වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ආහාර රටා හා මාත්‍රා
ආයුර්වේදයේ පෙන්වා දෙන ආකාරයට ආහාරය මිනිසාගේ ප්‍රාණය හා සමානය. ආහාර නොමැතිව කිසිවකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය සිරුරේ ප්‍රාණවත් බව පෘෂ්ටිමත් බව, ශරීර බලය, බුද්ධිමත් බව සතුට මෙන්ම නීරෝගිමත් බව යනාදිය ලබා දෙයි. ආහාරය විධිමත් ලෙස නොගැනීම නිසා බොහෝ රෝග ඇති වන බව පැහැදිලි වන්නකි. එසේම අප ගන්නා ආහාර රටාවේ මනා ශික්ෂණයක් ඇති කර ගැනීමෙන් බොහෝ රෝග ඇතිවීම වළක්වා ගත හැකි ය.
එදිනෙදා අප ගන්නා වූ ආහාරය ගත සිත පිනවන ලෙස සකස් වීම අවශ්‍ය වේ. පි‍්‍රය වර්ණය පි‍්‍රය ගන්ධය හා පි‍්‍රය රසයකින් යුත් පෝෂ්‍යදායී ආහාරය සිරුර මනා සේ පෝෂණය කරයි.
ආහාර මාත්‍රාව හෙවත්
ගත යුතු ප්‍රමාණය
ආයුර්වේදයේ ආහාර ගත යුතු ප්‍රමාණය නිශ්චිතව දක්වා නැත. සෑම පුද්ගලයෙකුම එක් එක් වයස් මට්ටම් අනුව ගත යුතු ආහාර ප්‍රමාණය තමා විසින් ආහාර ගැනීමෙන් ලැබෙන අත්දැකීම් අනුව හඳුනා ගත යුතු වේ. සරලව ගත් කල ආහාර මාත්‍රාව නම් බඩගින්නේ තරමට සරිලන ආහාරයයි. මෙහිදී ආමාශයෙන් අඩක් ඝන ආහාරද හතරෙන් එකක් ද්‍රව ආහාරද ඉතිරි හතරෙන් එක හිස්ව තැබීමද කළ යුතු වේ.
ආහාර රටාවේ අත්හල යුතු වැරදි පිළිවෙත්
එකම රසයකින් යුතු වූ ආහාර නිතර ගැනීම මෙහිදී පැණි රස නිතර ගැනීමෙන් පසු කලකදී රෝග හට ගත හැකි වේ. පිසීමෙන් පසුව කල්ගත වූ අපිරිසුදු පිළුණු ආහාර ගැනීම මෙවිට විෂ තත්ත්ව සිරුරේ හට ගෙන විවිධ රෝග ඇති කරවයි.
කෘත්‍රිම රසකාරක, වර්ණක හා රසායනික ද්‍රව්‍ය යොදා සකස් කළ ආහාර ගැනීම කෘත්‍රිම ක්‍රම යොදා ඉදවූ පලතුරු ගැනීමෙන් ස්වභාවික රසයක් නොමැත.
උෂ්ණාධික සැර, අධික ලවණ අධික ආහාර වර්ග නිතර ගැනීම විවිධ හමේ රෝග මෙන්ම වෙනත් රෝග සඳහාද හේතු වේ. එකට ගැනීමට නුසුදුසු ආහාර ගැනීම රෝග ඇතිකරයි. ඒවා නම්, මාළු සමඟ එළකිරි, මී පැණි, උක් හකරු සහිත ආහාර, එළකිරි සමඟ ඇඹුල් රස පලතුරු වර්ග, කුකුළු මස් සමඟ මුදවපු කිරි, මුදවපු කිරි සමඟ ඉදුණු කෙසෙල් ගෙඩි.
......................................................................................................................................
අප ගන්නා ආහාර රටාවේ හුරු කළ යුතු නිවැරදි පිළිවෙත්
විශේෂ රෝගාබාධ නොමැති විට දිනපතා උදෑසන කොළ කැඳ වීදුරුවක් පානය කිරීමට හුරුවන්න. නැවුම් බවින් යුත් පිරිසුදු ආහාර ගැනීමට පුරුදු වන්න. උදෑසන ආහාරය ගැනීමට පෙර මල මුත්‍ර වේග පහ කර දත් පිරිසුදු කර මුහුණ සෝදා පිරිසුදු වීම කළ යුතු ය. සැහැල්ලු ආහාරයක් උදෑසන ගැනීම සුදුසු ය. ඒ සඳහා ආප්ප, ඉඳි ආප්ප, පාන්, ධාන්‍ය වර්ග තෝරා ගත හැකි ය.
දහවල් ආහාරය සඳහා බර ආහාර වන බත්, කොස්, මස්, මාංශ, බිත්තර, තෙල් සහිත ආහාර සුදුසු ය. අප ගන්නා වූ ප්‍රධාන ආහාර වර්ග සාමාන්‍ය උණුසුමින් යුක්තව ගැනීම සුදුසු වේ. ඉන් ආහාර ජීර්ණය පහසු කරවයි. පෝෂ්‍ය ගුණය මෙන්ම ඖෂධීය ගුණයෙන් යුත් දේශීය එළවළු, පළා හා පලතුරු ආහාර වේලට එක්කර ගැනීම නිරෝගී බව ඇති කරවයි. ඒවා නම් එළබටු, කරවිල, තුඹ කරවිල, කැකිරි, රාබු, කොහිල අල, නෙළුම් අල, ගොටු කොළ, කතුරු මුරුංගා, ගැටතුඹ, සාරණ, අගුණ කොළ, අඹ, දිවුල්, වෙරළු, පේර, දෙළුම්, නාරං, බෙලි යනාදිය.
අප ගන්නා ආහාර මාත්‍රානුකූල දැයි හඳුනා ගත හැකි ආකාරයන්
ප්‍රමාණවත් ආහාරයක් ගත් පසු උදරයේ බර බව පපු ප්‍රදේශයේ අපහසු බව දෑලවල (ඇලපත්හි) වේදනා ඇති නොකරයි.
ශාරීරික ක්‍රියාවන් පහසුවෙන් කළ හැකි වේ. ශාරීරික ඉන්ද්‍රියන් ප්‍රබෝධමත් වී කුසගින්න හා පිපාසයන් සංසිඳේ. ප්‍රමාණවත් ආහාරය කිසි විටෙක උදරයේ පීඩා ඇති නොකරයි. නිතරම පි‍්‍රය මනාප හා පිරිසුදු ස්ථානයක සිට ආහාර ගැනීම. ප්‍රසන්න මනසකින් යුතුව ආහාර ගැනීම සිනාසෙමින් කථාකරමින් ආහාර නොගැනීම ආහාර පිළිබඳ අවධානයකින් ආහාර ගැනීම.
කාර්ය බහුල අද සමාජයේ මෙහි දක්වා ඇති ලෙස පිළිපැදීම අපහසු වුවද නිරෝගිමත් ජීවිතයකට සුදුසු ආහාර රටාව මෙයවන අතර නිවැරදි ලෙස ආහාර නොගැනීම මාත්‍රානුකූලව පිළිනොපැදීමත් නිසා සිරුරේ රෝගී බව තමා විසින්ම ඇතිකර ගනු ලබන්නකි.
ඉතා ඉක්මනින් ආහාර ගැනීමත් ගත් ආහාර දිරවා අවසන්වීමට පෙර ආහාර ගැනීමත් නුසුදුසුය. ආහාර වැඩිපුර ගැනීමෙන් ජීර්ණය හොඳින් සිදු නොවී වමනය, අජීර්ණය, අතීසාරය වැනි රෝග ඇති කරයි.
ඉතා හෙමින් බොහෝ වේලා ආහාර ගැනීමෙන් සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබේ. මේ නිසා රක්තහීනතාවය, මාන්දම පාණ්ඩුව හා විවිධ වාත රෝග ඇති කරයි. සෑම විටම ආහාර මාත්‍රාව පිළිබඳ සැළකිලිමත් විය යුතු ය. එක් ආහාරයක් ගෙන ඊළඟ ආහාර වේල ළංවන විට පළමු ගත් ආහාරය සැපසේ ජීර්ණය වී කුසගින්න ඇති වූ පසුව ආහාර ගැනීම සුදුසු ය.
ජයන්ති කුරේ