසිංහයන්ගෙන් විමසූ කල මානවසිංහයන් එයට අපූරු පිළිතුරක් දුන්නේය. “තමන්ගේ නෝනා ලස්සනයි කියලා අහගන්න ඕන මිනිහෙක් ආසයිනේ, වල්ලි අම්මා ලස්සනයි කිව්වම කතරගම දෙයියොත් සන්තෝස වෙලා වැඩෙත් හරියට කරලා දෙයි” යන පිළිතුරෙන් අවට සිටි වුන් සිනා ගැන්විණි.

තවත් දිනෙක මානවසිංහයන්ගේ සමකාලීන මිතුරෙක් තමාගේ වගාවේ ගස්වල දිමියන් ගොටු සදා ඇති බවත් ඔවුන් ඉවත් කිරීමට කළ යුතු ප්‍රතිකර්මයක් සකසා දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අන් කවරකුවත් නොව ආචාර්ය පියසේන රතුවිතානයන්ය. මානවසිංහයන් එයට කළ ප්‍රතිකර්මය ගැන රතුවිතාන මහතා මෙසේ පවසයි.

‘මට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එක්තරා ශබ්ද රටාවක් දී එයින් විරිත් සහිත කාව්‍ය බන්ධනයක් කරදුන්නේය. මෙය දිමිගොට්ටකට කියා බලන්න යැයි කීවේය. දවස් තුනකින් දිමියෝ විසර ගියහ. ඒ වූ කලී උච්චාටන ශබ්ද ශක්තියේ බල මහිමයයි.‘ යනුවෙන් සඳහන් කර ඇත.

මේ ආකාරයට ඡ්‍යොතිෂයෙන් මෙන්ම එහි අනෙකුත් සිද්ධාන්තයන්ගෙන් සන්නද්ධව සිටි මේ අපූරු මිනිසා ජොතිෂ්‍යය මැනවින් දැන සිටි නිසාම ඔහු තම කේන්ද්‍රයත්, බිරියගේ හා දූ දරුවන්ගේ හඳහන් නිතර පරීක්ෂා කර බැලුවේය. එලෙසම තම හිතවතුන්ගේ ද හඳහන් පරීක්ෂා කරදීමටත්, ඔවුන්ට අවශ්‍ය ඡ්‍යොතිෂමය උදව් උපකාර ලබා දීමටත් ඔහු දත් ඡ්‍යොතිෂ දැනුම අන්‍යයන්ට බෙදාහදා දීමටත් කිසිවිටෙක මැළිනොවුණේය. තමාට යම් උපද්‍රවයක් ඇතැයි බිය වූ ඇතැම් මිතුරන් කේන්දරය ගෙන ආ විට ඔවුන් බියෙන් මුදවා සිත සතුටින් පිටත් කර හැරීමටත් ඔහු දෙවරක් නොසිතුවේය.

දිනක් ලංකාදීප පුවත්පතේ මිතුරකු තමන්ගේ කේන්දරය රැගෙන මානවසිංහයන් වෙත ගෙන ආවේ තමන්ට සෙනසුරු ලබා ඇති බවත් එයින් තමන්ට විපතක් වේවිද කියා දැන ගැනුමටය. කේන්ද්‍රය බැලූ මානවසිංහයන් සෙනසුරු අපලයක් ඇති බව මිතුරාට පැවැසීය.

“ඉතින් මානවේ මට මොකද වෙන්නේ?” ‘මට අපලද?‘‘ මිතුරා ඇසුවේය. කිසිත් ගණනකට නොගත් මානවසිංහයන් “මුකුත් වෙන්නේ නෑ” යනුවෙන් පැවැසුවේය. “ඇයි ඒ?” මිතුරා ඇස් උඩයවා ඇසුවේය. “උඹට සෙනසුරා ලබනවා වගේම සෙනසුරාට උඹව ලබනවා” යනුවෙන් පැවැසූ ඔහු තම මිතුරා සිනහ සයුරේ ගිල්වීය. අනතුරුව ඒ සඳහා ප්‍රතිකර්ම මිතුරාට පැවැසුවේය. බ්‍රහ්ම මූර්තියෙන් සැමදා අවදි වන ඔහු පාන්දර යාමයේ ගෙමිදුලට බැස ගස්වැල් සමඟ කතා බහ කරන්නේය. මේ උත්සාහවන්ත මිනිසා ඵලදාව නොමැති ගස් වෙත ගොස් ගසට තට්ටු කර, ‘ඔහොම බැහැ. අපිට ඉක්මණින් ඵලදාව ඕනෑ. එවිටයි ඔබ පූජනීය තත්වයට පත්වෙන්නේ‘‘ යැයි සිහින් හඬින් කොඳුරා පවසයි. පල නොදැරූ ගස නොබෝ දිනකින්ම පල බර වෙයි. ශබ්දතරංගවල ඇති බරපතළ ගුප්ත බලයෙන් ඔහු වැඩගත්තේ එලෙසය.

1944 ඔක්තෝබර් 27 වැනි දා ශ්‍රීමතී වසන්තා හේවාකළුගමගේ සමඟින් විවාහ වූ මානවසිංහයන්ට දරුවන් හත් දෙනෙකි. ශ්‍රී ප්‍රභාත් මිත්‍ර, උදය භාරතී, දයාලක්ෂ්මී, මංජුලා ප්‍රසාදිකා, කංචනමාලා මධුපානී, මීපා මනෝහාරී, කිංකිණිමාලා එම දරුවන් වේ.

මෙවන් දැනුම් සම්භාරයකින් යුතු තමා සමීපයට එන කවරෙකු වුවත් සුවපත් කළ මානවසිංහයන් 1964 ඔක්තෝබර් 04 වැනි දා දිවියට සමුදුන්නේ කවුරුත් නොසිතූ මොහොතකය. ඔහු ඒ බව කල් තියා ම දැනගෙන සිටින්නට ඇත.

ඡ්‍යොතිෂශාස්ත්‍රය අනුව තම වේලාපත්කඩ පරීක්ෂාකර බැලූ ඔහුට තමාගේ තත්ත්වය බරපතළ බව පෙනී ගියේය. එනිසාම එදින තම බිරිඳ ළඟට කැඳවා ‘ඔයා අද දවසේ මා ළඟම ඉන්න’ යැයි පවසා ඇත. දෙටු දියණිය දයා ලක්ෂ්මියට කියා ඇත්තේ ‘මේ සැරේ මගේ අපලෙ ගෙවන්න බැරි වෙයි. මට තව ටිකක් ලියන්න බැරි වෙන එක ගැනයි දුකයි’ යනුවෙනි. අවුරුදු පනස් එකක් වැනි වයසක දී ඔහුට දිවියෙන් සමුගෙන යන්නට තරම් දෛවය අකාරුණික නොවූවාද නම් ඔහු මෙරටේ කීර්තිමත් ජ්‍යොතිෂවේදියකු ලෙස ප්‍රකට වන බව නොඅනුමානය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.