බෙල්ලේ පිටුපස මහත අඩු කරන යෝගාසන

නොවැම්බර් 22, 2024

පසුගිය කලාපයෙන් අපි බෙල්ලේ වේදනාව අඩු කිරීමට සුදුසු යෝගාසන කීපයක් පිළිබඳ අවධානය යොමු කළෙමු. එමඟින් ද බෙල්ල පිටුපස ඉස්කර ලෙස හඳුන්වන කොටසේ ඇතිවන ස්ථූල ස්වභාවය අඩු කර ඔබේ ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමට උපකාර වන සරල යෝගාසන පහක් පුහුණු කිරීමේ ප්‍රතිලාභ සොයා බැලුවෙමු. අද අප උත්සාහ කරන්නේ ඊට වඩා තරමක් සංකකීර්ණ යෝගාසන පහක් මඟින් බෙල්ලේ මනා හැඩය සහ ඔබේ පිටේ ඇතිවන කුදු ගතියට හේතු වන බෙල්ල මුල ඉදිමුණු ස්වභාවය අඩුකර ගැනීමට යොදාගත හැකි යෝගාසන පහක් පිළිබඳ කතා බහ කිරීමටයි.

1. යස්ටිකාසන

පළමුව පහසු ආකාරයට බිම වැතිරෙන්න. ඉන්පසු ඔබේ දෑත් දෙපසින් තබා ගන්න. දෑත් දිගු කර සෙමින් දෑත් ඉහළට පහළට ඔසවන්න. මේ ආසනය කිරීමේදී වරින් වර තත්පර කිහිපයක් විවේක ගන්න.

2. චක්‍රාසනය

මෙහිදී ඔබ උඩුබෙලි අතට නැමූ දුන්නක් ලෙස ඔබේ ශරීරය නැමීම අදහස් කරයි. එහිදී පළමුව බිම උඩුකුරුව වැතිර සිටින්න. ඔබේ දණ නමා ඔබේ යටිපතුල් බිමට සමාන්තරවන ලෙස තබා ගන්න. පසුව ඔබේ දෙඅත්ල කන්දෙක අසලට ගෙන වැලමිට උඩු අතට නමා අතුල් හා පතුල්වලට බර දී කඳ ඉහළට ඔසවන්න. ආශ්වාස කරන අතරතුර සෙමින් හිස ද බිමෙන් ඔසවන්න. එවිට ඔබේ ශරීරය දුන්නක් මෙන් ඉහළට එසවේ. ඉන්පසු හොඳීන් ආශ්වාස කරන්න.

මෙමඟින් කොඳු ඇටපෙළ නම්‍යශීලී සහ ශක්තිමත් වන අතර සිරුරට හොඳ ශරීර සනීපයක් ලබා දේ. වයසට යාමේදී ඇති වන කුදු බව නැති කරයි. සිරුරට මනා හැඩයක් ලබා දේ. ආතතිය සහ කම්මැළිකම නැති කරන නිසා රැකියා ස්ථානයේ දිගු වේලාවක් වාඩි වී වැඩ කරන හෝ පරිගණකයන් ඉදිරියේ වැඩ කරන අයට ඉතා හොඳ යෝගාසනයකි. කශේරුවට අමතරව උදරය, මැණික් කටුවට, ගෙලට, හිසට, උකුල් සන්ධියට, දණහිසට යනාදී ස්ථානවලට ද මේ ව්‍යායාමය බලපානවා. මේ ව්‍යායාමය කිරීමට පෙර කොඳු ඇට පෙළ (කශේරුව) සූදානම් කිරීමේ ව්‍යායාම කළ යුතුයි.

 

3. උත්ත්‍රාසන

උත්‍ර යනු ඔටුවායි. මේ ඉරියව්ව ඔටුවකුගේ ඉරියව්වකට සමාන බැවින් එසේ හඳුන්වනවා. පළමුව පොළොව මත දණ ගසා ගන්න. පාදයේ ඇඟිලි පසුපසට දිගුවන සේ දෙකලවා සහ පාද දෙක එක ළඟ තබාගන්න. පසුව දණහිස් සහ පාද අතර අඩියක් පමණ පරතරය තබා දණ හිස් මත වාඩිවන්න. හුස්ම ඉහළට ගනිමින් පසුපසට නැමෙන්න. පිටුපසට නැමෙන විට බෙල්ල නොගැස්සෙන සේ නැමීමට ප්‍රවේශම්කාරී වන්න. හුස්ම පහළට හෙලමින් දකුණු අත්ල දකුණු විලුඹ මතත්, වම් අත්ල වම් විලුඹ මතත් තබන්න. අවසාන පියවරේදී කලවා පොළොවට ලම්භකව සිටින සේ පිහිටන අතර හිස පිසුපසට නැමේ. මෙහිදී ශරීරයේ බර අත්වලින් සහ පාදවලින් සම ලෙස දරා සිටිය යුතුයි.

4. මාජරියාසන-බිතිලාසන

මේ යෝග අභ්‍යාස ක්‍රමය අත් සහ දණඉස්වලින් ආරම්භ කරන්න. පළමුව දණගානා ආකාරයට ශරීරය තබා ගන්න. ඒ සමඟම හිස ඉහළට ඔසවා ආශ්වාස කරන්න. පසුව කොඳු ඇට පෙළ ඔසවා හිස පහළට ගනිමින් නිකට පපුව දෙසට ගෙන එන අතර ප්‍රශ්වාස කරන්න. මේ ආසනය ප්‍රගුණ කිරීමෙන් ශරීරයේ නම්‍යශීලී බව වැඩි කරන අතර කොඳු ඇට පෙළේ වේදනාව ද සමනය කරනවා.

5. නටරාජාසන

පළමුව කෙළින් සිටගන්න. හිස කෙළින් තබාගෙන කඳෙන් නැමී ඔබේ දකුණු අතින් ඔබේ දකුණු වළලුකර අල්ලාගන්න. පසුව ක්‍රමයෙන් ඔබේ කඳ පොළොවට සමාන්තර කරන අතර ඔබ අතින් අල්ලාගත් දකුණු කකුල පිටුපසට දිගු කරන අතර ඉහළට ඔසවන්න, වම් අත ද ඉදිරියට දිගු කරන්න. පාද මාරු කරමින් එම ආසනය පාද දෙකටම වරින් වර කිහිපවතාවක් සිදු කරන්න.

මේ යෝග ඉරියව් මඟින් ගෙලෙහි, ඉහළ පිටුපසට සහ උරහිස්වල මාංශ පේශී උත්තේජනය කර වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාරී වනවා. මේ ඉරියව්වල පුරුදු පුහුණුවීම් මගින් කොඳු ඇට පෙළේ සහ බෙල්ලේ නිවැරදි ක්‍රියාකාරිත්වය වර්ධනය කරගත හැකි වනවා.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.